කල් ඇතිවම රෙදි ඇඳගෙන...

 ඡායාරූපය:

කල් ඇතිවම රෙදි ඇඳගෙන...

'මම ෂැඩෝ බොක්සිංකාරයෙක් වගේ. කෝ අනෙක් කෙනා'

මීට අවුරුදු 4කට කලින් මහින්ද ජනාධිපතිවරණයට ආවේ එහෙම කියාගෙනය. මුහුද හත්ගව්වක් තියා අමුඩ ගසාගෙන බොක්සිං ගහන්නට ආව මහින්ද වාර්තාගත ලෙස පරාජය විය.

මේ දැනුත් රාජපක්ෂලා අමුඩ ගසාගෙන ඉන්නේ ජනාධිපතිවරණෙට තව කලක් තිබියදීය.

ඒ වෙනුවෙන් වස්ත්‍ර මසාගෙන සිටින දෙදෙනකු වන්නේ බැසිල් සහ ගෝඨාය.

ඔවුන් දෙදෙනාම මේ වනවිට මුදල් අවභාවිත කිරීම පිළිබඳ නඩුවලට මැදිහත් වී සිටිති. බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මේ වනවිට නඩු කිහිපයක්ම විභාග වන අතර පසුගිය සතියේ ගම්පහ මහාධිකරණයේදී විභාග වූයේ ඔහුට අයත් බවට කියැවුණු මල්වානේ සුපිරි නිවස ඉදිකිරීම සම්බන්ධ නඩුවයි. එම නඩුව පසුගිය සිකුරාදා විභාග වුණු අවස්ථාවේදීද වෙනදා නැති කරුණු කිහිපයක් එළියට ආවේය.

එයින් එළිදුටු වැදගත්ම අනාවරණයක් කළේ නඩුවේ සාක්ෂිකරුවකු වූ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන මුදිත උපාලි ජයකොඩි මහතාය. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තම සාක්ෂි ලබාදුන් මුදිත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ නඩුවේ පළමු සැකකාර බැසිල් රාජපක්ෂ මහතා එම නිවස ඉදිකිරීම සඳහා ඔහුට රුපියල් මිලියන 100ත් 110ත් එනම් රුපියල් කෝටි 10ත් 11ත් අතර මුදලක් ලබා දුන් බවය.

මල්වානේ ගඟබඩ පාර මහවත්ත අංක 111/03 දරන ස්ථානයේ පිහිටි අක්කර 16ක එම ඉඩම සම්බන්ධයෙන් ආන්දෝලනයක් එන්නේ 2015 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුවය. එම ඉඩමෙහි සහ ඉදිකිරීම්වල සමස්ත වටිනාකම තක්සේරු කොට ඇත්තේ රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක් ලෙසින්ය. එම ඉඩම මුලදී බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට කියවුණු අතර පසුව එයට නිශ්චිත හිමිකරුවකු නැති තත්ත්වයක්ද ඇතිවිය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ විභාග වන එම නඩුව පසුගියදා විභාගයට ගත් අවස්ථාවේදී එම ඉඩමේ වරක් හිමිකරු ලෙසින් පෙනී සිටි, එසේම එම විසල් නිවසේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන මුදිත ජයකොඩි මහතා හෙළි කළ කරුණු මෙසේය. එම සාක්ෂි විභාගයේදී ජයකොඩි මහතා රජයේ නීතීඥවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නේ එහි ඉදිකෙරුණු නිවස සහ ඊට යාබද පිහිනුම් තටාකය වෙනුවෙන් මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතා රුපියල් මිලියන 100කට ආසන්න මුදලක් වරින්වර තමාට ලබාදී ඇති බවය. බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අවශ්‍යතා පිළිබඳ සැළකරන අවස්ථාවලදී විවිධ පුද්ගලයන් ඔහුට එම මුදල් දුන් බවද සාක්ෂිකාර ජයකොඩි මහතා අධිකරණයට පවසා සිටියේය.

ඔහු එහිදී පවසන පරිදි එම නිවසේ ඉදිකිරීම් පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතා සහ පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමඟ සාකච්ඡා කොට ඇති අතර ඔවුන් නිවස ඉදිකළයුතු ආකාරය පිළිබඳ උපදෙස් දී ඇත. ජයකොඩි මහතා පවසන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා ඔහු හමුවී ඇත්තේ කොළඹ මහ බැංකුව පසුපස ඒ ආසන්නයේ ඇති නිවසකදීය. එම නිවස ඔහුට අයත් එකක්ද නැතිනම් නිල නිවසක්ද යන්න පිළිබඳ ඔහු නොදන්නා බවද මුදිත ජයකොඩි මහතා සඳහන් කළේ තුසිත මුදලිගේ මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරක් ලෙසය.

මීට කලින්ද අධිකරණයේදී ප්‍රකාශ වූ පරිද්දෙන් එම නිවසට 2013 වසරේ පෙබරවාරි මාසයේ මුල්ගල් තබා ඇති අතර ඒ අවස්ථාවට පුෂ්පා රාජපක්ෂ මහත්මියත් ජ්‍යෙතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාත් සහභාගි වූ බව ජයකොඩි මහතා පවසයි.

මුදලිගේ මහතා විසින් මෙහෙයවන ලද සාක්ෂි විභාගයේදී මුදිත ජයකොඩි මහතා තවත් අනාවරණයක් කළේය. ඒ, එම නිවස ඉදි කළ ඉඩම හිමි බව කියන තිරු නඩේසන් මහතා විසින් ඔහුට එල්ල කරන ලද පීඩනයයි. 2015 ජනාධිපතිවරණයෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වූ අතර ඒ අතරතුරේදී නඩේසන් මහතා තමන්ගේ අවසරයකින් තොරව මේ ආකාරයෙන් ඉඩ‍මේ නිවසක් ඉදි කළේ කෙසේද යන්න සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළ බවද එහිදී ඔහු බැසිල් පුෂ්පා යුවළටද දොස් නැඟු බවද ජයකොඩි මහතා අධිකරණයේදී හෙළි කළේය.

තිරුකුමාර් නඩේසන් මහතා පසුව එම ඉඩම මිලදීගන්නා ලෙස තමන්ට බලපෑම් කළ බවද මුදිත ජයකොඩි මහතා හෙළිකළ තවත් කරුණක් විය. තම ඉඩමට බලහත්කාරයෙන් ඇතුළුවී නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් නඩු මඟට බසින බවටද එහිදී ජයකොඩි මහතා තර්ජනය කර ඇත. කෙසේ වුවද මේ අතරතුරේ ජයකොඩි මහතාට විදේශයක සිට ඇමතුමක් ගත් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා එම ඉඩම ජයකොඩි මහතාට හිමි ‘මුදිත ජයකොඩි ඇසෝසියේට්’ සමාගමට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව ඔහු එම ඉඩම පවරාගෙන ඇත.

ඒ බව දැනගත් නඩේසන් මහතා මුදල් වෙනුවට චෙක්පතක් ඉල්ලා ඇති අතර ඒ අනුව තම ස්ථිර තැන්පතුවක් ඇපයට තබා රුපියල් මිලියන 40ක ණය මුදලක් ලබාගත් බවද එයින් බැසිල් රාජපක්ෂ මහතා තමන්ට නිවාසය ඉදි කිරීමට දුන් මුදල්වලින් එම ණය පියවා ගත් බවද සඳහන් කළේය.

දිවිනැගුමේ මුදල් වංචාවක් ගැනද චෝදනා සහ නඩුවක් බැසිල්ට එරෙහිව තිබේ. ඒවා මුදල් ගැන නඩුය. අහිංසකයෙක් තමන්ගේ දරුවාට කෑම වේලක් දෙන්නට කිසිවක් නැතිකමට අල්ලපු වත්තක කෙසෙල් කැනක් කැපුවොත් ඔහු ජීවිත කාලයටම 'හොරා' කියා නාමකරණය වෙයි. හැබැයි බැසිල්ලාට එහෙම නැත. බැසිල් මෙහි ඉන්න පැත්ත ඉදිරියේදී හෙළිවනු ඇත.

ජනාධිපති වෙන්න රෙදි මහගෙන සිහින දකින අනෙක් කෙනා ගෝඨාභය රාජපක්ෂය. ගෝඨා කවුද කියා බොහෝ දෙනෙක් දනිති. නම කී සැණින් භීතියෙන් තිගැස්සෙන අතීත ක්‍රියාකාරකම් ගොන්නක් ඔහු සතු වෙයි. සිනාසෙන දඩයක්කාරයකුට සරලම උදාහරණය ඔහුය. බැසිල් කවුද කියා කවුරුත් හොඳින් දනී. ඒ වගේම ගෝඨා කවුද කියාත් දනී. වරක් ගෝඨා මංගල සමරවීර අරබයා අමුතු කතාවක් කීවේය. 'මංගල මගේ වැඩවලට බයයි.' ඒ අමුතු කතාවය. මංගල ඊට පිළිතුරු දුන්නේ 2018 මැයි 22 දිනදීය. ඒ මෙන්න මෙහෙමය. “එතුමාගෙ වැඩ ගැන දන්න නිසා මම එතුමට බයයි කියන කතාව ඇත්තම ඇත්ත. මොකද මම විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දෙනා ගෝඨාභය රාජපක්ෂට පුදුම බයක් තියෙන්නෙ. මොකද එතුමාගෙ හැකියාව ගැන මට හොඳ දැනුමක් තියෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත සිදු වී ඇති බවට සැකකෙරෙන අපරාධ මෙතන තියෙනවා.”

මංගල කී පරිදි ගෝඨාගේ අතීත වැඩ කලාව කෙබඳුද? 'යුද හමුදා බුද්ධි සාමාජිකයන් විසින් 2008.05.20 දින දෙහිවලදී 'ද නේෂන්' පුවත්පතේ කර්තෘ පැහැරගෙන ගොස් රඳවා තබාගෙන අමානුෂික ලෙස පහර දුන්නා. මීට මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මම හිතන්නෙ අමල් කරුණාසේකර ඇරෙන්න සෙසු සැකකරුවන් නිදහස් කළා. හැබැයි මම හිතන්නෙ අමල් කරුණාසේකරටවත් මේ අනෙක් සාමාජිකයන්ටවත් කීත් නොයාර් ගැන තරහක් තිබුණෙ නෑ. මේ අය කළේ අපි දන්න විදියට ඉහළින් ආපු නියෝග ක්‍රියාත්මක කිරීම. 2009.01.08 වැනි දින ගල්කිස්ස පොලිස් වසම‍ෙදී බුද්ධි අංශ සාමාජිකයන් විසින් සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා උල් ආයුධයකින් ඝාතන කළා. බුදු අම්මෝ මේ වගේ ඒවා අහනකොට බය වෙන්නෙ නැත්ද? වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 21 දෙනකු ඝාතනය කිරීම. ඒ වගේම යුද හමුදා බුද්ධි සාමාජිකයන් විසින් රිවිර කර්තෘ උපාල් තෙන්නකෝන්ට පහර දෙනු ලැබීම, එක්නැලිගොඩ පැහැර ගැනීම. මේ ඔක්කොම අපි දන්නවා, මේ හැම එකක්ම පිටුපස හිටියේ අපි බය වියයුතු ගෝඨාභය රාජපක්ෂ. අර වැලිවේරියේදී උද්ඝෝෂණයේ යෙදුණු අයට පහරදීම. හමුදාවෙ අයට මේවා කරන්න කිසිම උවමනාවක් නෑ. ඔවුන්ට මේව කරන්න වුණේ රාජකාරියෙම කොටසක් විදියට. උදාහරණයක් විදියට එක්නැලිගොඩ සාක්ෂි විභාගයේ කට උත්තරේම තියෙනවා කට උත්තරේ දීපු බුද්ධි අංශ සාමාජිකයව එක්කගෙන යන්න ගෙදරට ආපු අනෙක් පුද්ගලයා කියා තියෙන්නෙ ‘එන්න යන්න මේක සෙකට්‍රිගෙ වැඩක්’ කියලයි. කවුද මේ සෙකට්‍රි? ඊළඟට ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය, වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය. ඇත්ත වශයෙන්ම ඉතාම වටිනා මාපිය යුවළක්.ස්මාරකයක් හදල සැමරිය යුතු පුද්ගලයන්. නමුත් රටේ සල්ලි හොරකම් කරල තමන් අනුස්මරණය කළා කියලා දැනගත්තා නම් එයාලත් කනගාටු වෙනවා කියා මම දන්නවා. මිග් යානා

ගනු දෙනුව කියන්නෙ ආරක්ෂක ලේකම්වරයා හොඳන් ම දැන දැන එංගලන්තයේ ඇඩ්‍රස් එක නැති බෙලීසිමා කියල ආයතනයකට චෙක් එකක් ලිව්වා. ඒ ලබා දුන්න චෙක් එකයි යුක්‍රේනයේ රජයට ලැබුණ චෙක් එකයි අතර ඩොලර් මිලියන 7.8ක වෙනසක් තිබ්බා. ඩොලර් මිලියන 7.8ක මහා හොරකමක් වුණා. මේවට උත්තර දෙන්නෙ නැතුව අපට මඩ ගගහ මෙයා මොකද කරන්නෙ? උසාවියෙනුත් හැංගෙනවා. උසාවියට යන්න ඉස්සරවෙලා කෝටි ගණන් වියදම් කරලා දක්ෂ නීතිඥයො එකතු කරගෙන උසාවියෙන් තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියල නියෝග දැන් දෙකක් අරගෙන තියෙනවා. ඔය කියන තරම් මෙතුමා අහිංසක නම් මම කියන්නෙ උසාවියට මුහුණ දෙන්න." ගෝඨා ගැන තවත් අටුවා කුමකටද?

පොහොට්ටුවෙන් ජනාධිපති වෙන්න හීන දකින අනෙක් පුද්ගලයා චමල් රාජපක්ෂය. චමල් කවුද කියා හම්බන්තොටින් ඔබ්බට දන්නා කෙනෙක් නැත. ඔහු මහින්ද අමරවීරටත් වඩා අඩුවෙන් මනාප ගත්තෙකි. ඒ විතරක් නොව, ඔහු කියන තරම් සුදු චරිතයක්ද?.හිටපු කථානායක චමල් රාජපක්‍ෂගේ අවධියේදී කථානායක නිල නිවසේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වී ඇති බව කෝප් කමිටුවේදී හෙළිවිය. චමල් කියන 'හොඳ ළමයා' ගේ චිත්‍රයේ සත්‍ය හෙළිවන්නට වූයේ ඊට පසුවය. සාමාන්‍ය පෙළවත් සමත් නොවූ සභාපතිවරයකු වූද ශ්‍රිලංකන් ගුවන් සේවය සමතලා කිරීමේ නියමුවා වූද, ශිරන්ති රාජපක්ෂගේ සොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එවක ගුවන් සමාගමට එයාර් බස් 08ක් මිලදී ගැනීමේ සාකච්ඡාවක් සඳහා චමල් එක් වූයේද? නැද්ද? පිළිතුර ඔහු දිය යුතුය. අදාළ කැබිනට් පත්‍රිකාව එවක මුදල් අමාත්‍යවරයා වූ මහින්දගේය. කොහොම බැලුවත් දැන් රාජපක්ෂලාගේ සත්‍ය නිරුවත ලෝකයා දනී. සමහරුන් පමණක් දැනගෙන නොදන්නා සේ හිඳී. එන ජනපතිවරණය සුවිශේෂී වන්නේ මෙවන් පසුබිමකය. යුද උන්මාදයෙන් ඔල්මාදේ වැටුණු රටක් හදා තමන්ට වාසිදායකම පිටියේ සෙල්ලමින් සල්ලම් වූ මහින්ද එක්ක බලද්දී බැසිල්ලා, චමල්ලා, ගෝඨලා කවුද? අවසන් වශයෙන් 2015 පොදු අපේක්ෂකයාට එරෙහිව මහින්දලා කළ 'අපුල' මැතිවරණ ව්‍යාපාරයේදී කළ ඉතාම පහත් දැන්වීම් කිහිපයක් තිබිණි. ඉන් එකක් 'යහපාලන කැඳ හැලිය' දැන්වීමය. මේ වතාවේ පවුලේ කැඳ හැලිය හැදෙන පැත්ත නම් දැනටමත් පෙනෙන්නට තිබේ. අලුත් පන්නයේ සෙල්ලම් ඉස්සරහටය.

[මානාභරණ]

මාතෘකා