මහින්දගේ මසුරන් කතා

 ඡායාරූපය:

මහින්දගේ මසුරන් කතා

“රට ගැන ගිවිසුම් ගහනවා නම් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ජනතාවගේ කැමැත්ත අකමැත්ත හොයන්ඩ ඕන. මේවා හොරෙන් අත්සන් කරන එක වැරදියි”

හිටපු දේශප්‍රේමී ජනාධිපති මහින්ද රාජපක්ෂ එහෙම කියන්නේ පොතක් දොරට වැඩිය උලෙළකට පැමිණ ආපසු යන අතරය.

බලය තියෙන විට කරන කියන දේ බලය නැතිවිට අමතක වීමත් බලය නැති විට කියන දේ බලය තියෙන විට අමතක වීමත් සාමාන්‍යයෙන් මේ රටේ ස්වභාවයය.

ගිවිසුම් ගැසිය යුත්තේ රට දැනුවත්කොට බව මහින්ද කියයි.

“මහින්ද මේ ගහන්නේ ගෝඨාටද?”

සමහරු එහෙම අසයි.

“ඇයි එහෙම කියන්නේ?”

“එහෙම කියන්නේ මෙන්න මේකයි. රටට, පාර්ලිමේන්තුවට නොකියා ගිවිසුම් ගැහුවේ ගෝඨානේ”

“ගෝඨා එහෙම ගිවිසුම් ගැහුවද?”

එහෙම අහන අයට දෙන්න තියෙන උත්තර රැසකි.

ඒ 2007 වර්ෂයේ මාර්තු 05 වැනිදාය. එදා මෙදා තුර මේ රට වෙනුවෙන් වෙන රටක දෙදෙනකු ගිවිසුමක් ගැහුවේ එදාය.

ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු විසින් 2007දී අත්සන් කරන ලද ‘අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිළිබඳ ගිවිසුම’ මඟින් ලංකාව අනතුරට තල්ලු කරන ලද්දේ ඒ දෙදෙනාය. අයෙක් ඇමෙරිකන් ජාතික රොබර්ට් ඕ බ්ලේක්ය. අනෙකා ඇමෙරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂය.

ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මේ ගිවිසුම ගැන කතාකර තිබුණි. එම අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නැඟීසිට මෙසේ කියා තිබුණි.

“අපි මේ පිළිබඳව එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ලියලා ඇහුවා කොහොමද මේක වෙන්නෙ කියලා. එතුමා මට දුන්න උත්තරය තමයි මම ජනාධිපති. තානාපති කෙනකුයි අමාත්‍යාංශ ලේකම් කෙනකුයි අත්සන් කරපු ගිවිසුමක් වලංගු නැහැ කියලා.”

ඔය දවස්වල විමල් හයිඩ් පාර්ක්වල ඇමෙරිකන් විරෝධයෙන් ආවේශ වෙලා හිටිය දවස්ය.

"කොල්ලෝ කෙල්ලෝ ලංකාවේ තරුණ තරුණියෝ...ඇමෙරිකානු සන්නාමය..එක්සත් ජනපද බ්‍රෑන්ඩ් නේම් එක..කොකා කෝලා නොබී අතඇරියොත් ආන්න ඒකත් විරෝධත්වක් තමයි එකසත් ජනපදයට දෙන...උන්ගේ සන්නාම කොකා කෝලා, පෙප්සි. කෝලා නොබී මැරෙන්නේ නෑනේ හත්වලාමේ...

"දරුවන්ට කියන්න ගන්න එපා.... යාළුවන්ට කියන්න ගන්න එපා... බොන්න එපා... එක්සත් ජනපදය අපට කරන හතුරුකමට විරුද්ධව අපිට පෙන්නන්න පුළුවන් විරෝධය පුංචියට හරි පෙන්නන්න ඕන මගේ අම්මේ තාත්තේ.."

"අන්තර්ජාලය පාවිච්චි කරන අය ගූගල් සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න එපා.. ජී මේල් එකෙන් ගැලවෙන්න..මගෙත් තියෙන්නේ ජී මේල් එක. හෙට ඉඳන් ඒක වෙනස් කරනවා.. ජී මේල්වලින් අයින් වෙමු. ගූගල්වලින් අයින් වෙමු. කොකා කෝලා, පෙප්සි කෝලාවලින් අයින් වෙමු..”

විමල් එහෙම කෑගැසුවේය.

ඒ කෑගහනකොටත් අද විමල්ගේ වීරයා වුණ ගෝඨා එදා ඇමෙරිකන් ගිවිසුමකය.

මේ ගිවිසුම එදා අත්සන් කළේ රහසිගත ලෙසය. එදා කැබිනට් මණ්ඩලයවත් දැනගෙන හිටියේ නැත. ඇමෙරිකාව වෙනුවෙන් එරට පුරවැසියෙක් වූ රොබර්ට් ඕ බ්ලේක් ඒ ගිවිසුම අත්සන් කරද්දී ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් කළේත් ඇමෙරිකන් පුරවැසියෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂය. රටවල් දෙකක් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරද්දී දෙපාර්ශ්වයටම නියෝජිතයන් සිටිය යුතුය. හැබැයි එදා ලංකාව ගැන තීරණාත්මක ගිවිසුමකට අත්සන් කරන්නේ ඇමෙරිකාවේ පුරවැසියන් දෙදෙනෙකි. ආයුධ පද්ධති, මිසයිල, ටෝර්පිඩෝ, න්‍යෂ්ටික අවි, රසායනික අවි ආදිය මෙකී ගිවිසුම අනුව හුවමාරු කර ගැනීම තහනම් යැයි සඳහන් නමුත් සැපයුම් සහාය, සැපයීම සහ සේවා මූලික වූ මෙකී ගිවිසුම අනුව උණ්ඩ, කඳවුරු ක්‍රියාන්විත සහාය අන්තර්ගතය. කඳවුරු ක්‍රියාන්විත සහායේදී කඳවුරු ඉදිකිරීමත් අන්තර්ගත කර තිබේ. උණ්ඩ යැයි කී විට ටෝර්පිඩෝ ආදිය උණ්ඩ ලෙස අවශ්‍ය නම් ගිනිය හැකිය.

මූලික වශයෙන් රටවල් දෙක අතර ඒකාබද්ධ පුහුණුවීම් ආදී අවස්ථා සඳහා පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මේ ගිවිසුම අත්සන් කරනු ඇතැයි මුලින් සඳහන් වුවද ඊට යටින් ‘අනපේක්ෂිත අවස්ථාවන්හිදී’ සහ ‘හදිසි අවස්ථාවලදී’ ද ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ බලය ලබාදී තිබීම සැලකිය යුතුය.

රාජපක්ෂලා විසින් එක් අතකින් ගෙවා ගත නොහැකි ණය ගනිමින්, වෙනම භූමි භාග සින්නක්කරවම ලබාදෙමින් රට චීනයට ගොදුරු කරන ලද අතර අනෙක් අතින් මෙවන් ගිවිසුමකින් ඇමෙරිකාවටද ඕනෑම අවශ්‍ය අවස්ථාවක රටේ භූමිය තම යුද කටයුතු සඳහා භාවිත කිරීමටද අවස්ථාව සලසා දී තිබීමෙන් ශ්‍රී ලංකාව නමැති මාතෘභූමිය මහ බලවතුන්ගේ පන්දු පිටියක් බවට පත් කරන ලදි. ඉන් නොනැවතී මුස්ලිම් අන්තවාදී තව්හීද් ජමාද්ටද බෞද්ධ අන්තවාදී බොදුබල සේනාවටද හින්දු අන්තවාදී ශිවසේනාටද එකම රහස්‍ය ගිණුමකින් මුදල් ආධාර ලබා දෙමින් රටේ අන්තවාදය ආරම්භ කරමින් පෝෂණය කළේය. ඒ සියල්ල අවසානයේ ව්‍යවස්ථාවද කඩමින් බලයක් නොමැතිව අගමැති ධුරයක් ලබාගෙන රට කුමන්ත්‍රණයකට භාජන කර අරාජික රාජ්‍යයක් බවටද පත්කරමින් දුර්වල රාජ්‍යයකට පාර කපා සතුරන්ගේ පහසු ඉලක්කයක් බවටද පත් කළේය.

ඇමෙරිකාවට දිවි දෙන්න දිවුරූ පුරවැසියා ලංකාව වෙනුවෙන් එදා තීරණාත්මක ගිවිසුම අත්සන් කරන විට දේශප්‍රේමියෝ 'හ්ම්' කීවේ නැත.

“ඇමෙරිකාව යුද්ධෙට උදවු කරනවා. ඒ නිසා මේ ගිවිසුම ගහනවා.”

රාජපක්ෂ ආණ්ඩුව කීවේ එහෙමය. හැබැයි යුද්ධෙට සොය දෙනවා කීව ඇමෙරිකාව එදා ලංකාව ගිලගත් හැටිත් යුද්ධයේ අවසන් දිනවල ඇමෙරිකන් නැව් උතුරු මුහුදේ සූදානම්කොට තිබ්බ හැටිත් කීවේ විමල්ලාමය.

ඒ විතරක් නොවේ, එදා ශ්‍රී ලංකා - ඇමෙරිකා ආරක්ෂක ගිවිසුමට අත්සන් කළ රොබර්ට් ඕ බ්ලේක් ඊට ටික දිනකට පස්සේ 2012 පෙබරවාරි 14 කීවේ “ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමෙරිකාව සහාය දක්‌වනවා” කියාය. තුන්කල් දකිනවාය කී මහා දේශප්‍රේමීන්ගේ වස්ත්‍ර ගැලවුණේ එහෙමය.

ලොකුම විහිළුව රට ගැන මහා පුරසාරම් දොඩවන දේශප්‍රේමීන්ගේ හෙලුව රටටම පේන එකය. මවු රටේ පුරවැසිකම අත්හැර 'සරු බිමක' පුරවැසිකම ගත් ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් දේශප්‍රේමය බලාපොරොත්තු වෙනවා නම් ඊට පෙර ඔවුන් මවු රටේ බැඳීම ඇමෙරිකාව ඉදිරියේ ගලවා විසි කළ අයුරු මතකයට ගන්නා ලෙස කිව යුතුය. ඒ මෙසේය .

“මෙතෙක් මා අයත් වූ මවු රටට මගේ තිබූ සෑම පක්ෂපාතීත්වයක් සහ භක්තියක්ම මුළුමනින්මත් සදහටමත් මා අතහැරීමට සපථ කරමි. කවදාක හෝ නීතියෙන් ඉල්ලා සිටින මොහොතක් වෙතොත් ඒ මොහොතේ ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… විදේශීය සහ දේශීයව එන සියලු සතුරන්ට එරෙහිව එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති අනුබල වශයෙන් ආරක්ෂා කරමි. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවන්හි අසංග්‍රාමික සේවා සඳහා කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව මම බාර ගනිමි… එසේ හෙයින් දෙවියනි, මට පිහිට වුව මැන.’’

වරක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මඟින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරනු ලැබීය. එහි වන්නේ ශ්‍රී ලංකාවම චීන ණය උගුලක හිරකර ඒ ණයවලින්ම මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට අඩුම ගණනේ ඩොලර් මිලියන 7.6කට අධික මුදලක් යොදා ඇතැයි කියාය.

මේ හෙළිදරව්ව දෙබරයට ගල් ගැසීමක් විය. රාජපක්ෂ කඳවුරේ සමහරු මේ හෙළිදරව්ව 'සාවද්‍ය' බවට තර්ක කරද්දී, ඒ පිළිබඳ සමහරෙක් කියා සිටියේ “මැතිවරණයකට එක එක ආයතන මුදල් දීම සාමාන්‍ය දෙයක්” බවය. ඊට කියන්නට තිබෙන්නේ 'ලොකුම හිනාව' ඒක කියාය.

චීන ණය උගුලේ ගිලෙමින් රාජපක්ෂලා කළ අසාර්ථක දේවල් ගැන කරුණු කාරණා ගෙනහැරපාන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව පෙන්වා දුන්නේ හම්බන්තොට හැදූ මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබෙන ආසන ගණන ඒ ප්‍රධාන නගරයේ ජනගහනයටත් වඩා වැඩි බවය.

ඒ ගිවිසුම් ගැන මහින්ද රටට, පාර්ලිමේන්තුවට කීවාද?

2010 දෙසැම්බර් 28 වැනි දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ඇති ඉහත ඔප්පුවේ අස්සන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේය.

කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියට අත තිබ්බේ චීනයයි. වැඩේ ආරම්භ කළේ උත්සවශ්‍රීයෙන්ය. දැන්වීම්වලින් කියැවුණේ ලොව මහා විස්මය කොළඹ සිදුවන බවක් වාගේය. 'රටට අලුත් දිවයිනක්', 'ශ්‍රී ලාංකිකයන්ට උරුමයෙන් විවර වුණු පුරවරය', 'කොළොම්තොටේ අසිරිපුරයක් අභිමන් දේශයක ආශ්චර්ය', 'සංවර්ධනයේ සුවිසල් කඩඉම ඇරැඹේ', 'විදෙස් ධනය උපදන මහා ධන උල්පත නව රැකියා තෝතැන්නක්,' 'කලාපයේ වාණිජ කෙන්ද්‍රස්ථානය' ආදී ආලවට්ටම් දැමූ වචනවලින් ඒ දැන්වීම් හැඩවැඩ විය.

“'පෝට් සිටි' ගනුදෙනුව ගැන පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කරන්න.” කියා එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉල්ලනකොට අගමැතිව සිටි දි.මු. ජයරත්න කීවේ 'ඉක්මනින්' ඒවා ඉදිරිපත් කරන බවක්ය.

සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැව් මධ්‍යස්ථාන හා ධාවන පථ වැනි දේවලින් සමන්විත 'කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය' යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කළ අතර ව්‍යාපෘතිය සඳහා සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,337ක මුදලක් දරනු ලැබීය. ඒ මුදල පියවා ගැනීම සඳහා චීනයට හෙක්ටයාර 108ක ප්‍රමාණයක් ලබාදීමට නියමිත විය.

ඒ ගිවිසුම ගැන මහින්ද රටට,පාර්ලිමේන්තුවට කීවාද?

ඊට පස්සේ ඒ ආණ්ඩුව බැස්සේ 'ෂැන්ග්‍රිලා’ හෝටල් ව්‍යාපෘතියටය. රුපියල් මිලියන 44,880ක ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු කර තිබූ එයින් විදේශ සේවකයන් 30 දෙනකුට හා දේශීය සේවකයන් 432 දෙනකුට රැකියා ලබාදෙන්නට සැලසුම් කොට තිබුණේය. ෂැන්ග්‍රිලා ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ වෙන්නේ රජය වෙනුවෙන් ආණ්ඩුවය. සාමාන්‍යයෙන් නීතිය වන්නේ මෙවැනි ව්‍යාපෘති අත්සන් කරන්නේ ආයෝජන මණ්ඩලය සමඟ වීමය. එහෙත් ඉඩම් සින්නක්කරේට තබා බද්දටවත් දෙන්න අයිතියක් ආයෝජන මණ්ඩලයට නැති නිසා ෂැන්ග්‍රිලා විකුණනු ලබන්නේ රජය විසින්ය. ඉඩම් කොමසාරිස්ගේ 4/10/33433 අංක දරන සින්නක්කර ඔප්පුව 2010 දෙසැම්බර් 28 වැනි දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ලබාදෙනු ලැබ ඇත්තේ එවක ජනාධිපතිවරයා විසින්ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් එවකට රුපියල් මිලියන 8,250කට එය සින්නක්කරව ලබාදී ඇත

ඒ ගිවිසුම ගැන මහින්ද රටට කීවාද?

මෙහෙම ගිවිසුම් මල්ලක්ම ගැන කියන්නට කාරණා තිබේ. ඒ සියල්ල අමතක මහින්ද දැන් කියන්නේ “ගිවිසුම් ගහන්න ඕන පාර්ලිමේන්තුවටයි රටටයි කියලා.” කියාය.

හැබැයි අපි දන්න විදිහට නම් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට හොරෙන් ගහපු එක ගිවිසුමක්වත් නැත.

උලමාවරුන් එක්ක ගිවිසුම් ගහලා බලයට එන්න හදන නායකයන්ට අපේ ඉඩක් නෑ කියා මහින්දගේ හිතවත් භික්ෂුන් වහන්සේ නමක් පසුගියදා කීහ.

ඊට පහුවදාම මහින්ද උලමාවරු එක්ක ගිවිසුමක් ගැසුවේ ඒ භික්ෂුන් වහන්සේටවත් කියලාද කියා අපි දන්නේ නැත.

“මගේ ළඟ ඔය හැමෝගෙම ෆයිල් තියෙනවා.” කියා අවුරුදු 9ක් ඒ ෆයිල්වලට දුම් ඇල්ලූ මහින්ද දැන් කියන කතා මොනවාද කියා දන්නේ මහින්දමය.

මාතෘකා