රාජ්‍ය සේවකයන් හරියට වැඩ කර රට හැදීමේ නායකත්වය ගත යුතුයි

 ඡායාරූපය:

රාජ්‍ය සේවකයන් හරියට වැඩ කර රට හැදීමේ නායකත්වය ගත යුතුයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 14ක් දෙනා රාජකාරී පැය අටෙන් හයක් හරියට වැඩකළහොත් දේශපාලනඥයන්ගේ කම්මැළිකම්, නොහොබිනාකම්, දූෂිතකම් පෙරළාගෙන රාජ්‍ය සේවයට ඉදිරියට යා හැකි බවත් ඔවුන් හරියාකාරව සේවය කරමින් රට ගොඩනැඟීමේ නායකත්වය ගතයුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (29) ‘සබරගමුව ලස්සනයි’ වැඩසටහන හඳුන්වා දීම සහ කිතුල් සම්බන්ධ ප්‍රඥප්තිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“ආණ්ඩුකාරතුමා සබරගමුව ලස්සනයි කියනකොට මට කියන්න තියෙන්නේ සබරගමුව විතරක් නෙවෙයි රටම ලස්සනයි කියලා. මේ ලස්සන රට තව තවත් ලස්සන කරන්න, ගොඩනඟන්න, ශක්තිමත් කරන්න ලෝකයේ අනෙක් රටවල් හා සියලු අංශවලින් දෙවැනි නොවන බෞද්ධ රාජ්‍යයක් බවට පත් කරන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා. වෙහෙසක් ගන්නවා. අලුත් වැඩ ආරම්භ කරනකොට හුඟක් ගල් ගහන අය ඉන්නවා. ඒක නිසා ඔය ලස්සන වැඩසටහන හිතන තරම් සුන්දර වෙන්නේ නැහැ. ඕක හරි දුෂ්කරයි. ඔය ලස්සන ලබාගන්න. ඒක නිසා ලස්සනට කැමති අය වගේම ලස්සනට අකමැති අයත් ඉන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඔබ අහලා ඇති මිනිසකුගේ උස්මිටි කමින්, පැහැයෙන් මිනිසෙක් පිළිබඳව තීන්දු කරන්න බෑ කියලා. ඒ වගේම තමා රටක් ගත්තම රටක භූමි ප්‍රමාණයෙන් රට ගැන තීන්දු ගන්න බැහැ. අපේ භූමිය පුංචියි කියලා, ලෝකයේ මහා භූමි තිබෙන බලවතුන්ට සහ ලෝක ප්‍රබලයන්ට අපි කිසිතැනක දෙවැනි වෙන්නේ නැහැ. අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මහා සංස්කෘතිය තුළ විශිෂ්ට නිර්මාණ බිහිකර තිබෙනවා. ඒ දැවැන්ත නිර්මාණ බිහිකළ ඉතිහාස කතාව කොතරම් අර්ථවත්ද ප්‍රාණවත්ද කියලා ඔබ සෑම කෙනකුම දන්නවා.

“ජනාධිපති විදියට මම මීට කලින් ජනාධිපතිවරු පටන් නොගත්ත විශේෂ ව්‍යාපෘති රැසක් පටන් ගත්තා. ඒ දේවල් බොහොම සාර්ථක වෙලා තිබෙනවා. මේ රටේ කිසිම දේශපාලනඥයෙක් මත්ද්‍රව්‍යවලට අත ගැහුවේ නැහැ. මම මත්ද්‍රව්‍ය සටන පටන් ගත්තා. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණය පිළිබඳව ජාතික වැඩසටහන, අසරණ වකුගඩු රෝගීන් පිළිබඳ වැඩසටහන ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශ ඇති කරලා කරගෙන යනවා. ඒ වැඩසටහන් අද ආණ්ඩුකාරවරුන් කරනවා. මහ ඇමතිවරුන් කරනවා. කැබිනට් අමාත්‍යාංශ හරහා කරගෙන යනවා. ඒ වැඩපිළිවෙළවල්වල සාර්ථකත්වයක් වගේම ඒවාට කොතකුත් අභියෝගත් තිබෙනවා. මත්ද්‍රව්‍ය වගේ ප්‍රශ්නයක් ගත්තම අද එහි තිබෙන ප්‍රබලකම නිසා අලුත් නීතිරීති හැදෙනවා. තිබෙන නීතිරීති ක්‍රියාත්මක කළා. අලුත් වැඩසටහන් හැදුවා. මම අවසානයේ මරණීය දණ්ඩනය දෙන්න තීන්දු කළේ මේකේ තිබෙන ප්‍රබලකම නිසා. අපේ රටේ මරණීය දණ්ඩනය එපා කියලා බලවතුන් සියලුදෙනා කියනකොට ඒ සටනේ මම තනිවුණේ නැහැ. ජනතාවගේ පැත්තෙන් ගත්තහම මේ රටේ ජනතාව සියයට 90ක් මරණීය දණ්ඩනයට කැමතියි කියලා මම දන්නවා. වසර 16කට පස්සේ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා ඇමෙරිකාවේ ස්ත්‍රී දූෂිතයන්, ළමා අපචාර කරන්නන්ට මරණීය දණ්ඩනය දෙන්නේ නැතිව පාලනය කරන්න බැහැ කියලා. මම මරණීය දණ්ඩනය දෙන්න තීන්දු කළේ කුඩුකාරයන්ට. ඩොනල්ඩ් ට්‍රම්ප් මරණීය දණ්ඩනය දෙන්න තීන්දු කළේ ස්ත්‍රී දූෂකයන්ට. ඇමෙරිකාවේ ඉතාම බරපතළ විදියට කාන්තාවන්ට සහ තරුණ ගැහැනු ළමයින්ට හිරිහැර කරදර සිදුවෙනවා. මේ තත්ත්වය වඩා උග්‍ර වීම නිසා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මරණීය දණ්ඩනය දෙන්න තීන්දු කර තිබෙන්නේ. ඉන්දියාවේ මරණීය දණ්ඩනය දෙනවා. සිංගප්පූරුවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. රටක් හදන්න, රටක් ඉස්සරහට ගෙනියන්නයි මේ උත්සාහ කරන්නේ.

“සබරගමුව ලස්සනයි කියන වැඩසටහන භෞතික වශයෙන් දකිනවට වැඩිය ආධ්‍යාත්මික වශයෙන් දකින්න ඕනෑ. භෞතික වශයෙන් දකින දේවල්වල සැබෑ ලස්සන ඇතිකර ගන්න පුළුවන්. මිනිස් සමාජයක් යහපත්ව ගොඩනඟනකොට ආධ්‍යාත්මික වශයෙන් ඒ වැඩසටහන ශක්තිමත් වෙන්න ඕනෑ. ගමේ පන්සලේ හාමුදුරුවෝ, රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරී මහත්වරුන් වගේ පැය 08ට සීමා වෙලා නෙවෙයි පන්සලේ වැඩ කරන්නේ. ගමේ පන්සලේ හාමුදුරුවෝ සැතපෙන්නේ රෑ 10.00ට, 11.00ට. පාන්දරම අවදි වෙනවා. අනෙක් මුළු පැය ගණනම දැහැමි සමාජයක් ගොඩනඟන්න කාලය ගතකරනවා. අපේ රටේ දේශපාලනඥයන් ගත්තම ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය, පාර්ලිමේන්තුව, පළාත් සභා පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් 7,000කට වැඩිය ඉන්නවා. රාජ්‍ය සේවය ලක්ෂ 14යි. ඒ ලක්ෂ 14 කොච්චර ශක්තිමත් ජාතික බලවේගයක්ද? සංවර්ධනයේ ප්‍රමුඛතම මහා බලවේගය රාජ්‍ය සේවයයි. ඒ ලක්ෂ 14 පැය 8න් පැය 06ක් හරියට වැඩ කරනවා නම් මේ දේශපාලනඥයන්ගේ කම්මැළිකම්, නොහොබිනාකම්, දූෂිතකම් පෙරළගෙන රාජ්‍ය සේවයට ඉස්සරහට යන්න පුළුවන්. රාජ්‍ය සේවයේ සිටින උගතුන් බුද්ධිමතුන් විද්වතුන් මේ රට ගොඩනඟන්න ඉස්සරහට එන්න ඕනෑ. ආණ්ඩුවෙන් එවන චක්‍රලේඛය, උපදෙස් පත්‍රිකාව, ප්‍රතිපත්ති මාලාව, සැලැස්ම ඒ සියල්ලමත් හරි. නමුත් රාජ්‍ය සේවයේ ලක්ෂ 14කට වැඩි සංඛ්‍යාව තමාගේ කැපවීමත් එක්ක රට ගොඩනැඟීමේ නායකත්වය ගන්න ඕනෑ. දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කර කර ඉඳලා රට ගොඩනඟන්න පුළුවන්කමක් නැහැ.

“අපි හැම කෙනෙක්ම මේ ඉන්න තැන්වල සදාකල් ඉන්නේ නැහැ. දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, විවිධ තනතුරු දරන අය අපි ඔක්කොම අස්ථිර ලෝකයේ ස්ථිර නැති ජීවිත ගතකරන මිනිස්සු. ඒ වගේ අපි සියලුදෙනා ස්ථිර මිනිස්සු නොවෙයි කිසිම දේකින්. සමාජය ලස්සන කරන්න බැරි ඇයි? ලස්සන කරන්න බැරි ඔක්කොම හිතාගෙන ඉන්නවා ජීවිතය ස්ථිරයි කියලා. තනතුර ස්ථිරයි කියලා හිතනවා. පදවිය ස්ථිරයි කියලා හිතනවා. ඒක නිසා අපි ලස්සන වෙන්නේ නැහැ. අපි අස්ථිරයි කියලා හිතනවා නම් අපි දන්නවා ජීවිතයට කාල සීමාවක් තියෙනවා. තනතුරට කාලසීමාවක් තියෙනවා කියලා. පදවියට කාල සීමාවක් තියෙනවා. ඒ නිසා ඒ කාලසීමාව තුළ අපි යමක් කළ යුතුයි කියලා අපිට අදහසක් තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන අනිත්‍ය ධර්මතාවන් එක්ක තමයි අපි ජීවත්වෙන්නේ.

“අපි පැහැදිලි ලෙසම මෙවැනි වැඩපිළිවෙළක් තුළ ඉතාම කැපවීමෙන් වැඩකරන්න අවශ්‍යයි. මේ වැඩ අතට ගන්න. හිතට ගන්න. මේක ඔළුවට ගන්න. තවත් කඩදාසියක් බවට පත් නොකරන්න. ඒ මම වෙනුවෙන් නොව, ඒ ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් සහ හෙට උපදින දරුවන් වෙනුවෙන්. ඒ ජීවිතයේ සුන්දරත්වය බලාපොරොත්තු වන දේ ඉෂ්ට කරගන්න නම් සෑම කෙනෙක්ම සාමූහික වගකීමකින් තමයි කටයුතු කළ යුත්තේ. අපිට වෙලා තියෙන්නේ බොහෝදෙනා තනි තනිව හිතනවා. තනි තනිව වැඩ කරනවා. තනි තනිව හිතලා, තනි තනිව වැඩ කරලා ජයග්‍රහණයක් කරන්න බැහැ. සැමවිටම සාමූහිකත්වය තමයි වැදගත් වෙන්නේ. සාමූහිකත්වය සහ පොදු බව තුළ තමයි ජයග්‍රහණ ලබාගන්න පුළුවන්කම තියෙන්නේ. එන වෙනස්කම්, අභියෝග අපි තේරුම් ගන්න ඕනෑ. දැන් මෙතන ආණ්ඩුකාරතුමන්ලා තුන්දෙනෙක් ඉන්නවා. මම මුලින්ම කිව්වේ පළාත් නවයේ උප සංස්කෘතීන් රාශියක් තිබෙනවා කියලා. මහා සංස්කෘතියෙත් වෙනස්කම් තියෙනවා කියලා. සබරගමුවේ සංස්කෘතියට වඩා උතුරේ තියෙන්නේ හාත්පසින්ම වෙනස් සංස්කෘතියක්. ලස්සන පුංචි රටක්. අපේ ආණ්ඩුකාරතුමා ඉන්නවා. සබරගමුවටයි උතුරටයි වඩා කොච්චර වෙනස්ද ඌවේ සංස්කෘතිය. එකම පළාතේත් විවිධ සංස්කෘතීන් තියෙනවා. ඌව පළාතේ බණ්ඩාරවෙල, මහියංගණය කොච්චර වෙනස්ද එකම පළාතේ. එක දිස්ත්‍රික්කයේ. ඒ නිසා විවිධත්වයත් සමඟ තිබෙන විෂමතාවන් අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපිට රටක් විදියට ඉදිරියට යන්න, ඉදිරිපත් කරන වැඩපිළිවෙළකදී ඒ යහපත් දේ අපි තේරුම් අරගෙන යහපත් දේට අපි ශක්තියක් දෙන්න අවශ්‍යයි. යහපත් දේට කැපවීමක් කරන්න ඕනෑ. ආණ්ඩුකාරතුමත් කාර්ය මණ්ඩලයත් මේ ඉදිරිපත් කරපු සබරගමුව ලස්සනයි වැඩපිළිවෙළ තව තවත් ලස්සන වෙන්න ඔබ සියලුදෙනාගේ දායකත්වය, කැපවීම, සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීම කරමින් ඒ ඉලක්කය කරා යන්න ඔබ සියලු දෙනාට සුබපතමින්, ආශිර්වාදය පළ කරනවා.”