ජනපතිගෙන් සැර කතාවක්

 ඡායාරූපය:

ජනපතිගෙන් සැර කතාවක්

පොහොට්ටුවෙන් නම් 5ක්?

දේශපාලන පක්ෂ සියල්ලම මේ දිනවල වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ ඉදිරි මැතිවරණ කෙරෙහිය. ජනාධිපතිවරණය පවත්වන දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමට කර තිබූ සූදානමක් ගැන සමහරු අදහස් ප්‍රකාශ කළද ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරයි. ඒ අතර පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට තිබෙන හැකියාව ගැන කතාබහක්ද මතු වී තිබේ. එහෙත් මේ වන විට පළාත් සභා මැතිවරණය කලින් පැවැත්වීමේ සූදානම ගැන කතාවද අළු යට ගිනි මෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර දිගින් දිගමට පක්ෂයේ අභ්‍යන්තර රැස්වීම්වලදී කියා තිබුණේ ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතු බවය. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ඇතැමුන් අදහස් දැක්වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුලින්ම අවශ්‍ය වන්නේ පළාත් සභා මැතිවරණය යැයි දයාසිරි ජයසේකර සෘජුව පැවසුවේය.

දුමින්දගේ ගෙදරදී උණුසුම් කතාබහක්

ඉතා සමීපයේ ජනාධිපතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් හා පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති අවස්ථාවේදී සියලුම පක්ෂ වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ පක්ෂ ප්‍රතිසංවිධානය කෙරෙහිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවක් පසුගිය ඉරිදා දින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ නිවසේදී පැවැත්විය. පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පක්‍ෂයේ අනෙකුත් ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දිස්ත්‍රික්ක සහ ආසන සංවිධායකවරුද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

"පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු රට පුරා එකම ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න හැමෝගේම සහාය අවශ්‍යයි" දයාසිරි කීවේය. දයාසිරිගේ කතාව හමුවේ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක කතා කරන්න ගිය විට උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

මේ අතර ශ්‍රීලනිපය ඉදිරියේදී එජාපය සමඟ එකතු වෙනවාද කියා මාධ්‍යවේදීන් විමසන විට දුමින්ද කීවේ 'තවමත් එහෙම තීන්දුවක් නෑ' කියාය.

ජනාධිපති හමුවෙන්න ගිය අය

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ පක්‍ෂයට සම්බන්ධ අනෙකුත් වෘත්තීය සමිති සඳුදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවිය. එහිදී සාකච්ඡාවට ලක්වූයේ පවත්නා දේශපාලන වාතාවරණය තුළ වෘත්තීය සමිතිවල කටයුතු ශක්තිමත් කරන ආකාරය ගැනය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබූ එම සාකච්ඡාවට පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පක්‍ෂයේ වෘත්තීය සමිති ලේකම් ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් දුෂ්මන්ත, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

"දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඈත් වෙලා ඉන්නේ. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවලට තවත් නිහඬ වෙලා ඉන්න බෑ. ඒ නිසා මෙයට පෙර කාලවලදී කටයුතු කළ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කටයුතු සමඟ අනුගත වී ඉදිරියට වෘත්තීය සමිතිවල කටයුතු මෙහෙයවීමට අදාළ නායකයන් කටයුතු කළ යුතුයි" ජනාධිපතිවරයා කීවේය.

"ජනාධිපතිතුමා කියන කතාව හරි. වෘත්තීය සමිති තමන්ගේ වගකීම දැන් ඉටු කරන්න අවශ්‍යයි" ලෙස්ලි දේවේන්ද්‍ර ජනාධිපතිවරයාගේ කතාව අනුමත කළේය.

"සමහර වෘත්තීය සමිති නායකයන්ට දැන් තමන්ගේ පක්ෂය අමතක වෙලා වගේ වැඩ කරනවා. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ බෝඩ් එක භාවිත කරගෙන වෙන වැඩ කරන්න දෙන්න බෑ" ජනාධිපතිවරයා කීවේ තරමක් තදිනි.

ජනාධිපතිවරයාගේ සැර කතාව

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් රට පුරා විවිධ ස්ථානවල ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන විට ජනාධිපතිවරයා විෂය බාර ඇමැතිවරයා වන ආරක්ෂක අමාත්‍යාංශයේ ආගමික වැඩසටහන් පැවැත්විණි. මේ අතර බෞද්ධාලෝක මාවතේ පිහිටි ආසන දෙව් මැදුරේ පැවති විශේෂ ආගමික වතාවත්වලට ජනාධිපතිවරයා සහභාගී වූයේ සුජීව සේනසිංහ ඇමැතිවරයා සමඟය. සුජීව සේනසිංහ ඇමැතිවරයාගේ අමාත්‍යාංශයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ප්‍රදර්ශනය විවෘත කර මෙම ආගමික වැඩසටහන් සඳහා ජනාධිපතිවරයා එක්විය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ආණ්ඩුවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන විට ඒවාට සෘජුව පිළිතුරු දීමට නැඟී සිටියේද ජනාධිපතිවරයාය. රටේ නායකයන්ට කොන්දක් නැතැයි විවිධ ස්ථානවලදී මතුවූ චෝදනාවලට ජනාධිපතිවරයා ලබා දුන් සෘජු පිළිතුරු‌ දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ මාතෘකාවක් විය.

එහිදී ජනාධිපතිවරයා කීවේ තමා සෑම ආගමකටම ගරු කරන නායකයකු වන අතර සෑම ආගමික නායකයකුටම වන්දනා කරන බවයි. යම් ප්‍රශ්නයක් තිබේ නම් ඕනෑම අයකුට විවෘතව තමා සමඟ සාකච්ඡා කළ හැකි අතර අවශ්‍ය නම් මාධ්‍ය ඉදිරියේ වුවද එය සිදුකළ හැකි බව ජනාධිපතිවරයා කියා සිටියේය.

තමා පිටකොන්දක් නැති නායකයකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළද තමා පිටකොන්දක් ඇති සෘජු නායකයකු බව 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය. පැවති රජයේ මෙන්ම පවතින රජයේද වංචා දූෂණ සෙවීමට කොමිෂන් සභා පිහිටෙව්වේ පිට කොන්දක් ඇති නායකයකු ලෙස බව පැවසූ ජනාධිපතිවරයා ජාවාරම්කරුවන්, පාතාලයන්, අපරාධකරුවන් සහ දූෂිතයන් සමඟ තමා සටන් වදින්නේද පිට කොන්දක් ඇති නායකයකු ලෙස බව කියා සිටියේය.

"පිටකොන්දක් ඇති කරන්න ඕන විවේචන කරන එක නෙමෙයි. ජාවාරම්කරුවන්ගෙන්, අපරාධකරුවන්ගේ හා දූෂිතයන්ගෙන් රට ගලවා ගැනීමට ගෙන යන සටනට ඒ අය සහාය ලබාදිය යුතුයි. රට ගොඩ නැඟීමට ඒ අය එකතු වෙන්න ඕන. විවේචන අපිට අවශ්‍යයි. හැබැයි ඒ විවේචන රට හා ජනතාව නොමඟ යවන, ආණ්ඩු අපහසුතාවට පත් කරන විවේචන විය යුතු නෑ."ජනාධිපතිවරයා කීවේය.

මරණ දඬුවම ගැන මත විමසීමක්

මරණ දඬුවම ලබා දීම පිළිබඳ ජනතාවගේ මත විමසීමක් ජනාධිපති කාර්යාලය විසින් ආරම්භ කර තිබෙන්නේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීවය.

ප්‍රදර්ශන භූමියේ ඇති ජනාධිපති කාර්යාලය ඉදිරිපත් කරන ප්‍රදර්ශන කුටියේදී මෙම මත විමසීම සිදු කරනු ලැබේ. ‘කුඩු ජාවාරම්කරුවන්ට, ස්ත්‍රී දූෂන්ට, මිනී මරුවන්ට මරණදඬුවම දිය යුතු ද?‘ යන්න මෙහිදී විමසීමට ලක් කෙරේ. එයට අවශ්‍ය ප්‍රතිචාර විශේෂ ස්පර්ශක තිරයක් භාවිතයෙන් ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාව ලබාදී ඇත.

එජාප කණ්ඩායම් රැස්වීම උණුසුම් වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ සතියේදී අරලියගහ මන්දිරයේදී රැස්වූයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ය. කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම අවධානය යොමු වූයේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම පිළිබඳවය.

"උපාධිධාරීන් දහසයදහසකට රැකියා ලබාදෙනවා. මේ වන විට ලැයිස්තු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී තිබෙනවා. මේ ලැයිස්තු අරගෙන තමන්ගේ නම් තෝරලා දෙන්න කියන්න." අගමැතිවරයා කීවේය.

"අපි වෙනම ලැයිස්තු තෝරන්න අවශ්‍ය නෑ. ඉල්ලුම් කරලා තියෙන හැමෝටම අපි රැකියා ලබාදෙමු." සජිත් යෝජනා කළේය.

මේ අතර මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවත් අවධානය යොමුවිය. සජිත්ගේ නම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් යෝජනා කළේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ඇදී ආ කතාබහේදීය. මේ අතර සජිත්ද අදහස් දක්වමින් රවි කරුණානායක ඇමතිවරයාට චෝදනා කරන්නට විය. තිනියාවල පාලිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන්ට එල්ල කරන චෝදනා ගැනත් මෙහිදී අවධානය යොමුවිය.

සජිත්, රවිට චෝදනා එල්ල කරන විට ඔහු කණ්ඩායම් රැස්වීමේ සිටියේ නැත. කණ්ඩායම් රැස්වීම මැදදී පැමිණි ඔහු සජිත්ගේ චෝදනාවලට පිළිතුරු දුන්නේ සජිත්ටද චෝදනා කිහිපයක් එල්ල කරමිනි.

"මේ සජිත් ඇමතිතුමාට ජනාධිපතිතුමා එක්ක ඩීල් තියෙනවානේ..." රවි කීවේය.

"ජනාධිපතිතුමා එක්ක මම සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ අගමැතිතුමායි, අපේ පක්ෂයයි ආරක්ෂා කරන්න." සජිත් පිළිතුරු දුන්නේය.

"අපි සජිත් ඇමැතිතුමා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරමු." අජිත් පෙරේරා යෝජනා කළේය.

"අපේක්ෂකයා තෝරන්න කලින් වැඩපිළිවෙළ මොකක්ද කියලා තීරණය කරන්න ඕන. අපේ සන්ධානය හදාගන්න ඕන. එකඟතා හැදෙන්න තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමයට මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්න ඕන. ඒවා කරලා තමයි මොකද කරන්නේ කියලා තීරණය කරන්න ඕන වෙන්නේ." අගමැතිවරයා කීවේය. මේ අවස්ථාවේදී අජිත් පෙරේරා ඇතුළු කිහිපදෙනෙක් එළියට ආවේ, “සජිත් තමයි.. සජිත් ස්ථිරයි” කියමිනි.

කිරිඇල්ල ගැන අගමැති විමසයි

ගෙවීගිය සතිය තුළ රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීම අගමැතිවරයා අතින් සිදු කෙරිණ. එහිදී හංවැල්ල ප්‍රදේශයේ කඩ කාමර 50ක් හා පොදු වෙළෙඳ සංකීර්ණය, ක්‍රීඩා පිටිය මෙන්ම අලුතින් කාපට් කළ මාර්ග ජනතා අයිතියට පැවරිණ. සාලාව පිපුරුමට අදාළ ඉතිරි වැඩකටයුතු නිම කිරීමේ පදනමද එහිදී දැමිණ. එම කටයුතු නිම කිරීමට ඇමති චම්පික රණවක විශාල වගකීම් ප්‍රමාණයක් ඉටුකොට තිබිණ. අනතුරුව බදාදා අනුරාධපුරයට ගිය අගමැතිවරයා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි ප්‍රදර්ශනය විවෘත කළ අතර ප්‍රදර්ශන කුටි 360කට අධික ප්‍රමාණයක් ඊට අන්තර්ගත විය. අනතුරුව මෙරට නිපදවෙන එළවළු සහ පලතුරු ඇතුළු බෝග ආරක්ෂිත ගබඩා පහසුකම් නොමැතිකමින් විනාශ වී යාම වැළැක්වීම සඳහා නවීන තාක්ෂණයට අනුව සැකසූ බෝග සුරැකීමේ අපනයන මධ්‍යස්ථානවල පළමුවැන්නද එහිදී විවෘත විය. ඇමති දයා ගමගේ යටතේ එය ඉදිවූ අතර ලක්ෂ 300ක් ඒ සඳහා වැයකර තිබිණ. එම උත්සව සඳහා මංගල, කබීර්, මලික්, හැරිසන්, චන්ද්‍රානි, ඉරාන් ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්විණ. එදින එකී සියලු මැති ඇමතිවරු අනුරාධපුරයේ රාත්‍රිය ගතකළ අතර අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම ගුවනින් කොළඹට පැමිණියේ මාධ්‍යකරුවන් ඇතුළු මැති ඇමතිවරුන් හමුවීමට හා වජිර අබේවර්ධන රුපියල් දසලක්ෂ 5,583ක වියදමින් ඉදිකළ තට්ටු 20කින් යුත් නව අමාත්‍යාංශ හා කොළඹ දිසා පරිපාලන මධ්‍යස්ථානය විවෘත කිරීමට යෑමටය.

"කෝ අපේ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමා, තාම රටද?” අරලියගහ මැදුරට ඇතුළුවෙන ගමන් අගමැතිවරයා විමසීය.

"ආ.. සභානායකතුමාගෙ පුතා බැරිස්ටර් විභාගයට පාස් වුණු උපාධි ප්‍රදානෝත්සවයට මුළු පවුලම එංගලන්තෙ ගිහින්. පාර්ලිමේන්තු කටයුතුත් ඔක්කොම මට පවරලා ගියාට එහේ ඉඳගෙනත් ඇමතුම් දිදී අධීක්ෂණය කළා." ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පිළිතුරු දුන්නේය.

"එදා එජාප කණ්ඩායම් රැස්වීමේදී මොකද වුණේ? මට එන්න බැරිවුණා කියලත් කිරිඇල්ල ඇමතිතුමා කිව්වා." ගයන්ත වැඩිදුරටත් කීවේය.

"පාර්ශ්වවලට බෙදෙන්නේ නැතිව ගැටුම් ඇතිකර නොගෙන තත්ත්වය පාලනය කරගන්න අගමැතිතුමා වගේම සජිත් ඇමතිතුමාත් ක්‍රියාකිරීම ඉතා වටිනවා. එදා එක්කෙනෙක් කතා කරලා වාඩිවෙනකොට තව එක්කෙනෙක් නැඟිටලා රැල්ලක් හැටියට යවන්න හැදුවත් ඒක දෙපැත්තටම සමබර විදියටයි ගියේ. අන්තිමට ජයවික්‍රම ඇමතිතුමා හොඳ දෙයක් කිව්වා. එජාප එකඟතාවෙන් පස්සෙ එජාප නායකයන් එක්කත් කතා කරලා අවසන් තීන්දුව ගන්න යෝජනා වීම නායකතුමා වගේම අනිත් සජිත් පාර්ශ්වයත් පිළිගැනීම ඉතා වටිනවා’. එජාප උපදේශකයෙක් කළ විග්‍රහය එසේය.

"සන්ධානය ඕනද නැද්ද? එජාපෙට තනියම දිනන්න පුළුවන්ද? කියල මම ඇහුවම හැමදෙනාම පිළිගත්තා සන්ධානය අවශ්‍යයි කියලා." අගමැතිවරයා කීය.

"ඒ සන්ධානය හැදුනම 50%යි + 1 බලයක් එජාපයට ලැබෙනවා. අනික නායකත්වය තියෙන්නෙ අපිට නම් අනවශ්‍ය බියක් ඇතිකර ගන්න ඕනෙ නෑ." අගමැතිවරයා පැහැදිලි කළේය.

"දැන් ඔය සන්ධානෙ ලේකම්කම කාටද යන්නෙ? රාජිත ඇමතිතුමාටද?" හේෂා විතානගේ ප්‍රශ්න කළේද අගමැතිගෙනි.

"සන්ධානෙ හදන්න මූලික වුණේ රාජිතයි. ලේකම්කම ගැන මට ප්‍රශ්නයක් නෑ. බහුතර පක්ෂ නායකයන් කැමති කෙනාට ලේකම් වෙන්න පුළුවන්. ඒක රාජිතද වෙන කෙනෙක්ද අපි ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ. මොකද මේ ඔක්කොම එජාපෙ අපේම අයයි." අගමැතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.

රනිල් - මංගල රහස් කතා

"ඊයෙ අනුරාධපුරයෙදි අගමැතිතුමයි මංගල, මලික්, කබීර්, ඉරාන් ඇතුළු කට්ටිය එකටයි හිටියෙ කියල ආරංචියි. එතනදි මොනවා කතා කරගත්තද දන්නෑ නේද?" ගයන්ත කරුණාතිලක විමසුවේ දැඩි සිනහවක්ද පාමිණි.

"නෑ අපි රෑ හම්බ වෙලා ඩිනර් ගත්තා. එච්චරයි. කෑම කනකොට කෑමවලට අවධානය යොමු කරනවා මිසක් කතා කරනවා හෝ වෙන දෙයක් නොකළ යුතුයි කියලා බෞද්ධ දර්ශනයේ තියෙන පිළිවෙත අපි හැමෝම ඊයෙ අනුගමනය කළා" අගමැතිතුමා එසේ කී විට සියලුදෙනාම කොක්හඬලන්නට විය.

"මේ රටේ පාසල් දරුවන්ට කිරි වීදුරුවක් දීම ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම ඉතා වටිනවා. ඒ වැඩේට එතුමාගෙත් මගෙත් මුළු ආණ්ඩුවෙත් දැඩි කැපවීමක් තිබුණා. ඒක අපි අයවැය යෝජනාවක් හැටියටත් පොරොන්දු වුණු එකක්. මේකට මිලියන දහස් ගාණක් වැයවෙනවා. ඒකට ප්‍රශ්නයක් නෑ. දරු පරපුර රටේ අනාගතය නිසා ඔවුන් පෝෂණය කිරීම අපේ වගකීමයි." අගමැතිවරයා කතා කළේ සතුටු සිතිනි.

රවි කරන වැඩ

රවි කරුණානායක ඇමැතිවරයාගේ දුරකථනයට පසුගිය දිනවල නිවාඩුවක් තිබුණේ නැත. වෙනදාට දේශපාලනඥයන්ගෙන් එන ඇමතුම් වෙනුවට මේ සතියේ තිබුණේ ගාල්ල මාතර ප්‍රදේශවල ජනතාවගෙන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන්ය. ගාල්ල, මාතර ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව හා සුළං නිසා විදුලි රැහැන්වලට හානි වී විදුලිය විසන්ධි වී තිබීම නිසා රවි ඒ ගැන සොයා බැලුවේ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමග සෘජුව සම්බන්ධ‌ වෙමින්ය.

චම්පිකගෙන් වරාය නගරය ගැන අලුත් කතාවක්

මේ දිනවල චම්පික රණවක අමාත්‍යවරයාද කාර්යබහුලය. එජාපය තනන නව සන්ධානයේ සෑහෙන බරක් ඔහුටද පැවරී තිබේ. මේ අතර කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක්කිරීමේ යෝජනාව අවස්ථාවේ චම්පික විශේෂ කරුණක් සිහිපත් කළේය.

“වරාය නගරය මූල්‍ය නගරයක් ලෙස ගොඩනඟන බවට අපි අරමුණක් දුන්න. ඩුබායි, හොංකොං, සිංගප්පූරුවල නගර අධ්‍යයනය කරලා අපි නව නීති පද්ධතියක් හදනවා. ඒ අනුව මෙම මූල්‍ය නගරයේ කටයුතු සිදුකරනවා. රුපියල් බිලියන 65ක වියදමින් එයට අදාළ ප්‍රධාන ගොඩනැල්ල මේ වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන්න අපි සැලසුම්කර තිබෙනවා. ලෝක මූල්‍ය මධ්‍යස්ථානය ලෙස එය නම්කරනවා.'ඔහු කීවේය.

යොවුන් පෙරමුණත් වැඩට බසී

එක්සත් ජාතික පක්ෂයේ නිළ තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණ බලගැන්වීමේ වැඩසටහන සහ නව කාර්යාලය විවෘත කිරීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව ඔවුන් පවසයි.

සජිත් ගෙන් අලුත් වැඩක්

මේ අතර සජිත් ප්‍රේමදාස ඇමතිවරයාද පසුගිය සතියේදී ගාල්ලට ගියේ නිවාස ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටය. ගාල්ලට ගිය සජිත්ගෙන් ප්‍රදේශයේ දේශපාලනඥයන් විමසුවේ ඉදිරි නිවාස ව්‍යාපෘති පිළිබඳවය.

"දැන් තනි තට්ටුවේ නිවාස වෙනුවට තට්ටු නිවාස හදන්න යනවා." සජිත් කීවේය.

"ඒක වැදගත් තීරණයක්. මොකද කර්මාන්ත, නගර සංවර්ධනය ඇතුළු විවිධ කටයුතු වෙනුවෙන් ඉඩම් කළමනාකරණය කරන්න යනකොට ගැටලු ඇතිවෙන්න පුළුවන්." ගයන්ත කියන විට සජිත්ද ඒ කතාව අනුමත කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ නිවාස විවෘත කිරීමකට ඉන්පසුව ගිය සජිත් බණ්ඩාරගම පහතවත්ත රජමහා විහාරස්ථානයේ පුරාවිද්‍යා කෞතුකාගාරයකට මුල්ගල් තැබීමට ගියේය. එම විහාරස්ථායේ ඉපැරණි ඇත් පවුර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් සංරක්ෂණය කරනු ලැබ ඇති බව සජිත් දැනගත්තේ එහි ගිය පසුවය.

ගෝඨා පිළිගන්න කවුරුවත් නෑ

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම කියවෙන ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණියේ අඟහරුවාදා රාත්‍රියේදීය. ඔහු බදාදා ලංකාවට ඒමට නියමිතව තිබුණත් ලංකාවට පැමිණීම තරමක් කල් යනු ඇතැයි අදහසක් මතුවූයේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් යහපත් වනතුරු සිංගප්පූරුවේ රැඳී සිටිය යුතු බව වෛද්‍යවරු කී නිසාය.

එහෙත් පසුගිය සිකුරාදා පළමුවරට රාජපක්ෂ පවුලේ අයෙක් ගෝඨාභය බැලීමට ගියේය. ඒ රෝහිත රාජපක්ෂය. රෝහිත රාජපක්ෂ සමඟ සිංග්පූරුවේ සිට කලින් නියම කරගත් දිනයේදී ගෝඨාභය ලංකාවට පැමිණියේය. කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් පිටතට පැමිණි ඔහු හා රෝහිත රාජපක්ෂ මාධ්‍යටත් වසන් වෙමින් පිටත්ව ගිය අතර ඔහු පිළිගැනීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පැමිණ සිටියේද නැත.

"ඔහු තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වෙලා ලංකාවට ආවේ. මේක දේශපාලන තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා තමයි දේශපාලන වැඩක් විදියට මේක සූදානම් නොකළේ." පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේ ගැන කීහ.

ගෝඨා එනවද,නැද්ද?

මේ අතර මීළඟ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටු පාර්ශ්වයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව බොහෝ දෙනා පවසති. නමුත් තාමත් ඔහුගේ ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කටයුතු නිමා වී නැත. මාර්තු 31න් අවසන් වන ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරන ලැයිස්තුවේ ඔහුගේ නම නැති වීමත් සමඟ ඔහුගේ අපේක්ෂකත්වය ගැන දෙගිඩියාවක් මතුව තිබේ.

ගෝඨා එන බවක් මම කියා නෑ - මහින්ද

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වනබව තමන් කිසිදු විටෙක පවසා නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවසීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය. බැසිල්, ගෝඨාභය රාජපක්ෂ පිරිවරා සිටින විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිපදෙනා සහ අන්ත ජාතිවාදී කුඩා පක්ෂ නායකයන් ඔහු වටා සිටිනතුරු ගෝඨාභය රාජපක්ෂට සුළුජන ඡන්ද ආකර්ෂණය කරගැනීම සම්බන්ධව විශ්වාසයක් නොමැති බව පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මෙන්ම ඔහුගේ උපදේශකයන් අතරද කතාබහක් නිර්මාණය වී තිබේ.

අනෙක් අතට සුළු ජාතික පක්ෂ කිසිවක් සාකච්ඡාවකටවත් ගන්නට නොහැකි වී ඇත්තේ ගෝඨා නිසා බවට චෝදනා එල්ල වී තිබේ.

පොහොට්ටුවෙන් නම් 5ක්?

මේ අතර පොහොට්ටු පාර්ශ්වයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ සමඟ තවත් 4 දෙනකුගේ නම් එම පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා යෝජනා වී තිබෙන බවයි. චමල්,බැසිල්,දිනේෂ්,මෙන්ම සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ නමද ඒ අතර වෙතැයි පැවසේ.

එජාපයට පහසු අශ්වයා කවුද?

එහෙත් එජාපය කැමති ගෝඨාභය එනවානම් යැයි ඔවුන් පවසයි. ‘පරාජය කිරීමේ පහසුම අශ්වයා’ ඔහු බව එජාපයේ මතයයි.

“එයාට තරම් චෝදනා වෙන කාටද තියෙන්නේ. එහෙම වුණොත් එයා එක්ක දේශපාලනිකව බේරා ගන්න ගනුදෙනු ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවේ මේ රටේ සුළු ජාතීන් පවා එයාට විරුද්ධයි”

එජාපයේ මන්ත්‍රීවරයෙක් කීය.

මාතෘකා