එක ජයක් ලැබුවාම සියල්ල අමතක වන රටක්

 ඡායාරූපය:

එක ජයක් ලැබුවාම සියල්ල අමතක වන රටක්

මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමැතිවරයාගේ දේශපාලන දිවියේ තිස්වසරක ගමන්මග පිළිබඳ නිහාල් ජගත්චන්ද්‍ර විසින් රචිත “මංගල සමරවීර ’ ග්‍රන්ථය ජනගත කිරීම නිමිත්තෙන් ජූලි 07දා රුහුණ විශ්වවිද්‍යාලයේ රවිද්‍රනාත් තාගෝර් රංග ශාලාවේ පැවති උත්සවයේ අමතමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිදුකළ මුඛ්‍ය දේශනයේ අවසන් කොටස.

කැරලි විනාශ කරනකොට කැරලි මර්දනය කරනකොට රජයටත් බරපතල හානි සිදුවුණා. රජයටත් රාජ්‍යයටත් බරපතළ තුවාල සිද්ධවුණා. අද ඇත්තටම රාජ්‍ය තිබෙන්නේ හුඟක් තුවාල වෙච්ච තත්ත්වයක. ඒ වගේම මතක තියාගන්න ඔය කැරලි නිසා ඇති වෙච්ච තත්ත්වයක් තමයි කැරලිකාරයොයි කැරලි මර්දනය කරන අයයි උපරිම තත්වයේ කෘෘරත්වයක් මේ සමාජය මත මුදා හැරියා. ඒකත් වශාල විදිහට සමාජය විකෘති කරන්න හේතුවක් වුණා.

යුද්ධය ජයගත්ත නායකයාගේ පරාජය !

අපිට යම් විරාමයක් ලැබුණා අභ්‍යන්තර යුද්ධය අවසන් වුණාට පස්සේ. මොළේ තියෙන රටක් නම්, රටේ පාලකයෙන්ට මොළේ තිබුණා නම් ආපස්සට හැරී බැලීමට යාමට තිබුණු කදිම අවස්ථාව තමයි ඒ අවස්ථාව. ඇයි මෙහෙම වුණේ ඇයි මේ කොල්ලෝ කෙල්ලෝ කැරලි ගැහුවේ. ඇයි මේ රාජ්‍ය මේ තරමට දූෂිත වෙලා තියෙන්නේ, ඇයි රාජ්‍ය මේ තරමට අකාර්යක්ෂම වෙලා තියෙන්නේ කියලා හැරිලා බලලා අවශ්‍ය කරන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇති කරන තැනකට ගියා නම් අපේ තත්ත්වය මීට වඩා වෙනස්. ඒත් අපි එහෙම ගියේ නැහැ. අපි ඒක මුළුමනින් නොසලකා හැරියා. ලබපු ජයග්‍රහණය සන්තෝෂ වෙලා ඒ සියල්ල අමතක කරලා ජයග්‍රහණයෙන් විතරක් අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතුණා.

ඒ නිසා තමයි ඇත්තටම ඒ යුද්ධය ජයගත්ත නායකයා පරාජයට පත් වුණේ. මොකද තිබිච්ච අර්බුදයට වඩා ලොකු අර්බුදයක් රටේ ඇති වුණා. ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලය අහිමිවෙලා යහපාලන ආණ්ඩුවට බලය ලැබුණේ.

බැරෑරුම් ප්‍රශ්න තියෙනවා රටේ, 'අපි ඔක්කොම එකතුවෙලා මේවා වෙනස් කරන්න ඕනේ', එහෙම නැත්නම් රටට අනාගතයක් නැහැ, එහෙම කියන හැඟීමක් නැහැ දේශපාලනයේ ලොකු වෙනස්කම් ඇතිවෙලා තියෙනවා. අද අපි කොච්චර නරක තැනකද ඉන්නේ කිව්වොත් මම හිතනවා සමාජයක් හැටියට අපි අවුල් ජාලාවක ඉන්නේ. රාජ්‍යයක් හැටියටත් අපි අවුල් ජාලාවක ඉන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත බඩපිනුම් ගහපු රටක් !

රටකට ආණ්ඩුක්‍රමයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. අපිට තියෙන්නේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කඩමල්ලක්. ලංකාවේ සියලුම රාජ්‍ය නායකයෝ පාලක පක්ෂ ලංකාව කවදාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට ගරු කරපු රටක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත බඩපිනුම් ගහපු රටක්. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරල තියෙන සංශෝධනවලින් වැඩි හරියක් ආණ්ඩුක්‍රමය දූෂණය කිරීමේ තමන්ගේ බලය තර කර ගැනීමේ පටු අරමුණින් ඇති කරගත්ත සංශෝධන ලෙස සලකන්න පුළුවන්.

අද ඒකේ අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මොකක්ද? ඇත්තටම ලොකු වාදයක් තිබුණා ලංකාවේ ජනාධිපති ආණ්ඩුක්‍රමයද හොඳ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයද කියලා. අන්තිමට ජනාධිපති ආණ්ඩුක්‍රමය හොඳ නැහැ, පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට යා යුතුයි කියලා 19 වැනි සංශෝධනයක් ඇති කර ගත්තා. ඒ ඇති කරගත්ත ආකාරයේ ලොකු ගුප්ත බවක් තියෙනවා. ඒ 19 වැනි සංශෝධනය නිසා දැන් පරන ජනාධිපති අලුත් ජනාධිපති අතර ලොකු වෙනසක් තියෙනවා. ඉස්සර හිටපු ජනාධිපති හරි බලවත්. රාජ්‍යයේ සකලවිධ බලය ඒකරාශීවෙලා තිබුණේ ජනාධිපති අතේ.

ජනාධිපති වෙනස් කළාම මුළු රාජ්‍යයම වෙනස්වුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කිව්වා ජනාධිපතිට කරන්න බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැණියෙක් කරන්නත් පමණයි කියලා. ඒ කතාව ඇත්ත. නමුත් අද තත්ත්වය ඊට සපුරා වෙනස් අද විධායක බලය ජනාධිපතිට නැහැ. විධායක බලය අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය අතටයි ගිහිල්ලා තියෙන්නේ.

ලෝකයේ නාමමාත්‍රික ජනාධිපතිවරු මහජන ඡන්දයෙන් තෝරන ක්‍රමයක් තියෙනවද?

දැන් කල්පනා කරන්න, මම වැඩිය ආසයි මෙතන ගොඩක් දේශපාලන නායකයෝ ඉන්න නිසා එතුමන්ලගෙන් ප්‍රශ්නයක්, ලෝකයේ නාමමාත්‍රික ජනාධිපතිවරු මහජන ඡන්දයෙන් තෝරන ක්‍රමයක් තියෙනවද? ඒ ඡන්දය සඳහා වියදම් කරන්න බලාපොරොත්තු වන වියදම කොච්චරද? කෝටි කීයක්ද? ඇත්තටම විධායක බලයක් ජනාධිපතිට නැත්නම් ඇයි මේ විකාරයක් කළේ. මොකක්ද මේකේ තේරුම? අවසානයේ 19 ආණ්ඩුවට දොස් කියනවා විරුද්ධ පක්ෂය, විරුද්ධ පක්ෂයට දොස් කියනවා ආණ්ඩුව. එහෙම නෙවෙයි ඒක පොදු එකඟතාවයකින් කළේ ඒකේ හොඳ නරක මොනවා වුණත් ඒක හොඳටම පේනවා.

දේවල් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී ව්‍යවස්ථාදායකයට විතරක් නෙවෙයි මේක විධායකයටත් සම්බන්ධ ප්‍රශ්නයක්. තමන්ගේ යුතුකම් හා වගකීම් හරියාකාරව ඉටු නොකරන තත්ත්වයක් රටේ තියෙනවා. ඒ නිසා විශාල වන්දියක් ගෙවන්න රටට සිද්ධ වෙලා තියෙනවා.

"මැතිවරණ ක්‍රමය සකස්කරලා තියෙන්නේම මූල්‍ය බලය බරපතළ විදිහට සීමා කෙරෙන ආකාරයට.. එත්.."

අපි මෙහෙම කතාකළොත් ලෝකයේ සෑම තැනකම ප්‍රජාතන්ත්‍රවාදයේ එක ලක්ෂණයක් තමයි, සල්ලිවලට මහජනතාවගේ පරමාධිපත්‍ය බලය මිලදී ගන්න බැහැ කියන එක. ඒ නිසා මැතිවරණ ක්‍රමය සකස්කරලා තියෙන්නේම මූල්‍ය බලය බරපතළ විදිහට සීමා කෙරෙන ආකාරයට. මැතිවරණ අරමුදල්, අපේක්ෂකයන්ගේ අරමුදල්, අපේක්ෂකයන්ගේ වියදම්, මේ ‌දේවල් ඉතාම දරුණුවට සීමා කරන ආකාරයට සෑම රටකම වගේ.

අපේ රටේත් හැත්තෑව දක්වා ඔය සියලු දේ තිබුණා. මැතිවරණ කොට්ඨාසයකට තරග කරන කෙනෙකුට මම හිතනවා පරණ අය දන්නවා, ඒ කියන්‌නේ රුපියල් පන්දාහයි උපරිමයකට වියදම් කරන්න පුළුවන්කම තිබුණේ. රුපියල් පන්දාහ වියදම් කරලා හරියන්නෙත් නැහැ ඒ කියන්නේ ලොකු වියදම් වාර්තාවක් ලබා දෙන්න නියමිතව තිබුණා මැතිවරණ දෙපාර්තමේන්තුවට.

සාමාන්‍යයෙන් කියන්නේ ජනාධිපතිවරණ වියදම ප්‍රධාන පක්ෂ දෙකේ රුපියල් බිලියන තුනක් හැටියටයි. සාමාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයකට රුපියල් මිලියන 250කට වැඩිය වියදම් කරපු අවස්ථාත් තිබුණා. මේ මොකක්ද? කාගෙද මේ වැරැද්ද? ඇත්තටම 1977 ඉඳලා අද දක්වාම, මේ සඳහා නීති සකසා ගන්න ලංකාවට බැරිවුණාද? අද ලොකු සල්ලියක් වියදම් කරන කෙනෙකුට පමණයි මැතිවරණයක් ජයගන්න පුළුවන්.

ඉස්සර මහජන නියෝජිතයන්ට අයථා ලෙස ධනය උපයන්න බැහැ. ඒක නීති විරෝධී. අද එහෙම දෙයක් නැහැ ඇත්තටම. අද මන්ත්‍රීවරුන්ට බාර් ලයිෂන් තියෙනවා. ඒ වගේම තමයි වැලි පර්මිට් තියෙනවා, පස් පර්මිට් තියෙනවා, ගල් පර්මිට් තියෙනවා, ප්‍රතිඅපනයන පර්මිට් තියෙනවා. මේවා බෑ, ලෝකයේ ඉතාමත් දැඩි නීති රීති තියෙන්නේ. අපි ඇත්තටම අපේ රටේ අසමත්කමට අපි කවුරුත් වගකියන්න ඕනේ.

ඒ වගේම තමයි රටේ දේශපාලකයොත් රාජ්‍ය නිලධාරීනුත් විශාල ප්‍රමාණයකට වගකියන්න ඕනේ. මම කරන්නේ දෝෂාරෝපණයක් නෙවෙයි. මම අහන දේ මේ විදිහට කොච්චර දුර යන්න පුළුවන්ද? කොච්චර දුර යයිද? කොච්චර විනාශයක් වෙයිද? දේශපාලකයන් වශයෙන්, දේශපාලකයන්ට යුතුකමක් වගකීමක් නැද්ද? මේ ප්‍රතිසංස්කරණ නොසලකා පරණ ක්‍රමය, මම කැමතියි ඒකට දූෂිත ක්‍රමය කියන්න.

''77ට පෙර ලංකාවේ දේශපාලන නායකයෝ හොරකම්කරේ නැහැ''

77ට පෙර ලංකාවේ දේශපාලකයෝ අදක්ෂ වෙන්න පුළුවන් 77ට පෙර ලංකාවේ දේශපාලන නායකයෝ හොරකම්කළේ නැහැ. තමන්ගේ පොකැට් එකෙන් වියදම් කළේ. දේශපාලනය නිසා මිනිස්සු දුප්පත් වුණා. 77න් පස්සේ දේශපාලනය නිසා මිනිස්සු දුප්පත් වුණේ නැහැ.

ඇයි මෙහෙම ක්‍රමයක් තියාගෙන ඉන්නේ? හොඳටම සෑම තැනක්ම දූෂිත බව පෙනෙනවා නම් ඒ සඳහා ඒ කියන්නේ අවශ්‍ය ප්‍රතිසංස්කරණවලට නොයන්නේ ඇයි? වතුකරයේ උතුරේ උඩරට දෙමළ ජනයාගෙන් කවුරුහරි පිරිසක් ත්‍රස්තවාදයට ගියත් මම පුදුම වෙන්නේ නැහැ. මේවා ගැන කිසිම සොයා බැලීමක් නැහැ.

අලුත් අලුත් කණ්ඩායම් එකතුවෙනවා. මේවට කාලයක් නෑ. පාර්ලිමේන්තුවේ හොඳ වාද විවාද නැහැ. ඇත්තටම වාද විවාදවලට ඉඩක් නැහැනේ, ඒ කියන්නේ වෙන කටයුතුවලටනේ තියෙන්නේ. ඉතින් මම හිතන දේ තමයි රටේ දේශපාලකයොත් රටේ නිලධාරීනුත් සමාජයේ ඉන්න බුද්ධිමත් අයත් බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුයි, මේ විදිහට ලංකාවට යන්න පුළුවන්ද?

2015 ජයග්‍රහණයට පෙරත් පසුවත් ඒකට නම් මට හිනාවක් තිබුණා 'ආපෝ ජනවර්ග ප්‍රශ්න, ඒ ප්‍රශ්නවලට නම් අත තියන්න එපා, ඒවා අපි පස්සේ බලාගමු' 'සරල ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා වෙමු' කියන පාඨය යටතේ රටට අවශ්‍යම වැදගත් වෙනස්කම්වලට අත නොතබා මාරුවෙන ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. මේක අනාගතයේත් වෙයි. ඒකට ඉඩ තැබීම හරිම භයානකයි.

''තරුණයන්ට හැඟීමක් තියනවා මේ රට ජීවත් වීමට සුදුසු රටක් නෙවෙයි කියලා"

අපි කවුරත් තේරුම්ගන්න ඕන දෙයක් තමයි අපේ කාලය අවසන්, නමුත් මේ රටේ තරුණයන් අතර හැඟීමක් තියෙනවා මේ රට ජීවත් වීමට සුදුසු රටක් නෙවෙයි කියලා. කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයක් කරලා පොතක් හැටියට පළකරලා තියෙනවා ඒගොල්ලන්ගේ දත්ත. ඒ දත්ත අනුව ලංකාවේ තරුණ පරපුරෙන් 50%කට වඩා වැඩි පිරිසක් මට හරියටම කියන්න බැහැ, සියලුම වර්ගයේ, ඒකෙ තියෙනවා පොදුවේ අරගෙනත් සිංහල, දෙමළ, මුස්ලිම් හැටියටත් අරගෙන තියෙනවා. නමුත් බහුතරයක් හිතන්නේ ලංකාවෙන් පිටවිය යුතුයි. ඒ අය අතරිනුත් තව ලොකු පිරිසක් හිතනවා, ලංකාව ජීවත්වීමට සුදුසු තැනක් නෙවෙයි කියලා.

මේ කාරණා ලංකාව බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු නැද්ද? ජනාධිපතිවරණයට ආණ්ඩුව කීයක් වියදම් කරනවාද? ජනාධිපති විධායක බලය නැති කෙනෙක් නම් රට පුරා ලංකාවේ මැතිවරණ කොට්ඨාසයක් හැටියට සලකලා ඡන්දයකට යෑමෙන් විශාල වියදමක් දරන්න වෙනවා විතරක් නෙවෙයි එසේ බලයට පත්වන ජනාධිපතිවරයාගෙ ඔළුවටත් නරක අදහසක් ලබා දෙන්න හේතු වෙනවා ව්‍යවස්ථාවේ බලය නැතත් මාව තෝර ගත්තේ මුළු රටේම ජනයා ඒ නිසා මටත් ලොකු බලයක් අවශ්‍යයි කියලා, වාද කරන රන්ඩු කරන තැනකට යන්න ඉඩ තියෙනවා.

මේ වගේ දේවල් නිසා තව තව අපි අවුලට සහ අපේ අසමත්භාවයේ අග කොනකට තල්ලු වෙන්න ඉඩ තියෙනවා. මේවා ගැන ඇත්තටම ඇයි දේශපාලකයා කල්පනා නොකරන්නේ, මේවා ගැන ඇයි රටේ මහජනයා කල්පනා නොකරන්නේ, මේ විදිහට රටක් යන්න පුළුවන්ද? 48 ඉඳලා මේ රටේ මොනවද වෙලා තියෙන්නේ කියලා හොයා බලන්න යුතුකමක් නැද්ද? කිසිම දේශපාලන පක්ෂයක න්‍යායපත්‍රවල ඒ වගේ බරපතල දෙයක් කවර මට්ටමකින්වත් දකින්න නැහැ. හැම කෙනෙක්ම කල්පනා කරන බව පෙනෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ, අපි මෙහෙම යනවා, නමුත් ඇත්ත දේ සමහරවෙලාවට දේශපාලකයන්ට නොපෙනෙනවා ඇති.

''අපි ගිනි කන්දක ඉන්න බව අපේ රටේ සුක්කානම හසුරුවන පාලකයන්වත් උගතුන්වත් දන්නේ නැහැ.''

අපි රටක් හැටියට ඉන්නේ මහා ගිනි කන්දක් උඩ. ඒක කොයි වෙලාවක හිරි පුපුරන්න පුළුවන්. අපි සියලු දෙනාටම ලොකු අලාභ හානි වෙන්න පුළුවන් අවාසනාව තමයි අපි ගිනි කන්දක ඉන්න බව අපේ රටේ සුක්කානම හසුරුවන පාලකයන්වත් උගතුන්වත් දන්නේ නැහැ. ඉතින් මම මේක දීර්ඝව කතා කරන්නේ නැහැ, මුදල් ඇමතිතුමයි සම්බන්ධන් ඇමතිතුමයි තව ගොඩක් අය ඉන්නවා. මේ ඔක්කොම ලංකාවට අවශ්‍යව තිබෙන ව්‍යූහමය වෙනස්කම්වලට මේ රට තල්ලු කරන්නේ කොහොමද කියන එක බැරෑරුම් ලෙස හිතන්න. එහෙම නැත්නම් අපි දරුණු විනාශකාරී අරාජිකත්වයකින් තමයි අපේ ගමන අවසන් වෙන්නේ. ඒ වෙනුවෙන් අපිට ලොකු වන්දියක් ගෙවන්න සිදුවෙයි.''

මාතෘකා