ජන සහසභාගීත්ව නිවාස සංවර්ධනය සවිමත් කළ ජාතික නිවාස වැඩසටහනේ සිව් දශක සැමරුම

 ඡායාරූපය:

ජන සහසභාගීත්ව නිවාස සංවර්ධනය සවිමත් කළ ජාතික නිවාස වැඩසටහනේ සිව් දශක සැමරුම

 

ලක්විජය සාගර පලන්සූරිය

සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් උසුලන රාජ්‍ය ආයතන නිරන්තරයෙන් සිදුකරන්නේ තම ආයතනයට රජයෙන් ලැබුණු අරමුදල් දායක කරගනිමින් සිය ඉලක්කගත සංවර්ධන වැඩසටහන් ඉටුකරලීමයි. එය බොහෝවිට රජය අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමක් හෝ එයට ආසන්න වීමක්, නොඑසේනම් ඉලක්ක සපුරා නොගැනීමක් විය හැකි වේ.

එසේ වුවද ජනතාවගේ සංවර්ධන අවශ්‍යතාවන් ඔවුන්ගේම සහභාගීත්වයෙන් රජය විසින් අපේක්ෂා කරනු ලබන ඉලක්කයන් කරා යොමුවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන් දුගී දුප්පතුන් හෝ අඩු ආදායම්ලාභිී ජනතාවගේ සංවර්ධන අපේක්ෂාවන් ඔවුන්ගේ සහභාගීත්වයෙන් රජය අපේක්ෂා කරන අයුරින් ක්‍රියාවට නැංවීම සැබෑ අභියෝගයකි. එය ජන සහභාගීත්ව සංවර්ධන ක්‍රියාදාමයක් සාර්ථක ලෙසින් ක්‍රියාත්මක කිරීමකි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම ක්‍රියාදාමය ජන අපේක්ෂාවන් ඉටුකරලමින් රජයේ සංවර්ධන ඉලක්කද සපුරාලමින් ඉටුකළ රාජ්‍ය ආයතනයකි. 1979 වසරේ ස්ථාපිත කෙරුණු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සිය ජන සහභාගීත්ව සංවර්ධන ක්‍රියාදාමයට වසර 40ක් සම්පූර්ණ කරයි.

මෙය සැබෑ ලෙසින්ම සැමරිය යුතු අවස්ථාවකි. එසේ හෙයින් එදා 1979 වසරේ අප්‍රේල් මාසයේ ස්ථාපිත කෙරුණු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සර සැමරුම

දීපව්‍යාප්ත සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසින් වර්තමානයේද ක්‍රියාත්මක කෙරෙන අතර එම සංවර්ධන ක්‍රියාදාමයට දායක වූ ප්‍රතිලාභී නිලධාරීන් හා සෙසු ක්‍රියාකාරීන් ඇගයීම ජාතික නිවාස දිනය යෙදුණු ජුනි මස 23 දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය. බොහෝ සාම්ප්‍රදායික ඇගයීම් උලෙළකට වඩා වෙනස් මගකට ගමන්ගත් මෙම සැමරුම් උලෙළේ විශේෂත්වය වූයේ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම 40 වැනි සංවත්සර සැමරුමට සහභාගී වීමයි.

පුරා දශක හතරක කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික නිවාස වැඩසටහන සමඟින් නිවාස ලක්ෂය වැඩපිළිවෙළ, නිවාස දසලක්ෂය වැඩපිළිවෙළ සහ පවුල් පහළොස් ලක්ෂයකට නිවාස පහසුකම් සැපයීමේ සංවර්ධන ක්‍රියාදාමය හා ඉන් අනතුරුව ජනඋදාව සහ ජනසෙවණ නිවාස සංවර්ධන ක්‍රියාදාමය මෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළට එදා දායකවූවන් හා වර්තමානයේ ක්‍රියාශීලී ලෙසින් සහභාගී වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම ජ්‍යේෂ්ඨ නිලධාරීහුද මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ. ඔවුන් සියලුදෙනා ඇගයීමට ලක්වීම මෙහිදී දැකගත හැකි වූ විශේෂිත ලක්ෂණයයි. එම ආයතනය ස්ථාපිත කළ අවස්ථාවේ සිට සේවයේ නිරත වූ සියලු සභාපතිවරුන් සමඟින් සාමාන්‍යාධිකාරීවරුන් හා එදා අද කාලපරිච්ඡේදය තුළදී දශක ගණනාවක සිය සේවා මෙහෙවර ඉටුකළ කාර්යමණ්ඩල සාමාජිකයන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිව්ශක සමරු උලෙළේදී ඇගයීමට ලක්විය.

අතීතයේ මෙම ආයතනික ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට දායකවූවන් මෙන්ම වර්තමානයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සිය නොමද දායකත්වය ලබා දෙන්නාවූ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමද මෙහිදී දැකගත හැකිවූ විශේෂිත දැක්මකි. එයට අමතරව දීපව්‍යාප්තව ක්‍රියාත්මක සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කරන දිස්ත්‍රික් කාර්ය මණ්ඩලයත් නිවාස සංවර්ධනය සඳහා ආයෝජිත මුදල් නිසි කළමනාකරණයකින් කටයුතු කරන දිස්ත්‍රික් කාර්යය මණ්ඩලයත් මෙම සංවත්සර උළෙලේදී විශේෂිත ඇගයීමකට ලක්විය.

මෙම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙම සංවත්සර සැමරුම එදා උදාගම් ව්‍යාපාරයේ සංවත්සර ක්‍රියාදාමය සිදුකෙරුණු, වත්මන් රජය විසින් ජාතික නිවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත්කෙරුණු ජුනි මස 23 වැනි දිනම පැවත්වීම සුවිශේෂි වන බවයි. එදා උදාගම් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට මෙන්ම වර්තමානයේ සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය සුවිශේෂී දායකත්වයක් ලබාදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඔවුන්ගේ සේවය අගය කරමින් මෙම සේවාවන්හි නියුතු සේවකයන්ගේ සේවා ස්ථිර කිරීම්, සෙසු පහසුකම් ලබා දීම් නොඅඩුව ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ ප්‍රමුඛතම ඉලක්කය වූයේ 2019 වසර අවසානයේදී නව ආදර්ශ ගම්මාන 2,500ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමයි. එසේ වුවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉතා කාර්යක්ෂමව කටයුතු කරමින් එම ඉලක්කය ඉලක්කගත දිනයට මාස කිහිපයකට ප්‍රථම ළඟාකර ගැනීමට කටයුතුකළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2025 වන විට සැමට සෙවණ ළඟා කිරීමේ අරමුණින් ගම්මාන 20,000ක් ඉදිකිරීමත් එහි පළමු පියවර යටතේ ආදර්ශ ගම්මාන 2,500ක් ඉදිකිරීම සඳහා වන කටයුතුත් දැනටමත් ආරම්භකර ඇති බවද කී අමාත්‍යවරයා, එහි දෙවන පියවර යටතේ නව ගම්මාන 5,000ක්, තෙවන පියවර යටතේ නව ගම්මාන 10,000ක් හා සිව්වන පියවර යටතේ නව ගම්මාන 2,500ක් ඉදිකරලීමට අපේක්ෂා කරන බවද පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේද කියා සිටියේය.

“එදා 1977 බලයට පත්වූ රජය රටේ ආර්ථිකය සකස් කිරීමට සමගාමීව ඉටුකිරීමට අපේක්ෂිත බලාපොරොත්තු දෙකක් තිබුණා. එයින් එකක් වූයේ හිසට නිවහනක් ලබා දීමයි. දෙවන අපේක්ෂාව වූයේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් හිමිකර දීමයි. 1977 වසරේ ගම්උදාව ව්‍යාපාරය බිහිවීමත් සමඟ මෙරට සංවර්ධන ක්‍රියාදාමයට එක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එදා අද කාලපරිච්ඡේදය තුළදී සුවිශේෂිී කාර්යභාරයක් ආරම්භ කර තියෙනවා. ඔවුන් ආරම්භයේදී නිවාස ලක්ෂය වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූවා. ඉන් අනතුරුව නිවාස දසලක්ෂයේ වැඩපිළිවෙළට දායක වූවා. එය නිවාස පහළොස්ලක්ෂයේ වැඩපිළිවෙළක් ලෙසින් ව්‍යාප්ත කළා. මේ වැඩසටහනේ සාර්ථකත්වය නිසාම විවිධ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, කොළඹ රාජකීය විද්‍යාලය වැනි විදුහල් මෙම නිවාස සංවර්ධන වැඩපිළිවෙළට එක්වූවා. නිවාස සංවර්ධනයට සමගාමීව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එදා රජය විසින් නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කරනු ලැබුවා.

“2015 වසරේ වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු අපි නිවාස අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට බාර දුන්නා. එතුමන් තම පියා ගිය අඩිපාරේ ගමන් කරමින් නිවාස සංවර්ධන වැඩපිළිවෙළ අද වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනවා. එතුමන්ගේ අමාත්‍යාංශයට ලබා දුන් මුදල සම්පූර්ණයෙන් වැය කිරීමට අමතරව ඔවුන් නිරන්තරයෙන්ම රජයෙන් නිවාස සංවර්ධන වැඩපිළිවෙළ සඳහා මුදල් ඉල්ලුම් කරමින් නිවාස සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට උත්සාහ ගන්නවා. ජනතාව සහභාගී කරගෙන සාර්ථක සංවර්ධන වැඩපිළිවෙළක් ඉලක්කගතව ක්‍රියාත්මක කිරීම පහසු කාර්යක් නොවේ. එනමුත් එය සාර්ථකව ඉටුකළ හැකි බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අද ක්‍රියාවෙන් ඔප්පුකර තිබෙනවා.”

මෙම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

“අප රටේ නිවාස සංවර්ධන විප්ලවය, පරිවර්තනය ඇති වුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවීමෙන් අනතුරුවයි. දුප්පත් ජනතාව වෙනුවෙන් විශිෂ්ටතම සේවාවක් එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ පාලන කාලය තුළ සිදුවූ බව අප පිළිගත යුතුයි. ප්‍රේමදාස මැතිතුමන් එදා අප රටේ ප්‍රශ්න හොඳින් අවබෝධ කර ගත්තා. ඒ තුළින් තමන් දුප්පත් මිනිසාට නිවාස තැනීමේ වැඩපිලිවෙළ එතුමා එදා ආරම්භ කළා. උදාගම් වැඩසටහන මෙම රටේ නිවාසකරණයේ නවෝදයක්, විප්ලවයක් සහ පරිවර්තනයක් සිදුකළා.

“ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වසර 40ක කාලයක් සම්පූර්ණ වන මෙම අවස්ථාවේදී එදා මෙදා සේවය කළ කාර්ය මණ්ඩලය අගය කිරීම ඉතාමත් වැදගත්. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක සේවය අප විශේෂයෙන් අගය කරන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් සිය සේවාවන් කැපකළ ආයතනයක් ලෙසයි. එවැනි ආයතනයක වසර 40ක දීර්ඝකාලීන සේවය සැමරීම විශේෂයෙන් ඇගයිය යුතුයි. ඒ නිසාම මම මේ ආයතනයට ඔවුන් කළ සේවාවටත් විශේෂයෙන් සුබපතනවා. ආශිර්වාද කරනවා. ඒ තුළින් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ තව තවත් සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා.”

ජාතික නිවාසකරණයේ සිව් දශක සැමරුම් උලෙළ ආරම්භ වූයේ “ඔබ මට විශ්වාසයි - මට ඔබ විශ්වාසයි ගීතයෙනි. එය එදා උදාගම් ව්‍යාපාරයේ සමාරම්භක ගීතයයි. දශක හතරක නිවාස සංවර්ධන ක්‍රියාදාමය නිරන්තරයෙන්ම ජනතාව, රජය සහ නිලධාරීන්ගේ විශ්වාසය මත ගොඩනැඟුණු සංවර්ධන ක්‍රියාවලියකි. එහි ආරම්භක යුගයේදී මෙන්ම වර්තමානයේදීද මෙම ජාතික නිවාස සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක වීමට මෙම අන්‍යෝන්‍ය විශ්වාසය වඩාත් හේතුසාධක වී තිබේ. සිව්දශක සැමරුම් උලෙළේදී ඇගයීමට ලක්වූයේ මෙම විශ්වාසයට දායක වූ ප්‍රතිලාභීන්, නිලධාරීන් හා සෙසු දායකකරුවන්ය.

මාතෘකා