බලු කපුටු දේශපාලනය වෙනුවට සිංහ රාජාලි දේශපාලනයක් අවශ්‍යයි

 ඡායාරූපය:

බලු කපුටු දේශපාලනය වෙනුවට සිංහ රාජාලි දේශපාලනයක් අවශ්‍යයි

අමාත්‍ය පාඨලී චම්පික රණවක

ආදායම් උපදවන ක්‍රමවේදයකට රට රැගෙන යා යුතු බවත් බලු - කපුටු දේශපාලනය වෙනුවට සිංහ - රාජාලි දේශපාලනයක් ඇති කළ යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) 'ජාතික මඟ' දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ කෑගල්ල සමුළුවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අද අපේ රටේ රුපියලක් සංවර්ධනයට යොදවනකොට රුපියල් තුනක් ණය ගෙවන්න සිදුවෙලා තියෙනවා. හුඟක් දෙනෙක් හිතනවා මේ නොමිලේ බෙදන්නේ දේශපාලනඥයන්ගේ කැමැත්තට, හැකියාවට එහෙම නැත්නම් කුසලතාවට කියලා. නෑ. ඒ ඔබේ, මගේ පාන්පිටි කිලෝවට, හාල් කිලෝවට, පිරිප්පු කිලෝවට, සීනි කිලෝවට ගහන බදුවලින් තමයි ඒ ඔක්කෝම ගෙවන්නේ. එතකොට මේවා අපිට නිකන් ලැබුණා කියලා අපි ආඩම්බර වෙලා බැහැ. මොකද අනෙක් අතට මේවට ගෙවන්නේ සමාජයම තමයි. එහෙම නම් ආදායම් උපදවන ක්‍රමවේදයකට අපි රට ගෙනියන්න ඕනෑ.

“අපි දන්නවා බලු - කපුටු දාන ගැන. බලු - කපුටු දාන දෙනකොට මොකද වෙන්නෙ? ඒ බල්ලන් කපුටන් ඇවිත් ඒවා බොහොම සන්තෝසෙන් කනවා. දෙවැනි දවසෙ යනකොට බල්ලොයි කාක්කොයි පෝලිම් ගැහිලා ඉන්නවා. හරි ජනප්‍රියයි. උන් හරි මනාපයි දානෙ දෙන අයට. මම දන්නවා එක කාන්තාවක් ඉන්නවා නිදහස් චතුරස්‍රයේ. එතුමිය එන ඉව දැනුනාම බල්ලොයි කපුටොයි රංචුවම ඒ පස්සෙන් එනවා. අපේ රටේ දේශපාලනයෙත් තියෙන්නත් බලු - කපුටු දානම තමයි. දෙනවා කියල දන්න තැනට මිනිස්සු ඇදෙනවා. හිතනවා මේක තමයි ක්‍රමය කියලා. හැමදාම ජනතාව, ඡන්ද දායකයා ඔදවත් තෙදවත් බලවත් පුද්ගලයකු නෙවෙයි. අර කියූ ආකාරයට සුනඛයකු නැත්නම් කපුටකු විදිහට තමයි ජීවත් වෙන්නෙ.

“කවදද අපි අපේ රටේ ජනතාව සිංහයන් බවට පත් කරන්නෙ? කවදද අපි අපේ රටේ ජනතාව රාජාලීන් බවට පත් කරන්නෙ? තමන්ගේ ශක්තියෙන්, ස්ව ශක්තියෙන් නැඟිටලා මේ ඔදවත් තෙදවත් රට නිර්මාණය කරන්න ගමන් කරවන්න. අන්න ඒ දෙයට පසුබිමක් හා පදනමක් මේ ජාතික මඟ වේදිකාවෙන් හදලා තිබෙනවා. ඒ නිසා අපි ඔබ සැමට ආරාධනා කරනවා. මේ රට අපට හදන්න ඕනේ, මේ රටේ ජාතික ආරක්‍ෂාව ඉහළින් තහවුරු කරලා මේ රට රකින්න ඕනේ අපි. ඒ වගේම මේ රටේ නව නීති රීති ගෙනල්ලා නව සමාජ ආකර්ෂණයන් ඇති කරලා මේ රට අපි නිවන්න ඕනේ. ඒ නිසා මේ ජාතික මඟ පදනම, ක්‍රියාදාමය, දේශපාලන භේදයෙන් තොරව වැලඳගන්න. මේකත් සමඟ එකතු වෙන්න, වෘත්තීය මට්ටමෙන් නිපුණතාවය, ප්‍රායෝගිකත්වය හා අවංකත්වය කියන ඒ ත්‍රිමූර්තිය සමඟ ශක්තිමත් රටක් ඇති කරන්නට අපි සියලු දෙනාගේම දායකත්වය බලාපොරොත්තු වෙනවා.”

මාතෘකා