අලුත් විදියට හිතුවොත් ලංකාව අවුරුදු 5කින් ඉන්දියන් සාගරයේ දියුණුම රට වෙනවා

 ඡායාරූපය:

අලුත් විදියට හිතුවොත් ලංකාව අවුරුදු 5කින් ඉන්දියන් සාගරයේ දියුණුම රට වෙනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

කොරියාව, ජපානය, චීනය වැනි රටවල් දියුණු වූයේ ඒ රටවල් විසින්ම ගනු ලැබූ උත්සාහයන් නිසා බවත් ඒ අනුව අලුතින් සිතා වැඩ කරනවා නම් වසර 5ක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ දියුණුම රට බවට පත් කර ගත හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (05) රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විවෘත කිරීමෙන් අනතුරුව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“මෙම ප්‍රදේශයට විශාල අඩුපාඩුවක්ව තිබුණු ජලසම්පාදන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරමින් ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කරන්න අපට හැකි වුණා. මේ ජලසම්පාදන ක්‍රමයත් සමඟ තවත් 35,000කට පිරිසුදු ජලය භාවිත කිරීමට අවස්ථාව ලැබෙනවා. ගෙවන්න බැරි තරම් විශාල ණය කන්දක් තිබුණු රටක්, ණය ගෙවන්න ශක්තියක් ඇති රටක් බවට අවුරුදු දෙකක් තුළ ගෙන ඒමට අපට හැකි වුණා. අපි ආර්ථිකය ස්ථාවර කිරීමට උත්සාහ කිරීමේදී ජනතාව අපෙන් ප්‍රශ්න කළා ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා. සමාජ ආයෝජනයක් වශයෙන් රටේ දියුණුව ඇතිවන පරිදි අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණු කිරීමට අප කටයුතු කළා. හෘද රෝග සඳහා නොමිලේ ස්ටෙන්ට් ලබා දීම, රෝහල් සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ ලබා දීම, රෝහල් ගොඩනැඟිලි ලබා දීම, විශ්වවිද්‍යාල සඳහා නව වෛද්‍ය පීඨ ඇති කිරීම වගේ ආයෝජනයන් සිදුකිරීම නිසා සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා.

“ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට දැඩි හානි ඇති වුවත් ලෝකයේ පළමු වතාවට බෝම්බ ප්‍රහාර එල්ල වුණත් සංචාරයට සුදුසු රටවල් අතර පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. මීට පෙර බෝම්බ ප්‍රහාර සිදු වූ රටවල් සංචාරවලට සුදුසු රටවල් ලැයිස්තුවෙන් ඉවත් කිරීම සිදු කරනවා. නමුත් අපට තිබූ ශක්තිය නිසා රටක් වශයෙන් ඉදිරියට ගමන් කිරීමට හැකි වුණා. කෘෂිකර්මාන්තයේ නවීකරණය කිරීම පිළිබඳව අලුතින් සිතිය යුතුයි. මේ සියල්ල සිදු කිරීමට තොරතුරු තාක්‍ෂණය හා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තාක්‍ෂණයට යොමු වීමට සිදු වෙනවා. රට මුහුණදී තිබෙන ණය බරින් නිදහස් වීමට නම් අපගේ අපනයන ප්‍රමාණය ඉහළ නංවා ගත යුතුයි. ජපානය, චීනය, කොරියාව වැනි රටවල් අපනයනය වර්ධනය කර ගත් නිසා විශාල දියුණුවක් ඇති කරගෙන තබෙනවා. අපේ ප්‍රශ්නවලින් අපිම ගොඩ ආ යුතුයි. වෙනත් රටවල් අපව ගොඩගන්නේ නැහැ. අනාගතය දෙස බලමින් එකට එකතු වී ඉදිරියට යෑමට අපට ශක්තියක් තිබිය යුතුයි. අප හැමදාම එකම තැන හිඳිමින් අතීතය ගැන කතා කරනවා නම් ජාතිකත්වයෙන් තොරව ජාති භේද, ආගම් භේද ඇති කර ගැනීමෙන් අවාසි සිදු වන්නේ ශ්‍රී ලංකාවටමයි.

“අප දැන් සියලුදෙනා එක්ව අලුතින් සිතා ඉදිරියට ගමන් කළ යුතුයි. රටත් අප වැනි දේශපාලනඥයිනුත් අලුතින් සිතිය යුතුයි. එකිනෙකාට බැන බැන සිටීමෙන් ඵලක් වන්නේ නැහැ. ඔබට අනාගතයක් ලබා දීම සඳහා මෙරට ඉදිරියට ගෙන යායුතුයි. රටේ දරු පරපුරට වඩා හොඳ අනාගතයක් ලබා දීම අප කාගේත් යුතුකමක්. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වී අපේ රට ගොඩගමු. තායිලන්තය, කොරියාව, ජපානය, චීනය වැනි රටවල් ගොඩගත්තෙත් ඒ රටවල ජනතාවයි. මගේ කුඩා කාලයේ සිංගප්පූරුවේ මිනිසුන් ඇවිත් අපේ වරායේ රැකියා කළා. දැන් සිංගප්පූරුවට ගියාම අපේ මිනිස්සු ඒ රටේ ගෙවල්වල වැඩ කරනවා. එදා මැලේසියාවේ, තායිලන්තයේ ජනතාව අපේ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණියා. අපි අද මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවලට ප්‍රතිකාර සඳහා යනවා.

“අපේම ශක්තියෙන් එකමුතු වී රට ගොඩගන්න අවශ්‍යයි. එයට වෙනත් කෙටි ක්‍රම නැහැ. ඒ සඳහා ලෝකයේ රටවල් උදාහරණ සපයනවා. බටහිර ලෝකයේ රටවල් දියුණු වූ ආකාරය ගැළපෙන්නේ නැතිනම් අපරදිග ලෝකයේ රටවල් උදාහරණයට ගන්න පුළුවන්. අවශ්‍ය නම් එයිනුත් ථෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්තය උදාහරණයට ගත හැකියි. කොරියාව, චීනය, ජපානය දියුණු වුණේ කොහොමද? අන්න ඒ ක්‍රමය මතයි ඔබේ අනාගතය රැඳී තිබෙන්නේ. අප සියලු දෙනාම එකට එකතු වී මේ රට ගොඩනඟන්න අලුතින් වැඩ කරනවා නම් වසර 05ක් ගත වන්නට පෙර සියලු ආයෝජන ලබා ගෙන ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත් කළ හැකියි. ඉන්දීය සාගරයේ පොහොසත් රටක් බවට පත් කළ හැකියි. එම ඉලක්කය සපුරා ගැනීමට නම් ලබන වසර 05 තුළ ආයෝජන ලබා ගැනීමත් නවීන තාක්‍ෂණය ලබා ගැනීමත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමත් නාවුක හා ගුවන් කේන්ද්‍රයක් බවට පත් කිරීමත් කළ යුතුව තිබෙනවා.”