ඇමැති මංගලගෙන් මමත් පාඩම් ඉගෙන ගත්තා

 ඡායාරූපය:

ඇමැති මංගලගෙන් මමත් පාඩම් ඉගෙන ගත්තා

මංගල සමරවීර 30 වසරක දේශපාලන දිවියේ කතාව එළිදැක්වීෙම් උත්සවයේදී අැමැති සජිත් කියයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් ‘මංගල සමරවීර’ කෘතිය එළිදැක්වීම සහ සමරු උත්සවය දේශපාලන පක්ෂ නායකයන්, විද්වතුන්, කලාකරුවන් සහ මාතර දිස්ත්‍රික් ජනතාව ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (07) රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් පවත්වනු ලැබූ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් යන මහත්වරු මෙහිදී කෙටි දෙසුම් පැවැත්වූහ.

දේශපාලනයේ ගෙවී ගිය දශක තුන තුළ රට ලබා ගත් ප්‍රගතිය පිළිබඳ තමාට සෑහීමකට පත් විය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වසර 30ක් යනු රටක ඉතිහාසය වෙනස් කළ හැකි කාලයක් බවයි.

එදා තමන් 1989දී දේශපාලනයට පිවිසෙන විට ප්‍රධාන සටන් පාඨ වූ අතුරුදන් වූවන්ට යුක්තිය ඉටුවීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නිල නොවන ඝාතන කල්ලි විසුරුවා හැරීම වැනි සටන් පාඨ වසර 30කට පසු අදටත් වලංගු වීම කනගාටුවට කරුණක් බවයි.

තම පියා වූ මහානාම සමරවීර මහතා වැඩබලන බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස 1956දී ගෙනා මරණ දඬුවම අහෝසි කිරීමේ පනත ගැන යළිත් කතා කරන්නට වීම මඟින් රට ගමන් කරන්නේ ඉදිරියටද ආපස්සටද යන්න සිතා බැලිය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම තම දේශපාලන දිවියේ තෘප්තිය මාතර දිස්ත්‍රික්කය දියුණුව කරා රැගෙන යන්නට හැකි වීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා තරුණ තරුණියන් දස දහස් ගණනකට සුදුසුකම් මත රැකියා ලබාදී ජීවිත සාර්ථක කරදී ඇතැයිද පැවැසීය.

ඇතැමුන් තමා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොකරන බවට බොරු ප්‍රචාර පැතිරුවද මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් තමා තවත් එක් වරක් පාර්ලිමේන්තුවට තරග කරන බවත් ඉන් පසු විශ්‍රාම ගන්නා බවත් කියා සිටියේය. තමාට දැන් වයස අවුරුදු 63ක් බව පැවසූ ඔහු තවත් වසර පහකින් පසු විශ්‍රාම ගන්නා වයසට පැමිණෙන බව පෙන්වා දුන් මංගල සමරවීර මහතා කියා සිටියේ දේශපාලනයට පැමිණ ජනතාවට සේවය කිරීම මෙන්ම නිසි කාලයේදී විශ්‍රාම ගැනීමටද ජනතා සේවකයන් කටයුතු කළ යුතු බවයි.

දේශීයත්වයට මුල්තැන දෙමින් ජනතාවට ගැළපෙන සහ රටට සුදුසු ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බවත් ලෝකයෙහි දියුණුතම ආර්ථික ක්‍රමද ඊට මුසුකරමින් රටට අවශ්‍ය තාක්ෂණික විප්ලවයෙන් යුතු ආර්ථිකයක් ගෙඩනඟන බවද නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියේ තිස්වසරක ගමන්මඟ පිළිබඳව රචිත “ඛේමාගේ කොලුවා” ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින් එලෙස පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය.

“අද රටේ බොහෝ තැන්වල වැඩිවශයෙන් කතාබහට ලක්වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳවයි. සමහරු රටේ ජාතික ආරක්ෂාවට පටු තැනක් දෙන්න උත්සාහ කරනවා. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ, ආරක්ෂක අංශ කලාපයේ හා ලොකයේ තියෙන ශක්තිමත්ම අංශ බවට පත්කරන්නට අපිට ලබාදිය හැකි ප්‍රතිපාදනයන්, පහසුකම් අපි නිරතුරු ලබාදෙන්න සූදානම්. නමුත් ජාතික ආරක්ෂාව කියන කාරණය එතැනට පමණක් සීමා නොවිය යුතුයි. එහිදී ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම, පහසුකම් ලබාදීම, රට ජාතිය රැකගත් රණවිරුවන්ගේ සුබසාධනයට උපරිම සහාය ලබාදීම මෙන්ම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට නම් අංශ ගණනාවක් ශක්තිමත් කළ යුතුයි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ආර්ථිකය ශක්තිමත් නොවන තැනක ජාතික ආරක්ෂාව තහවුරු වෙනවද කියලා මම අහන්න කැමතියි.

“මංගල ඇමතිතුමයි මමයි අතර කලකට පෙර විවිධ මතිමතාන්තර, මතගැටුම් තිබුණා. වාද විවාද ඇතිවුණා. ඒක මුළු ලංකාවම දන්නවා. ඒත් මම දන්න විදියට මංගල සමරවීර ඇමතිතුමාගේ විශිෂ්ටතම ගුණාංගයක් තමයි පුළුල් දැක්මකින් එතුමාගේ ගමන ක්‍රියාත්මක කරන්නට හැකිවීම. එතුමාට ඊට ආත්ම ශක්තිය තිබෙනවා. මොන අභියෝග ආවත් තමන්ට හරි කියා හිතෙන මතයේ එතුමා ශක්තිමත්ව ඉන්නවා. මම එක නිදසුනක් කියන්න කැමතියි. එතුමා මුදල් ඇමතිවරයා වන විට මට හිතුණා මගේ ගම්උදා වැඩසටහන මොනවා වෙයිද කියලා. එක පැත්තකින් මමත් දැන් හිතනවා ඒවගේ හිතපු එකත් මම කරපු වරදක් කියලා. එතුමා මුදල් අමාත්‍ය ධුරය ලබපු ගමන්ම මට කතා කළාම අදහාගන්නත් බැරි වුණා. සජිත් ඔයා ඔයාගේ නිවාස වැඩපිළිවෙළ හොඳින් කරගෙන යනවා. සංඛ්‍යා ලේඛන අනුව වෙන්කරපු මුදල්වලින් හැම වසරකදිම වගේ සියයට අනූනවයක්ම පොදුජනතාවගේ සුබසිද්ධියට වැඩකරලා තියෙනවා. ඒ නිසා වෙන අවුරුදුවලටත් වැඩිය මම ඔයාගේ නිවාස වැඩසටහනට මුදල් වෙන්කරනවා කියලා කිව්වා. මට පුදුම හිතුණා. මම එතුමගෙන් දෙයක් ඉගෙන ගත්තා.

“ඉන්දියාවේ හිටපු කීර්තිමත් අග්‍රාමාත්‍යවරයකු වුණු ජවහර්ලාල් නේරු මැතිතුමා කියනවා, ‘මට හැමෝම ගරු අග්‍රාමාත්‍ය කියලා කියනවා. මම ජවහර්ලාල් නේරු. මම කැමති නෑ මේ ගරු අග්‍රාමාත්‍ය කියන කොටසට. මම කැමතියි ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍ය නොවෙයි ඉන්දියාවේ ජනතා සේවකයා කියා හඳුන්වනවාට’ කියලා. එතුමාම කියනවා යුගයේ අවශ්‍යතාව නම්බුනාම, තනතුරු ලබාගැනීම නෙවෙයි, ජනතාවගේ සේවකයා වීම බව. දිවංගත මාගේ පියාණන්ගේ නාමයෙන් මම දිවුරා පොරොන්දු වෙනවා යම්කිසි අවස්ථාවක් ලද විටක මේ රටේ පවුල් ලක්ෂ හැට එකක පුරවැසියන් ලක්ෂ දෙසිය විස්සකගේ පූර්ණකාලීන, විසිහතර පැයේම තුන්සිය හැටපස් දවසේම පොදුජන සේවකයා බවට පත්වන බව.”

එන ඡන්දෙන් පස්සේ මම විශ්‍රාම යනවා

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා

“මගේ ජීවන ගමන ගැන පොතක් ලියන්න අදහසක් තිබුණේ නෑ. මීට අවුරුද්දකට විතර ඉස්සර ජගත් චන්ද්‍ර මහතා මගෙන් ඇහුවා මං ගැන පොතක් ලියන්න. මම කිව්ව ලියන්න තරම් දෙයක් නැතුව ඇති වෙලාවත් ටිකක් හොයාගන්න අමාරුයි කියලා. එතුමා කොහොමහරි සැරින් සැරේ මාව හමුවෙලා වසර තිහක දේශපාලන ජීවිතයේ මතක සටහන් සම්බන්ධයෙන් මේ අද එළිදකින පොත නිර්මාණය කළා.

“මේ දශක තුනක කාලය තුළ ජනතාවට යම් හෝ සේවයක් කරන්න පුළුවන් වුණා කියලා මා තුළ සතුටක් තිබෙනවා. නමුත් මගේ හෘද සාක්ෂියට එකඟව කතා කළොත් වසර තිහක් තුළ අපි ලබාගත් ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ. වසර තිහක් කියන්නේ දේශපාලනයේ වුණත් රටක ඉතිහාසයේ වුවත් ලොකු කාලයක්. සිංගප්පූරුව කොරියාව වගේ රටවල් තුන්වැනි ලෝකයේ ඉතාමත් දිළිඳු තත්ත්වයේ ඉඳලා පළමුවැනි ලෝකයේ රටක තත්ත්වයට ඇවිත් තියෙනවා මේ වගේ කෙටි කාලයක් තුළදි. කොරියාව බ්‍රිතාන්‍ය වගේ රටවල් අවුරුදු පහළොවක් විස්සක් වැනි කාලයක් තුළදී විශාල දියුණුවක් සංවර්ධනයක් අත්කරගෙන තියෙනවා. නමුත් වික්ටර් අයිවන් මහතා කියපු විදියට නිදහස ලබාගනිද්දි ජපානයට පමණක් දෙවැනිව හිටපු අපේ රට අද තියෙන්නේ කොහේද කියා අපේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතුයි. වසර තිහකට පෙර අප කී සටන්පාඨ අදටත් වලංගුවීම කනගාටුවට කරුණක්.

“අපේ විරුද්ධවාදීන් කියනවා මම මේ ඡන්දෙට ඉඳලම අයින්වෙයි කියලා. ඒවා ඒ අයගේ හීන පමණයි. මේ ඡන්දෙට අනිවාර්යයෙන් එන බව මම අද කියනවා. මට දැන් වයස අවුරුදු හැට තුනයි. ඊළඟ අවුරුදු පහෙන් පස්සේ මගේ කාලය හරි. අපි හැමදාම මේ කිසිම දේක එල්ලිලා ඉන්න ඕන නෑ. අපි විශ්‍රාම යන්න ඕන.

“ලොව පිළිගත් මානවවාදී ධර්ම මේ රටේ මුල්බැසගෙන යනවා. මේ රට ශිෂ්ට රටක් කිරීමේ අරගලය කිසිම විටෙක අතහරින්න එපා කියලා මම අපේ තරුණ පිරිසට කියනවා. ඒ අරගලය අත්හරින්න බෑ. මේ රටේ තරුණ තරුණියන්ට දෙන්න මට පණිවුඩයක් තියෙනවා. ඒ තමයි තාක්ෂණයෙන්, ඇඳුම් පැලඳුම්වලින් විතරක් නොවෙයි ආකල්පවලිනුත් ස්මාර්ට් වෙන්න ඕන. ස්මාට් ෆෝන් එකක් තිබුණට මදි, අපි ඒ ස්මාර්ට් ෆෝන් එකෙන් ගෝත්‍රික වැඩකරනවා නම්, ජාතිවාදය වපුරනවනම්, වෛරය වපුරනවනම්. අපි ස්මාර්ට් විදියට හිතන්නත් පුරුදු වෙන්න ඕන. ආකල්ප වගේම අපේ ක්‍රියාමාර්ගත් වැදගත්. යල්පැන ගිය ආර්ථික මොඩලයන්ගෙන් අපි එළියට එන්න ඕන.”

මංගල සමරවීර ජාතික සමගිය වෙනුවෙන් කැප වුණා

හිටපු විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා

“මංගල සමරවීර කියන්නේ ජාතික සමගිය ගොඩනඟන්න ලොකු උත්සාහයක් ගන්නා නායකයෙක්. ඒ සඳහා එතුමා තුළ හොඳ අදහස් තිබෙනවා. ඔහු ඒවා නිර්භයව ප්‍රකාශ කරනවා. මම ආවේ උතුර දකුණ සංහිඳියාවේ වැදගත්කම පෙන්වා දෙන්නයි. අද මම දකුණට ආවා වගේ ඔබත් එන්න. අපි උතුර දකුණ යහපත් සංහිදියාවක් ඇතිකරන්න කැපවෙමු.”

මෙම අවස්ථාව සදහා අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, බුද්ධික පතිරණ, රාජ්‍ය අමාත්‍යවරු වන දිලිප් වෙදආරච්චි, එරාන් වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් හා පළාත්පාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ගන්දර සමූහ [ජයසිරි පේදුරුආරච්චි]

මාතෘකා