මැතිවරණ සහ විකල්ප

 ඡායාරූපය:

මැතිවරණ සහ විකල්ප

විකල්ප පිළිබඳ කථිකාව නිශ්චිතවම ජනාධිපතිවරණය මූලික කර ගනිමින් සිදුකරන්නට යම් පිරිස් කටයුතු කරමින් සිටී. ඒ ඒ පිරිස්වල විකල්පය පිළිබඳ තිබෙන මතවාදයේ අසමත් බව වසා ගැනීමට සහ යම් යම් පුද්ගලයන්ගේ බල ව්‍යාපෘති අනුව එසේ වන බව පැහැදිලිය.

විකල්පය ජනාධිපතිවරයකු පමණක්ද?

අප අපේ ලිපි සහ ප්‍රකාශන මගින් පැහැදිලි කිරීම් කළත් විකල්පය යනු කුමක්දැයි බොහෝ දෙනෙක් අපෙන් අසති. ඔවුන් වර්ග දෙකකි. පළමුවැන්න නම් විකල්පය පිළිබඳ අපහැදිලිකමක් ඇති අයයි. දෙවැන්න නම් පුද්ගලයකු මූලික කරගෙන බල ව්‍යාපෘතිවල සිටින අයයි. බොරු නින්දෙන් සිටින අය ඇහැරවිය නොහැකිසේ ඔවුන්ට මෙය පහදා දිය නොහැක. කළ හැකි දේ වන්නේ ප්‍රසිද්ධ සමාජයේ ඔවුන්ගේ මතයට පහරදී පරාජය කිරීමයි.

විකල්පය ජනාධිපතිවරණය සඳහා පමණක්ද යන්නෙන් අපට අසන්නට සිදුවන්නේ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයේ බල ව්‍යාපෘතිවල සිටින කිහිපදෙනකු නිසාය. ඔවුන් සමස්ත විකල්ප මතවාදයටම හානි කිරීමට කටයුතු කළත් සැබෑ විකල්ප මතධාරීන්ගේ විධිමත් තර්කවලට උත්තර දීමට අසමත්ය. ඒ නිසා ඔවුන්ගේ මත තවමත් ජයග්‍රහණය කිරීමට හැකි වී නැත.

විකල්පය ජනාධිපතිවරණයට ඉලක්ක වීම සිදුවන එක් කරුණක් වන්නේ ජනාධිපතිවරණය මුලින් පැමිණීමය. පාර්ලිමේන්තු මැතිවරණය මුලින්ම පැමිණියහොත් පුද්ගල කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපාර මොහොතකින් ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් වාෂ්පවනු ඇත. මන්දයත් පුද්ගල කේන්ද්‍රීය සමහර දේශපාලන ව්‍යාපාරවල මැතිවරණ නාමයෝජනා ලැයිස්තුවක් සකස් කරනවා වෙනුවට මතු වූ ගොඩනැඟූ දෙවන පෙළ නායකයන් දෙදෙනෙක්වත් සොයා ගැනීමට නොහැකි වීමයි. මේ නිසා ජනාධිපතිවරණ ෆැන්ටසියේ එල්ලී සිටීම ඔවුන්ගේ තාවකාලික වින්දනය පවත්වාගෙන යෑමට පිටිවහලක් පමණි.

පාර්ලිමේන්තු මැතිවරණයක්

පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් පැමිණියහොත් දීපව්‍යාප්තව පැතුරුණු ජාලයක් රහිතව එයට මුහුණ දීමට බොහෝ කණ්ඩායම්වලට නොහැක. මේ නිසා මම කිහිප අවස්ථාවක මෙම ලිපි පෙළින් පෙන්වා දුන් පරිදි විකල්ප පෙරමුණක් නිර්මාණය විය යුතුය. විවිධ සිවිල් සහ පුරවැසි කණ්ඩායම්වල මේ වන විටත් යම් යම් නායකත්වයන් ඉස්මතුව ඇත. ඒ සියලු දෙනාගේ එක්වීමෙන් ශක්තිමත් අපේක්ෂක ලැයිස්තුවක් සකසා ගැනීමට ඉඩ ලැබේ.

මේ කාරණාව මත පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් පැමිණීම සැබෑ විකල්පයකට මතුවීමට අවස්ථාව ගෙනදෙයි. ඒකාධිපති වියරුවෙන් විකල්පය බේරා ගැනීමට මඟපාදයි. පාර්ලිමේන්තු මැතිවරණයක් ක්‍රම දෙකකින් ඉක්මන් විය හැක. පළමුවැන්න නම් ජනාධිපතිවරයා 19 වැනි සංශෝධනය මගින් තමන්ගේ වසර 5ක කාලය සංශෝධන දිනට අදාළව ගණනය කර ගැනීමට අධිකරණයෙන් විමසා ජනාධිපතිවරණය ආපස්සට ගැනීමයි. දෙවැන්න නම් පාර්ලිමේන්තුවේ 2/3කින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමයි. මේ කුමකින් වුවත් පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මන්වීම විකල්පයට වාසිදායකය.

විකල්පය මැතිවරණ පමණක් සඳහාද?

විකල්පය යනු මේ රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩගත හැකි ක්‍රියාවලියකට යෑමයි. ඒ තුළින් මේ රට බේරා ගැනීමයි. මැතිවරණ යනු එහි එක් ප්‍රධාන කොටසක් පමණකි. මේ වන විට මේ ක්‍රමයට එරෙහිව ගොඩනැඟිය යුතු නව ක්‍රමය පිළිබඳ කඡකාවත විකල්ප ක්‍රියාකාරීන්ගෙන් පැහැදිලිව මතු නොවේ. එයට හේතුව කණ්ඩායම්වල බල අරගලයයි.

විකල්පය යැයි කියමින් මේ ක්‍රමයේම ආණ්ඩුවක් අටවා ගන්නට තැත් කිරීම මහා දේශපාලන පාපකර්මයකි. එය තවත් දශක ගණනාවකට පරම්පරා ගණනාවකට ගෙවන්නට සිදුවන දඬුවමක් වනු ඇත. ඒ නිසා විකල්ප මතවාද සමාජගත කිරීම විකල්ප ක්‍රියාකාරීන්ගේ වගකීමකි. අවම වශයෙන් එවැනි ක්‍රියාකාරීන් ගොඩනඟන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදවලට පහරදී තම ඒකාධිපති නායකයන්ගේ බල ව්‍යාපෘති ගොඩනැඟීමේ ප්‍රතිගාමී වැඩපිළිවෙළ නතර කළ යුතුය.

කෙසේ වෙතත් ජනතාව තුළ චින්තන විප්ලවයක් ඇති කළයුතු යැයිද මැතිරවණ ක්‍රියාවලිය ඒවාට බාධාවක් කර නොගත යුතු යැයිද කියන පිරිසක් භූමියේ වැඩ කරමින් සිටිති. ඔවුන්ගේ ක්‍රියාවලියක් තිබේ. ඔවුන් නිසා සැබෑ විකල්පය රැකෙනු ඇත. ජනාධිපති ධුරයත් පාර්ලිමේන්තුවේ 225මත් විකල්ප දේශපාලන ව්‍යාපාරය අත්පත් කරගත්තත් යෝජනා කරන වෙනසට බහුතර මිනිසුන් සූදානම් නොවුවහොත් ඇති වන්නේ බරපතළ අර්බුදයකි. ඡන්දය දිනවීමෙන්ම පමණක් ගේන සියලු යෝජනාවලට මිනිසුන් එකඟ වීම යැයි ප්‍රකාශවෙන නමුදු ඇත්ත එය නොවේ. ප්‍රතිපත්ති ප්‍රකාශන ගැඹුරින් හදාරා ඡන්දය දීම මිනිසුන් සිදු නොකරයි. ඒ නිසා ඒ විකල්ප ප්‍රතිපත්ති සහ සිදුකරන වෙනස මිනිසුන්ට වඩාත් නිවැරදිව පහදා දීම කළ යුතුය. මේ ක්‍රියාවලිය පසෙකලා මැතිවරණවලින් පමණක් එන ජයග්‍රහණයෙන් රට ගොඩනැඟිය නොහැක. විශේෂම දේ වනුයේ මැතිවරණ ජයග්‍රහණයක්වත් ලැබිය නොහැක. අපේ අරගල භූමිය මිනිසුන්ගේ සිත්ය. දිනාගත යුත්තේ එයය. එය අපට හැකි නම්, මැතිවරණ ජයග්‍රහණ අප පසුපස සොයා එනු ඇත.

මාතෘකා