රට ඉදිරියට යන්නනම් නැඟෙනහිරත් ආර්ථිකයට විවෘත කළ යුතුයි

 ඡායාරූපය:

රට ඉදිරියට යන්නනම් නැඟෙනහිරත් ආර්ථිකයට විවෘත කළ යුතුයි

අමාත්‍ය චම්පික රණවක

මේ රට ඉදිරියට ගෙනයෑමට නම් බස්නාහිර පළාත කලාපීය හා ලෝක ආර්ථිකයට විවෘත කළා මෙන් නැඟෙනහිර වෙරළ නයාරු කෝකිලායිවල සිට පානම දක්වා විවෘත කළ යුතු බවත් එවිට නැඟෙනහිර කලාපය වහාම ප්‍රබෝධමත් කරමින් රටටම ශක්තියක් විය හැකි බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) අම්පාරේ පැවැති 'ජාතික මඟ' සමුළුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අද අපේ ලංකාවෙ පළාත් ගත්තාම හැම අතින්ම දියුණුවෙලා තියෙන්නේ බස්නාහිර පළාත. අද ලෝක බලවතා වෙන ඇ‍ෙමරිකාව ගත්තාම ඉස්සර ඒ අයගේ දියුණුවෙලා තිබුනේ නිව්යෝර්ක්, වොෂින්ටන් ආදී වශයෙන් ඒ නැඟෙනහිර වෙරළ විතරයි. ඒකට හේතුව වුණේ ඒ කාලේ යුරෝපය සමඟ පමණක් ගනුදෙනු කිරීමයි. නමුත් අද ඇ‍ෙමරිකාවේ දියුණුම කලාපය බටහිර වෙරළ තීරය. ගූගල්, ෆේස්බුක් වගේ අපි දන්න කියන දැවැන්තයන් වගේම අද තිබෙන මහා සමාගම් සේරමතියෙන්නේ මේ බටහිර වෙරළ තීරයේ. හේතුව ඒ බටහිර වෙරළ තීරය ඔවුන් විවර කරලා තියෙනවා පැසිපික් සාගරයෙන් චීනයට, තායිවානයට, ජපානයට ඒ වගේම කොරියාවට. අපි ගමු අපේ ලංකාවේ නැඟෙනහිර පළාත. අපේ ත්‍රිකුණාමලය, මඩකලපුව කලාප විද්‍යාත්මකව සැලසුම්සහගතව විවෘත කළා නම් චීනයේ කුන් මින් පළාතේ ආර්ථිකයට වගේම බංගලිදේශයේ, තායිලන්තයේ, ලාඕසයේ, වියට්නාමයේ ආර්ථික ක්‍රියාදාමයට, අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත අභිබවා මේ පළාත දියුණුවෙලා බලවත් වෙනවා. නමුත් නිදහසින් පස්සේ අවුරුදු හැත්තෑ ගණනක් ගතවෙලත් අපේ නැඟෙනහිර වෙරළ තීරයට අපි මොකද කරලා තියෙන්නේ? කලාපීය හෝ ලෝක ආර්ථිකයත් එක්ක බැඳුණු, රටට රටේ ජනතාවට ශක්තියක් වෙන විදිහේ ආර්ථිකයක් එතැන තියෙනවද? නැහැ.

“බස්නාහිර පළාත පහුකරන් ඉදිරියට යන්න පුළුවන් කියන්න හේතුව ලෝකයේ දියුණුම කලාපයන්, විශාලතම නව ආර්ථිකයන් තිබෙන්නේ ඒ පැත්තේ නිසයි. හැබැයි අපි ඒක කරනවාද? නැහැ. ජාති ආගම් භේදයකින් තොරව මේ තියෙන ක්‍රමය ඇතුළේ හැදුණු දේශපාලනඥයන් බලන්නේ තමන්ගේ ගමට මොකක් හරි කරන්න. අධ්‍යාපන ඇමති නම් ඒ ගමේ ලොකු ඉස්කෝලේ හදන්න. විශ්වවිද්‍යාල ඇමති නම් ගමේ විශ්වවිද්‍යාලයක් දාන්න. වරාය ඇමති, කර්මාන්ත ඇමති, මේ හැමෝම බලන්නේ තමන්ගේ ගමට මොනවා හරි ගේන්න. නමුත් ඒක කරන්නේ විද්‍යාත්මකව රටේ අනාගතයට වැඩක් වෙන විදිහට අවශ්‍යතාව මත නෙමෙයි. නැඟෙනහිර කලාපයේ දෙමළ ජනතාව ගත්තාම අවසාන වශයෙන් ප්‍රධාන දේශපාලනඥයකුට හිටියේ ජී.ජී. පොන්නම්බලම් සහ දේවනායගම් විතරයි. ඊට පස්සේ කිසිම දේශපාලනඥයෙක් ප්‍රධාන දේශපාලන දහරාවේ ආණ්ඩුව නියෝජනය කරලා නැහැ. දෙමළ ප්‍රදේශවලට කර්මාන්ත නැහැ. දෙමළ ප්‍රදේශවලට වරාය, ගුවන්තොටුපොළ, රැකියා කිසි දෙයක් නැහැ. ඒක තමයි අද වෙලා තිබෙන්නේ. අද ඒක නිසා මිනිස්සු අපා දුක් විඳින තත්ත්වයකට ඒ ප්‍රදේශ පත් වෙලා තිබෙනවා. නමුත් විද්‍යාත්මක ක්‍රමයකට මේ රට ආණ්ඩු කළා නම් එහෙම අවිධිමත්භාවයක් ඇතිවෙන්න හේතුවක් නැහැ.

“ඒ නිසා මේ රට ඉදිරියට ගෙනයනවා නම්, බස්නාහිර පළාත කලාපීය හා ලෝක ආර්ථිකයට විවෘත කළා වගේ නැඟෙනහිර වෙරළ නයාරු කෝකිලායිවල ඉඳන් පානම දක්වා අපි විවෘත කරන්න ඕනේ ලෝකයේ බලගතුම ආර්ථික කලාපය ගොඩනඟාගන්න. එහෙම විවෘත කළොත් මේ කලාපය වහාම ප්‍රබෝධමත් කරලා අපට ගොඩනඟාගන්න පුළුවන් රටටම ශක්තියක් වෙන්න. ඇත්තටම එදා විමලධර්මසූරිය රජතුමාගේ සැලසුමක් තිබුණා ලන්දේසීන් සමඟ එකතුවෙලා මේ අම්පාර පළාතේ කුරුඳු වගා කරලා වෙළෙඳාම දියුණු කරන්න. අවාසනාවන්ත සිදුවීමක් නිසා එය කරන්න බැරි වුණා. එහෙම වුණා නම් අදටත් බස්නාහිර නෙමෙයි වෙළෙඳ ව්‍යාපාරවලින් ඉදිරියෙන් ඉන්නෙ මඩකලපුවත් ත්‍රිකුණාමලයත් ඇතුළු කලාපයයි.”

මාතෘකා