පලාලි ගුවන්තොටේ ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹනවා

 ඡායාරූපය:

පලාලි ගුවන්තොටේ ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹනවා

අමාත්‍ය අර්ජුන රණතුංග

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හරහා ජනතාවගේ සුබසිද්ධිය සඳහා වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කළද සමහර ආයතනවල නිලධාරීන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත් ඒ පිළිබඳව තමා කනගාටුවන බවත් කොතෙක් බාධක පැමිණියද ජනතාව වෙනුවෙන් කටයුතු කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

යාපනය පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර කළාපීය ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා මූලික කටයුතු පසුගිය සිකුරාදා (05) යාපනය පලාලි ගුවන්තොටුපළේදී ආරම්භ වූ අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මම සන්තෝස වෙනවා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මඟපෙන්වීම යටතේ අද මෙම පලාලි ගුවන්තොටුපළ නැවත වරක් ජාත්‍යන්තර කලාපීය ගුවන්තොටුපොළක් හැටියට ආරම්භ කරන මේ උත්සවයට සහභාගී වීමට හැකියාව ලැබීම ගැන. 2015 මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණා උතුරු නැඟෙනහිර සංවර්ධනය ගැන. මගේ අලුත් අමාත්‍යාංශයේ උතුරු සංවර්ධන වැඩපිළිවෙළේ මූලිකම අවශ්‍යතාවක් වෙලා තිබුණේ මේ පලාලි ගුවන්තොටුපළ. අපි පසුගිය වකවානුවේ නොයෙක් වතාවන්වල මේ පිළිබඳව සාකච්ඡා කළා. පසුගිය මාස හය තිස්සේ අගමැතිතුමා මේ පිළිබඳව මූලිකත්වය අරගෙන ඉන්දියානු මහකොමසාරිස් සමඟත් ඉන්දියානු රජය සමඟත් මේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අගෝස්තු මාසය වෙනකොට පලාලි ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු ඉවර කරන්න පවතින අවශ්‍යතාව ගැන අපිව දැනුම්වත් කළා.

“මේ උතුරට ආවාම මම දැකපු දෙයක් තමයි මේ ප්‍රදේශයේ ජනතාව පැය ගාණක් නාස්ති කරලා කටුනායක ගුවන්තොටුපළට එනවා දකුණු ඉන්දියාවට යන්න. පැය 8ක් නැතිනම් දවස් භාගයක් ගත වෙනවා මේ ප්‍රදේශයේ ජනතාවට දකුණු ඉන්දියාවට යන්න. ඒකට තමයි අපිට මූලිකත්වය ලබලා දෙන්න ඕනේ වුණේ මේ ගුවන්තොටුපොළ කලාපීය ගුවන්තොටුපළක් හැටියට ආරම්භ කරන්නත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස දෙවැනි අදියරට යන්නත්. අද වෙනකොට විශේෂයෙන් ඉන්දියානු රජය අපත් සමඟ සාකච්ඡා කරලා අපේ තියෙන මුදල්වලට අමතරව අපිට ආධාරයක් ලබා දීලා තියෙනවා මෙහි මූලික වැඩකටයුතු කරගෙන යන්න. මේ ළඟදී අදාළ බලධාරීන් සමඟ සකච්ඡා කරලා ඒ ආධාර මුදල වැඩි කරගන්න ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටියා.

“මෙහි මූලික අඩිතාලම හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ ගුවන්තොටුපොළේ වැඩකටයුතු අගෝස්තු මාසය අවසන් වෙනකොට අහවර කරන්න. මේ වැඩකටයුතු ඉවර කරලා ආසන 100කට අඩු ගුවන් යානා දකුණු ඉන්දියාවට සහ කලාපීය රටවල්වලට ගෙනයන වැඩපිළිවෙළ සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විශේෂයෙන් දායකත්වය ලබාදෙන සියලුම රාජ්‍ය ආයතනවලට සහ ගුවන් සමාගමට සහ අධිකාරියට මම විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. මේ ප්‍රදේශයේ ඉන්න මැති ඇමතිවරුන් ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් විශේෂ ඉල්ලීම් කරලා තියෙනවා මේ ගුවන්තොටුපළ ආරම්භ කරලා මහජනතාවට බාරදෙන එක ගැන.

“මම මේ අමාත්‍යාංශය බාර ගත්තාට පස්සේ උතුරු නැ‍ෙඟනහිර ප්‍රදේශයේ ලංකා ගමනාගමන මණ්ඩලයට, දුම්රිය දෙපාර්තමේන්තුවට රැකියාවලට සම්බන්ධ කර ගන්නවා නම් මෙම ප්‍රදේශයේම තරුණයන්ට එම රැකියා ලබා දෙන්න අපේ ආණ්ඩුවත් සමඟ කතා කර තීරණය කරලා තියෙනවා. පසුගිය කාලේ දකුණෙන් ඇවිලා උතුරේ රැකියා ලබාගෙන මාසයක් යනකොට ඔවුන් ඉල්ලීම් කරනවා ආපහු දකුණටම යන්න. ඒ නිසා අපි තීරණයක් අරන් තියෙනවා අපේ අමාත්‍යාංශය හරහා මෙම ප්‍රදේශයට ලබාදෙන රැකියා සියල්ලම මෙම ප්‍රදේශයේ තරුණයන්ට ලබා දෙන්න.

“ඒ වගේම අධි සුඛෝපභෝගී බස් රථ 2,000ක් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ දැනටම අපි ආරම්භ කරලා තියෙනවා. සමහර ආයතනවල නිලධාරීන් ඉන්නවා මෙව්වාට කකුලෙන් අදින. මම අමාත්‍යවරයා හැටියට ඒ ගැන කනගාටු වෙනවා. අපි අවුරුදු ගණනාවක්ම මේ රටේ ගියේ ලොරිවල චැසිවල ගහපු බස්වල. ඒ තත්ත්වය වෙනස් කළා. ඒ සඳහා ප්‍රධානම හේතුව වුණේ නගරවල වාහන ප්‍රමණය වැඩි වීම. ඒ සඳහා ප්‍රධාන හේතුව තමයි සුඛෝපභෝගී පොදු ප්‍රවාහනයක් අපේ රටේ නැති වීම. අලුත් සුඛෝපභෝගී දුම්රියක් යාපනේට දැන් එනවා. ඒ හරහා විශාල ජනගහනයක් දැන් කොළඹ සිට යාපනයට යනවා එනවා. මේ වගේ උතුර - දකුණ යා කරන ක්‍රමවේද දුම්රියෙන් සහ ගුවනින් අපි ඇති කරලා තියෙනවා. මේ රටේ සියලුම ජාතීන් එකට ඉන්න තමයි අපේ මවුපියන් සහ අපේ පාසල්වලින් පුරුදු කරලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය තමයි අපේ අලුත් ආණ්ඩුවෙන් අරගෙන යන්නේ. විශේෂයෙන්ම උතුරේ දකුණේ පසුගිය කාලේ නැති වෙලා තියෙන සහජීවනය ඇති කරන්න අවශ්‍ය ක්‍රමවේද අපි සකසලා තියෙනවා.

“අද වෙනකොට අපි විශාල සංවර්ධන වැඩපිළිවෙළවල් රාශියක් කරලා තියෙනවා. අපේ ආණ්ඩුවේ දුර්වලතාවක් තමයි මේවා ප්‍රදර්ශනය කරන්නේ නැතිකම. මටත් ඒ දුර්වලතාව තියෙනවා. මොන වැඩක් කළත් ඒක වැඩිය පෙන්නන්න කැමති නැහැ. හැබැයි සමහර ආණ්ඩු තිබුණා පොඩි වැඩක් නෙමෙයි වැඩ නොකළත් පෙන්නපු. අද මේ ආරම්භ කරපු වැඩපිළිවෙළ අගෝස්තු මාසය වෙනකොට අවසන් කරන්න වගේම සැප්තැම්බර් මාසය වෙනකොට පලාලි ගුවන්තොටුපළේ ගුවන් ගමන් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා."

[නිර්මාණි බණ්ඩාරනායක]

ඡායා [සමන්ත වීරසිරි]

මාතෘකා