පොහොට්ටුවේ තටු ගැලවෙයි

 ඡායාරූපය:

පොහොට්ටුවේ තටු ගැලවෙයි

දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැත. එහෙත් දේශපාලන මිතුරන් හා පසමිතුරන් කාලයෙන් කාලයට වෙනස් වුවත් මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන මිතුරන් හා පස මිතුරන් පැහැදිළිව වෙන් කරගැනීමට සිදුව තිබෙන්නේය. ඉදිරි ජනාධිපතිවරණය කැඳවීමට මාස කිහිපයක් තිබියදී තමන්ගේ කණ්ඩායමේ සිටි විවේචනාත්මක කණ්ඩායම්වල තටු කපමින් සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. පොදුජන පෙරමුණේ නායකයින්ගේ කැපිල්ලට හසුව තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සිටින බව පවසන, එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොයන කුමාර වෙල්ගමය.

කුමාර වෙල්ගම පසුගිය සතියේදී එක්වරම ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට පැමිණියේය. ඒ පසුගිය සතියේදී පක්ෂ මූලස්ථානයේ පැවති පිරිත් පින්කමට සහභාගීවීමටය. එක්වරම පිරිත් පින්කමට ඔහු පැමිණ සිටිනු දුටු පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ගියේ ඔහු පිළිගැනීමටය. වැළදගෙන පිළිගත් වෙල්ගම මන්ත්‍රීවරයා කෙරෙහි කාගේත් අවධානය යොමුවූයේය. කාගේ ආරාධනාවකට ඔහු පැමිණියේදැයි නොදන්නා නමුත් ඔහුගේ පැමිණීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම්වල වැඩි කැමැත්තක් තිබුණේ නැත. ඒ ඔහුගේ පැමිණීම නිසා පිරිත් පින්කම ගැන අවධානය යොමුවනවාට වඩා අවධානය යොමුවූයේ වෙල්ගම කෙරෙහිය.

ඩාලි පාරේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණ දින කිහිපයක් ගත වන විට එහි ප්‍රතිවිපාකවලට මුහුණදීමට වෙල්ගමට සිදුවිය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔහුට ලබාදී තිබූ දිස්ත්‍රික් සංවිධායකත්වය අහෝසි කිරීම නිසාය. බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නායකත්වයෙන් වෙල්ගම ඉවත් කර ඒ වෙනුවට පත් කළේ කනිෂ්ඨ මන්ත්‍රීවරයෙක් වන ‌තේනුක විදානගමගේය.

කෙසේ වෙතත් වෙල්ගම කිසිම දිනක පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන තිබුණේ නැත.

"මේකේ රාජපක්ෂවරුන්ගේ ලොකු ලයිස්තුවක් තියෙනවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. මේ වගේ රාජපක්ෂවරු ගොඩක් ඉන්නවා. මම හිටියොත් මට උපරිම ලැබෙන්නේ ඇමැතිකමක් විතරයි. මම කවදාවත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ. මම දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ. මම ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදගෙන තමයි කටයුතු කරන්නේ" වෙල්ගම කීවේය.

ගෝඨා බලන්න රාජපක්ෂලා නෑ

බදුල්ලේ නායකත්වයට පත් තේනුක ලංකාවේ සිටියේ දින කිහිපයක් පමණි. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සමඟ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඒ පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නැයි ඉල්ලීම් කිරීමටය. ඒ වන විට ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ පෝස්ටර අලවමින් මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණේය. ප්‍රසන්න එහි ගියේ තමන් ගම්පහ ඇලවූ පෝස්ටර මිටියක්ද රැගෙනය.

ගෝඨා බැලීමට ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු යන විට කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියේය. පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගෝඨාගේ සුව දුක් විමසීමට ගොස් සිටියත් රාජපක්ෂ පවුලේ කිසිවෙක් මේ වන විට ගෝඨාගේ සුව දුක් බැලීමට ගොස් සිටියේ නැත. තමන්ගේ අගමැතිවරයා ලෙස කටයුතු කළ දිමු ජයරත්නත් මේ ආකාරයටම මවුන්ට් එලිසබත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි ගොස් ඔහුගේ සුව දුක් විමසීමට අමතක නොකළ මහින්ද පවා මේ වන තෙක් ගෝඨාගේ සුව දුක් බැලීමට ගොස් තිබුණේ නැත.

ජනාධිපතිවරයාට ඇමතුම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පසුගිය සතියේදී ජාත්‍යන්තරයෙන් නොයෙක් දුරකතන ඇමතුම් ලැබෙමින් තිබුණේය. ඒ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඔහු ගත් තීරණය නිසාය. මේ අතර ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙක්ද ලංකාවට පැමිණීමට සැලසුම් කරගෙන සිටියේය. එහෙත් ඔහු හමුවීමට ජනාධිපතිවරයාට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැත. ඇමරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත සෝෆා ගිවිසුම ගැන මෙහිදී කතා කිරීමට සිදුවන නිසා ජනාධිපතිවරයා තීරණය කළේ ඇමරිකානු ප්‍රධානීන් හමු නොවීමටය. ඒ සඳහා ගත හැකි හොඳම විකල්පය වූයේ ඔහුගේ ලංකා සංචාරය පැවැත්වෙන දිනවලදී ලංකාවෙන් පිටත්ව සිටීමය. ඒ අනුව විදේශ සංචාරයක් සූදානම් කරගත් ජනාධිපතිවරයා ඇමරිකානු තානාපති කාර්යාලයට දැනුම්දී තිබුණේ තමන් මේ දිනවල ලංකාවේ නොමැති බවය.

එහෙත් ඇතිවෙමින් තිබූ ඇමරිකානු විරෝධී මතවාදයන් හමුවේ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා සංචාරය අහෝසි කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දුන්නේය. ඒ නිසා ජනාධිතිවරයාටද රටින් පිටව යෑමට අවශ්‍ය වූයේ නැත.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දුන්නේය. ඒ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පැවති විරෝධය ප්‍රකාශ කිරීමටය. ඒ ගැන ජනාධිපතිරයා තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළේය.

ජනපතිගෙන් සංවේදී කතාවක්

පසුගිය පළමුවැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අවස්ථාවට රාජිත සේනාරත්න අමාත්‍යවරයාද එක්ව සිටියේය.

එහිදී ජනාධිපතිවරයා තරමක වේදනාවෙන් නමුත් සංවේදී කතාවක් කළේය.

රටත්, ජාතියත් විනාශ කරමින් තිබෙන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉකුත් සිවු වසර පුරා තමා ගෙන ගිය දැවැන්ත වැඩපිළිවෙළට අබපියල්ලක සහයක් ලබා නොදුන් පිරිස් අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි නිති ක්‍රියාත්මක කිරීමට ගත් පියවර හමුවේ තමා වැරදිකරුවෙකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

නිීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු ද මේ වන විට රහසක් නොවන අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගැනීමට දේශපාලනඥයන් කී දෙනෙක් තම වගකීම ඉටුකරනවාදැයි අද ප්‍රශ්න සහගත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව ද පැහැදිලි කළ ජනාධිපතිවරයා කියා සිටියේ පසුගිය අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයට ද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සම්බන්ධතාවක් තිබෙන බවයි.

හම්බන්තොටට නව රෝහලක්

එම උත්සවයෙන් පසුව ජනාධිපතිවරයා සහභාගී වූයේ හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල ජනතා අයිතියට පවරණ උත්සවයටයි.නෙදර්ලන්ත ණය ආධාර යටතේ රුපියල් මිලියන 7000ක වියදමින් මෙම රෝහල ඉදිකර තිබෙන අතර, ඇඳන් 850කින් යුක්ත රෝහල නවීන වෛද්‍ය උපකරණ ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක, බාහිර රෝගි සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් සඳහා නව නිල නිවාසවලින් ද සමන්විත වේ. රාජපක්ෂලා කකුලෙන් ඇදපු හැටි ජනපති සිහිකරයි

ජාවාරම්කරුවන් රැකීම

පසුගිය සතියේදී ජනාධිපතිවරයා තවත් කාර්යබහුල වී තිබුණේ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක් යොදාගෙන තිබීම නිසාය. මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් පැවති උත්සවයකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඒ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ සිවු දෙනෙක්ට මරණ දඬුවම ලබාදෙන බවට වන ප්‍රකාශයයි. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය දෙබරයට ගල් ගසන ප්‍රකාශයක් විය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තවත් ආන්දෝලනාත්මක කතාවක් පසුගිය සඳුදා කළේය. ඒ තමන්ට ඇති ජීවිත තර්ජන ගැන හෙළි කිරීමක්ය.

"මට ෆේස් බුක්වලින් මඩ ගහනවා. ඒ මඩ ගහන්නේ කුඩු කාරයින්ගේ සල්ලිවලින්. මට මරණ තර්ජන තියෙනවා කියලා බුද්ධි අංශවලින් ආරංචි වුණා. මේ පිටුපස සිටින්නේත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්" ජනාධිපතිවරයා තමන්ට ඇති මරණ තර්ජන ගැන අනාවරණය කළේය. එහෙත් ඔහු කීවේ තමන්ට කුමන ආකාරයේ තර්ජන පැමිණියත් තමන්ගේ සටන අත නොහරින බවය

"මේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ ගැන ඊයේ පෙරේදා හුඟක් දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. ආණ්ඩුවේ ලොක්කෝ කතාකරනවා. විපක්ෂයේ ලොක්කෝ කතා කරනවා. මැති ඇමතිවරු කතාකරනවා, ජාත්‍යන්තර සංවිධාන කතාකරනවා, රාජ්‍ය නොවන සංවිධාන කතා කරනවා. පාර්ලිමේන්තුවේ කතා කරනවා. මීට දින තුනකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා රෑ 8ට මට කතා කළා. එතුමා මගෙන් ඇහුවා මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට මරණීය දණ්ඩනය දෙනවාද කියලා. මම කරුණු පැහැදිලි කෙරුවා. මම කිව්වා මත්ද්‍රව්‍ය නිසා ලංකාවේ විශ්වවිද්‍යාල විනාශයි කියලා. පාසල් දරුවන් විනාශ කරනවා මත්ද්‍රව්‍ය නොමිලේ බෙදා හැරලා. ලංකාවේ සිරගෙවල්වල ඉන්න සියයට 60ක් මත්ද්‍රව්‍ය චෝදනා තිබෙන අය කියලා. මේ තත්ත්වය මහලේකම්තුමාට මම අවබෝධ කරලා දුන්නා. මේක ලොකු ප්‍රශ්නයක්. මට බලාගෙන ඉන්න බැහැ රට විනාශ වෙනකම්. ඒ නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න තීරණය කළා කියලා මම කිව්වා. එතුමා මට කතාකරපු දවසේ තමයි මම අත්සන් කෙරුවේ. මම කිව්වා මම අද උදේ අත්සන් කළා කියලා. මහලේකම්තුමනි, මගේ රට මම බේරාගන්න ඕනෑ. දැඩි දඬුවම් නැතිව මගේ රට හදන්න බැහැ. අපරාධකරුවන්ගෙන් පාසල් දරුවන් බේරාගන්න ඕනෑ කිව්වා. ජාත්‍යන්තර සංවිධාන අද කතාකරනවා. මම විවෘතව කියන්නට ඕනෑ යුරෝපීය යූනියන් එක. ඊයූ එක කියනවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළොත් ජීඑස්පී සහනය අපට දෙන්නේ නැහැයි කියලා. ඒක තර්ජනයක්. ස්වාධීන රටකට තර්ජනය හොඳ නැහැ. රටක් සංවර්ධනය කරන්න, රටක සුබසාධනයට, ආර්ථික සංවර්ධනයට ජාත්‍යන්තර සංවිධානයක් වේවා ලෝකයේ ඕනෑ රටක් උදව් දෙනවා නම් උදව් දෙන්න අප ඒ කාරුණික උදව් බලාපොරොත්තු වෙනවා. හැබැයි රටේ ස්වාධීනත්වයට අත ගහන්න කාටවත් පුළුවන්කමක් නැහැ.

කකුලෙන් ඇදපු අය

මම දැක්කා ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කියලා තියෙනවා ඒ අයගේ පක්ෂයේ ප්‍රතිපත්තිය මරණීය දණ්ඩනය නෙවෙයි කියලා. පක්ෂෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නම් මේ වසර හතරහමාරේ කොච්චර හොඳද. මම දැක්කා විපක්ෂයෙන් කියලා තියෙනවා මරණීය දණ්ඩනයට විරුද්ධයි මේක කරන්න එපා කියලා. මේ සියලු දෙනාගෙන් මම ප්‍රශ්නයක් අහනවා. මේ රටේ මරණීය දණ්ඩනයට විරුද්ධව කතා කරන විපක්ෂයේ අය, වෙනත් රාජ්‍ය නොවන සංවිධාන මත්ද්‍රව්‍ය නැති කරන්න, මර්දනය කරන්න දීලා තියෙන උදව්ව මොකක්ද? කරලා තියෙන වැඩපිළිවෙළ මොකක්ද? මේකට විරුද්ධව කතා කරන අය මේ මත්ද්‍රව්‍ය මර්දනයට මම මේ ගෙනිච්ච අවුරුදු හතරහමාරේ වැඩ පිළිවෙලේදි මොනවද දීලා තියෙන සහයෝගය. විපක්ෂය බලයේ ඉන්නකොට මත්ද්‍රව්‍ය මර්දනයට මොනවද කෙරුවේ. ඒ කාලේ මම සෞඛ්‍යය ඇමති. මට තිබුණු ප්‍රශ්න රටේ ජනතාව දන්නවා."ජනාධිපතිවරයා කීවේ රාජපක්ෂ ආණ්ඩු කාලයේදී තමන්ගේ කකුලෙන් ඇදපු ආකාරය සිහිපත් කරමිනි.

ඩීල් දාන ඇමැතිවරු

මේ සතියේදීත් සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. වෙනදාට කැබිනට් පත්‍රිකා සියයකට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වන නමුත් මේ සතියේදී ඉදිරිපත්ව තිබුණේ කැබිනට් පත්‍රිකා පනහකට ආසන්න ප්‍රමාණයකි. ඇතැම් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ ඇමැතිවරු කැබිනට් රැස්වීමට සහභාගී නොවීම නිසා ඒ ගැන සාකච්ඡා කිරීම පසුවට කල් තැබුවේය.

"මම ජාවාරම්කාරයින්ට දඬුවම් කරන්න යනවා. ඒ ජාවාරම්කාරයින් බේරාගන්න සමහරු දැන් කටයුතු කරනවා"ජනාධිපතිවරයා කීවේ මරණ දඬුවම ලබාදීමට තමන් ගත් තීරණය ගැනය.

"දැන් ජනාධිපතිතුමා මේකට නඩු යනවානේ. ඒ නිසා මරණ දඬුවම ලබාදීම කල්යන්න පුලුවන්"ඇමැතිවරයෙක් කීවේය.

"ඒක හරි. මේ නිසා අපිට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. කවුරුවත් කලබලන වෙන්න අවශ්‍ය නෑ"ජනාධිපතිවරයා කීවේය.

චීනෙන් දුම්වැටි

මේ අතර චීන දුම්වැටි ගෙන්වීමේ යෝජනාවත් කැබිනට් මණ්ඩලයට පැමිණියේය.

"චීන දුම්වැටි ගෙන්වනවාට මම විරුද්ධයි. ඒකට අනුමැතිය දෙන්න බෑ"රාජිත සේනාරත්න ඇමැතිවරයා දැඩි විරෝධයක් දැක්වූවේය. ජනාධිපතිවරයාත් සිටියේ රාජිත‌ගේ පැත්තේය. මේ නිසා එම කැබිනට් පත්‍රිකාව හකුලාගැනීමට සිදුවිය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමට පෙර අරලිගයහ මන්දිරයේදී තවත් කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වෙයි. මේ කැබිනට් රැස්වීමට පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු පමණි. අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කැබිනට් රැස්වීමේදී රටේ තිබෙන දේශපාලන කරුණු ගැන මෙන්ම පක්ෂයේ ඇතැම් අභ්‍යන්තර දේශපාලන කරුණු ගැනත් සාකච්ඡා වෙයි. මේ සතියේදී අගමැතිවරයා ෂැඩෝ කැබිනට්ටුවට පැමිණියේ තරමක කළකිරීමකින් යුතුවය.

" මම ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න කියලා සමහර ඇමැතිවරු යවනවා. හැබැයි මගේ අදහස කියනවා වෙනුවට ඒ අයගේ අදහස කියලා එනවා. සමහරු ජනාධිපතිතුමා එක්ක ඩීල් දාගෙන එනවා. පහුගිය දවස්වල මම ඇමැතිකම් ගන්න එපා කියද්දී සමහර අය ඇමැතිකම් අරගත්තා"අගමැතිවරයා කීවේ තරමක කණගාටුවෙන් යුතුවය.

"සර් මම ඔය ඩීල් දාන්නේ නැති නිසා මට තියෙන ටිකත් නැති වුණා. දැන් මට අමාත්‍යාංශයේ කිසිම බලයක් නෑ. අමාත්‍යාංශයක් කියලා නිකම් බෝඩ් ලෑල්ලක් විතරයි තියෙන්‌නේ" ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.

"ඒක හරි. කිරිඇල්ල විතරයි ඩීල් දාන්නේ නැතිව හිටියේ"අගමැතිවරයා කිරිඇල්ලට සහතිකයක් දුන්නේය.

කළු ජූලිය සුදු වෙයි

ගෙවීයන සතිය තුළ අගමැතිවරයා ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලැබෙන “සුදු ජූලිය” සංකල්පය යටතේ පියවර රැසක් ගත්තේය. රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට හමුදා සහ පොලිසියට, ආබාධිතයන්ට, වකුගඩු රෝගීන් ඇතුළු ජන ස්ථර රැසකට රු. දස ලක්ෂ 39,360 ක දැවැන්ත මුදලක් හරහා ප්‍රතිලාභ ලබා දීම ජූලි මාසයේ සිට ඇරඹිණි. ඊට අමතරව සමෘද්ධිය අලුතින් පවුල් ලක්ෂ 6 කට බෙදා දීමද රට පුරා ආරම්භ වී තිබේ. ඇමති චම්පිකගේ මූලිකත්වයෙන් ජපන් ආධාර රු: කෝටි 27,000 කට අධික වියදමින් මාලබේ සිට කොළඹ දක්වා වූ කණු මත දිවෙන දුම්රිය සේවයටද මුලපිරුවේය. එසේම බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා ඇමති අකිල සමඟ පේරාදෙණිය බලා පිටත්ව ගියේ එදිනට විවෘත කිරීමට නියමිත නව පාසැල් ගොඩනැගිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර ඇතුලු ව්‍යාපෘති 250ක් විවෘත කිරීමේ ප්‍රධාන උත්සවයට එක් වීමටය. පිටත් වීමට පෙර පැමිණ සිටි මැති ඇමතිවරුන් සමඟ සුපුරුදු කතාබහක යෙදීමටද අගමැතිවරයා අමතක කළේ නැත.

"මේ ආණ්ඩුව යටතෙ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ජනමාධ්‍ය නිදහස, ස්වාධීන අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය විතරක් නෙවෙයි වැවිලි, නිවාස, සෞඛ්‍ය, කෘෂිකර්ම, වාරි වගේම විශේෂයෙන් අධ්‍යාපනයටත් දැවැන්ත සේවයක් ඉටුවුණා. මීට කලින් එක දවසට පාසල් 200ක ව්‍යාපෘති සිසුන්ට පරිත්‍යාග කළා. අද එකම දිනයේ එවැනි ව්‍යාපෘති 250ක් සිසුන් සතු කිරීම විශේෂයි" නවීන් දිසානායක කතාවට මුලපිරුවේය.

විජේදාසගේ බංකොලොත් දේශපාලනය

"ඒත් පෙළ පොත්වලට ඇමති අකිලගේ ඡායාරූපයක් දැම්මා කියලා විජේදාස රාජපක්ෂ පටු දේශපාලන මඩ ප්‍රහාරයක් එල්ල කිරීම ඇමති අකිලට වඩා සිසු පරපුරට දීපු ප්‍රහාරයක්." චමින්ද විජේසිරි කීවේය.

"විජේදාස හිටපු ඇමතිතුමගේ බංකොලොත් දේශපාලනය ගැන මටත් පුදුමයි. හිටපු සියලු අධ්‍යාපන ඇමතිවරු විතරක් නෙවෙයි මහින්ද ජනාධිපතිතුමාගෙ පින්තූර පවා ඉස්සර දාල තිබෙනවා. මගේ ඡායාරූපය දැම්මා කියලා රුපියලක පාඩුවක් සිදුවෙලා නැති බව මම සාධක සහිතව ඔප්පු කළා." අකිල විරාජ් කාරියවසම් කීවේ ශෝකාකූල ස්වරූපයෙනි.

පොහොට්ටුව් අර්බුද ගැන කතා

"දැන් පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකය තෝරගන්න බැරුව අවුල් ජාලයක් වෙලා. අපි එතෙන්ට වැටෙන්න හොඳ නෑ. මේක ඉක්මනින් විසඳ ගන්න ඕනා. එතකොටයි ජයග්‍රාහී මානසිකත්වයක් හා විශ්වාසනීයත්වයක් ඇති වෙන්නේ." නවීන් දිසානායක කීවේය.

සජිත්ට පැමිණිලි

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා හා රවි කරුණානායක ඇමැතිවරයා අතර පසුගිය දිනවලදී කිසියම් උණුසුම් තත්වයක් ඇතිව තිබුණේ කූරගල පුදබිමට විදුලිය ලබාදීම සම්බන්ධයෙන්ධයෙන්ය. සංස්කෘතික ඇමැතිවරයා ලෙස සජිත් විහාරස්ථාන සංවර්ධනය කරන විට රවිත් රණවිරු පවුල්වලට හා විහාරස්ථාවලට විදුලිය ලබාදීමේ ප්‍රමුඛ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. සජිත් පසුගිය සතියේදී මිහින්තලේ පුදබිමේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සහභාගී විය. ඒ සදහා රුපියල් ලක්ෂ දෙදහස් තුන්සිය අසූවක් වෙන් කර තිබුණි.

"ඉතිහාසයේ පළමු වතාවට තමයි සංවර්ධන වැඩ කටයුතු සදහා මේ තරම් විශාල මුදලක් ලැබෙන්නේ"විහාරාධිපති හිමියෝ සජිත්ට කීහ.

"මට ජනාධිපතිතුමායි, අගමැතිතුමායි පන්සල් වෙනුවෙන් අත දිගෑරලා වියදම් කරන්න ඉඩ ලබාදී තිබෙනවා. මගේ තාත්තාගෙන් ලැබුණ ආශිර්වාදයත්, වජිරාරාම දහම්පාසලෙන් ලැබුණ අධ්‍යාපනයත් ඉතිං මේ වගේ වැඩ වලට උදව් වුණා"සජිත් කීවේය.

මේ අතර ථූපාරාමයේ හා අභයගිරියේ විහාරස්ථාන සංවර්ධන කටයුතු සඳහා පිටත්ව ගිය විට සජිත්ට ස්වාමීන්වහන්සේලාගෙන් ලැබුණේ පැමිණිලිය.

"ඇමැතිතුමා, අපි වැඩ කරගෙන යනකොට රජයේ නිලධාරීන්ගෙන් වෙන කෙනෙහිලිකම් නිසා වැඩ කිරීමේදී විවිධ අපහසුතාවන් ඇතිවෙනවා" ස්වාමීන්වහන්සේලාගෙන් පැමිණිලි ගොන්නක් ඉදිරිපත් විය. සජිත් එතැන සිටම රාජ්‍ය නිලධාරීන් කැඳවූවේය.

"හාමුදුරුවන්ගේ සිවුරට ගරු කරන්න. හාමුදුරුවොත් එක්ක තර්ක විතර්ක කරන්න එපා. අඩුපාඩු තියෙනවා නම් සාකච්ඡා කරලා විසඳුම් දෙන්න"සජිත් තදින්ම උපදෙස් දුන්නේය.

මාතෘකා