එන ජනපතිගේ බලය

 ඡායාරූපය:

එන ජනපතිගේ බලය

“අපෙන් එන්නේ අහවලා, අපි එයාව දිනවනවා.”

“අපි මෙයා ගේනවා, එයා වාර්තාවක් තියලා දිනනවා.”

“ඔය කවුරුත් තවම හරි අපේක්ෂකයෙක් නම් කරලා නෑ.”

මෙහෙම කතා මේ දවස්වල කෙළවරක් නැතිව ඇසේ.

ඒ ජනාධිපතිවරණය කිට්ටු නිසාය.

“ඔය සමහරු කෑගැහුවට එන්න තියෙන ජනාධිපතිවරණෙ මහ ලොකු එකක් නෙවේ.”

යමක් කමක් තේරෙන අයෙක් එහෙම කියයි.

“ඒ මොකෝ?”

කෙනකුට එය විමතියට කරුණකි.

“ඒ මොකෝ කියන්නෙ, ඒකට හේතුව තමා 19.”

සමහරුන්ගේ ඇස් උඩ යන්නේ එතකොටය.

19 නිසා එන්න ඉන්න ජනාධිපතිට වෙන්නෙ මොනවද?

77 හඳුන්වා දුන් විධායක ජනාධිපති ධුරය බෙහෙවින්ම බලසම්පන්න එකක් විය. එය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට සාපේක්ෂව විස්මයජනක බලතල සහිත ජනාධිපතිවරයෙක් බිහිකළ ව්‍යවස්ථාවක් විය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හඳුන්වා දුන් නවාංග අතුරින් එක් නවාංගයක් ලෙස විධායක ජනාධිපති ධුරය හැඳින්විය හැක. 78 ව්‍යවස්ථා‍වේ නිර්මාතෘ වූ ජේ.ආර්. ජයවර්ධන විසින් සුවිශේෂ බලතල රාශියක් විධායක ජනපති සතු කිරීමට ක්‍රියා කරනු ලැබ ඇත. ලංකාවේ මුල්ම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනියක කිරීමත්ය." කියායි.

"ජනාධිපතිවරයෙක් වන ඔහු හෝ ඇය ආණ්ඩුවේ නායකයා, විධායකයේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවන්හි සේනා විධායකයාද රාජ්‍ය නායකයාද වන්නේය." යන්න 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) ව්‍යවස්ථාව මඟින් ජනාධිපති යන්න අර්ථ ගන්වමින් දක්වා ඇත.

78 ව්‍යවස්ථාව මඟින් සුපිරි බලතල භුක්ති විඳින ජනාධිපති ධුරයක් හඳුන්වා දෙනු ලැබ ඇත. ලංකාව උ‍දෙසා ප්‍රථම වරට ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේ 72 ව්‍යවස්ථාව තුළින් වන නමුත් එය නාමික විධායකයකි.

නමුත් 78 ආණඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පූර්ණ බලැති විධායකයක් හඳුන්වා දෙන ලදී. විචාරකයන් පවසන ආකාරයට ලෝකයේ ව්‍යවස්ථානුකූලව බලවත්ම ජනපති ලෙස පිළිගනු ලබන්නේ 78 ව්‍යවස්ථාව මඟින් හඳුන්වා දෙනු ලැබූ ශ්‍රී ලංකාවේ විධායක ඡනාධිපති ධුරයයි.

එහෙත්,

බොහෝ දෙනාට අමතකව ඇත්තේ 2020 පත්වන ජනාධිපතිවරයා මින් පෙර සිටි මට්ටමේ ජනාධිපතිවරයකු නොවන බවය.

19 වැනි සංශෝධනය මඟින් ජනාධිපති ධුර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර පෙර පැවැති වසර හයක ධුර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකිය.

2020 ජනාධිපතිවරයාට අමාත්‍ය තනතුරු දැරීමේ ඉඩක් නැත. කැබිනට්ටුවේ නායකයා ලෙස ඔහු කටයුතු කරන අතර කැබිනට් සාමාජිකයකු ලෙස ඔහුට එහි වාඩිවීමේ ඉඩකඩ පවතී. එහෙත් ඔහු අගමැතිවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කළ යුතු වෙයි.

“එතකොට එන්නේ ගොපල්ලව වගේ කෙනෙක්ද?”

එහෙම අහන අයට කියන තියෙන්නේ ‘ඔව්’කියලාය.

“ගොපල්ලවට බලයක් තිබුණේ නැද්ද?”

ඒක දැනගන්න නම් ගොපල්ලව ජනාධිපති වූ හැටි හොයා බැලිය යුතුය.

1970 මහ මැතිවරණයේදී සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන් යුත් සමඟි පෙරමුණ දුන් පොරොන්දුව වූයේ ලංකාව නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් කරන බවය.

එම මැතිවරණයෙන් සමගි පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. නව ජනරජ පනත සම්මත කර ගැනීම සිදුව ඇත්තේ 1972 මැයි 22 වැනිදාය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වන්නිආරච්චිලාගේ දොන් ස්ටැන්ලි තිලකරත්න මහතා ශ්‍රී ලංකා ජනරජ පනත පිළිගත් බව සහතික කරමින් ඊට අත්සන් තැබුවේය.

ජනරජ පනත සම්මත වීමෙන් පසු ලංකාව එංගලන්තයේ මහ රැජිනට තිබුණු බැඳීම අවසන් වී නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට පත්විය. ‘සිලෝන්’ යන නම ඉවත් වී ‘ලංකා’ යන නම ආවේය. ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය හැටියට සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය දිවුරුම් දුන්නාය.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු ප්‍රථම ජනාධිපතිවරයා පත් කළ යුතු විය. 1972 මැයි 21 දින දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ විලියම් ගොපල්ලව මහතා 1972 මැයි 22 දින සිට ජනාධිපති වශයෙන් අගමැතිනිය විසින් පත්කරන ලද අතර අග්‍රාණ්ඩුකාර ධුරය ජනාධිපති බවට පත් විය. මෙසේ රැයක් පසු වී පහන් වන විට අග්‍රාණ්ඩුකාරවරයා ජනාධිපති විය. එතෙක් කල් රජ ගෙදර “ජනාධිපති මන්දිරය” බවට පත් විය.

ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති ලෙස ඔහු මෙහෙම කීවේය.

“පරිපූර්ණ නිදහස ඇති ජනරජයක් මඟින් අභිනව යුගයක් ආරම්භ වන මොහොතේ ජනරජයේ පළමු වැනි ජනාධිපති වශයෙන් පත්වීමේ භාග්‍ය මා වෙත පැවරීම ගැන ගරු අග්‍රාමාත්‍යවරියටත් රජයටත් ජනතාවටත් මාගේ හෘදයංගම කෘතගුණය මුලින්ම සඳහන් කරමි. ශ්‍රී ලංකා ජනරජය මඟින් අපේක්ෂිත ශ්‍රී සෞභාග්‍ය මුළුමහත් ජනතාවට උදා වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ අභිනව යුගයේ සමාරම්භ ලක්ෂණය වශයෙන් අපේ ස්වාධීන ධජය සදහටම බැබළෙන සේ ඔසවමි.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ පත්වීම කෙරෙන්නේ අවුරුදු හතරක් සඳහාය.

නියමිත කාලය අවසන් වන විට ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමට කැමති බව ගොපල්ලව මහතා අගමැතිනියට දන්වා සිටියේය. එහෙත් අග්‍රාණ්ඩුකාරයා වශයෙන් මෙන්ම ජනාධිපති වශයෙන්ද ගොපල්ලව මහතා ඉතාමත් අපක්ෂපාතීව බුද්ධියෙන් යුතුව කටයුතු කර තිබුණු නිසා ඒ මහතාගේ සේවය තවදුරටත් ලබා ගැනීමට තමාත් ඇමැති මණ්ඩලයත් තීරණය කර තිබුණු බව අගමැතිනිය කියා සිටියේය. ඒ අනුව විලියම් ගොපල්ලව මහතාගේ සේවා කාලය තවත් අවුරුදු හතරකින් දීර්ඝ කෙරිණි.

1977 ජූලි 23 වැනිදා මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගත්තේය.

ගොපල්ලව මහතාගේ පාලන කාලය තුළදී ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ තුනක් පවත්වා ඇත. 1965, 1970 සහ 1977 යන වර්ෂවල පවත්වන ලද මේ මහමැතිවරණ තුනෙන්ම බලයේ සිටි ආණ්ඩු පෙරළී ගියේය. මැතිවරණවලින් පසු විපක්ෂය බලයට පත්විය. ඒ හැම අවස්ථාවකදීම රාජ්‍ය නායකයා හැටියට ඉතාමත් අපක්ෂපාතී ලෙස කටයුතු කිරීමෙන් විලියම් ගොපල්ලව මහතා ජනාදරය දිනා ගත්තේය.

ඉතිහාසයෙන් විමසා බැලූ විට පෙනෙන පරිදි, විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර සන්නද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය. එහෙත් ඔහුට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් නැත.

කෙසේ වෙතත් 46 - 76 දක්වා වසර 30ක් මේ රට පැවැතියේ මේ පන්නයේම විධායකයකි. 71 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දුන්නේද මේ ක්‍රමය යටතේය.

එනිසා ක්‍රමය එතරම් විශේෂිත තත්ත්වයක් නිර්මාණය කරන්නේ නැත.

නමුත් අවබෝධ කරගත යුත්තේ 2020 ජනාධිපති මෙතෙක් සිටි ජනාධිපතිවරු තරම් බලසම්පන්නයකු නොවන බවය.

කෙසේ වෙතත් එයින් පත්වන අගමැති බලසම්පන්නද කියා ගෙනෙන තර්කයක් වෙත්නම් එයද එතරම් ප්‍රායෝගික තර්කයක් නොවේ.

සත්තකින්ම 2020න් පසු බලවත් වන්නේ කොමිසන් සභාය.

ආචාර්ය නිහාල් ජයවික්‍රම මෙසේ කියයි.

“පැහැදිලිවම ඉදිරි ජනාධිපතිවරයාටද රාජ්‍ය නායකයකු සතු සාම්ප්‍රදායික අයිතීන් හිමි වනු ඇත. උදාහරණයක් වශයෙන් ඔහුට යුද්ධ ප්‍රකාශයට පත්කිරීමට පුළුවන. එසේ වෙතත් ඔහු එසේ ප්‍රකාශයට පත්කෙරෙන යුද්ධය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මිනිස් බලය සහ අවි ආයුධ ආදිය රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා විසින් සපයන්නේ නම් මිස ඔහුගේ යුද්ධ ප්‍රකාශය සක්‍රීය නොවන්නේය. එසේම ඔහුට වෙනත් රටක් වෙනුවෙන් අපේ තානාපතිවරයකු පත් කළ හැකිය. එහෙත් එසේ පත්කරනු ලබන තැනැත්තා අරබයා එකී විදේශ රාජ්‍යයේ ‘අනුමැතිය’ අපේ විදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයා විසින් ලබා ගනු නොලබන්නේ නම් එසේ අලුතෙන් පත් කළ තානාපතිවරයාට එකී රටට පය ගැසීමට නොලැබෙන්නේය. එසේම ජනාධිපතිවරයාට හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් කළ හැකිය. එහෙත් එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සහ වෙනත් සම්පත් අමාත්‍ය මණ්ඩලය මඟින් සම්පාදනය කර නොදෙන්නේ නම් සහ එම හදිසි අවස්ථා තත්ත්වය පාර්ලිමේන්තුව මඟින් අනුමත නොකරන්නේ නම් ඔහුගේ ප්‍රකාශය සක්‍රීය නොවන්නේය. එසේම පාර්ලිමේන්තුවේ සෑම සභා වාරයක් ආරම්භයේදීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔහුට කියැවිය හැක්කේය. එහෙත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය, අගමැතිවරයා විසින් සම්පාදනය කොට අමාත්‍ය මණ්ඩලය මඟින් ඉදිරිපත් කරනු ලබන්නක් මිස ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවන්නේය.”

ඒත්, 19 මෙහෙම තිබියදී පත්වෙන ජනාධිපතිවරයා ජේ.ආර්. කී පරිදි “ගැහැනියක් පිරිමියකු කිරීම හැරුණුකොට වෙන ඕන දෙයක් කිරීමට බලය තිබෙනවා.” කියා කියන පන්නයේ ජනාධිපතිවරයෙක් බිහි නොවේ.

“එතකොට මේ හැමෝම ජොකියෝ හොයන්නේ මොකටද?”

ඒක අහන්න ඕනෑ හොයන අයගෙන්ය.

මාතෘකා