මිහිපිට කිසිදු පියකු ඇසීමට ප්‍රිය නොකරන ප්‍රවෘත්තියක්...

 ඡායාරූපය:

මිහිපිට කිසිදු පියකු ඇසීමට ප්‍රිය නොකරන ප්‍රවෘත්තියක්...

රොනී ද මැල් මහතා 1977 - 1987 දක්වා මෙරට සිටි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාය. එම කාලය තුළ ඒ මහතා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මෙරට සමස්ත සන්දර්භය නව මාවතකට විවර කර දුන්නේය. අයවැය වාර්තා එකොළහක් අඛණ්ඩව ඉදිරිපත් කරමින් වාර්තාවක් පිහිටුවූ මැල් මහතා සිය ආර්ථික දෘෂ්ටිය ඔස්සේ මෙරට ආර්ථික දේහය උඩු යටිකුරු කළේය. ඒ මහතාගේ ජීවන මඟ පිළිබඳ ‘රැස’ පුවත්පත ගෙන එන ලිපි මාලාවේ විසිතුන්වැන්න (23) මතු දැක්වේ.

කැලණිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීමෙන් රොනීගේ ගත අප්‍රාණික විය. එය රොනී පමණක් නොව මිහිපිට කිසිදු පියකු ඇසීමට ප්‍රිය නොකරන ප්‍රවෘත්තියකි. ඉන් කියැවුණේ පේරාදෙණිය සිට කොළඹ බලා එමින් සිටි සිය දියණිය සුනාලිනී කැලණිය ආසන්නයේදී දරුණු රිය අනතුරකට භාජන වී කොළඹ මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ එම අනතුරින් රථයේ රියැදුරු හා සේවිකාව එම ස්ථානයේදීම මරුමුවට පත්වූ අතර සුනාලිනී ද මැල් මෙනවිය දරුණු ලෙස තුවාල ලැබුවාය. අනතුරට හේතුව, වයස්ගත රියැදුරුට විඩාව හේතුවෙන් නින්ද යෑම බැව් පොලිසියේ විශ්වාසය විය.

සුනාලිනීට කොළඹ මහ රෝහලේදී ප්‍රතිකාර ලබා දුන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, වයමන් සහ රියන්සි පීරිස් යන මහත්වරුන්ය. අනතුරින් සුනාලිනීගේ කොඳු ඇට පෙළට හා සුසුම්නාවට හානිවී තිබූ අතර අස්ථි ගණනාවක්ද බිඳී අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්ටද හානි සිදුවී තිබිණි. වෛද්‍ය වයමන්ගේ දැඩි කැපවීම මත ජීවිතයත් මරණයත් අතර තත්ත්වයේ පසුවූ ඇයට නැවත ජීවිතය ලැබුණද පෙර පරිදි දෙපයින් නැඟී සිටීමට හෝ තනිව කටයුතු සිදු කර ගැනීමට ඇයට අවස්ථාව නොමැති වනු ඇතැයි යන්න වෛද්‍ය මතය විය. ඒ වන විට ඇයට මෙරට තුළ කළ හැකි සියලු ප්‍රතිකාර අවසන්ව තිබූ බැවින් වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශය වූයේ එංගලන්තයේ ස්ටොක් මැන්ඩවිල් රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා සුනාලිනී රැගෙන යන ලෙසයි. එයට හේතුව වූයේ කොඳු ඇට පෙළ ආශ්‍රිත හානි වීම් සඳහා ප්‍රතිකාර ලබා දෙන ලෝකයේ පුරෝගාමී රෝහල ලෙස ස්ටොක් මැන්ඩවිල් රෝහල ප්‍රකටව තිබීම පමණක් නොවේ. මෙවැනි ආබාධ සුව කිරීම සඳහා නම් දරා සිටි විශේෂඥ වෛද්‍ය වෝල්ස් මහතා මේ සමයේ සේවය කරමින් සිටියේ ස්ටොක් මැන්ඩවිල් රෝහලේ වීමයි. ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ හිනිපෙත්තට පැමිණ සිටි වෛද්‍ය වෝල්ස් වෙත සුනාලිනී යොමු කරලීම මැල් පවුලේ සැමගේ එකම අපේක්ෂාව වූවාය.

පියකු ලෙස රොනී අසරණ වන්නේ මෙම අවස්ථාවේදීය. රටේ පවතින විනිමය පාලන නීති හේතුවෙන් සුනාලිනීගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා එංගලන්තයට රැඟෙන යෑමට නොහැකි වාතාවරණයක් පැවතිණි. සුනාලිනීගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට යෑමට කළ ඉල්ලීම සපුරාලිය හැකිව තිබිණි නම් ඇතැම් විට ඇය ලංකාවේදී මෙවැනි තත්ත්වයකට මුහුණ නොපානු ඇත. කෙසේ වුවද ඇය සුවපත් කර ගැනීම සඳහා කෙසේ හෝ මැදිහත් විය යුතුය. ඒ සඳහා කළ යුතු වූයේ අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවසරයක් ලබා ගැනීමයි.

විපක්ෂය සමඟත් ජනතා විමුක්ති පෙරමුණ සමඟත් සම්බන්ධතා පැවැත්වීම මෙන්ම ශ්‍රීලනිපය විවේචනය කිරීම හේතුවෙන් අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කිසිදු සහනයක් තමා වෙත ලබා නොදෙන බැව් රොනී උදක්ම දැන සිටියේය. ඊට විකල්ප ක්‍රමවේදය වූයේ මුදල් අමාත්‍ය, ඇන්.ඇම්. පෙරේරා මහතාගෙන් සහාය පැතීමයි. රොනී එම විකල්ප ක්‍රමවේදය තෝරා ගත්තේ ය.

සුනාලිනීගේ තත්ත්වය මෙන්ම රොනී පත්ව සිටි තත්ත්වය පිළිබඳවත් පැහැදිලි තක්සේරුවක් තිබූ ඇන්.ඇම්. පෙරේරා ඇය එංගලන්තයට රැඟෙන යෑමට අවශ්‍ය විනිමය සීමා ලිහිල් කර දෙමින් අනගි උපකාරයක් කළේය. එම වරප්‍රසාදය හේතුවෙන් ඇය ස්ටොක් මැන්ඩවිල් රෝහලට ඇතුළත් කිරීමට අවකාශය උදා විණි. තමාගේ අනුදැනුමකින් තොරව රොනීට එවැනි වරප්‍රසාදයක් ලබා දීම සම්බන්ධයෙන් අගමැතිනිය ඇන්.ඇම්. ට දෝෂාරෝපණය කළ බැව් පසුව වාර්තා විය.

සුනාලිනී පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන අවදියේ පෙමින් බැඳී සිටියේ ඇය සමඟ අධ්‍යාපනය හදාරමින් සිටි අයාල් ජයතිලක නම් ඉංජිනේරු ශිෂ්‍යයකුය. සුනාලිනී එංගලන්තයට රැඟෙන ගොස් සුවපත් කර ගැනීම සඳහා අයාල් ද ඉතා උනන්දුවෙන් කටයුතු කළේය. ඒ අනුව සුනාලිනී ප්‍රතිකාර සඳහා එරටට රැඟෙන යන අවස්ථාවේ අයාල් ද විදෙස් ගත විණි. ස්ටොක් මැන්ඩවිල් රෝහලේ ප්‍රතිකාර හේතුවෙන් සුනාලිනීට පූර්ණ සුවයක් නොලැබුණද තෙමසක ප්‍රතිකාරවලින් අනතුරුව රෝද පුටුවේ සිට සාමාන්‍ය දිවියක් ගත කිරීමට තරම් සුවයක් ඇයට හිමි වූවාය. එවැනි තත්ත්වයක සිට වුවද ඇය සිය අධ්‍යාපන සිහිනය අතහැර නොදැමුවාය. ඒ අනුව සුනාලිනී කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වූවාය. ඇයගේ විශේෂිත තත්ත්වය හේතුවෙන් ඇයට කේම්බ්‍රිජ් සරසවියේදී සහනශීලී සේවාවන් ලද අතර අයාල් ජයතිලක මහතාගේ දක්ෂතාවන් අගය කරමින් ඔහුට කේම්බ්‍රිජ් සරසවියේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය තනතුරක් හිමි විය. ලංකාවෙන් මුදල් යැවීමට බාධාවන් තිබූ එකල සුනාලිනීගේ එංගලන්තයේ වියදම් පියවා ගැනීමට අයාල් ජයතිලක මහතාට කේමිබ්‍රිජ් සරසවියෙන් හිමිවූ වැටුප මනා පිටිවහලක් විණි.

හැත්තෑ එකේ කැරැල්ල සම්බන්ධව සිරගත කළ සහ පුනරුත්ථාපන කඳවුරු තුළට ගාල් කර තිබූ දහස් ගණනක් තරුණ පිරිසගේ පවුල් මෙන්ම ආහාර අහේනිය හේතුවෙන් සමස්ත රටවැසියන් සියල්ලත් ආණ්ඩුව කෙරේ දැක්වූයේ දැඩි විරෝධාකල්පයකි. මෙම වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් ජේ.ආර්. ජයවර්ධනයන්ගේ නායකත්වයෙන් විවිධ උද්ඝෝෂණ හා ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර ක්‍රියාත්මක විය.

එවැනි පසුබිමක් තුළ ජේ.ආර්. ජයවර්ධනයන් රොනීට දන්වා සිටියේ ආණ්ඩුවට එරෙහිව සෘජුව ක්‍රියාත්මක වීමට දැන් කාලය පැමිණ ඇති බවයි. “හැංගි හැංගී වෙස් බැන්දත්, නටන්න වෙන්නේ එළියේය.’’ ඒ අනුව වසර කිහිපයක් සැඟවි සැඟවී විපක්ෂය සමඟ රොනී කළ දේශපාලන සෙල්ලම් ඔහු එළිපිට කිරීම ඇරඹිණි. එහි පළමු පියවර ලෙස සිදු වූයේ මින් ඉදිරියට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස තමා කටයුතු කරන බැව් රොනී ශ්‍රීලනිපයට දැනුම් දීමයි.

එමෙන්ම සමගි පෙරමුණු ආණ්ඩුවේ මර්දනය හා භීෂණයට විරෝධය පළ කරමින් ජනතාව දැනුවත් කිරීමේ දේශන මාලාවක් රොනී අරඹන්නේ ජේ.ආර්. ගේ ඉල්ලීමට අනුගත වීමක් වශයෙනි. තම ආසනය වූ දෙවිනුවර සිට උතුරේ පේදුරුතුඩුව දක්වා මහජන හමුවීම් මාලාවකට එක්වෙමින් රොනී ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා බණ්ඩාරනායක මැතිනියගේ ආර්ථික හා දේශපාලන ව්‍යාපෘති නිර්දය විවේචනයට ලක් කළේ අනුකම්පා විරහිත ලෙසිනි.

මෙසමයේදීම රොනී, ජනතාවට බෙදා හැරීම සඳහා කුඩා පොත් පිංචක්ද රචනා කළේය. එය නම් කර තිබුණේ ‘තවත් ශ්‍රී ලංකා කරමුද?’ ලෙසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනතා අපේක්ෂා භංග කර ඇති ආකාරයද එම පක්ෂය ජනතාවාදී ප්‍රතිපත්තිවලින් ඈත්වී පවුල් දේශපාලනයකට යොමුවී ඇති ආකාරයද, පක්ෂ නායිකාව කුඩා පිරිසක් සමඟ එක්ව ඒකාධිපති වියරුවකින් කටයුතු කරන බැව්ද එම පොත මගින් කරුණු සහිතව හෙළි කිරීමට රොනී කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පක්ෂයේ ශක්තිය වූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ජනතාව පෙළමින් ක්‍රියාත්මක වන මෙවැනි තත්ත්වයක් තුළ තවදුරටත් පක්ෂයේ රැඳී සිටිය යුතුදැයි යන පැනය රොනී ජනතාවගෙන් විමසීය.

ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස හිඳිමින් රොනී හුදකලාව කළ ආණ්ඩු විරෝධී සටන දිනෙන් දින මල්ඵල ගැනෙන ලකුණු පෙනෙන්නට විය. බණ්ඩාරනායක මැතිනියට ජනතාවගෙන් එල්ල වූ විරෝධයට අමතරව ආණ්ඩුව ඇතුළේ වූ මැති ඇමතිවරුන්ගෙන්ද විවේචන එල්ල වන්නට විය. ආණ්ඩුවේ අසාර්ථකත්වයට හේතු වී ඇත්තේ සම සමාජයේ මුදල් ඇමතිවරයාගේ අදූරදර්ශී පිළිවෙත් බැව් ශ්‍රීලනිප මැති ඇමතීන්ගේ චෝදනාව විය. පෙරළා සම සමාජයේ මැති ඇමති ගොල්ලන් ශ්‍රීලනිප ප්‍රතිපත්ති විවේචනය කරන්නට වූහ. ඒ අනුව සමගි පෙරමුණේ සමගිය දෙදරා මතභේද උත්සන්න වන්නට විය.

එහි ප්‍රතිඵලය වූයේ මුදල් අමාත්‍ය, ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්.ද සිල්වා හා ලෙස්ලි ගුණවර්ධන යන ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් සමගි පෙරමුණ තුළ සිටි අමාත්‍යවරුන් නෙරපා හැරීමට අගමැතිනිය කටයුතු කිරීමයි. සම සමාජය නෙරපීමත් සමඟ සමගි පෙරමුණේ පදනම දෙදරා ගිය අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 17 දෙනෙක් 1975 සැප්තැම්බර් 03 ද විපක්ෂයේ අසුන් ගත්හ. එම තත්ත්වය තුළ ආණ්ඩු පක්ෂයේ ඉතිරි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය පමණි.

නොබැඳි ජාතීන් ශ්‍රී ලංකාවට පැමිණෙද්දී රොනී එ.ජා.ප.යට යයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මීළඟ සතියේදී බලාපොරොත්තු වන්න.

[උපුල් ගලප්පත්ති්‍]

මාතෘකා