බිල්ලො මවන්න එපා ෆෙඩරල් ලංකාවට ලොකු වැඩියි : ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු කැබිනට් අමාත්‍ය මනෝ ගනේෂන්

 ඡායාරූපය:

බිල්ලො මවන්න එපා ෆෙඩරල් ලංකාවට ලොකු වැඩියි : ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු කැබිනට් අමාත්‍ය මනෝ ගනේෂන්

ඔබ වර්තමාන රජයේ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු කැබිනට් අමාත්‍යවරයා. මේ අමාත්‍යාංශය මගින් මොනවගේ කාර්යභාරයක්ද සිදුවෙන්නේ?

සමාජ ඒකාබද්ධතා කියන්නේ රටේ පවතින භාෂා, ආගම් සහ ජන කණ්ඩායම් ඒකාබද්ධ කරමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාව ඉස්මතු කිරීම වගේම, රට ඇතුළේ පවතින විවිධත්වයන් වර්ණවත් ශක්තියක් හැටියට හඳුනා ගැනීමයි.

දෙවැනි එක රාජ්‍ය භාෂා. මේ රටේ සිංහල, දෙමළ දෙකම රාජ්‍ය භාෂා. එහෙම නැත්නම් ජාතික භාෂා. ඉංග්‍රීසි භාෂාව හඳුන්වන්නේ සන්ධාන භාෂාව කියලා. මේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තියක් අකුරට ක්‍රියාත්මක කරන්න ඕන. ලංකාවේ අපට තියෙන්නේ විශාල මනසක් සහ හදවතක්. භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් මේ රටේ සිංහල සහ දමිළ ජනතාව අතර සැබෑ අවබෝධය ඇතිකරන්න අපි උත්සාහ කරනවා. මොකද, මේ රටේ ජාතික ප්‍රශ්නෙදි ලොකු බිල්ලෙක් මවාගෙනයි ඉන්නෙ. මම දන්නවා සැබෑම යකා එච්චර කළු නෑ කියලා. දෙපාර්ශ්වය අතර අවබෝධය ඇති වුණා නම් මේ බිල්ලා පොඩි බිල්ලෙක් වෙයි. එච්චරයි. ඉන්පසුව ජාතික ප්‍රශ්න සුළු සුළු ප්‍රශ්න වෙයි. අපේ රටේ නායකයන්ට ඒකට විසඳුම් දෙන්න, විසඳුම් ලබාගන්න අවස්ථාව ඇති වෙයි.

අනෙක් එක තමයි සමාජ ප්‍රගතිය කියලා කියන්නේ. මේ රටේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ගැන කතා කළත් සමහර කණ්ඩායම්වලට විවිධ කරුණු නිසා ඒ සංවර්ධනය ලැබෙන්නේ නෑ. වාසි ලැබෙන්නේ නෑ. දේශපාලන, ජාති, ආගම්, භාෂා, සමාජ කුල, විවිධ බෙදීම් උතුරෙත් තියෙනවා දකුණෙත් තියෙනවා. වැදගත්ම දේ මෙතනත් තියෙනවා. එවැනි කණ්ඩායම් ඔබ ළඟත් ඉන්නවා. ඒ ඒ අය අතර කොන් වුණු කණ්ඩායම් හොයලා බලලා ඒ අයට සමාජ ප්‍රගතිය සංකල්පය යටතේ ඒ නැතිවෙච්ච, අහිමිවෙච්ච සංකල්පනාවන්, ඒ අවස්ථාවන් ලබා දෙනවා.

අපි දැක්කා පහුගිය අවුරුදු ගණනාවකට උතුරේ කැබිනට් අමාත්‍යවරයෙක් බිහි වුණේ නෑ. උතුරු පළාත් සංවර්ධනයට නැත්නම් මේ රටේ අනෙකුත් සම්පත් බෙදා වෙන් කිරීමේ ගැටලුවට ජාතික මට්ටමින් මොනවා හරි විසඳුමක් ඔබතුමා යෝජනා කරනවාද?

ඔව්. මම හැමදාම ටී.එන්.ඒ. සංවිධානයට කියනවා, එන්න ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න කියලා. එකතු වෙලා ඇමති ධුරයක් බාරගන්න කියලා. අවශ්‍ය නම් මගේ අමාත්‍යාංශය මං දෙන්නම්. දීලා මං අයින්වෙලා නිකන් ඉන්නම්. කමක් නෑ. මොකද අපි රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා වැඩ කරන්න ඕනේ කියලා හිතනවා. විවිධ කාරණා නිසා ඒ අයත් ආණ්ඩුවට උදවු කරනවා. නමුත්, ඇතුළට එන්න කැමති නෑ. ඒත් මං ගිහිල්ලා කියලා ආවා, ටී.එන්.ඒ. සංවිධානයට නැත්නම් උතුරු නැඟෙනහිර දේශපාලන පක්ෂවලට ඉතිහාසයේ ආපු ගමන පොඩ්ඩක් වෙනස් කරගන්න කියලා. දැන් වම් අත දේශපාලන විසඳුම නම්, දකුණු අත වෙන්න ඕනේ සංවර්ධනය. මේ අත් දෙක සමාන්තරව අරගෙන එන්න, කමක් නෑ. උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව එකතු වෙලා තමයි මේ යහපාලන ආණ්ඩුව හැදුවේ. අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. දමිළ ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව ඔක්කෝම එකතු වුණා.

එතකොට දැන් ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය කරන දේශපාලන විසඳුම මොකක් වෙන්න ඕනෙද?

දැනට අපි ළඟ තියෙනවා පළාත් සභා යාන්ත්‍රණයක්. පළාත් නවයක් තියෙනවා. මේ නවය වෙනස් වෙන්නේ නෑ. මේ කිසිම පළාතක් එකතු වෙන්නේ නෑ. ඒ වගේ මේ රටේ ෆෙඩරල් කියලා අපි හඳුනාගෙන ඉන්න ව්‍යවස්ථාවක් එන්නෙත් නෑ. ඕනෙත් නෑ. ෆෙඩරල් ගේන්න මේ රට පොඩි වැඩියි.

අනෙක් එක බුදුදහමට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන අවස්ථාව දීලා තියෙනවා. සෑම ආගමක්ම සමානයි කියලා කියනකොට ඒක වැරදියි තමයි. නමුත් බුද්ධාගම මම නම් දකින්නේ ආගමක් හැටියට නෙමෙයි. ඒක මාර්ගයක්. එහෙම නැත්නම් දර්ශනයක්. ඉතින් තමුන් සිංහල බෞද්ධ යැයි කියාගෙන ඉන්න සමහර අයට කිසිම අවබෝධයක් නෑ මේ ගැන. ඒක ඒගොල්ලන්ගේ වැරැද්ද. බෞද්ධ දර්ශනයේ වැරැද්ද නෙවෙයි. ඒ දර්ශනය අපේ රටේ ප්‍රධාන දර්ශනයක් හැටියට පිළිගන්නවා නම් හොඳයි.

අපි ඒකීය ලංකාව තුළ විසඳුම් හොයාගන්න ඕනේ. පුළුවන්, බැරිකමක් නෑ. අපි ඉස්සරහට යනවා. රට කඩන්න කඩන්න අපි හදනවා. ඒ මට්ටමෙන් අපි

13 වැනි සංශෝධනය ගේනවා. පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරමු. එච්චරයි මගේ විසඳුම.

ද්‍රවිඩ ජාතික සන්ධානය පවා කියන්නේ දකුණේ සිංහල ජනතාව පිළිගන්නෙ නැති විසඳුමක් අපට අවශ්‍ය නෑ කියලා. හැබැයි දකුණේ ඇයි මේ දේශපාලනඥයෝ ෆෙඩරල් ගේනවා කියලා ව්‍යවස්ථා බිල්ලෙක් මවන්නේ?

දේශපාලන වාසියට එච්චරයි. මේ ව්‍යවස්ථා කෙටුම්පතින් උතුරු නැඟෙනහිර ඒකාබද්ධ වෙනවා, බුදුදහමට තියන ප්‍රධාන තැන අහිමි වෙනවා, ෆෙඩරල් ව්‍යවස්ථාව එනවා, කොටි එනවා, ප්‍රභාකරන් එනවා, සන්නද්ධ අරගල පටන් ගන්නවා කියලා රට ගිනි තියන්න හදනවා. මේ කතා බොරු. ලැජ්ජ නැති වැඩක් මේක. දකුණේ ඉන්න ජාතිවාදීන්ට සමානවම උතුරේ ඉන්න ජාතිවාදීනුත් අන්තවාදීනුත් මේ ගැන බොරු කියනවා. ඇත්තට මේ දෙපාර්ශ්වයම අතර නිල නොවන අවබෝධතා ගිවිසුමක් ඇති කියලා සැකයක් මට තියෙනවා. මොකද ඒ අය කට අරිනකොට මේ අයට ලකුණු වැටෙනවා. මොවුන් කට අරිනකොට ඔවුන්ට ලකුණු වැටෙනවා.

දැන් වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ සංහිඳියාව සම්බන්ධයෙන් යම්කිසි තීරණාත්මක කාර්යභාරයක් කළා. මේ කාර්යභාරය සම්බන්ධයෙන් ඔබතුමා සතුටු වෙනවාද?

අනිවාර්යයෙන් සතුටු වෙනවා. වචන දෙකක් නෑ. සාපේක්ෂව බලන්නකෝ. දැන් ඇත්තටම ලෝකයේ හොඳම දේ කියලා මොනවත් නෑ. දේශපාලනික, සමාජයීය, සංස්කෘතික, ආර්ථික කොතනකවත් හොඳම දේ කියලා දෙයක් නෑ. ඒ වගේම සාපේක්ෂවම එදාට වඩා අද හොඳයි. අදට වඩා අනිද්දා හොඳයි. ඒක කියන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු නෑ කියලා කිව්වා නම් මම බොරුකාරයෙක් නැත්නම් මෝඩයෙක්. මම මෝඩයෙක්වත්, බොරුකාරයෙක්වත් නෙමෙයි. නමුත් ඒ අඩුපාඩු අවබෝධ කරගෙන ඒවා පිළිගන්න ඕනේ.

 

එතකොට ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් වුණා කියලා ඔබතුමාලා කිව්වා. දැන් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත්තද?

ඒ දෙවල්වලට දඬුවම් ලබා දෙන්නට ක්‍රමයක් තියෙනවා කියලා අපි හිතන්නේ නෑ. එකම අවස්ථාව මැතිවරණය තමයි. මැතිවරණය හරහා ජනතාව සම්බන්ධ කරගෙන මේ උත්තරය ලබාදෙන්න හිතෙනවා. ඒ දවස් 51 අවසානයේ ලබාගත් ජයග්‍රහණය පෞද්ගලික එකක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ ඇමතිවරුන්ගේ හෝ පක්ෂයක ජයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්.

ඔබතුමා හිතන විදිහට ඊළඟට එළඹෙන මැතිවරණය කුමක් ද?

ඊළඟට එන්නේ ජනාධිපතිවරණය. වෙන එකක් එන්න බෑ. දැන් මැතිවරණයක් ඉල්ලන්නේ කවුද? අපි ඉල්ලන්නේ නෑ. විපක්ෂයේ අයනේ ඉල්ලන්නේ. මොකද ඒ ගොල්ලන්ට රටේ විශාල අර්බුධයක් තියෙනවා කියනවා. රට කැඩෙනවා, රට බෙදෙනවා, රටේ ගිනි පත්තු වෙලා ඉවරයි කියනවා. ඒකට උත්තර අවශ්‍ය නම් නැවත ජන වරමක් ඕනේ. ඉතින් ජනවරමක් ගන්න ඕනේ නම් කොහොමද යන්න ඕනේ. පළාත් සභාවට ගිහින් බෑ. පළාත් සභා ඡන්දය පළාත් මට්ටමින් පවතින ඡන්දය. ඒ මැතිවරණයකදී ඡන්දය දෙන ක්‍රමය වෙනස්. පාර්ලිමේන්තු මැතිවරණයත් බලන්න, ඒකත් දිස්ත්‍රික් මට්ටමින් එන්නේ. ජනාධිපතිවරණයක් නම් මුළු රටම. උතුර, දකුණ, නැඟෙනහිර, බස්නාහිර මුළු රටම සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව ආගම්, භාෂා භේදයෙන් තොරව එක ඡන්ද කොට්ඨාසයක් වෙනවා. පුද්ගලයො එක්කෙනෙක් දෙන්නෙක් තරග කරන්නේ. ඒ නිසා අපි ජනාධිපතිවරණයක් බලාපොරොත්තු වෙනවා. අපි ඒකට සම්පූර්ණයෙන්ම සූදානම්.

ඔබතුමාලා සූදානම් කියන්නේ, අපේක්ෂකයකුත් සුදානම්ද?

ඔව්. මුලින්ම අපේක්ෂකයෙක් අරන් යන්න යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ යාන්ත්‍රණයේ නම තමයි 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ'. පෙරමුණ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ආදී කණ්ඩායම් එකතු වෙලා නිර්මාණය කරන පුළුල් ජාතික සන්ධානයක්. ඒකත් එක්ක සමාන කරන්න සන්ධානයක් පවතින්නේ නෑ කියන්න අපි දන්නවා.

මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ පොදු අපේක්ෂකයෙක්. ඒ අපේක්ෂකයා අපේ සන්ධානයේ පවතින ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්. ඒ අපේක්ෂකයත් අපි තීරණය කරලා ඉවරයි. මම ඉතා වගකීමෙන් කියනවා අපේක්ෂකයා තීරණය කරලා ඉවරයි.

සාකච්ඡාව - [විමුක්ති දුෂාන්ත]

ඡායාරූප - [මේනක එම්. කොඩිතුවක්කු]

මාතෘකා