ගී කියන කන්දේ රහස් ගබඩාව

 ඡායාරූපය:

ගී කියන කන්දේ රහස් ගබඩාව

මෙරට කීර්තිමත් මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මැල් මහතාගේ චරිතය අලළා රැස පුවත් පත ගෙන එන කථාංග මාලාවේ දෙවැන්න

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ ”ය යන පැරණි කියමනට අනුව වුවද රොනී ද මැල් මහතාගේ පසුකාලීන ස්වරූපයේ ඡායාව, පාසල් සමය නමැති කැඩපතේ මනා ලෙස දිස්විණි.

වෙහෙසකර වූ අධ්‍යාපන ජයක් හරහා ළඟා කර ගත යුතු බොහෝ දේ ඒ වන විටත් පරම්පරාවෙන් ඔහුට හිමිව තිබිණි. එසේ තිබියදී ඔහු සිය පරපුරේ ධනය මත විශ්වාසය තබා ක්‍රියා නොකළේය. නිතැතින් හිමිව තිබූ ධනය වෙනුවට උට්ඨාන වීර්යයෙන් උපයා ගත යුතු වූ ඥාන සම්භාරයක් සොයා ඔහු ලුහුබැඳ ගියේය.

සිය මව වූ ග්ලැඩිස් මෙන්ඩිස් මහත්මිය ඒ වන විට දෙවන දරුවාද මෙලොවට බිහිකර තිබිණි. ඔහු රයිල් ද මැල් වූ අතර, රයිල්ගේ උපතත් සමඟ රොනී කෙරේ වූ පවුලේ බලාපොරොත්තු තව තවත් වැඩි වූවාට සැක නැත. ඊට හේතු වූයේ රයිල් උපතින්ම කථන ආබාධයකින් යුතු විශේෂ දරුවකු වූ නිසාවෙනි.

රයිල්ගේ උපත රොනීගේ වැඩිවිය පැමිණීමක් බඳු විය. සිය අධ්‍යාපන, ක්‍රීඩා හා විෂය බාහිර කටයුතුවලට අතිරේකව බාල සොයුරාට මග පෙන්වීමට කාලය කැප කිරීමටද රොනීට සිදුවිය. රයිල්ට වැඩි වැඩියෙන් ආදරය, කරුණාව අවශ්‍ය විය. රොනී අයියා සිය මල්ලීට ඒ ඇවැසි කරුණාව, ආදරය අඩුවක් නැතිව ලබා දුන්නේය.

අද මෙන්ම එදාත් ජනප්‍රිය කොලීජිවල වර්ෂ අවසාන වර්ණ ප්‍රදානෝත්සවය වනාහී, එම විද්‍යාලයේ මහා මංගල්‍යයකි. සිය විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ වරුණ ලොවට කියාපාන මෙම අවස්ථාව සඳහා ශිෂ්‍යයන්ද, ආචාර්ය මඬුල්ල හා ආදි සිසුන්ද සහභාගි වන්නේ මහත් උද්යෝගයෙනි. මෙවැනි අවස්ථාවන්හි රටේ පාලනයේ ඉහළම ප්‍රභූන් ආරාධිතයන් ලෙස ගෙන්වා ගැනීමද අද මෙන්ම එදාද පැවති සම්ප්‍රදායයි. රජුන්, මහාමාත්‍යවරුන් මෙන්ම රටේ නමගිය ඉහළම තලයේ නිලධාරීන් හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වරප්‍රසාද ලත් පැළැන්තියක තිඹිරිගෙය වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සම්ප්‍රදාය වූයේද එයයි.

ඒ රොනීගේ පාසල් දිවියේ දොළොස් වැනි ඉම විය. පාසල් අවසන් වාර විභාගය හා එම වසරට අදාළ පාසැලේ දිදුලන දරුවන් ඇගයීම සඳහා වූ වර්ණ ප්‍රදානෝත්සවයට සියලු කටයුතු සූදානම් කෙරුණේ ලහි ලහියේය.

රොනීගේ පන්ති සගයන් එදා ශාන්ත තෝමස් ප්‍රධාන ශාලාවට එක්වූයේ තමාටද ත්‍යාගයක් ලැබේ යැයි යන සිතිවිල්ලෙන් නොව, මෙවරත් අපට සිදුවන්නේ රොනීට අත්පුඩි තැලීමට පමණය යන සිතිවිල්ල සිතේ රඳවාගෙන බවට සැක නැත.

ශාන්ත තෝමස් විද්‍යාලයේ ඒ ඒ ශ්‍රේණිවල හා විෂයයන් සඳහා දක්ෂතා දැක්වූවන්ට ත්‍යාග පිරිනැමීමට අතිරේකව විවිධ ක්ෂේත්‍ර තුනක් සඳහා උපරිම දක්ෂතා දැක්වූ දරුවන් වෙනුවෙන් ත්‍යාග තුනක්ද පිරිනැමිණි.

විද්‍යාලයේ ඉගෙනුම ලබන දක්ෂ දරුවන් සියලු දෙනාගේම සිහිනය වූයේ වේදිකාව මතට නැඟ ප්‍රධාන ආරාධිතයන් අතින් එම ත්‍යාග තුනෙන් එක් ත්‍යාගයක් හෝ හිමිකර ගැනීමයි.

ඒ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයේ මෙරට සුදු ආණ්ඩුකාර ධුරය දැරුවේ ශ්‍රීමත් ඇන්ඩෘ කෝල්දිකෝල් මැතිතුමන්ය. අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයට අනුව ඔහු බ්‍රිතාන්‍ය කිරීටය දැරූ වික්ටෝරියා මහ රැජිනගේ ලංකාවේ නියෝජිතයා මෙන්ම මෙරට පාලකයාද විය.

උක්ත ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා එදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේද එතුමන්ය. ඔහු මෙන්ම සුදු පාලනාධිකාරියේ ඉහළම තලයේ සුවිශේෂ අමුත්තන් රැසක්ද මෙම උත්සවයට පැමිණි සිටියහ. එපමණක් නොව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෝ රැසක්ද ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියහ. පසු කලෙක මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන්ද ඒ අතර විය.

සියලු තෝමසුවන් කුතුහලයෙන් යුතුව බලා සිටි විශේෂ ත්‍යාග තුනට හිමිකම් පෑ දරුවන් වේදිකාවට කැඳවන අවස්ථාව උදාවිණි. එදා එම විශේෂ ත්‍යාග තුනම හිමි කර ගත්තේ රොනී ද මැල් සිසුවාය.

රොනීට ත්‍යාග පිරිනැමීම සඳහා ඇරයුම් ලැබූයේ ආණ්ඩුකාර කෝල්දිකෝල් මැතිතුමන්ය. ආණ්ඩුකාර තුමන් හා ත්‍යාග ප්‍රදානයට ඩී.එස්. සේනානායක මැතිතුමන්ද වේදිකාවට කැඳවිණි.

ත්‍යාග ලෙස හිමිවූයේ තරමක් විශාල වටිනා ඉංග්‍රීසි ග්‍රන්ථ ත්‍රිත්වයකි. ත්‍යාග තුනම එකම ශිෂ්‍යයකුට හිමිව තිබූ බැවින් ආණ්ඩුකාරතුමන් අතින් ග්‍රන්ථ තුනම එකවරම ශිෂ්‍ය රොනීට පිරිනැමිණි.

යෞවන විය අභිමුව සිටි ජවසම්පන්න ශිෂ්‍යයෙකු වුවද එම පොත්වල බර දරා ගැනීමට රොනීගේ දෑතට හැකියාවක් නොවීය. අපහසුවෙන් ඒවා දරා ආණ්ඩුකාර තුමන්ට ආචාර කිරීමට සැරසෙත්ම රොනීගේ දෑතින් ග්‍රන්ථ දෙකක් බිම පතිත වූයේ නිරායාසයෙනි. සිය මහත්මා ගති ලක්ෂණ සිය පාසලේ කනිෂ්ඨ දරුවන් ඉදිරියේ මනාව ප්‍රකට කරමින්, බිමට පහත්වී රොනීගෙන් ගිලිහුණු පොත් රැඟෙන ඒවා රොනීගේ දෑත් මත ප්‍රතිස්ථාපනය කළේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් විසිනි. එපමණක් නොව රොනීගේ හිස පිරිමදිමින් ඩී.එස්. එදා කී දෙය රොනීගේ ගමන්මඟට තීව්‍ර ඉලක්කයක් හා දිශානතියක් සැපයීමක් බඳු විය.

“පුතා මේ ලොකු පොත් කියවලා, ලොකු මහත්තයින් කෙනෙක් වෙන්ඩ ඕන... ඉස්සරහට අපට ලොකු ලොකු වැඩ ගොඩක් කරන්න තියනව... තේරුණාද ?“

ජාතියේ පියකු, අනාගතයේ සපුරාලිය යුතු ජාතියේ අවශ්‍යතා වෙනුවෙන් දේශීය වින්‍යාසයකින් හෙබි දිරිය පුතකුට මඟපෙන්වූයේ එසේය.

වෙන කවරදාවත්, කිසිවකුගෙන් හෝ නොලද තරම් ස්නේහවන්ත බවක් ඩී.එස්. ගේ ස්පර්ශය තුළ රොනීට දැනුණි. ඒ ඔවදන තම රෝම කූප හරහා කිඳා බැස, රුධිර නාල හරහා විදුලියක් මෙන් ගමන් කළ බැව් රොනීට වැටහිණි. ‘ලොකු වෙලා මමත් රටට යමක් කළ යුතුය ’ යන හැඟීම පළමු වරට ඔහුට ඇතිවූයේ එදාය.

මැට්‍රික්‍යුලේෂන් විභාගයේ උසස් සාමාර්ථය සමඟ රොනීට මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන වරම් හිමිවිණි. රොනීට තෝරා ගැනීමට තිබුණේ තමා ඇතුළත් වන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියටද, නැතිනම් කේම්බ්‍රිජ් සරසවියටද යන්න පමණි.

ගුවන් ගමන් සේවා දියුණු වී නොතිබූ එකල ලන්ඩනයට ගමන් පහසුව සලසා ගැනීමට තිබූ එකම මාර්ගය වූයේ නැව් මගිනි. දෙවන ලෝක මහා සංග්‍රාමය ඒ වන විටත් පැවති බැවින් මගී නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි. ඒ සමයේ බ්‍රිතාන්‍ය නෞකා ජපන් හමුදාවන්ගේ නිරන්තර ප්‍රහාරවලට ලක්වීම ඊට හේතුව විණි. අත්‍යාවශ්‍යම වූ ගමනක් වේ නම් එයද සිදුවූයේ මිත්‍ර හමුදාවන්ට අයත් යුද නෞකා භාවිත කරමිනි. බ්‍රිතාන්‍ය යුද නෞකාවකට ගොඩබට මගියෙකු සිය අපේක්ෂිත වරායෙන් නිරුපද්‍රිතව බැස ගත්තේ නම් ඒ මගියාට වාසනා මහිමයක් මෙන්ම අදාළ නෞකාව වෙත නාසි හමුදාවන්ගේ දුර්වල ඉලක්කයක්ද තිබිය යුතුම විය.

ඔක්ස්ෆර්ඩ් හෝ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල සිහිනය තරුණ රොනීගේ ජීවන අභිප්‍රායක් ව තිබිණි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා යුද නෞකාවක නොව ප්‍රහාරක යානාවක වුවද ගමන් කිරීමට රොනී අදිටන් කරගෙන සිටියේය.

කෙසේ වුවද රොනීගේ බ්‍රිතාන්‍ය ගමනට මවගෙන් හා පියාගෙන් ලැබුණේ මෙතෙක් ඔවුනොවුන් ප්‍රකට කළ ප්‍රතිචාර නොවේ. අධ්‍යාපනය කෙරේ විශ්වාසය තබා එම මාර්ගය අනුමත කළ රොනීගේ මව, ලන්ඩන් ගමනට විරෝධය පෑ අතර, ව්‍යාපාර කටයුතු කෙරේ විශ්වාසය තබා සිටි ඔහුගේ පියා ලන්ඩන් ගමනට ආශිර්වාද කළේය.

සිය මව හඬමින්, වැලපෙමින් රොනීගෙන් ඉල්ලා සිටියේ යුද අනතුරු මැද ලන්ඩන් යෑම නොකරන ලෙසයි. සත්‍ය ලෙසම ලන්ඩන් ගමනට සිය මවගේ විරෝධය තමා කෙරේ වූ ආදරය නිසාම සිදුකරන්නක් බැව් රොනී තේරුම් ගත්තේය. සිය බාල සොයුරාගෙන් බලාපොරොත්තු විය නොහැකි හෙටක් මව තමාගෙන් බලාපොරොත්තු වන බව ඔහුට දැනෙන්නට විය.

මවගේ කඳුළු මතින් රොනීගේ ඔක්ස්ෆර්ඩ්- කේම්බ්‍රිජ් සිහිනය බොඳවී ගියේය. එම සිහිනය වියැකුණද, උසස් අධ්‍යාපනය සඳහා වූ රොනීගේ නොනිත් ආශාව අහවර නොවීය. මෙතැන් පටන් තමා කළ යුත්තේ ලංකාව තුළ ලබා ගත හැකි උපරිම සුදුසුකම් සපුරා ගැනීම බැව් ඔහු තීරණය කළේය. ඒ අනුව ලංකාවිශ්ව විද්‍යාලයට ඉල්ලුම් කළ යුතු යැයි රොනී තීරණය කළේය.

සර් අයිවෝ ජෙනිංග්ස් මහතාගේ කැපවීම, සුවිශේෂ උනන්දුව හා බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් කළ බලගතු ඉල්ලීම හේතුවෙන් එතෙක් පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කොලීජිය, ලංකාවිශ්ව විද්‍යාලය ලෙස උසස් කෙරුණේ මෙසමයේය. ඒ වන විට පේරාදෙණිය සරසවිය පවා ආරම්භ කොට නොතිබූ අතර, විශ්වවිද්‍යාල මට්ටමේ උපාධියක් හිමිකර ගැනීමට ලංකාව තුළ තිබූ එකම ආයතනය ලංකා විශ්වවිද්‍යාලය පමණක් විය.

ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අපේක්ෂාව පෙරදැරිව රොනී, උපකුලපති සර් අයිවෝ ජෙනිංග්ස් මහතා හමුවීමට ගියේය.

රොනීගේ සරසවි අයදුම්පත පරීක්ෂා කර සර් අයිවෝ ජෙනිංන්ග්ස් කී කතාව මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න...

මාතෘකා