මේ ආණ්ඩුවේ ධනාත්මක දේ තියෙනවා : උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්

 ඡායාරූපය:

මේ ආණ්ඩුවේ ධනාත්මක දේ තියෙනවා : උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්

සුරේන් රාඝවන්. වෘත්තීය විද්‍යාර්ථියෙක්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ නිපුණයෙක්. වර්තමානයේ ඔහු වැඩි කතාබහට ලක් වී ඇත්තේ උතුරු පළාතට පත් වූ පළමු දෙමළ ආණ්ඩුකාරවරයා හැටියට. ජාතිකත්වයේ සුවිශේෂී ලක්ෂණ ඉහවහා යා යුතු ආණ්ඩුකාර ධුරයේ අභියෝග මොනවාදැයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සමග කළ සාකච්ඡාවක් පහතින් පළ වේ.

සුරේන් රාඝවන් කියන තැනැත්තාට ආණ්ඩුකාරවරයකු වෙන්නට තියෙන සුදුසුකම මොකක්ද?

ඔබ අහන ප්‍රශ්නය ඇත්තටම මගෙන් ඇසිය යුතු එකක් නොවේ, එය ඇත්තටම විමසිය යුත්තේ ජනාධිපතිවරයාගෙන්. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනාධිපතිවරයාට අයිතියක් තියෙනවා තමන්ගේ පරිකල්පනය අනුව ආණ්ඩුකාරවරයකු පත් කිරීමට. ජනාධිපතිවරයාගේ අභිමතය අනුව තමන්ට සුදුසු යැයි හැඟෙන අයෙකු ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට එතුමාට හැකියි. ඒ අනුව එතුමා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට පත් කළේ. ඔබ ඇසූ ප්‍රශ්නයට පෞද්ගලිකව උත්තර දෙනවා නම් මට තියෙන සුදුසුකම මම දේශපාලනඥයෙක් නොවීම. මම අධ්‍යාපනඥයෙක්. මාගේ විෂය හැටියට දේශපාලන විද්‍යාව ඉගැන්වූවෙක්. එ අනුව උතුරු පළාතේ පරිපාලනයට, පශ්චාත් යුද සමයේදී උතුරේ තත්ත්වයට මැදිහත් වීමට හැකියාව මට තිබෙන බව මම විශ්වාස කරනවා. මට තිබෙන සුදුසුකම් ගැන මට කිව හැක්කේ එයයි. ඊට අමතරව මම ගැන තොරතුරු අන්තර්ජාලයේ තිබෙනවා.

මීට පෙර හිටපු උතුරු ආණ්ඩුකාරවරයාට ලැබුණු ආදරය මේ වෙද්දි ඔබටත් ලැබෙමින් තිබෙනවාද?

ඔව්, මටත් ඉහළ පිළිගැනීමක් පළාතේ ජනතාවගෙන් ලැබෙමින් තිබෙනවා. මා වැඩ බාර ගැනීමෙන් පස්සේ පැවැත්වුණු පළමු මහජන දිනයේදීම 200කට අධික ජනතාවක් මුණ ගැසීමේ අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ ආදරය ඉතා ඉහළයි. ජනතාව වගේම පළාතේ හින්දු, බෞද්ධ හැම ආගමකම නායකයන් මා ඉතා ආදරයෙන් පිළිගත්තා. මේ කෙටි කාලෙට ලැබුණු අගය කිරීම් ඉහළ බව තමයි කියන්න තියෙන්නේ.

පළමු මහජන දිනයේ අත්දැකීම් ගැන කීවොත්?

ජනතාවගෙන් බහුතරයක් රජයෙන් තමන්ගේ ගැටලුවලට සහන ඉල්ලනවා. යුද්ධය අවසන් වී වසර 10ක් ගෙවී ගිහිනුත් ජනතාවගේ ගැටලු නිරාකරණය වී නැහැ. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රාජ්‍ය හා පුරවැසියා අතර ඇති සම්මුතියේ කොන්දේසි බිඳ වැටී තිබීම අධ්‍යාපනයෙන් පවා උතුරු පළාත සිටින්නේ පසුපසින්. අතීතයේ පටන් ඉහළ අධ්‍යාපන තත්ත්වයක් තිබූ යාපනය දිස්ත්‍රික්කය අධ්‍යාපනයෙන් 22 වැනි දිස්ත්‍රික්කය වී තිබීම ඉතා කනගාටුයි.

මේ වගේ භාරදූර ගැටලු රාශියක් එක්ක උතුරු පළාතේ වගකීම බාර ගන්න හිතුවෙ ඇයි?

මම පුරවැසියෙකු හැටියට ක්‍රියාකාරීව රටේ ඉදිරියට දායක වෙන්න ඕන බව මම හිතනවා. යුක්තිය, සාමය, නීතිය ස්ථාපිත විය යුතු බව මම බෙහෙවින් විශ්වාස කරනවා. පවතින සෛද්ධාන්තික තත්ත්වය ඉතාම හොඳයි. මේ සෛද්ධාන්තික තත්ත්වය එක්ක ඊට සමගාමීව සියල්ල සිදු විය යුතුයි. මම උතුරු ආණ්ඩුකාරවරයා හැටියට තනතුර බාර ගත් විට මම ජනාධිපතිවරයා එක්ක හිට ගත්තා යැයි ඇතැම් අය කීවා. ජනාධිපතිවරයා වර්තමානයේ ඉන්න නායකයින්ගෙන් ජාතීවාදී අයෙකු නෙමෙයි. ඒ හේතුව උඩ මම මේ තනතුර බාර ගත්තා.

උතුරු පළාතේ හඳුනාගත් ගැටලු මොනවාද?

මුලින් කිව්වා වගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය, ජාත්‍යන්තර මුහුද, අධ්‍යාපනය, කෘෂිකර්ම ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය, භාෂා අයිතිය, දූෂණය අවම කිරීම යනාදිය මේ වෙද්දි හඳුනා ගත් ගැටලු වී තිබෙනවා. දූෂණය ඉතා ඉහළ වීම නිසා දූෂණ විරෝධී තත්ත්වයක් නිර්මාණය කිරීම ඉතා අත්‍යවශ්‍යයි. මේ සියල්ලට පළාත් සභාවක් නැති වීම බෙහෙවින් බලපානවා. මීට අමතරව උතුරේ රැකියා ගැටලුව ඉතා ඉහළයි. හඳුනා ගත් බොහෝ ගැටලුවලට රැකියා ගැටලුව විශාල හේතුවක් වී තිබෙනවා. මේ සියල්ල සලකා බලමින් තමයි 2020 වන විට උතුරු පළාතේ සියයට 50ක කාන්තාවන් රාජ්‍ය සේවයට යෙදවීමට පියවර ගන්න හිතුවේ. 'ජෙන්ඩර් ඊකුවලිටි' ඒ කියන්නේ, රැකියා සඳහා කාන්තාවන් හා පිරිමින් අතර සමානාත්මතාවක් ඇති කිරීම තමයි මගේ අරමුණ වී තිබෙන්නේ. මීට අමතරව උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහේ ප්‍රධාන නගර සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. උතුරු පළාත සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි ප්‍රමුඛ පළාතක්. ඒ අනුව සංචාරක කටයුතු සඳහා ප්‍රධාන නගර දියුණු කිරීම අත්‍යවශ්‍යයි. වන්දනාමාන කටයුතු සඳහා ජනතාව මෙහි එනවා. ඒ වෙනුවෙන් යටිතල පහසුකම් සැකසීමත් එක් ඉලක්කයක්. මේ සියල්ලට වඩා පසුගිය මාසයේ එක්ලක්ෂ විසිපන්දාහක් වන අපේ ජනතාව ගංවතුරෙන් අවතැන් වුණා. ඒ වෙනුවෙන් සහන කටයුතු තවමත් සිදු වෙනවා. මේ ගැටලු ගැනත් අප විශේෂයෙන් සළකා බැලිය යුතුයි.

උතුරේ ගෘහමූලික, වැන්දඹු කාන්තාවනුත් මේ සියයට 50ට ඇතුළත්ද?

කාන්තාවන් අපට වර්ග දෙකක් ලෙස සලකන්න වෙනවා. කොටසක් වෘත්තීය සුදුසුකම් සහිත අය හැටියට. ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වයට ගැළපෙන පරිදි ඔවුන් රජයේ රැකියාවලට යෙදවීම කළ යුතුයි. අනෙක් අය ගෘහස්ථ කර්මාන්තවල නියැළීමට සුදුසුකම් ඇති අය. වැන්දඹුවන්ගේ ගැටලුව උතුරු පළාතේ ප්‍රධාන එකක්. හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 8000ක් පමණ මේ වෙද්දි රැකියා විරහිතයන් හැටියට පසු වෙන්නේ. ඔවුන් ඒකපාර්ශ්වීයව සිතා කටයුතු කළ අය. බොහෝ දෙනෙක් යුද්ධය විතරයි දැන්ගෙන සිටියේ. යුද්ධය අවසන් වෙද්දි අවුරුදු විස්සේ පසු වූ අය. දැන් ඔවුන් අවුරුදු 30ක් වූ මැදිවියට එළඹීමට සිටින අය. ඔවුන්ව යළි පාසල් යවා ගොඩනඟන්නට බැහැ. රැකියාවක නියැළීම සඳහා පුනරුත්ථාපනය පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා එවැන්නන් සම්බන්ධයෙනුත් වගකීම්සහගතව සලකා බැලිය යුතු වෙනවා.

විවිධ අපරාධ කල්ලි බිහි වීම මේකෙම දිගුවක් නේද?

ඔව්. මේකෙම තවත් දිගුවක් තමයි 'ආවා' වැනි විවිධ කල්ලි ක්‍රියාත්මක වීම. පශ්චාත් යුද සමයකදී මෙවැනි වටපිටාවක් නිරාමාණය විය හැකියි. සිවිල් සමාජය අපරාධවලින් මුදා ගැනීමට අප කටයුතු කළ යුතුයි. මේ සියල්ලේ ප්‍රධාන හේතුව වන්නේ රැකියා හිඟ වීමයි. අතීතයේ කන්කසන්තුරය, පරන්තන්, කන්තලේ ප්‍රදේශවල රැකී රක්ෂා තිබුණා. මට ගැටලුව තියෙන්නේ, යුද්ධෙන් පස්සේ වසර 10ක් ගත වෙලත් පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් විෂය බාරව සිටි ඇමතිවරුන් කර ඇත්තේ මොනවාද යන්න. ඔවුන් සති අන්තය ගත කරන්න ඇවිත් ගිහින් තිබෙනවා විතරයි වැනි දෙයක් තමයි සිතන්න වෙන්නේ. ඔවුන් බොහෝ විට සිට ඇත්තේ කොළඹ. ඔවුන් මේ පළාතේ හිඳ වැඩ කළා නම් ඒ දේවල් මේ වෙද්දි පෙනෙන්නට ඕන. ඒත්, ඒ බවක් පෙනෙන්නට නැහැ.

මේ සියල්ල එක්ක අතුරුදන්වූවන්ගේ ගැටලු විසඳිලත් නැහැ?

වත්මන් ආණ්ඩුවෙ ධනාත්මක දේවල් තිබෙනවා. ප්‍රජාවට වැදගත් වෙන දේවල් කිහිපයක් සිදු වී තිබෙනවා. එකක් තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම. මාධ්‍යවේදිනියක් හැටියට ඔබට වැටහෙනවා ඇති පසුගිය අවුරුදු තුනේදී මාධ්‍ය නිදහස තහවුරු වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාට එරෙහිව මාධ්‍ය කොයි තරම් දේවල් ප්‍රචාරය කරනවාද? නමුත්, එතුමන් සංහිඳියාවෙන් එය බාර ගත්තා. අතුරුදන්වූවන්ගේ ගැටලු වෙනුවෙන් අතුරුදන්වූ තැනැත්තන් පිළ්බඳ කාර්යාලය පිහිටුවූවා. අතුරුදන්වූවන්ගේ ගැටලුව මෑත කාලයේ පැන නැඟුන එකක් නෙමෙයි. එය ඈත අතීතයට දිව යනවා. හැම ප්‍රදේශයකම, හැම පළාතකම අතුරුදන්වූවන්ගේ ගැටලුව තිබෙනවා. ඒ ගැටලුවේ ප්‍රතිඵලය විය යුත්තේ ජනතාව බෙදී වෙන්වීම නෙමෙයි.

දේශපාලනඥයන් කී දෙනෙකු මේ වෙද්දි මුණ ගැහුණද?

කිහිප දෙනෙකු මුණ ගැහුණා. විපක්ෂ නායක සම්බන්දන් මහතා, සුමන්තිරන්, ඩග්ලස් මහත්වරුන් වගේම ඔබ සමග මේ කතා කරන්නෙත් දේශපාලනඥයකු සමග ඇති හමුවක් තාවකාලිකව අතරමඟ නවතා තබමින්. සියල්ලන් මුණ ගැසෙන්න තවම වෙලාවක් ලැබුණේ නැහැ. ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර තිබෙනවා. එය කොතරම් යහපත්ද කියනවා නම් ඔවුන් මා ගැන ඇති විශ්වාසය ඉතා ඉහළ බව පෙනෙන්නට තිබෙනවා. ආණ්ඩුකාරවරයකු හැටියට මේ සියල්ල කිරීමට හැකියාව තිබේද යන්න ඉදිරියට තමයි බැලිය යුත්තේ.

දේශපාලනඥයන් - ආණ්ඩුකාරයන් වුණා, ආණ්ඩුකාරයන් - දේශපාලනඥයන් වුණා. ඔබේ අනාගතයත් එහෙම වෙයිද?

මගේ දෛවය මගේ අතේ නැහැ. නමුත්, මගේ අතින් සමාජයට යමක් විය යුතු නම් එය වීමට ඇති අවස්ථාව මම මඟ හරින්නේ නැහැ. එය දැන්ම නිශ්චිතව කිව හැක්කක් නෙමෙයි. වර්තමානයේ මේ ධුරයේ කටයුතු හරියාකාරව ඉටු කිරීමයි බලාපොරොත්තුව. මේ මොහොතේ ප්‍රමුඛත්වය ඇත්තේ එයටයි.

සංවාදය [ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා