එයාලා දැන් අලුත් විහිළුවක් හොයන්න ඕන...

 ඡායාරූපය:

එයාලා දැන් අලුත් විහිළුවක් හොයන්න ඕන...

නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය

කරුණාරත්න පරණවිතාන

නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මේ දිනවල කටයුතු කරන්නේ කෙසේද යන්නත් එක්සත් ජාතික පෙරමුණේ වත්මන් දේශපාලනික ගමන්මඟ පිළිබඳවත් නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සමඟ සිදු කළ සංවාදයකි.

 

නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අලුත් වැඩකටයුතු මොනවාද?

දැනට වැඩ ලෝකයට නොගැළපෙන පාඨමාලාවලින් බැහැර වී, පවතින පාඨමාලාවල ධාරිතාව වැඩිකර ඒවායේ ප්‍රමිතිය වැඩි කිරීමට කටයුතු කිරීමටත්, අලුතින්ම පාඨමාලා හඳුන්වාදීමටත් කටයුතු කර තිබෙනවා. එසේම රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය අධ්‍යාපන පාඨමාලා නියාමනය කිරීමටත් කටයුතු කර තිබෙනවා. අපෙන් සහතික ලබාගන්නා සියලු දෙනාටම රැකියාවක් ලැබෙන පරිදි කටයුතු කිරීමත් සිදුකෙරෙනවා. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයෙන් ලක්ෂ දෙකකට විතර විශ්වවිද්‍යාලවලට යෑමට හැකි වන්නේ නෑ. එයින් ලක්ෂයකට විතර තමයි වෘත්තිය පුහුණුව දීමට හැකි වී තිබෙන්නේ. ලක්ෂයක් නිකම්ම මග ඇරෙනවා. ඒ නිසා මේ පිරිස දෙගුණ කිරීම සඳහා අපේ ආයතන පද්ධතිය භෞතික වශයෙනුත් සම්පත් වශයෙනුත් ධාරිතාව වැඩි කිරීමට කටයුතු සම්පාදනය කර ගෙන යනවා. අලුත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල කීපයක් විවෘත කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට අදාළව වෘත්තිය පුහුණු වර්ධනයට කටයුතු සිදු කෙරෙනවාද?

වැඩ ලෝකයේ අද ඉල්ලුමක් තිබෙන අංශ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, නවෝත්පාදන ක්ෂේත්‍රය වැනි අංශවලට ඉල්ලුමක් තියෙනවා. ඒවාට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඉල්ලුමක් තියෙනවා. හෝටල් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ගේ විශාල ඉල්ලුමක් තියෙනවා. මේ ක්ෂේත්‍ර දෙස බලලා නොවේ රටේ අධ්‍යාපනය සූදානම් වී තියෙන්නේ. රජයේ රැකියාවක් කිරීමේ මානසිකත්වයක් තියෙන්නේ. දැනට ලෝකයේ නිපුණ ශ්‍රමිකයන්ගේ මිලියන හතළිහක හිඟයක් තියෙනවා.

ආණ්ඩුව පවතින කාල සීමාවෙන් පසුවත් මේ කටයුතු සිදුවෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

මේ අමාත්‍යංශය මෙහෙයවන්න වී තියෙන්නේ ඡන්ද දිහා බලලා නෙවෙයි. ජාතික ඉලක්ක දිහා බලලයි මෙහෙයවන්න අවශ්‍ය උසස් අධ්‍යාපන, අධ්‍යාපන අමාත්‍යාංශවලට අදාළ ප්‍රතිපත්ති ඡන්දෙන් ඡන්දෙට වෙනස් කරන්න බෑ.

ආණ්ඩුවෙන් ආණ්ඩුවට මේ ප්‍රතිපත්ති වෙනස් වුණොත්?

ඒ වෙනස්කම දේශපාලන හිතුවක්කාරකම් මත වෙනස් වෙලා හරියන්නේ නෑ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඒ ප්‍රතිපත්ති වෙනස් වෙලා බෑ. රැකියා සම්පාදනය කරන ආසනයට වැඩකරන අමාත්‍යාංශ බවට මේවාත් පත් වී තිබුණා. නමුත් අවුරුදු තුන හතරක සිට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කර රටේ ඇත්ත අභියෝගය වටහාගෙන ප්‍රතිපත්තීන් හදාගෙන තියෙනවා.

මැතිවරණයකට ආණ්ඩුවේ සූදානම කොයි වගේද?

අප කියන්නේ ජනාධිපතිවරණයක් පවත්වන්න ඕන කියලයි.

නමුත් පළාත් සභා මැතිවරණය කල් ගිහින් දැන් හොඳටම?

පළාත් සභා ඡන්දය කල් ගියේ කරුණු දෙකක් නිසා. එකක් මැතවරණ ක්‍රමය මොකක්ද කියලා හොයා ගන්න බැරි වුණු නිසා. අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අභිලාෂයන්. මේ කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. අනිත් අයට බැන බැන ඉන්නවා ඡන්දේ කල් දැම්මා කියලා. ඡන්දය කල් දැමීමේ දේශපාලන අභිලාෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණා. තාක්ෂණිකව ඡන්දය කල් ගියා පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රමය ගැන එකඟතාවක් නොතිබුණු නිසා.

දිගටම කල් යනවා නම් පැරණි ක්‍රමයට ඡන්ද තියන්න කියලා එක්සත් ජාතික පෙරමුණේ නිර්දේශය වුණේ. පාර්ලිමේන්තුවට කතා කරලා මමමයි ඒක කීවෙත්. එහෙම බෑ කියලා තාක්ෂණික කාර්යයයි, දේශපාලන අභිලාෂයයි දෙකම එකතු කරගත්තේ ශ්‍රීලනිපය. ඒ නිසා එජපෙ බැනුම් අහනවා. මැතිවරණ ක්‍රමය හදාගන්න බැරි නම් පරණ ක්‍රමයට ඡන්ද තියමු කියලා අප කියන්නේ.

ශ්‍රීලනිපය සහ පොදු ජන පෙරමුණ එකට එකතුව ඡන්දයකට යෑමට සූදානම් බවයි පේන්න තියෙන්නේ. එජාපෙට එය අභියෝගයක් වෙයි?

එකතු වුණත් වෙන් වුණත් එකයි අපට. අපි හදනවා ඊට වඩා පළල් ප්‍රජාතන්ත්‍රවාදී විශාල දේශපාලන සන්ධානයක්. ආන්න ඒක හැමෝටම අභියෝගයක් වෙයි.

රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන බව නැවතත් ඇසෙන්නට තියෙනවා?

අගමැතිකම් පික් පොකට් ගහන්න හදලා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල්ලට දාලා, රටේ නීතියේ පාලනයට කළ හැකි උපරිම නිග්‍රහය කර මහා කුමන්ත්‍රණයක් කරලා හොම්බ බිම ඇණ ගත්තාට පස්සෙ දැන් ඒකෙන් බේරෙන්න ජාතිවාදය, ආගම්වාදය, අවුස්සන්න හදනවා. රට බෙදන්න, බුද්ධාගමට තැන නැති කරන්න හදනවා කියනවා. කියමනක් තියෙනවා තක්කඩියාගේ අවසාන නවාතැන්පොළ දේශප්‍රේමයයි කියලා. අපි දේශප්‍රේමයට විරුද්ධ නෑ. ව්‍යාජ දේශප්‍රේමීන්ගේ කතා තමයි ඕවා. පෙඩරල් බිල්ලා, එන්ජීඕ බිල්ලා, බටහිර බිල්ලා, පරගැති බිල්ලා, තානාපති බිල්ලා, මැවීම මානසික ලෙඩක්. අපව ගිල ගන්න අනිත් හැමෝම බලාගෙන ඉන්නවා කියලා හිතන එක මානසික ලෙඩක්.

ට්‍රම්ප් නොකා නොබී, කෝපි එකක් බොන්නෙ නැතුව මේ රට ගිලගන්න සැලසුම් කරනවා කියලා ඔය කතා කියන පිරිස හිතාගෙන ඉන්නේ. ගෝලීය දේශපාලනයක් තියෙනවා තමයි. රටක ප්‍රජාතන්ත්‍රවාදයත් නැති වුණොත් ඔය කියන ඇඟිලි අතපය මේ රට දෙසට එනවා.

ව්‍යවස්ථා වාර්තාවක් ඉදිරිපත් වීම නිසයි ව්‍යවස්ථා කතාවක් ඇවිත් තියෙන්නේ. වාර්තාවයි ව්‍යවස්ථාවයි කියන්නේ දෙකක්. දැන් මේ ව්‍යවස්ථාවක් ඇවිත් එයින් රට බෙදනවා කියලා රට ගිනි තියන්න හදනවා. පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස රැස් වී එයින් හැම පක්ෂයකින්ම නියෝජිතයන්ගෙන් සමන්විතව මෙහෙයුම් කමිටුවක් පත්කළා. එක් එක් පක්ෂවල දේශපාලන යෝජනා නෛතික භාෂාවෙන් වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන්න කියලා ආණ්ඩුව යෝජනා කර තියෙනවා. එසේ නොමැතිව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර නෑ.

ඔය කතා දැන් මිනිස්සු පිළිගන්නේ නෑ. අප ඔය කතා කියන අයට කියන්නේ දැන් වෙන විහිළුවක් හොයා ගන්න මිනිස්සු ඔය කතා දැන් පිළිගන්නේ නෑ කියලයි.

බැඳුම්කර වංචාව, ජාත්‍යන්තර ගිවිසුම්, වැනි ඒවා සම්බන්ධව එජාප ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කළා කියලා බරපතල චෝදනාවක් තියෙනවා.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව මේ ආණ්ඩුවට බරපතළ චෝදනාවක් ආවා. එය අපි කාපට් එකක් යට දාලා හැංගුවේ නෑ. අනිත් ආණ්ඩු වගේ නෙවෙයි ඒක විභාග කළා. විභාග කර ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කොමිසමක් පත් කළා. ඒ කොමිසමේ යම් යම් අය හඳුනගෙන තියෙනවා. දැන් තියෙන්නේ ඒ අයට නඩු දාලා නඩු කටයුතු ඉක්මන් කිරීමයි. නිකම් කතා කර ඉඳලා හරියන්නේ නෑ. මේ ආණ්ඩුව එහෙමයි වැඩ කළේ.

ඊට පෙර ග්‍රීක් බැඳුම්කර ආවා. හෙජින් ගිවිසුම ආවා. ඒවා හොයන්න ඕනෑ. බරපතළ දූෂණ මූල්‍ය අපරාධ ගැන සොයන්න කොමිසමක් පත් කර තියෙනවා. ඒවායේ වාර්තා ඇවිත් තියෙනවා. අර ආණ්ඩුවේද මේ ආණ්ඩුවේද කියලා නෙවෙයි දූෂණ කටයුතු කර තියෙනවානම් වහාම අධිකරණයකින් නඩු දාලා හිරේ දාන්න කියලා අපි කියන්නේ.

ජාතික සම්පත් විකුණූ බවටත් මේ ආණ්ඩුවට චෝදනා තියෙනවා?

ජාතික සම්පත් විකුණුවා කියලා මේ ආණ්ඩුවට විශාල චෝදනාවක් ආවාට මේ ආණ්ඩුව නෙවෙයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි ජාතික සම්පත් විකුණුවේ. මේ රටේ ඉඩම් සින්නක්කරව වික්කා නම් විදේශ රටකට එසේ කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. ගොල්‍ෆේස් එකේ ඉඩම් චීනෙට වික්කා. උල්හිටියේ පැලවත්තේ අක්කර දාස් ගාණක් ඇමෙරිකානු ඩෝල් සමාගමට සින්නක්කරවම වික්කා.

එජාපයේ එක කතාවක් නැති බව පේනවා?

මම නම් හැමදාම එක කතාවමයි කියන්නේ. ආණ්ඩුවේ ප්‍රශ්නය එක කතාවක් නැති එක නෙවෙයි කිසිම කතාවක් නැති එක. කිසිම කතාවක් නොකියා වැඩ කරගෙන යෑම විතරයි කරන්නේ. ආණ්ඩුවේ මතවාදී ක්ෂේත්‍රය අතහැර ඇති බව මාත් පිළිගන්නවා.

රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කිරීමක් කරන බව කියනවා. නමුත් රටේ සමස්ත ජනතාවට බලපාන පරිදි බදු අඩු කිරීම හෝ බඩු මිල අඩු කළා නම් හොඳ නැද්ද?

අපි බඩු මිල අඩු කළා. අඩුවුණු බඩු මිල තවම එසේමයි. රජයේ සේවකයන්ගේ පඩිය සෑහෙන කාලෙකින් වැඩිකර තිබුණේ නෑ. අපි 10,000කින් වැටුප වැඩි කළා. පෞද්ගලික අංශයට අවම වැටුප් නීතියක් ගෙනාවා. වතු කම්කරුවන්ගේ ආදායම වැඩිකරන්නේ කොහොමද කියල අපි මේ දිනවල සොයා බලන්නේ. කළ යුත්තේ රාජ්‍ය ආදායම එකතු කිරීමයි..

සංවාදය [රසිකා හේමමාලි]

ඡායා [ෂාන් රඹුක්වැල්ල]

මාතෘකා