ජේ. ආර්. තුන් වතාවක් මරණයෙන් බේරුණු හැටි

 ඡායාරූපය:

ජේ. ආර්. තුන් වතාවක් මරණයෙන් බේරුණු හැටි

ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි 29වැනිදා අත්සන් කිරීමෙන් පසු රටේ පැවති තත්ත්වය ව්‍යාකූල විය. පාර්ලිමේන්තුව 1987 අගෝස්‌තු 18 වැනිදා දක්‌වා කල් දැමීමට එජාපය තීරණය කළේය. ඒ පිළිබඳව ආණ්‌ඩු පක්‌ෂය මඟින් කල් තැබීමේ යෝජනාවක්‌ 1987 ජුලි 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතව තිබිණි. එදිනම ඊට ප්‍රථමයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ අනුව පෙ.ව. 8.40ට රැස්වීම ඇරඹුණු අතර, එයට මන්ත්‍රීවරුන් 120ක් පමණ සහභාගි වී සිටි බව වාර්තා විය.

ඩී. බී. ඒකනායක මහතා සභාව අමතමින් සිටින අතර පාර්ලිමේන්තු නිලධාරියකු වූ ‍නෝර්බට් සේනාධීර මහතා අගමැති රණසිංහ මහතා දෙසට නැඹුරුව යමක් ප්‍රකාශ කළේය. ඒ එක්කම යාබද කාම‍රයේ සිටි අයකු හදිසියේම බොම්බ ප්‍රහාරයක් එල්ල ‍කළේය. බෝම්බ දෙකම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා වාඩි වී සිටි ස්ථානයට පතිතව පොළා පැන ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි මහතා සහ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මහතා අසුන් ගෙන සිටි ස්ථානයෙහි පිපිරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මහතා කොළඹ ජාතික රෝහලට ගෙන යන අතර මිය ගියේය.

ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා බරපතළ තුවාල ලැබීය. ඔහුත් සමඟ ගාමීණී ජයසූරිය, මොන්ටේගු ජයවික්‍රම, ඊ. එල්. බී. හුරුල්ලේ යන ඇමැතිවරු ඇතුළු 16 දෙනකු තුවාල ලැබූහ. ප්‍රහාරයෙන් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට කිසිදු හානියක් නොවූ අතර අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා සුළු තුවාල ලබා තිබිණි.

මේ ප්‍රහාරය ඇතුළු තවත් ප්‍රහාර කිහිපයක් ගැන ජේ. ආර්. ජයවර්ධන මහතා 1987දී මීරිගම 'මහපොළ' උත්සවයේදී කතා කළේය. මේ එම කතාවයි.

“තමුන්නාන්සේලාට මහපොළ සම්බන්ධ විස්තර රාශියක් අහගන්න ලැබුණා. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමාගේ කතාවෙන් අදහසක් මගේ කතාවේ මාතෘකාව හැටියට මං කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා කතා කෙරුවේ අගෝස්තු මාසේ රාජ්‍ය පක්ෂයේ පාර්ලිමේන්තුවේ සභාව රැස්වෙන කාලේ බෝම්බ දෙකක් පුපුරලා එතුමාට බරපතළ තුවාල ඒ වෙලාවේ භුක්ති විඳින්න සිද්ධ වුණා.

එතුමාටත් තවත් කිහිපදෙනකුටත් බරපතළ තුවාල සිදුවුණා. දෙන්නෙක් මරණයට පත් වුණා. අබේවික්‍රම දිසා ඇමතිතුමා, අපේ කණ්ඩායමේ ලේකම් මහත්තයකුත් තවත් තුන් හතර දෙනකුටත් තුවාල සිදුවුණා. මට කිසි තුවාලයක් වුණේ නෑ. ඒකත් පුදුමයක්. මම දන්නේ නෑ බෝම්බ දෙකක් ගැහුවා කියලවත්. පුපුරනවවත් ඇහුණේ නෑ. මගේ කතාව කරන්න මම පාර බලාගෙන ඉඳිද්දි හදිස්සියේ අගමැතිතුමා මාව බෙල්ලෙන් අල්ලලා මේසේ යටට තල්ලු කෙරුවා. මං හිතුවා මොකද මේ කියලා. මම එකපාරට නැගිට්ටා. මම දන්නෑ මට පිටිපස්සේ එක්කෙනෙක් මැරිලා වැටිලා ඉන්නවා කියලා. මම දන්නෑ ඇතුළත්මුදලි ඇමතිතුමාට බරපතළ තුවාල සිදුවුණා කියලා. මම දන්නේ නෑ බෝම්බ දෙකක් පිපිරුවා කියලා. මම දන්නේ නෑ අබේවික්‍රම මහත්තයා මරණයට පත්වෙලා තිබෙන බව. ඔක්කොම මන්ත්‍රීවරු මාව වට කරගෙන. මොකක්ද වෙලා තියෙන්නේ කියලා මං අහද්දි ඔක්කොම මාව එළියට තල්ලු කරගෙන ගියා.

“එතකොට ලේ ගඟක් වගේ සිමෙන්තියේ ගලනවා මං දැක්කා. එතකොටයි මං ඇහුවේ මොකක්ද වුණේ කියලා. මං දැක්කා ඇතුළත්මුදලි ඇමතිතුමා සිහිය නැතිව මෝටර් රථයක දමාගෙන දිවුල්ගම මන්ත්‍රීතුමා එක්ක ඉස්පිරිතාලෙට යනවා. ඊටපස්සේ මම ඉස්පිරිතාලෙට ගියා. උන්නැහෙට ශල්‍යකර්මයක් කරලා වාසනාවක් විදිහට ජීවත් වුණා. මේ මාව මරන්න උත්සාහ කරපු තුන්වැනි වතාව.

“පළවෙනි වතාව නුවර ගමන කාලේ. අපි නුවරට පා ගමනකින් ඇවිදින්න බලාපොරොත්තු වුණා. ඒ බණ්ඩාරනායක-සෙල්වනායගම් ගිවිසුමට එරෙහිව. එදා කැලණි පාලම ගාවදී අපිට බෝම්බ ගැහුවා. පෑළියගොඩදී ගල් ගැහුවා. කඩවතදී ගල් ගැහුවා. ලොකු ගලක් මගේ කර උඩට වැටුණා. වාසනාවකට ඔළුව බේරුණා. ඒ පළමුවැනි වතාව 1958දී.

“දෙවැනි වතාව 1976 වැලිමඩ පර්සි සමරවීර මහත්තයාගේ ආසන සභාවට යනකොට. එතුමා ජීප් එකේ ඉස්සරහ වාඩිවෙලා හිටියා. මම පිටිපස්සේ හිටියා. අපිට ගල් ගහන්න පටන් ගත්තා. ඒ කාලේ පොලිසිය අපේ පක්ෂෙට ගල් ගැහීම නැවැත්තුවේ නෑ. පර්සි සමරවීර මහත්තයා වහාම බැස්සා. බැස්සම ලොකු ගලක් එතුමාගේ ඔළුවට වැටුණා. මං පිටිපස්සේ හිටියා. මං ඇහුවා ඔළුවේ ස්කල් එකට කියන්නේ මොකක්ද කියලා සිංහලෙන්. හිසේ කටුව කියලා කියන්නේ කිව්වා. හිසේ කටුව පිපිරුණා. ඔහු ලේ පෙරාගෙන හිටියා. වහාම අපි ඔහුව බදුල්ලේ ඉස්පිරිතාලෙට ඇරියා. කොළඹ බැරි නිසා එතුමාව ඇරියා මදුරාසියට. එතනදී අලුත් කටුවක් දාලා ඒක මහලා. එතුමා අදත් ජීවතුන් අතර ඉන්නවා. මං ඇහුවා මුන්නැහැගෙන් රිදෙනවද කියලා. ඒක මගේ ඔළුවට වැටුණා නම් මගේ ඔළුවේ කටුවත් කැඩෙනවා. ඒක දෙවැනි වතාව.

“තුන්වැනි වතාව පාර්ලිමේන්තුවේදී. තවත් ඔහොම කී වතාවක් හදයිද මං දන්නේ නෑ. කතාවක් තියෙනවා රොබට් බෲස් තුන් වතාවක් මරන්න හැදුවලු. ඒත් මරන්න බැරි වුණාලු. ඊට පස්සේ මරන්න බැහැ කියලයි මට ආරංචිය.

“ඒ කොහොම වුණත් මට කමක් නෑ. මං මේ කාරණාව කියන්නේ අද තියෙන තත්ත්වය ගැන තමුන්නාන්සේලාට කතා කරන්න. අපිව මරන්න පමණක් නෙවෙයි මේ උත්සාහ ගන්නේ. අපිව මැරුවට අපේ දර්ශනය මරන්න බෑ. අපිව මැරුවට අපේ පක්ෂේ මරන්න විදිහක් නෑ. අපිව මැරුවට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය නැතිවෙන්නේ නෑ. නැතිවෙන්න දෙන්න හොඳ නෑ. අපිව මරණ උදවියට ජය ලබාගන්න ඉඩක් දෙන්න හොඳ නෑ. ඒකයි මේ මහපොළොව උරාගන්නේ. ඒකයි එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය. කතා කරන්න තියෙන නිදහස.. බණ්ඩාරනායක මැතිනිය කතා කරනවා වාගේ කතාකරන්න තියෙන නිදහස. විපක්ෂයට පාර්ලිමේන්තුවේ තියෙන නිදහස. විපක්ෂයට ඉදිරිපත් වෙන්න තියෙන නිදහස. ප්‍රවෘත්ති පත්‍රවවලට ඕනේ බොරුවක් ලියන්න තියෙන නිදහස. ඒ නිදහස තමයි අපි මේ රටට ඇතිකරලා දුන්නේ. ජීවතුන් අතර හිටියත් මරණයට පත්වුණත් මේවා අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒවා ආරක්ෂා කරන්න වටිනා දේවල්.”

මාතෘකා