ඉතිහාසගත තීන්දු

 ඡායාරූපය:

ඉතිහාසගත තීන්දු

මිනිසුන් ඉතිහාසය කියවන්නට කැමැති වුවද ඉතිහාසය හිතේ තියාගෙන ඉන්නට එතරම් සූදානම් නැත. එයින් සිදුවන්නේ ඉතිහාසයේ අපිරිමිත ජයග්‍රහණ සහ පාඩම් පවා අමතකව යෑමය.

1994දී ශ්‍රීලනිප නායකත්වයෙන් තරග කළ පොදු පෙරමුණ දිනූ පසු අවුරුදු දෙකක් හැරුණු විට දෙදහස් පහළොව වනතුරු ආණ්ඩු කළේ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයයි. එහෙත් ඒ ආණ්ඩුවත් බිහිසුණු යුගයකට යෑමට වැඩි කලක් ගියේ නැත. ඒකාධිපතිවාදයේ උග්‍රතම දවස් උදා වුණේ "මහින්ද යුගය" සමඟය. ඒකාධිපතිවාදයේ බිහිසුණු රඟ අපි රටක් ලෙස අත්විඳිමින් සිටියෙමු. රටට ආසියාවේ ආශ්චර්යය කැන්දාගෙන එන බවට පුරසාරම් දෙඩුවද ලෝකයෙන් කොන් වූ රටක් බවට අපි පත්වුණෙමු. නිදහසින් තොර වූ, මානව හිමිකම් සෝදාපාළු වූ, අයිතිවාසිකම් සුනුවිසුනු වූ, බල ලෝභය දෝරෙ ගැලූ, පවුල්වාදය ඔඩු දිවූ දශකයක් අවසන් කාර්තුවේ උදාවෙමින් තිබිණ.

පොල් ගෙඩි දෙකක් ඉස්සූ දරුවාට දඬුවම් දෙන රටකුත්, කතුන් සියයක් දූෂණය කළ ප්‍රාදේශීය සභාපතිවරුන් ඒවා උත්සවශ්‍රීයෙන් සමරන රටකුත් නිර්මාණය විය.

ඒකාධිපති වියරුව කරා යන ඕනෑම රටක් නඩත්තු වන්නේ 'ව්‍යාජය'ද කරපින්නාගෙනය.

රාජපක්ෂලාගේ ආර්ථික උපදේශකයෝ 'නූලටම' රාජපක්ෂලා අන්දවා තිබිණ.

සමෘද්ධිලාභීන් යනු රාජපක්ෂ ආණ්ඩුවේ මෙහෙකරුවන් බවට පත් කරගෙන සිටි පිරිසක් වූහ. සමාජයේ සාතිශය දුක් පීඩා විඳින දුගී දුප්පත් කුලකයක් වන සමෘද්ධිලාභීන්ට ලැබෙන සොච්චමෙහි උපරිමය මසකට රුපියල් තුන්දහසක් හෝ වූයේ නැත. එය සමහරුන්ට රුපියල් හයසියයක් වැනි ගණනක්ය. ඒ සොච්චමට කේවල් කළ රාජපක්ෂලා සිය මැතිවරණ 'සෙනඟ' පෙන්වීම වෙනුවෙන් අන්ත අසරණ සමෘද්ධිලාභීන්ව 'අවභාවිත' කළහ. එහි ප්‍රතිඵලය වූයේ මොනරාගල රැලියක නුවර මිනිස්සු පවා සිටීමය. ඒ වෙනුවෙන් සී.ටී.බී බස් රථ සැදී පැහැදී සිටිනු දැක ගත හැකි විය. සංවිධායකයෝ විත් 'වහල්ලුන් සේ' අහිංසකයන් බස් රථවලට 'ගාල්' කරගෙන 'මහින්ද රැලි' ට්‍රිප් ගෙන ගියහ.

ලස්සන වචනවලින් තොරොම්බල් කළ එහෙත් ඊට වඩා හාත්පසින් වෙනස් පැවැත්මක් සහිත රටක් මහින්ද යුගයේ නිර්මාණය වී තිබිණ. බිහිවී තිබුණේ ලෝකයට "පාට්" දාන පාලනයක්ය. අවසානයේදී කාත් කවුරුත් නැති හුදකලා "පාපන්දුවක් වී ලෝකයාගේ" පා පහරවල්වලට ලක්වූ රටක් නිර්මාණය විය. සුදු වෑන්, මරණ භීතිය, පළිගැනීම්, ජාතිවාදය, ආගම්වාදය රටේ "එදාවේල" බවට පත් වී තිබුණේය. නීතිය වෙනුවට අවනීතිය, සදාචාරය වෙනුවට අවිචාරය රට පුරා ව්‍යාප්ත විය. ජනප්‍රිය දේශපාලනඥයන් කෙතරම් සිටියද ආණ්ඩු පෙරළීමේ සහ බිහිකිරීමේ තීරණාත්මක මැදිහත්වීම කළ හැකි දේශපාලනඥයන් සොයාගැනීම දුලබ තත්ත්වයක් බවට පත්විය.

"මහින්ද මහත්තයෝ, අපි ඔබව පරාජය කරනවමයි. එය ධර්මයේ හඬයි. මිනිසුන්ගේ පපු කැවුතු තුළින් එන හඬයි. මහින්ද ජනපතිතුමනි, ඔබ ජනපතිවරණයට යන්න. ඔබේ පැරදීම අනිවාර්යයයි. අපි ප්‍රතිපත්තිමය ආණ්ඩු මාරුවක් කරනවාමයි. ඒක ඒකාන්තයි"

මේ කතාව කීවේ රතන හාමුදුරුවෝය. ඒ මීට අවුරුදු තුනකට කලින්ය. හරියටම කිවහොත්, 2014 නොවැම්බර් 12 වැනිදාය. ඒ වෙද්දී මහින්දගේ ආණ්ඩුව "මහාමේරු පර්වතය" වගේය. හොල්ලනවා තියා හොල්ලන්න හිතන්නවත් බැරි තරම් හයියක් ඒ ආණ්ඩුවට තිබිණ. ඒ වෙනකොට යූ.ඇන්.පී හිටියේ 'ගෙදර ප්‍රශ්නවලින්' ගිනි අරන්ය. ආණ්ඩුවට පිටින් ඉඳන් තර්ජන කළේ ජවිපෙ පමණය. ආණ්ඩුව ඇතුළෙන් මැස්සෙක්වත් එළියට බහින්න ලෑස්ති වී හිටියේ නැත. එහෙම තියෙන අතරේ රතන හිමි කළ ප්‍රකාශය රාජපක්ෂ කඳවුර තුට්ටුවකට මායිම් නොකළේය. මාදුළුවාවේ සෝභිත හිමියෝ පුන පුනා කීවේ 'රාජපක්ෂ මහත්තයෝ හැදෙන්න. නැත්නම් අපි ඔබව ගෙදර යවා මේ රට හදනවා' කියාය. එවිට සමහරු සෝබිත හිමියන්ට 'විකාර' කියා පැවසූහ. අවසානයේදී සිදු වූයේ කුමක්ද?

දිවි ඇතිතෙක් දිනුම තමා සතුව ඇති බවට අධි තක්සේරුවක සිටි රාජපක්ෂ ජනාධිපතිවරයා තම දෙවන ධුර කාලය නිමා වෙන්නට දෙවසරක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරණයට සූදානම් විය. සම්බාධක පිළිබඳ අනතුර ජාත්‍යන්තරයෙන් මතුව තිබියදී, ව්‍යාජ සංවර්ධනයෙන් අසීමිත ණය උගුලක රට සිරව තිබියදී ජනපති රාජපක්ෂ ජනාධිපතිවරණය කැඳවීය. සකල බලතල තමාට අතිශය වාසිදායක වටපිටාවක තබාගෙන ඔහු 2015 ජනාධිපතිවරණයට සැරසුණි. ඒ ද සැණකෙළියක සිරියෙනි. ලයිට් කණුවක් පාසා, නගරයක් පාසා දැවැන්ත පෝස්ටර් සහ කටවුට් පිරී ඉතිරී ගොස් තිබිණ. අතිශය ආකර්ෂණීය මාධ්‍ය සන්දර්ශන ඔහු වෙනුවෙන් සිදු කෙරිණ. සත්‍ය වශයෙන්ම ඔහුට ඉතිරිව තිබුණේ ඡන්දයට පසුව දිවුරුම් දීම පමණි. ඒකාන්ත ජයග්‍රහණය තමා සතු බව ඔහු ඇදහිල්ලක් තරමට විශ්වාස කළේය. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය කැඳවූයේ එවැනි පසුබිමකය.

තමා සමඟ තරගයට එන්නේ කවුදැයි අසමින් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් හෝ වරෙල්ලා යැයි වහසි බස් දොඩමින් දුර්මුඛ විපක්ෂයට අභියෝග කළ රාජපක්ෂ ජනාධිපතිවරයා ඇට්ලස් යෝධයා සේ ජනපති සටනට සූදානම් විය. ඔහු සිය මැතිවරණ ප්‍රචාරණය පටන් ගත්තේ මාස කිහිපයකට පෙර සිටය. කෝටි ප්‍රකෝටි ගණනක ධනස්කන්ධයක් ඊට වෙන්කොට තිබිණ. ඒ වන විටත් විපක්ෂය සිටියේ “බිහිසුණු සිහිනයක්” දකින ගානටය.

මේ අතර රාජපක්ෂ ජනාධිපතිවරයා බිහිසුණු කුණාටුවක අතරමං වී ගිය තීරණාත්මක දිනය උදා විය. ඒ විපක්ෂයේ පොදු අපේක්ෂකයා කරළියට පිවිසි දිනයයි. යක්ෂාවේසය පලවා හරින දේවාරූඪය 2014 නොවැම්බර් 21දා රාජපක්ෂ කඳවුරෙන්ම පහළ විය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේනය.

උපක්‍රම එහෙම පිටින්ම අසාර්ථක විය. මැතිවරණය නිමාවන තෙක්ම සිහි එළවාගන්නට නොහැකි තරමට රාජපක්ෂ පිළ තුෂ්නිම්භූත කරන්නට මෛත්‍රීගේ නික්ම යෑම හේතු භූත විය. ‘මහින්දට තෙවරක් පුළුවන්’ කියා මහින්දවාදීහු ඒ වන විටත් මහා ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් සිටියහ. දුර්දාන්ත පාලනයක පීඩනය ඉවසා සිටීමේ අවසන් හෝරාවේ මෛත්‍රී තීන්දුව ගත්තේය. ඒ රාජපක්‍ෂ පාලනය පෙරළා දමා යහපාලනය බිහි කිරීමේ උදාර සටනේ නියමුවා වීමේ තීන්දුවයි. ඒ අනුව තමා ප්‍රාණ සමව ආදරය කළ පක්ෂයෙන් නික්මුණු මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය.

තම ජීවිතය, පවුලේ සියලුදෙනාගේ ජීවිත යනාදි සියල්ල අභියෝගයට තබා රෙජිමයෙන් නික්ම ගිය මෛත්‍රීට අහිමි වන්නට වෙනත් කිසිවක් තිබුණේ නැත. ඡන්ද විමසුම නිමා විය. මුල් ප්‍රතිඵල නිකුත් වෙද්දීම මහින්ද රාජපක්ෂ සිදුව ඇති විපර්යාසය තේරුම් ගත්තේය.

සෑම මිනිසකුටම දෛවය විසින් පැවරූ වගකීමක් තිබේ. එය ඉටු කිරීමෙන් පසු ඔහුගේ භූමිකාව නිමා වේ. රාජපක්ෂ එය නිම කළේය. කරුමයට එය ඔහු නොදැන සිටියේය. මහින්ද හැමදාම කළේ අල්ලා ගැනීමය. තමාට උරුම නැති බව දැන දැනත් ඔහු අනුන්ගේ දෑ උදුරා ගන්නටම වෙහෙසුණේය. සෙස්ස කුමක් වුවද වඩා වටින්නේ තීරණාත්මක නිමේෂයේ හැරවුම තනන එකය. එය මෛත්‍රී සිදු කළේය.

සිල්ලර කාරණාවලින් ඔබ්බට ගිහින් දේශපාලනික අරමුණු අරබයා මිනිස්සු පෙළගැහුණු මැතිවරණයක් වූවා නම් ඒ ඉකුත් ජනාධිපතිවරණයයි. ඉකුත් මහ මැතිවරණය ජනාධිපතිවරයාගේම විය. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වැනි දේශපාලනික කාරණා ප්‍රමුඛ කොටත් ආර්ථිකමය අවශ්‍යතා ද්විතීයික කොටත් ප්‍රාර්ථනා ගොඩගසා ගනිමින් මිනිස්සු අලුත් ආණ්ඩුව හැදූහ.

ආණ්ඩු පෙරළි කොතෙකුත් සිදු වී තිබේ. එහෙත්, ඒ පෙරළිවලින් පසු පොරොන්දු ඉටු කිරීම ඒ ආණ්ඩු සියල්ලම අත්හැර තිබේ. මේ ආණ්ඩුවට වසර හතරක් ලබන්නට කිට්ටුය. සාපේක්ෂව ගත් කල පොරොන්දු කඩ නොකිරීම අතින් මේ ආණ්ඩුව සෙසු ආණ්ඩුවලට වඩා ඉදිරියෙන් සිටී. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් දිනා දීම සම්බන්ධව මේ ආණ්ඩුව සිටින්නේ වඩාත් ප්‍රශස්ත තැනක බවට තර්කයක් නැත.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම, ස්වාධීන කොමිෂන් යම් දුරකට බලාත්මක කිරීම, පළාත් පාලන ආයතනවල කාන්තාවන්ට 25%ක නියෝජනයක් තහවුරු කිරීම, මැතිවරණ ක්‍රම සංශෝධනය සඳහා කටයුතු කිරීම, රජයේ සේවයට ඇඟිලි ගැසීම අවම කිරීම, අධිකරණය සාපේක්ෂව ස්වාධීන කිරීම, නීතියේ ස්වාධීනත්වය මාධ්‍යවලට තර්ජන අවම වීම වැනි කාරණා ඉන් ප්‍රධානය.

කෙසේ වෙතත් සියල්ල හැමවිටම නිසි පරිදි සිදු නොවේ. එකකට එකක් නොපෑහෙන කණ්ඩායම් එකට යන ගමනකදී අනන්ත ගැටලු නිර්මාණය වේ. මේ ආණ්ඩුවටද එය අදාළය. ඉකුත් දින කිහිපය ඊට සාක්ෂි සපයයි. වඩා වටින්නේ අවබෝධයයි. ස්වරණමය ඉතිහාසයක අනගි පිටු ඉරා දමනවාද, නැද්ද යන්න තීන්දු කිරීම පාර්ශ්වකරුවන්ගේ තීරණයකි.

[මොහොමඩ් හිල්මි]

මාතෘකා