රට හදන්න උපාධි අවශ්‍ය නෑ : ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත

 ඡායාරූපය:

රට හදන්න උපාධි අවශ්‍ය නෑ : ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත

ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ක්‍රියාකාරී වාමාංශික පක්ෂයක් ලෙසත් ක්‍රියාකාරී විපක්ෂයේ භූමිකාවක් ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂයක් ලෙසත් රටේ පොදු පිළිගැනීමක් ඇත. ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව සාධනීය මෙන්ම විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරති. එම පක්ෂයේ වර්තමාන දේශපාලන හැසිරීම සහ ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා සමඟ "රැස" කළ සංවාදයයි.

 

* ලාල් කාන්තට ජවිපෙ අනිත් සාමාජිකයන්ට නැති විදිහේ 'රසිකයෝ' පිරිසක් ඉන්නවා නේද?

සාමාන්‍යයෙන් ඕනෑම චරිතයක් සමඟ ඒ ඒ අයගේ ස්වරූපය අනුව බාහිර පිරිසක් කැමැත්තක් දක්වනවා. ඒක මට විතරක් නෙවෙයි අපේ පක්ෂයේත් බහුජන සේවයේ යෙදිලා ඉන්න ප්‍රමුඛ පෙළේ සහෝදර සහෝදරියන් සම්බන්ධයෙනුත් තියෙනවා. ඒක සමාජයේ තියෙන සංස්කෘතික ලක්ෂණයක්. ඒ නිසා එය විශේෂයක් විදිහට මං දකින්නේ නෑ. සාමූහිකව සහ වෙන වෙනම අපි කටයුතු කරගෙන යනවා. එහිදී එක් එක් කෙනාට යෙදී තියෙන ක්ෂේත්‍ර හා ඔවුන්ට මුහුණ දෙන්න වෙන තත්ත්වයන් එක්ක පක්ෂය කියන පදනමට පිටිනුත් යාළු මිත්‍රයන් හිතවතුන් පොදු ජනතාව සමීප වෙන විදිහේ වෙනස්කම් තියෙනවා. ඒක කොතනත් එහෙමයි.

ඔබ තිත්ත ඇත්ත කෙළින් කතා කරන, වෙනස් විදිහට අඳින පලඳින චරිතයක් ලෙස වෙන්කොට දක්වනවා…?

ජනතා විමුක්ති පෙරමුණේ යුනිෆෝර්ම් එකක් කියලා එකක් නෑ. කැමති කෙනකුට අපේ සංස්කෘතියට ගැළපෙන සීමාවක් ඇතුළේ විවිධත්වයක් සහිතව අඳින්න පලඳින්න පුළුවන්කමක් තියෙනවා. කෙළින් කතා කරනවා කියනවාට වඩා පැහැදිලිව කතා කරනවා කියන එක ගැළපෙනවා. එක එක්කෙනාට විවිධ හැකියාවන් තියෙනවා. ප්‍රකාශනයේ, ලිවීමේ හැකියාවන්වල වෙනස්කම් එලෙස තියෙනවා. මම කියන දේ හරිද වැරදිද කියනවාට වඩා පැහැදිලියි කියලා මට හිතෙන්නේ. ඒත් අපේ පක්ෂයේ හැමෝම කෙළින් තමයි කතා කරන්නේ.

ඔබේ කතාව සැර වැඩියි කියලා ඔබට පක්ෂය ඇතුළින් විවේචනයක් නැද්ද?

සැර වැඩියි කියනවාට වඩා මෙහෙම කීවොත් හරි. ඍජු යැයි කියන අදහස් කෙටියෙන් පළ කරන විට සමහර වෙලාවට පක්ෂය තුළ තියෙන සංයුක්ත සමස්තය එම කෙටි අදහසින් එළියට කියවෙන්නේ නෑ. එහෙම අවස්ථාවල අපේ පක්ෂය තුළ තියෙන සංස්කෘතිය, විනය අනුව විවේචන ආපු අවස්ථා ඕන තරම් තියෙනවා. දැනටත් එහෙම විවේචන තියෙනවා. ඒක මට විතරක් තියෙන දෙයක් නෙවෙයි. අපේ පක්ෂයේ සාමාජිකයන් කියන්නේ ඒ අයිතිය ඔවුන්ට තියෙන බව දැනගෙන කාගේ වුණත් තියෙන අදහසක, කියන රටාවක අඩුපාඩුවක් තිබුණොත් පක්ෂයේ සහෝදර සහෝදරියන්ම විවේචනය කරනවා. අපිම ආපහු හැරිලා බලලා සමහර දේවල් වෙනස් කරගන්නවා. ස්වයං විවේචනය කරනවා. එහෙම සංස්කෘතියක් එදා සිට අපේ පක්ෂයේ තියෙනවා.

සමාජවාදී පක්ෂයක් ලෙස පටන්ගෙන ක්‍රියාත්මක වුණත් ජවිපෙ දැන් ධනවාදී පක්ෂයක ස්වභාවයෙන් කටයුතු කරනවා කීවොත්….?

ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ වෙනස්කම් ගොඩක් තියෙනවා. පළවෙනි සමාජවාදී විප්ලවය කෙරූ රුසියාව දිහා බැලුවොත් ලෙනින් සහෝදරයා විප්ලවය සඳහා පාවිච්චි කරපු මූලික සටන් පාඨ තුනක් තියෙනවා. ආර්ථික බිඳ වැටීම නිසා මිනිස්සුන්ට කෑම බීම හිඟයක් තිබුණා. ඒ නිසා හරි සරලව ‘ජනතාවට පාන්’ කීවා. සාර්ගේ පාලනය යටතේ දිගටම යුද්ධය තිබුණා. හමුදාවට කන්න තිබුණේ නෑ. සපත්තු තිබුණේ නෑ. ඒ නිසා හමුදාවටත් යුද්ධය එපා වෙලා තිබුණේ. එතැනදී ලෙනින්ලා කීවේ ‘සෙබළුන්ට සාමය’ කියලා. සෙබළුන්ට සාමය අවශ්‍ය වෙලා තිබුණා එදා. එතැනත් සමාජවාදී කතාවක් නෑ. ගොවියන් හිටියේ ඉඩම් හිමියන් යටතේ. ගොවියන් දුක් වින්දා. ඒ නිසා ලෙනින්ලා කීවා ගොවියන්ට ඉඩම් දෙනවා කියලා. සමාජවාදය ගැන ගොඩක් වෙලාවට කතා කළේ පක්ෂය ඇතුළේ. එළියේ සාකච්ඡා වුණේ ජනතාවට තියෙන ප්‍රශ්නවලට උත්තර සොයන්නේ කොහොමද කියලා.

අරමුණේ වෙනසක් නෑ කියලා ඔබ කියන්නේ?

උඩින් කියපු ඒ වෙනස අපේ සමාජය තේරුම් ගන්න ඕනෑ. හැම තැනදිම සමාජවාදය ගැන කීවාට දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට යන්නේ නෑ. ජනතාව ඒ මොහොතේ මුහුණදී තියෙන අභියෝග, ප්‍රශ්න එක්ක තමයි ජනතාව පෙළගස්වන, සංවිධානය කරන කටයුත්ත කරන්නේ. එයින් තොරව සමාජවාදයක් ගැන දෙඩවීම යථාර්ථවාදී නෑ. එහෙම අය ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් හුදකලාව කටයුතු කරනවා පමණයි. අපි විසිරුණු පැතුරුණු ජනතාවක් හොඳ තැනකට ගෙන යෑමේ අරමුණ සමඟින් ඔවුන්ගේ දෛනික ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න එක්ක කටයුතු කරන්නේ. එහෙම නැතුව තම තමන්ගේ ගුල් අස්සට වෙලා ජනතාව පෙළ ගස්වන්න බෑ.

 

සමාජවාදී නෑ කියලා පෙන්වලා බලය ගන්නද ජවිපෙ උත්සාහ කරන්නේ?

අපි කොයි වෙලාවකවත් ජනතා විමුක්ති පෙරමුණට බලය කියන මාතෘකාවක් කතා කරන්නේ නෑ. ඡන්දයක් ඉවර වුණාම ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු බලය කෝ අහනවා. අපි වමේ ව්‍යාපාරයක් ලෙස ජනතාවට බලය ගන්නයි කතා කරන්නේ. ජනතාවට බලය ලබා ගැනීම අරමුණු කරගෙන ඒ ජනතාව මෙහෙයවීම, නායකත්වය දෙන එක පක්ෂයේ කාර්යභාරය. අප දැන් කරමින් ඉන්නේ ජනතාවගේ ඕනෑ එපාකම් මූලික කරගෙන ඒ අය බලගන්වන ව්‍යාපෘතියක්. ඒ බලගැන්වීමේ උපරිම අවස්ථාව සමාජවාදී විප්ලය කියන්නේ. ඒ නිසා කවුරුහරි හිතනවානම් අපි දැන් සමාජවාදී විප්ලවය අත්හැරලා කියලා එහෙම එකක් නෑ.

ඒ කියන්නේ ජවිපෙ ප්‍රතිසංස්කරණවාදියි….?

ලෝකයේ අන්තිමට සමාජවාදී විප්ලවයක් සිද්ධ වුණේ 1979 නිකරගුවාවේ. එදා මෙදා තුර අද වෙනකම් ලෝකයේ සමාජවාදී විප්ලවයක් වුණේ නෑ. තිබුණු සමාජවාදී රාජ්‍ය පද්ධතියත් කඩා ගෙන වැටුණා. ඒක විසින් සමාජවාදය කියන මාතෘකාව සැලකිය යුතු මට්ටමට පස්සට තල්ලුවීමක් තියෙනවා. හෙට සමාජවාදය ගොඩනඟන්න ඕනෑ කියලා අපි කීවොත් මිනිස්සු අපට පිස්සු කියනවා. ධනේශ්වර ආර්ථික ක්‍රමයේ දැවැන්ත අර්බුදයක් තියෙන අතරම වම දුර්වල නිසා ලෝකයේ වමේ ව්‍යාපාරය රාජ්‍ය බලය ලබා ගැනීමට එක්තරා ප්‍රමාණයක අසමත්කමක ඉන්නවා. එවැනි වටපිටාවක අප කරගෙන යන්නේ. ලංකාව දියුණු ධනපති ක්‍රමයක් තියෙන රටක් නෙවෙයි, පසුගාමී රටක්. පසුගාමී රටක ධනේශ්වර ප්‍රතිසංස්කරණ කරගැනීමට බොහෝ දේ කළයුතුව තියෙනවා. ඒවා පදනම් කරගෙන සටන් පාඨ, අලුත් සංවිධාන, තරුණ කණ්ඩායම් බිහිවෙනවා. ඒවා පිළිබඳ උනන්දුව වැඩි වෙනවා. ඒකට හේතුව සමාජවාදය ගැන ලෝකයේ ප්‍රායෝගික භාවිතාව එක්තරා දුරකට බිඳවැටීම. එතකොට අපටත් සිදුවෙනවා සමාජ විප්ලවයේ උවමනාව පෙරදැරිව තියාගනිමින්ම ප්‍රතිසංස්කරණවාදීව ඉල්ලා සිටින ඉල්ලීම්, අයිතීන් වෙනුවෙන් වැඩි වැඩියෙන් මැදිහත් වෙන්න. එතකොටත් කෙනකුට හිතන්න පුළුවන් කෝ වම, විප්ලවය කියලා? විප්ලවීය තත්ත්වයක් ලංකාවේ මෝරලා නෑ. විප්ලවය උදෙසා නිසි තත්ත්වය ආ විට පුළුවන් ඒ ගැන කතා කරන්න.

ජාතික විද්වත් සංවිධානය ජවිපෙ බළල් අතක්ද?

ජාතික විද්වත් සංවිධානයේ ආරාධනයක් අනුව ජවිපෙ පිරිසක් තෝරගෙන ඒ අය හදන වැඩපිළිවෙළට අපේ සහෝදරවරුන්ව සම්බන්ධ කළා. එහිදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තියෙනවා. අපේ අදහස් සියල්ලමත් එතැන නෑ. මෙවැනි පිරිසක් මෙවැනි කාර්යකට ඉදිරිපත් වෙලා තියෙන එක ගැන තියෙන්නේ සතුටක්. රටේ ප්‍රධාන යැයි කියාගන්නා දේශපාලන පක්ෂ දෙක විසින් බුද්ධිමතකුට, උගතකුට, උවමනාව තියෙන කෙනකුට, දේශපාලනයට සම්බන්ධ වෙන්න ඉඩක් තිබ්බේ නෑ. ඒ අය කලකිරිලා හිටියේ. එවැනි වටපිටාවක උගත්, බුද්ධිමත් පිරිසක් රට පිළිබඳ හැඟීමක් ඇතුව ජනතාව පිළිබඳව දැක්මක් ඇතුව අපත්, තවත් අයත් දායක කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙළ ගැන අපට තියෙන්නේ ඇගයීමක්. නමුත් ඒක සමාජවාදී වැඩපිළිවෙළක් විදිහට අප දකින්නේ නෑ. ඒ අයත් එක්ක තවදුරටත් කතා කරමින් වෙනත් අයත් එක්ක කතා කරමින් පොදු වැඩපිළිවෙළක් දක්වා යෑමේ උවමනාව තියෙනවා.

ජවිපෙ උගතුන් උත්කර්ෂයට නංවන අයුරක් පේනවා. දැන් ජවිපෙ ඉඩ තියෙන්නේ උපාධිධාරීන්ට විතරද?

උගතුන් යනුවෙන් අදහස් කරන්නේ කවුද? ලෙනින් සහෝදරයාට අනුව උගතකු වීමට පළමුව තිබිය යුත්තේ පන්ති හැඟීම. පොදු ජනතාව, රට ගැන හැඟීමක් තියෙන අය තමයි අපට අවශ්‍ය කරන පළමු අය. මේ පාර්ලිමේන්තුවෙත් ආචාර්ය, මහාචාර්යවරු උපාධිකාරයන්, සැලකිය යුතු පිරිසක් ඉන්නවා. පොදු ජනතාව, සමාජය, රට ගැන මෙලොව හැඟීමක් නෑ. උදාහරණ මහාචාර්ය ජී. එල්. පීරිස්. ආචාර්ය සරත් අමුණුගම. ඔය ඉන්නේ ආචාර්ය මහාචාර්යවරු. ඒ නිසා උපාධිය හෝ ආචාර්ය මහාචාර්ය පට්ටම් වටිනා දෙයක් බවට පත්වෙන්නේ ජනතාව පිළිබඳ හැඟීමක් සහ රට පිළිබඳ හැඟීමක් තිබ්බොත් පමණයි. උපාධිධාරීන් අවශ්‍යයි වගේ අදහසකට පටු වුණොත් ඒක වැරදියි.

නමුත් වර්තමාන පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ භාවිතාව සමාජය දකිනකොට ඒ භාවිතාවේ තිබෙන පසුගාමී තත්ත්වය නිසා අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක් සමාජය තුළ ගොඩනැඟී තියෙනවා. එවැනි තත්ත්වයක් මත තමයි එවැනි මාතෘකාවක් ඇවිත් තියෙන්නේ. උපාධි සහතිකයක දැනුම, වටිනාකම දේශපාලනයට හා රට ගොඩනැඟීමට සමාජ ව්‍යාපාරයකට අදාළම එකක් නෙවෙයි.

 ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කියලා ඔබ කියනවා. මේක විහිළුවක්ද?

මහින්ද රාජපක්ෂ මහත්තයාට දැවැන්ත දේශපාලන අභියෝගයක් තියෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා මහින්ද නොවන නිසා අපේක්ෂකයකු ඉදිරිපත් වුණු මොහොතේ සිට මහින්ද රාජපක්ෂ වටා මේ වන විට ගොඩනැඟිලා තියෙන දේශපාලන බලය වහාම ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙතට මාරු වෙනවා. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන භූමිකාව අවසන් වෙනවා. ගෝඨාභය ඉදිරිපත් කළත් බැසිල් ඉදිරිපත් කළත් එය වෙනවා. නාමල්ට ඉදිරිපත් වෙන්න බෑ. එවැනි තත්ත්වයක් තුළ ශිරන්ති උත්තරයක් ලෙස රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන භූමිකාව ආරක්ෂා කරගන්න උවමනා අය සිටීමට ඉඩ තියෙනවා. ශිරන්ති ජනාධිපති කරගන්න පුළුවන් කියලා ඒ අය හිතනවා නම් මහින්ද තමයි ජනාධිපති වෙන්නේ. මහින්ද රාජපක්ෂගේ දේශපාලන භූමිකාව තව කාලයක් ආරක්ෂා කර ගැනීමටත් ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙතට දේශපාලනය මාරු කරගන්නත් ශිරන්ති හොඳ උත්තරයක්.

ජවිපෙ දිගින් දිගටම රාජපක්ෂ විරෝධයක් පවත්වාගෙන යනවා කීවොත්?

නෑ. පාලන බලයේ කේන්ද්‍රය රාජපක්ෂ කල්ලිය බවට පත් වුණාම එයට විවේචනය එන එක වළක්වන්න බෑ. පක්ෂයක් විදිහට රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ එක්ක පෞද්ගලික ප්‍රතිවිරෝධයක් ඇත්තෙම නෑ. රාජපක්ෂ කල්ලිය ලාංකේය දේශපාලනයට හානිකරයි. එය පරාජය කළ යුතුයි. එතකොට ඒ නම කියවෙන්නේ නැතුව දේශපාලනය කරන්න බෑ.

සංවාදය[රසිකා හේමමාලි]

මාතෘකා