ගී කියන කන්දේ රහස් ගබඩාව

 ඡායාරූපය:

ගී කියන කන්දේ රහස් ගබඩාව

ලාංකීය දේශපාලන සන්දර්භය දිදුලවූ කීර්තිමත් දේශපාලනඥයන් අතරින් අද ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය රොනී ද මැල් මහතාය. ඒ මහතාණන්ගේ ජීවන ගමනේ සුවිශේෂ මං කඩවල් ඔස්සේ (රැස) පුවත්පත ගෙන එන කතාංග මාලාවේ හය (06) වැනි දිගහැරුම මෙය වේ.

පුත්තලමේ රාජකාරි දිවිය කොතරම් කටුක වුවද ඔහුට එය ආස්වාදනීය හැඟීම් එක්කළ අත්දැකීමක් විය. පුත්තලම දිස්ත්‍රික්කයේ දුෂ්කර මාර්ග පද්ධතිය නඩත්තු කිරීම කෙරේ ඔහුගේ පළමු අවධානය යොමු වී තිබිණි. දිස්ත්‍රික්කයේ දුෂ්කර භාවය තීව්‍ර කිරීම සඳහා ගමනා ගමන ක්ෂේත්‍රයේ අඩුපාඩු බෙහෙවින් බලපා තිබිණි.

ධීවර හා කෘෂිකාර්මික අංශයේ පහසුකම් නැංවීම ඔහුගේ මීළඟ ඉලක්කය වී තිබිණි. ඒ සඳහා ඔහු විසින් යෝජනා කළ ව්‍යාපෘති කිහිපයකට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබූ අතර, ඇතැම් ඒවා ක්‍රියාත්මකව පැවතිණි.

දුෂ්කර ගම්මානවල පොදු පහසුකම් නැංවීම සඳහාද ඔහු වැඩසටහනක් දියත් කළේය. ශ්‍රමදාන පදනමින් ජන සහභාගිත්වයක්ද ලබා ගත් මෙම වැඩසටහන් හේතුවෙන් ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව අතර එවකට ජනප්‍රිය චරිතයක් වී තිබිණි.

රොනී වෙත කොළඹින් ලිපියක් ලැබෙන්නේ මේ පසුබිම තුළය. කොළඹින් ලැබුණු ලිපියෙන් රොනී වෙත රැගෙන ආවේ දෝමනස්ස සහගත නියෝගයකි. එය ස්ථාන මාරුවකි. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු වවුනියාව දිස්ත්‍රික්කය වෙත ස්ථාන මාරු කරන බැව් එහි සඳහන්ව තිබිණි.

පුත්තලමේ තමා ආරම්භ කළ ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල ලැබෙමින් පවතින සමයක පුත්තලම අතහැර වෙනත් ප්‍රදේශයකට යෑමට සිදුවීම පිළිබඳ හේ කනස්සල්ලට පත්විය.

තරුණ රොනී, දක්ෂ නිලධාරියකු ලෙස ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් විසින් ඒ වන විටත් හඳුනාගෙන තිබිණි. ඔහු වැනි ක්‍රියාශීලී නිලධාරියකුගේ සේවය අවශ්‍ය වන්නේ පුත්තලමටත් වඩා අතිශයින්ම දුෂ්කර වූ ප්‍රදේශයකට යැයි ඔවුන් උපකල්පනය කර ඇති බැව් රොනීගේ කොළඹ මිතුරන් ඔහුට දන්වා තිබිණි. වවුනියාවට වාවට ස්ථාන මාරුවක් ලබාදීමට හේතුවී තිබුණේ එම තක්සේරුවයි.

වව්නියාව, පුත්තලම දිස්ත්‍රික්කයට වඩා හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයන්ගෙන් යුත් ප්‍රදේශයක් විය. උතුරු පළාතට අයත්ව තිබූ එය පළාතේ අභ්‍යන්තරයට වන්නට පිහිටි දිස්ත්‍රික්කයකි.

භූගෝලීය වශයෙන් පුත්තලමට වඩා වෙනස් තත්ත්වයන්ගෙන් යුක්ත වූ වවුනියාව දිස්ත්‍රික්කය, සංස්කෘතික හා සාමාජයීය වශයෙන්ද වෙනස්කම්වලින් යුක්ත ප්‍රදේශයකි.

පුත්තලමේදී මෙන් රොනී ද මැල් වවුනියාවේදී ආධුනික නොවීය. සිවිල් සේවා නිලධාරියකු වශයෙන් සිය අත්දැකීම් හා පරිචයන් පුත්තලමේදී මනා ලෙස ප්‍රගුණ කර, පෝෂණය වී සිටි ඔහුට වවුනියාවේ සේවය අපහසු නොවීය. සත්‍ය ලෙසම වවුනියාව සිය රාජකාරි දිවියේ නව ස්ථානයක් ලෙස ඔහුට නොසිතිනි. එය පුත්තලමේ කළ සේවයේම දිගුවක් විය.

සිය රාජකාරි දිවිය තුළ පුත්තලමේදී ආකර්ෂණය හිමිවූ වියළි කලාපයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ අධ්‍යයන කිරීමේ ක්‍රියාන්විතය ඔහු වවුනියාව පුරාද අඛණ්ඩව සිදු කර ගෙන ගියේය.

කනගරායන්ආරු, පරංගි ආරු, මා ඔය හා මල්වතු ඔය ආදී වාරි මාර්ග ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු පිළිබඳත් වවුනියාවට වැඩි බලපෑම් කරන ඊසාන දිග මෝසම ආශ්‍රිතව ප්‍රදේශයේ කුඩා වැව් පද්ධතියට ලැබෙන ජලයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි ආකාරයත් අහස් දිය භාවිත කර සිදු කරන වී සහ අනෙක් බෝග වර්ග පිළිබඳවත් ඔහු තවදුරටත් අධ්‍යයනය කළේය.

ඔක්ස්ෆර්ඩ් හෝ කේම්බ්‍රිජ් යෑමට තිබූ අවස්ථා අහිමි වීම දෛවෝපගතව තමා ලද වරප්‍රසාදයක් බව රොනී සිතන්නට වූයේ පුත්තලමේ හා වවුනියාවේදී ලද වෘත්තීය හා සාමාජයීය අත්දැකීම් හා සැසඳීමේදීය.

තරුණ වයසේදීම මෙතරම් අත්දැකීම් සමුදායක් ජීවන ප්‍රවාහයට එක්කර ගැනීමට ලද දුර්ලභ අවස්ථාව පිළිබඳ ඔහු අමන්දානන්දයට පත්ව සිටියේය.

මේ සමය වන විට මෙරට රාජ්‍ය පාලනයේ සුවිශේෂ වෙනස්කම් රැසක් සිදු වෙමින් තිබිණි. බ්‍රිතාන්‍යයන් විසින් සිය හස්තයේ වූ පාලනය ස්වදේශිකයන් වෙත සාමකාමී ලෙස හුවමාරු කර තිබූ අතර සුදු නිලධාරීන් අත තිබූ බොහෝ පරිපාලන මර්මස්ථාන වෙත ලාංකීය උගතුන් පත් කිරීමටද යුහුසුලු වන්නට විය.

 

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් දේශයට නායකත්වය සැපයීය. එමෙන්ම එතුමන්ගේ න්‍යායපත්‍රයේ අංක එක ලෙස තෝරාගෙන තිබුණේ කෘෂිකාර්මික සංවර්ධනයයි.

නව වාරි ව්‍යාපෘති මෙන්ම මහා පරිමාණ ජලාශ නිර්මාණය කිරීමත් රජ සමයේ ඉදිකර ගරා වැටී තිබූ වැව් ප්‍රතිසංස්කරණය කිරීමත් ඩී.එස්. ගේ ප්‍රමුඛ කර්තව්‍යයන් විය.

මෙසේ ඉදිවන යෝධ ජලාශ ආශ්‍රිතව රට පුරා ඉඩම් අහිමි හා අඳගොවි පවුල් දහස්ගණනින් පදිංචි කර ගොවිජනපද බිහි කිරීමද ආරම්භ වී තිබිණි.

නිදහස් ශ්‍රී ලංකාවේ සමස්ත රටවැසියන් තුළ පැතිර තිබූ නිදහස් සිතිවිලි සමුදායට නොදෙවැනි ලෙස යෝධ කෘෂිකාර්මික නවෝදයක ආකල්ප පැතිර යමින් පැවතිණි. බ්‍රිතාන්‍ය පාලනයේ සිවිල් සේවා නිලධාරියෙක් ලෙස මෙතෙක් සේවය කළ රොනීට පවා ඒ සිතුවිලි සමුදායෙන් වියුක්ත වීමට නොහැකි විය. ඔහු සිය රාජකාරි වපසරිය අතික්‍රමණය කරමින් සිය ප්‍රදේශයේ දියුණුව සඳහා වන යෝජනා ආණ්ඩුවට ඉදිරිපත් කළේය.

පාසල් සමයේ පටන්ම රොනී, ඩී.එස්. සේනානායකයන්ගේ දර්ශනයට වශී වී සිටියේය. ඒ මඟ ගැනීමට එදා සිටම රොනී තුළ ආශාවක් පැවතිණි. දැන් ඒ සඳහා සුදුසු කාලය පැමිණ තිබිණි. ඩී.එස්. ගේ දර්ශනය මැනවින් හැදෑරීමේ අවශ්‍යතාව රොනීට ඇතිවිණි. එයට උචිතම මෙවලම වන්නේ ඩී.එස්. විසින් ලියූ ‘කෘෂිකර්මය හා දේශාභිමානය’ නමැති ග්‍රන්ථය පරිශීලනය කිරීම බැව් රොනී අවබෝධ කර ගත්තේය. ඩී.එස්. ගේ එම කෘතිය මඟින්, ලාංකීය ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය, ජනගහනයට සාපේක්ෂව ආහාර සැපයීමේ ක්‍රියාන්විතය, දේශීය ඉඩම් ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද ගොවි ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළ, ගම් පුළුල් කිරීම හා නව නගර නිර්මාණය, ගොවි ජනපද ව්‍යාපාරය, වාරිමාර්ග ක්‍රමය යථාවත් කිරීම, ජලාශ ඉදිකිරීම හා උපකාරක වැව් පද්ධතියක් ඇති කිරීම, සහල් නිෂ්පාදනය, ගොවිජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සැපිරීම, කෘෂිකාර්මික පුහුණුව, විවිධාංගීකරණය හා ආහාර විද්‍යාව ආදී කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලු ක්ෂේත්‍ර හා ඒවා ක්‍රමානුකූලව සහ සම්බන්ධ කිරීම තුළින් රට ගොඩනැඟීම යන පුළුල් විෂය පථය සාර්ථක කර ගැනීමේ මඟ ගැඹුරින් විග්‍රහ කොට තිබිණි.

 

ඇතැමුන් මැකියාවලිගේ ‘කුමාරයා’ ග්‍රන්ථය ඔවුන්ගේ ගමනට පිටිවහල් කර ගත්තද රොනී සිය රාජකාරි දිවියට උපස්ථම්භ කර ගත්තේ ඩී.එස්.ගේ ‘කෘෂිකර්මය හා දේශාභිමානය’ ග්‍රන්ථයයි. පුත්තලමේදී හා වවුනියාවේදී ඔහු ලද අත්දැකීම් මෙන්ම ඩී.එස්. ගේ ප්‍රායෝගික දැනුම කැටිවූ ග්‍රන්ථයෙන් ලද න්‍යායාත්මක මාර්ගෝපදේශ, රොනීගේ කෘෂිකාර්මික දැනුම් සම්භාරය තව තවත් පොහොසත් කිරීමට සමත් විය.

“ලොකු මහත්තයයින් කෙනෙක් වෙන්න ඕන... ඉස්සරහට අපට ලොකු වැඩ ගොඩක් කරන්න තියනවා...“යනුවෙන් එදා ශිෂ්‍යයකුව සිටි සමයේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී තම හිස අතගා ඩී.එස්. තමන්ට දුන් ඔවදනට අනුව තම දිවිය අනුගත වෙමින් පවතින්නේය යන සොම්නස් සහගත හැඟීම ඔහු තුළ මෝදු වෙමින් පැවතිණි.

මෙම අවදියේදී කැබිනට් මණ්ඩලයේ සුවිශේෂි වෙනස් කමක්ද සිදුවිණි. ඒ වසර කිහිපයක් ගොවිකම් හා ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා අත තිබූ එම අමාත්‍යාංශය සිය පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායක මහතාණන්ට ලබා දීමයි.

ඩී.එස්. තමා අතවූ අමාත්‍ය ධුරයට සිය පුතණුවන් පත් කිරීම කැබිනට් මණ්ඩලය තුළ මෙන්ම රටේ විවිධ ක්ෂේත්‍රවලද කතාබහට ලක්වූ කරුණක් විය. එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ අරමුණ වූයේ වෙනකකි. අග්‍රාමාත්‍ය ධුරයේ භාරදූර වගකීම් සමුදාය මැද මෙම විශාල අමාත්‍යාංශයේ සුවිසල් සේවය සඳහා කාලය මිඩංගු කිරීම ඔහුට අපහසු විය. එහෙත් තමන්ගේ ප්‍රියතම විෂය මෙන්ම තමන් විසින් ආරම්භ කළ ගොවි ජනපද හා වාරි කර්මාන්ත කෙරේ අවදානය යොමු කිරීමේ අපේක්ෂාවද අගමැතිවරයා තුළ විය. වෙනත් අයකු අත එම අමාත්‍යාංශය පවතින විටෙක එම කටයුතු පිරික්සීමට යෑම, අන්‍යයන්ගේ විෂය පථයට ඇඟිලි ගැසීමක් ලෙස ඔවුන් වටහා ගැනීමේ ඉඩක් තිබිය හැකිය යන්න ඩී.එස්. සිතුවේය. එහෙත් සිය පුතු අත එම විෂය පවතින විට එවැනි අවලාදවලට ලක්වීමට අවස්ථාවක් නැතැයිද ඔහු කල්පනා කළේය.

ගොවිකම් හා ඉඩම් අමාත්‍යාංශය ඩඩ්ලි සේනානායකයන් බාරගත්තේ එතරම් කැමැත්තකින් නොවේ. පියාගේ ගොවිජනපද ව්‍යාපාරය තුළ ලද අත්දැකීම් ඔහු තුළද වුවත් මෙම අමාත්‍යාංශයේ වූ සුවිසල් භාවය හේතුවෙන් එය මනාව ඉටුකිරීමට තමාට හැකිවේදෝ යන චකිතය ඩඩ්ලි තුළ පැවතිණි.

එබැවින් අමාත්‍යාංශයේ කටයුතුවලට අදාළ උපදෙස් ලබා ගැනීම සඳහා ඩඩ්ලි නිරන්තරයෙන් සිය අග්‍රාමාත්‍ය පියාගේ උදවු උපකාර පැතීය. මූලික මඟපෙන්වීම් සිදු කළද පුරුද්දක් ලෙස උපකාර පැතීම ඩී.එස්. අනුමත නොකළේය. “තමා වෙත භාරවූ කටයුතු මනාව ඉටුකිරීමේ වගකීම ඔබ සතුයි...” අගමැති පියා ඩඩ්ලි පුතුට එසේ අවවාද කළේය.

සිය පියාගේ එම අවවාදයෙන් පසු අමාත්‍ය ඩඩ්ලි සිය අමාත්‍යාංශයේ ගමන් මඟ වෙනස් කළේය. කෘෂිකාර්මික හා ඉඩම් ක්ෂේත්‍රයේ පළපුරුදු නිලධාරීන් සිය අමාත්‍යාංශයට කැඳවීමටත් ගොවිජනපද හා වාරි ව්‍යාපෘති ගොඩනැංවීම් වේගවත් කිරීමටත් ඔහු ඉටා ගත්තේය.

සිය අගමැති පියාගේ න්‍යායපත්‍රයේ අංක එක ලෙස සටහන්ව තිබූ වැඩපිළිවෙළ කිසිදු අඩුවක් නොකර ඉටු කිරීමට නම් මෙරට සිටින දක්ෂතම නිලධාරීන් සොයා ගත යුතුය. ඒ සඳහා එවකට අමාත්‍යාංශයේ විසූ පැරණි නිලධාරීන් හරහා මෙන්ම ඩඩ්ලිගේ හිතෛෂීන් හරහා ලද තොරතුරු මත සිය අමාත්‍යාංශයට පළපුරුදු නිලධාරීන් ගෙන්වා ගැනීමට ඔහු උත්සුක විය. එම කටයුතු සිදු වූයේ ඩඩ්ලිගේ පෞද්ගලික අනුදැනුම මතය. දිනක් සර්.ආතර් රණසිංහයන් රොනීට දන්වා එවූයේ හැකි ඉක්මනින් පැමිණ ඩඩ්ලි හමුවන ලෙසයි.

ඩඩ්ලි සේනානායක මහතා රොනීට කළ ආරාධනාව පිළිබඳ තොරතුරු මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න...

[උපුල් ගලප්පත්ති]

මාතෘකා