මෙච්චර කල් කළේ ණය ගෙවපු එකයි දැන් අපි මුදල් උපයන මාර්ගත් හදනවා

 ඡායාරූපය:

මෙච්චර කල් කළේ ණය ගෙවපු එකයි දැන් අපි මුදල් උපයන මාර්ගත් හදනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ගෙවුණු වසර පහ තුළ තම රජය විසින් සිදු කරනු ලැබුවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමත් ණය ගෙවීමට ශක්තියක් ඇති කර ගැනීමත් ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබාගැනීම ආදිය බවත් ඉදිරියේදී කරන්නේ මුදල් උපයන මාර්ග නිර්මාණය කිරීම බවත් මේ වන විටත් ඊට අඩිතාලම දමමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා (08) කුරුණෑගල වැව් මංතීරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“අපේ රටේ දැන් මුදල් ඉපයිය යුතුව තිබෙනවා. විශාල ලෙස ආයෝජන ලබාගත යුතුව තිබෙනවා. ඒ, රුපියල්වලින් නෙවෙයි ඩොලර්වලින්. ඩොලර්වලින් මිලියන 100ක් නොවෙයි. ඩොලර්වලින් මිලියන 1000ක් නොවෙයි. ඒවගේ 10 ගුණයකින් ඉදිරි වසර කිහිපය තුළදී අපි මුදල් ඉපයිය යුතුව තිබෙනවා. අපි ඒ වැඩකටයුතු කිරීමෙන් ඊළඟ පරපුරට හොඳ අනාගතයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. මේ වසර 05 තුළ අප සිදු කළේ ආර්ථිකය ස්ථාවර කිරීම, ණය ගෙවීමට ශක්තියක් ඇති කර ගැනීම, ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබාගැනීම ආදියයි. ඒවගේම අපි දැන් අලුතින් සිතා අපි ලබාගත් මුදල් පියවීමට උපයන මාර්ග සඳහා යා යුතුව තිබෙනවා. ඒ සඳහා අඩිතාලම මේ වන විටත් අපි දමා තිබෙනවා. ඒ කාර්යය ටිකක් අපහසුයි. අපි ගංවතුර තර්ජනයට මුහුණ දුන්නා. නියඟයට මුහුණ දුන්නා. අපිට නොයෙක් ප්‍රශ්න මතු වුණා. නමුත් ඒ සියල්ල අභිභවා අපි ඉදිරියට යනවා. ඒ සඳහා ඔබේ සහයෝගය අපට අවශ්‍ය බව අවසාන වශයෙන් මා ප්‍රකාශ කරනවා.

කුරුණෑගල නගරය ඇතුළු මේ ප්‍රදේශයට නවීන නගරයක පහසුකම් ලබාදීම සඳහා අශෝක් අබේසිංහ ඇමතිතුමා පියවර රැසක් ගෙන තිබෙනවා. එතුමා සෑම ඇමතිවරයකු සමගම කතාකොට ප්‍රදේශයේ දියුණුවට අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නවා. මේ ප්‍රදේශය දියුණු කිරීමට කටයුතු කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මේ අවස්ථාවේදිත් එතුමා මට මතක් කළා. මෙතුමා කුරුණෑගල නගරය දියුණු කිරීම සම්බන්ධයෙන් වරින් වර මා සමග කතා කළා. හැකි උපරිම අයුරින් මේ ප්‍රදේශය දියුණු කිරීම සඳහා එතුමාට අවශ්‍ය සහාය දෙනවා. ඒ වගේම චම්පික රණවක ඇමතිතුමා මහනගර සංකල්පය දියුණු කිරීම මෙන්ම මේ නගර දියුණු කිරීම සඳහා විශාල ලෙස උනන්දුවක් දක්වනවා. නාගරික සංවර්ධනය මාර්ගයෙන් නගර නවීකරණය කිරීමේ කටයුතු සිදු කරනවා. චම්පික රණවක ඇමතිතුමා ඒ සඳහා විශාල ලෙස උනන්දුවක් දක්වනවා. අද නගර ගණනාවක් අලංකාර වී ඇත්තේ සැලසුමක් ඇතිව එතුමා එය දියුණු කළ නිසයි. ඒ නිසා එතුමා මේ සම්බන්ධයෙන් ගනු ලබන ප්‍රයන්තය පිළිබඳව සහ විශේෂයෙන් කුරුණෑගල නගරය දියුණු කිරීමට ගන්නා ලද උත්සාහය ගැනද එතුමාට ස්තූතිවන්ත වෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ ඇති එක් අඩුපාඩුවක් නම් හොඳ හෝටල් නොතිබීමයි. දඹුල්ල, නුවර, කටුනායක අවට සහ මීගමුව ප්‍රදේශයන්හි හොඳ හෝටල් තිබෙන නමුත් කුරුණෑගල ප්‍රදේශයේ හොඳ හෝටල් දක්නට ලැබෙන්නේ නැහැ. මේ ප්‍රදේශයේ ඇති ඉඩම් කිහිපයක හෝටල් කිහිපයක් ආරම්භ කළහොත් විශාල දියුණුවක් දක්නට පුළුවන්. ඉදිරියේදී තරු හතරේ, තරු පහේ හෝටලයක් දෙකක් මේ ප්‍රදේශයේ ඉදිකිරීමෙන් තවත් විශාල දියුණුවක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. සංචාරක අමාත්‍යතුමාත් නගරාධිපතිතුමාත් අශෝක් අබේසිංහ මැතිතුමාත් එකතු වී එම කාර්ය ඉදිරියේදී කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇතැයි මා සිතනවා. අපි සංචාරක ආර්ථිකයක් මේ ප්‍රදේශයට ලබා දිය යුතුයි. සංචාරක ආර්ථියක් ලබාදීම මගින්ද මේ ප්‍රදේශයට විශාල දියුණුවක් ලබාදීමට අපි කටයුතු කරනවා.

චම්පික රණවක ඇමතිතුමා මා වෙත කරුණු දෙකක් පිළිබඳ දැනුම් දුන්නා. ඉන් එකක් නම් අපි ණය බරින් සිටින රටක්. මේ ණය උපරිම ලෙස ලබාගෙන තිබෙනවා. 2013, 2014 වර්ෂවලදී විශාල වශයෙන් අර්බුදයකට මුහුණු පා සිටියා. එම අර්බුදය විසඳීමට හැකියාවක් තිබෙනවා කියා කිසිවක් සිතුවේ නැහැ. 2015 වර්ෂයේ අපි රජය බාර ගැනීමෙන් පසු මෙම ණය අර්බුදය විසඳීමේ කටයුතු අපි ආරම්භ කළා. අපි ඉතා අපහසුවෙන් හෝ ණය ගෙවීම් කළා. ඒ අපහසුතාවය අපි සියලු දෙනාටම දැනුණා. එය ඉතා අසීරු කටයුත්තක් වුණා. අපි ණය ගෙවීම පැහැරහැරියා නම් මේ රට බංකොලොත් රටක් බවට පත්වෙනවා. ග්‍රීසිය වැනි රටවල මෙවැනි තත්ත්වයක් පැවති අවස්ථාවලදී සියයට 40කින් වැටුප් ගෙවීම අඩු කළා. රෝහල්වල ඖෂධ නොමැතිව මිනිසුන් ජීවිතක්ෂයට පත් වුණා. පාසල්වල ගුරුවරු නොසිටීමෙන් දරුවන් ඇතුළත් කිරීමට නොහැකි වුණා. නමුත් අපි ඒ කිසිවක් සිදු කළේ නැහැ. අපි මේ රටේ ණය ගෙවීම සිදුකරන අතරතුර වැටුප් වැඩිකිරීමද සිදු කළා. හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් නොමිලේ දීම සිදු කළා. පාසල් අතරින් ළඟම පාසල හොඳම පාසල බවට පත්කළා. කිසිම අඩුවක් සිදු කළේ නැහැ. මේ කටයුතු කිරීමට අපට ටිකක් අපහසු වුණා. නමුත් අපි පොරොන්දු වූ පරිදි එම කටයුතු සිදු කළා.

දෙවන කරුණ නම් අපි මුදල් උපයා ණය ගෙවීම සිදු කළ යුතුව තිබෙනවා. මේ වසරේ සිට ශීඝ්‍ර අපනයන ආර්ථිකයක් ඇතිකිරීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා. ශීඝ්‍ර අපනයන ආර්ථිකය ඇතිකිරීමට නම් අපට අපනයන කර්මාන්ත අවශ්‍ය වෙනවා. අපනයන අයි. ටී. සේවාවක් අපට අවශ්‍යයි. උපරිම තාක්ෂණය යොදවන අලුත් කෘෂිකර්මාන්තයක් අවශ්‍යයි. මේ සියලු දේ සිදුකිරීමෙන් ඊළඟ වසර පහ, දහය තුළ මෙම ණය ගෙවීමට අපට හැකියාව ලැබෙනවා. 2030 වන විට අප මේ සියලු ණය ගෙවා අවසන් කළ යුතුව තිබෙනවා. ණය බර මේ වන විටත් අපි ටිකෙන් ටික අඩුකිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ ශීඝ්‍ර සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම අප සිදු කළ යුතුව තිබෙනවා. ඒ යටිතල පහසුකම් ලබාදීමට අප විසින් හඳුනාගනු ලැබූ එක් ප්‍රදේශයක් ලෙස වයඹ ප්‍රදේශය නම් කර ඇති බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. දැනටමත් ඒ පිළිබඳ සියලු සැලසුම් සකස් කරමින් පවතිනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් මේ ප්‍රදේශයේ සම්පූර්ණ දියුණුවක් ඉදිරියේදී අපට දැකගත හැකි වෙනවා. කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත්වෙනවා. එන සතියේ අධ්‍යාපන අමාත්‍යතුමා සමග පැමිණ පොරොන්දු වූ පරිදි ජාතික පාසලේ වැඩකටයුතු විවෘත කිරීම සිදු කරනවා. එපමණක් නොවෙයි, මාර්තු 04 වැනි දින බිංගිරිය ආයෝජන කලාපය විවෘත කිරීම සිදු කරනවා. එය ලංකාවේ දැනට තිබෙන ආයෝජන කලාප අතරින් විශාල කලාපය බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මෙම ආයෝජන කලාපය අක්කර 600, 800ක් පමණ ප්‍රමාණයක ඉදිකර තිබෙනවා. එය කටුනායක හා බියගම කලාපවලට වඩා විශාල කලාපයක්. මේ ආකාරයට හොඳ වැඩපිළිවෙළවල් අපි සකස් කරගෙන යනවා.

කුලියාපිටිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතුත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිදු කරගෙන යනවා. අනෙක් පැත්තෙන් මාවතගම ප්‍රදේශයේ දියුණුවක්ද දක්නට ලැබෙනවා. මේ වන විට මාවතගම පොලිස් ස්ථානයද අලුතින් විවෘත කර තිබෙන අතර අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසාද මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් දක්නට ලැබෙනවා. අප විසින් සිදු කරනු ලබන මේ වැඩකටයුතු කිසිවකුට නතර කිරීමට හැකියාවක් නැහැ. මේ ප්‍රදේශයේ ඉදිකළ මෙම වෙළෙඳ කලාපය නිසා විශාල දියුණුවක්ද ඉදිරියේදී ඇති වෙනවා. කුරුණෑගල නගරය විශේෂ ස්ථානයක් ගන්නවා. එක් පැත්තකින් හලාවත දක්වාත් අනෙක් පැත්තෙන් කුලියාපිටිය, නාරම්මල, දඹුල්ල, මහනුවර දක්වාත් යන ප්‍රධාන නගරයක් ලෙස කුරුණෑගල හඳුන්වන්න පුළුවන්. කුරුණෑගල ප්‍රදේශය දියුණු කර තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය මේ ප්‍රදේශයට ගෙන ඒමට අඩිතාලම අපි සැකසිය යුතුයි. මහනුවර හා කුරුණෑගල අතර තාක්ෂණ කොරිඩෝවක් ඇති කිරීමට අප ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ තත්ත්වයට පත්වන්නේ කෙසේද යන්නත් එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නත් අපි අලුතින් සිතිය යුතුයි. මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශයන්හි අධ්‍යාපනය ලබන දක්ෂ දරුවන් සිටිනවා. ඒවගේම කුලියාපිටිය, හලාවත, නාත්තන්ඩිය ආදී ප්‍රදේශ වටාත් සිටිනවා. ඒ දරුවන් මේ තාක්‍ෂණ දියුණුව සඳහා සම්බන්ධ කරගත යුතුයි.”

 

මාතෘකා