පනත පරාජය කළ අයම ඡන්දය ප්‍රමාද කිරීම ගැන චෝදනා කරනවා : ජේ.සී. අලවතුවල අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

 ඡායාරූපය:

පනත පරාජය කළ අයම ඡන්දය ප්‍රමාද කිරීම ගැන චෝදනා කරනවා : ජේ.සී. අලවතුවල අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

පළාත් සභා මැතිවරණය කල් දාලා තියෙන්නේ ඇයි කියලා මුලින්ම බලන්න ඕනෑ. පළාත් සභා ඡන්දය කොට්ඨාස ක්‍රමය හා සමානුපාතික ක්‍රමයට අනුව පැවැත්විය යුතුයි කියලා තුනෙන් දෙකකින් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. එහෙනම් ඡන්දේ තියෙන්න කොට්ඨාසත් අවශ්‍යයි. ඒ අනුව තමයි කොට්ඨාස සීමා නිර්ණය කරන්න පත් කරලා තිබුණු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. නමුත් එදා හිටපු පළාත් පාලන විෂය බාර ඇමතිතුමාත් ඔය කෑ ගහන ඒකාබද්ධෙ අයත් ජවිපෙත් ටී.එන්.ඒ. එකත් යූ.එන්.පී.යත් එකතුවෙලා ඒ පනත පරාජය කළා. කිසිදු කෙනෙක් ඒ පනතට පක්ෂව ඡන්දේ දුන්නේ නැහැ. ඇත්තටම ඒ කමිටු වාර්තාවේ වැරදි අඩුපාඩු තිබුණා. ඒ නිසා කාටවත් චෝදනා කරන්න බැහැ ආණ්ඩුව විතරක් පළාත් සභා ඡන්දය කල් තැබීමට වගකියන්න ඕනෑ කියලා.

බලහුවමාරුවකින් පස්සේ ආණ්ඩු බලය අරගෙන මාසයකට වැඩි කාලයක් ගතවෙලා. තාම එ්්්ත් රටට දැනෙන දෙයක් වෙලා නෑ නේද?

පළමුව ඔබ කියපු බල හුවමාරුවෙන් පටන්ගන්නම්. ඇත්තටම ඒක බල හුවමාරුවක් නෙමේ කුමන්ත්‍රණයක්. නීත්‍යනුකූල ආණ්ඩුවක් පවත්වාගෙන යන කොට රටේ අගමැති දන්නේ නැතුව, කැබිනට් මණ්ඩලය දන්නේ නැතුව අඩුම තරමේ බලයට පත් කරන කණ්ඩායමේ මන්ත්‍රීවරුන්වත් දන්නේ නැතුව ආණ්ඩුව වෙනස් කරන එක කුමන්ත්‍රණයක් තමයි. ජනතාවට දැනෙන දෙයක් වෙන බව දැනගෙන තමයි මේ කුමන්ත්‍රණය කළේ

එතකොට ඔබ කියන්නේ දැන් ජනතාවට දැනෙන දෙයක් සිදුවෙනවා කියලද?

පැහැදිලිව වැඩගොඩක් සිදුවනවා. අප රජයක් විදිහට ඔක්තෝබර් මාසය වන විට එන්ට්‍රපයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය වැනි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. හොරට හදපු ආණ්ඩුව මේ සියල්ල ජනතාවට අහිමි කළා. පසුගිය දෙසැම්බර් 17 වැනිදා අපේ අගමැතිතුමා නැවත දිවුරුම් දුන්නට පසුව පළමු කැබිනට් රැස්වීමෙන්ම තීන්දු කළා ගම්පෙරළිය සඳහා ආසනයකට වෙන් කළ ලක්ෂ 10ක මුදල ලක්ෂ 3000 දක්වා වැඩි කරන්න. ඒ අනුව ගම්පෙරළිය වැඩසටහන සඳහා ආසන 80ක පමණ යෝජනා ලැබී තිබෙනවා. ඉදිරි සතිය තුළ ඒ ව්‍යාපෘතිවල වැඩ ක්‍රියාත්මක කරනවා. ඉතිරි ආසනවල වැඩත් යෝජනා ලැබුණු විගස ආරම්භ කරනවා. එ් අනුව රටම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ අනුව ජුනි මාසය වනවිට ව්‍යාපෘති වැඩ අවසන් කිරීම අපේ අරමුණයි.

එන්්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආණ්ඩුව බලාපොරොත්තු වූ තරම් ජනතාවට සමීප වුණේ නෑ නේද?

අපේ ආරම්භය සාර්ථකයි. එ්ත් පහුගිය දින 51 කාලයේ පාලනය කළ අය මේ කෙරේ තිබූ ජනතා විශ්වාසය නැති කළා. තායිලන්ත වියට්නාම් රටවල ජනගහනයෙන් 11%ත් 12%ත් අතර ව්‍යවසායකයන් ඉන්නවා. නමුත් අප රටේ 3%ක පමණ අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ. තවම අපේ අය රජයේ රැකියාවලට වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් රටක් විදිහට ඉදිරියට යන්න ඒ ආකල්ප වෙනස් කරන්න ඕනෑ. මොකද නිෂ්පාදනය වෙ‍ෙළඳාම මුල්කරගත් ආර්ථික ක්‍රමයකින් තමයි රටක් දියුණු කරන්න පුළුවන්.

ඒ අනුව එන්ට්‍රපයිස් ශ්‍රී ලංකා වැඩසටහන අලුත් යෝජනා රාශියකින් නවීකරණය වෙලා. ණය යෝජනා ක්‍රම 13ක් ක්‍රියාත්මක වෙනවා. උපාධිධාරීන්ට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළාම කිසිදු පොලියක් නොමැතිව ලක්ෂ 15ක ණයක් ලබා දෙනවා. මේ වැඩසටහන තුළින් තරුණ පිරිසට ව්‍යාපාර ක්ෂෙත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා.

පළාත් සභා ඡන්ද කල් දැමීම තාමගේ හදවතට දැනෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය දිනවල ප්‍රකාශ කළා. ඇත්තටම ආණ්ඩුව ඡන්දය කල් දානවාද?

ප්‍රජාතන්ත්‍ර විරෝධීව මැතිවරණයකට යන්න හදපු වේ්ලාවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ හදවතට ඒක දැනුණු වගක් අපට පෙනුණේ නෑ. එතුමාගේ කොමිසමේ හිටපු වෙනත් සාමාජිකයකුගේ හදවතට මේක වැරදියි කියලා දැනිලා එතුමා උසාවියට ගියා. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිහඬව සිටියා.

මතක තියාගන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ වගකීම මැතිවරණ තියන එකම නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්වීමයි. නමුත් එතුමා කිව්වේ “විසුරුවලා තියනවා නම් අපි ලෑස්තියි ඡන්දයකට” කියලා. හැබැයි එතුමාට උසාවිය හොඳ පිළිතුරක් දුන්නා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළාත් පාලන ඡන්දය මුල් කරගෙන ඉල්ලා අස්වෙන්න යනවා කියන්නේ ඇත්තද?

ආණ්ඩුව එතුමාට අස්වෙන්න කියලා නැහැ. ඉල්ලා අස් වෙන එක එතුමාගේ පෞද්ගලික කාරණයක්.

ඒ කියන්නේ එතුමා ඉල්ලා අස්වීම දුන්නොත් ආණ්ඩුව ඒක භාර ගන්නවා කියන එකද?

එතුමා ඉල්ලා අස්වුණොත් වෙනත් කෙනෙක් ඒ තනතුරට එයි. ලෝකේ කොෙහවත් අත්‍යවශ්‍ය පුද්ගලයෝ නැහැනේ.

ඔබ කොහොම කිව්වත් පළාත් සභා මැතිවරණ කල් දැමීමේ චෝදනාව ආණ්ඩුව බාර ගත යුතුයි නේද?

පළාත් සභා මැතිවරණය කල් දාලා තියෙන්නේ ඇයි කියලා මුලින්ම බලන්න ඕනෑ. පළාත් සභා ඡන්දය කොට්ඨාස ක්‍රමය හා සමානුපාතික ක්‍රමයට අනුව පැවැත්විය යුතුයි කියලා තුනෙන් දෙකකින් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. එහෙනම් ඡන්දේ තියන්න කොට්ඨාසත් අවශ්‍යයි. ඒ අනුව තමයි කොට්ඨාස සීමා නිර්ණය කරන්න පත් කරලා තිබුණු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. නමුත් එදා හිටපු පළාත් පාලන විෂය බාර ඇමතිතුමාත් ඔය කෑ ගහන ඒකාබද්ධෙ අයත් ජවිපෙත් ටී.එන්.ඒ. එකත් යූ.එන්.පී.යත් එකතුවෙලා ඒ පනත පරාජය කළා. කිසිදු කෙනෙක් ඒ පනතට පක්ෂව ඡන්දේ දුන්නේ නැහැ.

ඇත්තටම ඒ කමිටු වාර්තාවේ වැරදි අඩුපාඩු තිබුණා. ඒ නිසා කාටවත් චෝදනා කරන්න බැහැ ආණ්ඩුව විතරක් පළාත් සභා ඡන්දය කල් තැබීමට වගකියන්න ඕනෑ කියලා.

පළාත් සභා ඡන්දේ කඩිනම් කරන්න රජයේ අදහසක් නැද්ද?

ආණ්ඩුවට විතරක් මේක තනියම කරන්න බැහැ. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කෑගැහුවා කියලා මේක කරන්නත් බැහැ. අපි ආණ්ඩු කළාට අපිට තුනෙන් දෙකක බලයක් නැහැ. මේ සඳහා පක්ෂ නායකයෝ හැමෝටම වගකීමක් තියෙනවා. මේ සියලු දෙනා සාකච්ඡා කරලා තීන්දුවක් ගත යුතුයි.

ඒ එක්කම මේකට බලපාන තවත් වැදගත් කාරණයක් තියෙනවා. 2015 ජනවාරි අට වැනිදා ජනාධිපතිවරයා බලයට පත්වුණාම පොරොන්දුවක් දුන්නා පළාත් සභා ඡන්දය කඩින් කඩ පවත්වන්න අදහසක් නැහැයි කියලා. පළාත් අටේම ඡන්දය එකවර පවත්වනවා කියලා. ජනාධිපතිවරයාට දැන් මේක මතකද කියන්න මම දන්නේ නැහැ. එහෙම බැලුවොත් ඌව පළාත් සභාව විසුරුවන්න පුළුවන් වෙන්නෙ ඔක්තෝබර් මාසයේ. එහෙම නම් පළාත් සභා සියල්ලේම ඡන්දේ එකට තියන්න වෙන්නෙත් ඔක්තෝබර් මාසෙන් පස්සෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඌව මහ ඇමතිතුමා සමඟ එකඟතාවකට ඇවිල්ලා පළාත් සභාව විසුරුවලා පළාත් අටේම ඡන්දය තියන්න තිබුණා නේද?

ඔබ ඔය කියන්නේ එ.ජා.ප.යට ඡන්ද කල්දාන්න උවමනාවක් තියෙනවා කියලනේ. ඇත්තටම කිව්වොත් ඡන්ද කල්දාන උවමනාව තිබු‍ණේ ශ්‍රී.නි.ප.යටයි. ඒක තමයි මම දන්න ඇත්ත. ශ්‍රී.ල.නි.ප.යේ ස්ථාවරය හදාගන්න තුරු තමයි පළාත් පාලන ඡන්දය කල් දැම්මේ.

ජාතික ආණ්ඩුවකට යනවා කියන්නේ ඇත්තද?

සාකච්ඡා වෙනවා. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.

කොහොමත් එ.ජා.ප.ය පුළුල් සන්ධානයක් ලෙසයි කටයුතු කරන්නේ.

ආණ්ඩුව ඡන්දෙකට බයයි කියලා නැඟෙන චෝදනාවට මොකද කියන්නෙ?

අපි ඕනෑම මැතිවරණයකට යන්න බය නැහැ. නමුත් ඒවා පවත්වන්න ඕනේ නීත්‍යනුකූල විදියටයි.

නමුත් එජාප ආණ්ඩුව පසුගියදා පවත්වපු එකම මැතිවරණෙනුත් පරාජය ලැබුවා නේද?

ඒ පරාජයට හේතු කාරණා කිහිපයක් බලපෑවා. මම ඒ ගැන පසුවට කියන්නම්. ඔබ ඔය සඳහන් කරන පළාත් පාලන මැතිවරණය ගැනනේ. ඒක සම්පූර්ණ විකෘති ප්‍රතිඵලයක් ලබාදුන්නු මැතිවරණයක්. එය අවුල් ජාලයක් නිර්මාණය කළා. පළාත් පාලන සභිකයන් ප්‍රමාණය දෙගුණ වුණා. සභා ශාලා පවා වෙනස් කරන්න සිදු වුණා. එහෙම වෙනස් වුණා කියලා ජනතාවට ලැබුණු දේ වෙනස් වුණේ නැහැ. මේ පළාත් සභා මැතිවරණය වුණත් හදිස්සියේ සීමා නීර්ණය කරලා තිබ්බොත් ලැබෙන්නේ එවැනිම ප්‍රතිඵලයක් කියන එකයි මගේ පෞද්ගලික අදහස.

ඇයි එජාපය හැම විටම ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ

අපි කොහොමත් කියන්නේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි කියලා. මොකද ජනාධිපතිවරණයක් තියන්න නීතියේ කොහේවත් බාධාවක් නැහැ. පසුගිය ජනවාරි අට වැනිදායින් පස්සේ ජනාධිපතිතුමාට බලය තියනවා ජනාධිපතිවරණයක් තියන්න. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය කියන විදියට මේ රටේ ඇතැයි කියන අස්ථාවර භාවයටත් ඒක හොඳ විසඳුමක්.

පළාත් සභා මැතිවරණ, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනෙක පවත්වන්න රජයේ අවධානය යොමුවෙලා තියෙනවද?

එහෙම කරන්න බැරිකමකුත් නැහැ. එහෙම තිබ්බොත් රටේ මුදල් විශාල ප්‍රමාණයක් අපට ඉතුරු කරගන්න පුළුවන් වේවි. ඡන්දේ ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයත් ඉහළ අගයක් ගනීවි.

ඔබේ අමාත්‍යාංශය යටතේ වඩාත් සමීප ජනතා සේවයක් සඳහා ඇති ඉදිරි සැලසුම් ගැන කිවුවොත්

අපි ළඟදීම විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වා දෙනවා. තමන් පදිංචි දිස්ත්‍රික්කයෙන්ම එක් දින සේවය මගින් එම ගමන් බලපත්‍රය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකසනවා. එතකොට පාස්පෝට් එක ගන්න කොළඹ පෝලිම්වල ඉන්න ඕන නෑ. ඒවගේ්ම සෑම පුරවැසියකුටම විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදෙන්නත් අප සැලසුම් කරලා තියෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ පවතින දූෂණ වංචා වැළැක්වීමට තාක්ෂණය යොදා ගන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ හරහා ඉඩම් ඔප්පු ලබාදීමේ එක් දින සේවය අැරඹීමටත් සැලසුම් සකස්කරමින් ඉන්නවා.

සංවාදය [පබදු සපුතන්ත්‍රි]

මාතෘකා