සේනා ව්‍යාප්ත වුණාට අස්වැන්න අඩුවෙලා නෑ : කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්

 ඡායාරූපය:

සේනා ව්‍යාප්ත වුණාට අස්වැන්න අඩුවෙලා නෑ : කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්

‘සේනා’ මර්දනය කරන්න පටන් අරගෙන තියෙනවාද?

සේනා දළඹුවා මර්දනය කිරීමට පියවර ගණනාවක් අරගෙන තියෙනවා. කෘෂි රසායන ද්‍රව්‍ය මත පමණක් මේ දළඹුවා මර්දනය කළ හැකි බව කෙනකු හිතනවානම් ඒක විහිළුවක්. අපට මේ සඳහා ක්‍රම ගණනාවක් භාවිත කළ හැකියි. දළඹුවාව ආහාරයට ගන්නා කුරුල්ලන්ව යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අළු වර්ග භාවිත කිරීම, දේශීය වශයෙන් ශාක යුෂ, කොහොඹ නිස්සාරණය යොදා ගැනීම වැනි විවිධ ක්‍රම සොයාගෙන තියෙනවා. මේ සියලු ක්‍රම භාවිත කරමින් සේනා දළඹුවා මර්දනය කිරීමට සහ පාලනය කිරීමට කටයුතු කරනවා. ගොවිතැන් කරන ක්‍රමවේද භාවිත කිරීම, කන්නයට එක යායට බෝගයක් වගා කිරීම වැනි ක්‍රමත් ප්‍රයෝජනයට ගන්නවා.

හැකි නම් ඉදිරි කන්නයක් බඩඉරිඟු වෙනුවට වෙනත් බෝගයක් වැවීමට හැකි නම් එය වඩාත් හොඳ විසඳුමක් වේවි. මේවා පිළිබඳව ගොවීන් දැනුවත් කර තියෙනවා.

සේනා කියන්නේ බහු ජාතික සමාගම්වල වුවමනාවක් කියලා කියනවා?

එහෙම කියන්නේ මාධ්‍ය. සේනා ඇමෙරිකාවේත් තියෙනවා. අප්‍රිකාව වැනි රටවලත් තියෙනවා.

ඇමෙරිකාව සේනා මර්දනය කර තියෙනවා නේද ඒත්?

සම්පූර්ණයෙන්ම මර්දනය කර නෑ. සීත දේශගුණයේදී දළඹුවා මැරුණත් උෂ්ණ කාලයේදී නැවත හිස ඔසවනවා. ජානමය බඩඉරිඟු වැනි ක්‍රමවේද භාවිත කර තියෙනවා එයින් බේරෙන්න.

සේනාවලට නිසි විසඳුමක් තවම නෑ කියන එක වසන් කරන්න බෑ.

ඉන්දියාවේ සේනා හඳුනාගත්තේ 2018 වසරේ මුල් භාගයේ. ලංකාවේ මාස තුනකට උඩදී හඳුනාගත්තේ. වෙනත් රටවල මේ දළඹුවා මර්දනය කරන්න භාවිත කර ඇති ක්‍රමත් දේශීය වශයෙන් යොදාගන්නා ක්‍රමත් උපයෝගී කරගෙන මේ දළඹුවා මර්දනය කරන්න බලාපොරොත්තු වෙනවා.

සීයට පනහකට ආසන්න ප්‍රමාණයක බඩඉරිඟු වගා විනාශයක් සිදුවී ඇති බවයි කියන්නේ. මෙය සුළුපටු නෑ?

එහෙම සීයට හතළිහක පනහක වගා විනාශයක් නෑ. සේනා දළඹුවා වගාවලින් සීයට 40කට විතර ව්‍යාප්තව තියෙනවා. හැබැයි අස්වැන්නේ අඩුවක් නෑ.

ඒත් වගා ගොවීන් අමාරුවේ වැටිලා ඉන්නේ. ඔවුන් වෙනුවෙන් මොනවද ආණ්ඩුව පැත්තෙන් කරන්නේ?

ගොවීන්ට වන්දි දෙන්න වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා. පූර්ණ හානි වුණා නම් ඒ සම්බන්ධව වන්දි දෙන්නත් අපි සූදානම් වෙලා ඉන්නේ.

මොන බෙහෙත දැම්මත් දළඹුවා මරන්න බෑ කියලා ගොවීන් කියන්නේ?

ඒ බොරු කතාවක්. දැනට අපි කෘෂි රසායන ද්‍රව්‍ය 6ක් හඳුන්වා දී තියෙනවා. කෘෂි රසායන ද්‍රව්‍ය විතරක් නෙවේ අනිකුත් ක්‍රම ඔස්සේ දිගුකාලීනව මර්දනය කිරීමේ ක්‍රමවේදයක් තමයි කළ යුත්තේ.

මෙවැනි තර්ජන සඳහා පෙර සූදානමක් නැති බව පේන්නේ?

අපට කියන්න බෑ මොකක්ද ඉදිරියට වෙන තර්ජන කියලා. මීට වැඩිය ස්වභාවික විපත් එන්න පුළුවන්. වසංගත එනවා. වසර කිහිපයකට උඩදී කීඩෑවන් ආවා.

අපේ සූදානමක් තිබුණු නිසයි දළඹුවාට මේ තරම් හොඳින් මූණ දීමට හැකි වුණේ. අපි ඒ සඳහා ජනතාව දැනුවත් කළා. ඊට අදාළ කෘෂි රසායන ද්‍රව්‍ය ඉදිරිපත් කළා. වෙනත් විදේශීය තාක්ෂණය ගෙන ආවා. විදේශීය විශේෂඥ උපදෙස් ලබා ගත්තා. ඒ නිසා මේ තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වෙලා තියෙන්නේ.

මේ වෙද්දි සේනා පාලනය කර තිබෙන බවයි ඔබ කියන්නේ?

ඔව්. එසේ නොවුණා නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීයට සීයක් බඩඉරිඟු වගාව විනාශ වෙලා අවසන් වෙන්න තිබුණා.

කෙසෙල් වගාවටත් මෙය පැතිරිලා කියෙන්නේ?

මෙහෙමනේ. පණුවෙක් හොයා ගත්තොත් දැන් හැමෝම බලන්නේ ඒ සේනාද කියලා. ඉතිහාසයේ විවිධ දළඹුවන් ඉඳලා තියෙනවා. තවමත් විවිධ වර්ග තියෙනවා.

ගොවියාගේ නිෂ්පාදනවලින් ගොවියාට ප්‍රතිලාභයක් නොලැබන බව බරපතළ ප්‍රශ්නයක් වෙලා නේද?

ඉතිහාසයේ සිට පවතින ප්‍රශ්නයක්. අප පුළුවන් තරම් උත්සාහ කරනවා ගොවියාව ආරක්ෂා කරගන්න. ඒ සඳහා විවිධ රජයන් විවිධ ක්‍රමවේද ගත්තා. නමුත් ඒවා සාර්ථක වුණේ නෑ. ගොවියාට සාධාරණයක් වෙලා නෑ. වෙළෙඳ ව්‍යාපාරිකයාට තමයි එය වාසියක් වෙලා තියෙන්නේ. අතරමැදියාගෙන් සිදුවන ගසා කෑම සහ නාස්තිය අඩු කිරීමට පියවර ගන්න ඕනෑ. අද රටේ එළවළු නිෂ්පාදනයෙන් 40%ක් විතර නාස්ති වෙනවා. ඒකටත් අපි වැඩපිළිවෙළ ගණනාවක් ලෑස්ති කරලා තියෙනවා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කූල් ට්‍රක්ස් ටිකක් ගෙන්වා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා.

පොහොර සහනාධාරය සම්බන්ධ ගැටලුව මේ වන විට විසඳලාද තියෙන්නේ?

මේ අවුරුද්දේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. මගේ පෞද්ගලික ඉල්ලීම වී ගොවීන්ට දෙන පොහොර නොමිලයේ දෙන්න කියලා. අප රජයට එය යෝජනා කර තියෙනවා.

නිසි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැති එක ප්‍රශ්නයක් කියලා චෝදනා තියෙනවා?

ශ්‍රී ලංකාව නිදහස් වෙලා අවුරුදු 70යි. මම ඉන්නේ 25 වැනි කෘෂිකර්ම ඇමතිවරයා විදියට. ඒක එක දවසින් හෝ එක රැයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක එක ආණ්ඩු හදපු ප්‍රතිපත්ති තමයි තියෙන්නේ. කෙසේ හෝ හොඳ වැඩපිළිවෙළකට යෑම ඉදිරි කාල සීමාවේදී කළ යුතුයි.

අවුරුදු 70ක් තිස්සේ නොකරපු දේ මේ ඉදිරි කාලයේදී කරන්න පුළුවන් වෙයිද?

ලෝකයේ සමහර රටවල් දියුණු වෙන්න අවුරුදු දාස් ගණන් ගිහින් තියෙනවා. ඉතිහාසයට දොස් කියලා හරියන්නේ නෑ. අනාගතය සැලසුම් කරන්න ඕනෑ.

මැතිවරණයකට ඔබ පක්ෂයේ සූදානම කොහොමද?

එක්සත් ජාතික පක්ෂය ලෙස මැතිවරණයට සූදානම් වෙමින් ඉන්නේ.

මුලින්ම එන්නේ කුමන මැතිවරණයද?

අපට මොන ඡන්දය ආවත් ප්‍රශ්නයක් නෑ. කුමන ඡන්දය ආවත් අපි ලෑස්තියි.

මේ ආණ්ඩුව මැතිවරණයට නොගිය බවට ආණ්ඩුවට දිගටම චෝදනාව එල්ල වුණා?

අවස්ථා ගණනාවකදී පළාත් සභා මැතිවරණ අලුත් ක්‍රමයකට පැවැත්විය යුතු බව කීවා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඒ ක්‍රමය අනුගමනය කරන්න ගිහින් ප්‍රශ්න ගණනාවකට මූණ දෙන්න සිදුවුණා. පළාත් සභා මැතිවරණයටත් මේ ක්‍රමය යෝජනා කර තියෙනවා. පාර්ලිමේන්තු කමිටුවක් රැස් වී ඒ යෝජනාව වෙනස් කරන්න අදහස් කර තියෙනවා. ඒ කමිටුවේදී විවිධ මත තිබුණා. ඒ විවිධ මතිමතාන්තරත් එක්ක අලුත් ක්‍රමයට යනවාද නැත්නම් පරණ ක්‍රමයට මැතිවරණයට යනවාද කියලා ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා. ඒකට වැඩි දවසක් නොගිහින් විසඳුමක් එයි. ඒ අනුව නොවැම්බර්වලට පෙර මැතිවරණයට යන්න සූදානම් වෙන්න පුළුවන්.

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ එක්ව මැතිවරණයකට යෑම එජාපයට අභියෝගයක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද?

මැතිවරණයකට යෑම කොහොමත් අභියෝගයක්. පක්ෂය තීන්දුවක් ගන්න ඕනෑ ඒ අභියෝගය ජයගන්න විදිහ ගැන.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන නැවතත් කතාබහක් ඇති වෙලා?

තාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනත් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බිල්ලෙක් කියලා මාධ්‍ය විසින් මවලා තියෙනවා. පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා යෝජනාවක්. මේ යෝජනාවට ඕනෑම කෙනකුට තමන්ගේ අදහස් උදහස් දෙන්න පුළුවන්. මේ යෝජනාව සම්පූර්ණයෙන්ම හොඳ නැත්නම් අලුත් එකක් ගෙන ආ යුතු බව පාර්ලිමේන්තුවට කිව හැකියි. එහෙම නැත්නම් මේ යෝජනාවට සංශෝධන ගෙනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කෙටුම්පත ගෙනාවට පස්සේ පාර්ලිමේන්තුවේ විවාද කරලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අනුමත වූ පසු මෙය ජනමත විචාරණයකට යනවා. ඉන්පසුව තමයි ව්‍යවස්ථාවක් බවට පත්වෙන්නේ.

බලය බෙදන බවයි කියන්නේ?

මහින්ද රාජපක්ෂ මහතා කීවේ 13+ දෙනාව කියලා. පළාත් සභා බලයටත් වැඩි බලයක් දෙනවා කියලා කියන්නේ. එසේ නම් ඒ අය තමයි බලය බෙදීමට එකඟත්වය ඇති කරගෙන තියෙන්නේ. එජාපය පළාත් සභා බලය ගෙනාවා. එතනින් එහාට ගිය බලය ගෙන ආවේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන්. අපි සාකච්ඡා කරන්නේ එල්ටීටීඊ එකත් එක්ක නෙවෙයි. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු එක්කයි අපි කතා කරන්නේ. අවුරුදු 30ක යුද අත්දැකීම් අපට තියෙනවා. යුද්ධය නැවත ඇති නොවෙන්නයි කටයුතු කරන්න ඕනෑ. දැනටම ඒ සියලුම පක්ෂ ඒකීය රටක් ලෙසත් බුද්ධාගමට මුල්තැන දෙන්නත් සූදානම්. තව සංශෝධන තියෙනවා නම් සාකච්ඡා කර තීන්දුවකට එන්න පුළුවන්.

මහින්ද දේශප්‍රිය මහතා කියා තියෙනවා ඡන්දයක් පැවැත්වුවේ නැත්නම් තම ධුරයෙන් ඉල්ලා අස්වනවා කියලා?

එතුමාට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය තැන්වලට කතා කරලා, සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න. මාධ්‍යට ඇවිත් ඉල්ලා අස්වෙන බව කීම බොහොම ලේසියි. එහෙම කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. අවශ්‍ය කටයුතු කරන්න කියලා එතුමටත් කියන්නේ.

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුද?

වෙලාවට දෙන්නම්. අපේක්ෂකයා කල් තියලා කියන්නේ නෑනේ. මහින්ද රාජපක්ෂ මහතා එක්ක ජනාධිපති මැතිවරණයට යද්දි, හැමෝම හිතුවේ අපේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ මහතා දැනගෙන හිටියේ නෑ එතුමගෙම ලේකම් ජනාධිපති අපේක්ෂකයා වෙලා කියලා.

සංවාදය [රසිකා හේමමාලි]

මාතෘකා