මහජන සේවාව මහජනයා සඳහාද?

 ඡායාරූපය:

මහජන සේවාව මහජනයා සඳහාද?

ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට පත්වීම් ලිපි බාර දෙමින් ඔවුන්ගෙන් දිවුරුම් ලබා ගත් උත්සවයේදී පළ කළ අදහසක් හා එක් අත්දැකීමක් පදනම් කරගනිමින් මෙම ලිපිය ලියන්නට අදහස් කළෙමි. මෙම අත්දැකීම වූයේ විදේශගත ශ්‍රී ලංකිකයකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ලබා දීමට දිවයිනට පැමිණි මොහොතේ එක්තරා රාජ්‍ය ආයතනයකට ගිය විට ලැබූ ඉතාමත් අමිහිරි අත්දැකීමක් පිළිබඳ එම පුද්ගලයා ජනාධිපතිවරයා දැනුවත් කර තිබීමයි. එම ආයතනයේ මාණ්ඩලික නිලධාරීන්ගේ සියලුම කාමර ඉදිරියේ “ඇත/නැත” යන පුවරුවල ‘නැත’ යන පාඨය දිස්වූ බවත් කිසිම මාණ්ඩලික නිලධාරියකු එම කාමරවල නොසිටි බවත් එම පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණි. මෙය ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාවට නම් එතරම් අරුම පුදුම දෙයක් නොවන්නට පිළිවන් වන්නේ එවැනි තත්ත්වයන් තමන් විසින් කොතෙකුත් අත්දකිනු ලැබ ඇති නිසා වන්නට පුළුවන. එසේම සමස්ත රාජ්‍ය සේවයේ සිටින්නන්ටද මෙය එතරම් අරුම පුදුම පුවතක් නොවන්නේ බොහෝ ආයතනවල ඇතැම් දිනවල මෙවැනි දර්ශන දක්නට ලැබීමද සාමාන්‍ය දෙයක් වන නිසාය. එහෙත් ජනාධිපතිවරයා ඉතාමත් වැදගත් සම්භාවනීය සභාවකදී මෙවන් ප්‍රකාශයක් සිදු කළේ නම් ඒ පිළිබඳ මේ රටේ එවන් සිද්ධීන්ට වගකියන සියලු දෙනාගේම අවධානය යොමු විය යුතු බව මම විශ්වාශ කරමි. අද බොහෝ රාජ්‍ය සේවකයන් නොදන්නා මෙම සේවාවේ ඉතිහාසය පිළිබඳ අප මෙහොතකට අවධානය යොමු කරමු.

අපට ‘Public Service’ යන වචනයත් සේවාවත් උරුම කළේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ය. එම සේවාව ඇති කළේ ඔවුන්ගේ යටත්විජිත අරමුණු ඉටුකර ගැනීම සඳහා වුවද විශේෂයෙන් ජනතාවගේ සුබසාධන කටයුතු ඉටු කිරීමද එවකට බ්‍රිතාන්‍ය රජය විසින් මෙම සේවාවෙන් අපේක්ෂා කරන ලදි. එහෙත් එම සේවාවට ඉහත සදහන් යන නම නොයොදා යෙදුවේ Public Service යන නමයි. මෙය අද බොහෝ රජයේ සේවකයන් අමතක කර ඇති බව පෙනේ. ඇත්තෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තම යටත්විජිත අවශ්‍යතා ඉටු කර ගැනීමට පිහිට වූ මෙම සේවාවට පහසුවෙන්ම Government Service, Crown Service, Her Majestic Service හෝ State Service යන වචනයක් යෙදීමට හැකියාව තිබුණත් ඔවුන් පවා අප රටේ මහජනතාව පිළිබඳ කිසියම් අවධානයක් යොමු කර එම සේවාව Public Service යන නමින් හැඳින්වීය.

අප 1948 නිදහස ලබන විටද අපට උරුම කළේ මෙම Public Service එකමය. එම සේවාවේ පූර්ණ අධිකාරී බලය 1946 සෝල්බරි ව්‍යවස්ථාව පරිදි සකස් කළ නිදහස් ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එවකට රැජනගේ නියෝජිතයා ලෙස පත්කර සිටි අග්‍රාණ්ඩුකාරවරයාට පවරා තිබේ. එසේම තිදෙනකුගෙන් සමන්විත “Public Service Commission” එකක්ද පිහිටුවා එම කොමිසමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිලිබඳ අධිකාරී බලය පැවරීමටද විධිවිධාන සලසන ලදි. අප නිදහස ලැබීමත් සමඟම මෙම ඉංග්‍රීසි වචනවලට සිංහළ හා දෙමළ වචන භාවිතය ආරම්භ විය. එවකට රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවල නියුතු වූවෝ ඇත්තෙන්ම කළු සුද්දන්ය. බොහෝ විට විදේශ රටවල උගත් අයය. ඔවුන්ට මේ රටේ සාමාන්‍ය මහජනතාව පිළිබඳ කිසිදු හැඟීමක් නොවීය. එබැවින් “Public Service” යන්න “රජයේ සේවාව” ලෙසත් “Public Officer / Public Servant” යන්න “රජයේ නිලධාරියා / රජයේ සේවකයා” ලෙසත් “Public Service Commission” යන්න “රාජ්‍ය සේවා කොමිසම” ලෙසත් “Public Office / Institute” යන්න “රජයේ කාර්යාලය” ලෙසත් සිංහලට පරිවර්තනය කර භාවිත කරන ලදි. මෙම පරිවර්තනය දෙමළ භාෂාවෙන්ද මේ අන්දමින්ම වැරදියට භාවිත කෙරිණ. ‘Public’ යන වචනය යෙදෙන අන් සෑම ස්ථානයකම ඒ සඳහා සිංහලෙන් යෙදෙන්නේ ‘මහජන’ නැත්නම් ‘පොදු’ යන වචනයයි. Public Latrine යන්න පොදු වැසිකිළිය මිස රජයේ වැසිකිළිය වන්නේද, Public Well යන්න පොදු ළිඳ මිස රජයේ ළිඳ වන්නේද, Public grounds, මහජන ක්‍රීඩාංගණය මිස රජයේ ක්‍රීඩාංගණය වන්නේද Public Cemetery, පොදු සුසාන භූමිය මිස රජයේ සුසාන භූමිය වන්නේද Public Road, පොදු මාවත මිස රජයේ මාවත වන්නේද Public Assets, පොදු දේපළ මිස රජයේ දේපළ වන්නේද Public Enterprise පොදු ව්‍යාපාර මිස රජයේ ව්‍යාපාර වන්නේද නැත. එසේ නම් Public Service යන්න රජයේ සේවය ලෙසද Public Officer / Public Servant යන්න රජයේ නිලධාරී / සේවක ලෙසද Public Service Commission යන්න රාජ්‍ය සේවා කොමිසම ලෙසද භාවිත කිරීමේ පදනම කුමක්ද? දෙමළ භාෂාවෙන්ද මෙම වරද මේ ආකාරයෙන්ම කර ඇත. මේ නිසා රාජ්‍ය සේවයට පත්වන්නන්ගේ මානසිකත්වය වර්ෂ 70 ක්ම සැකසු‍ණේ අප පත් කරන්නේත් අපට වැටුප් ගෙවන්නේත් අපගේ කාර්යය සාධනය තීරණය කරන්නේත් රජය නිසා අප කළ යුත්තේ රජය සතුටු කිරීම මිස ජනතාව සතුටු කිරීම නොවන බවත්ය.

ජනාධිපතිවරයාට දැනගන්නට ලැබුණේ මෙම සිතිවිල්ලෙන් යුත් රාජ්‍ය සේවාවක එක් අත්දැකීමකි. එයට මුහුණු දුන් තැනැත්තා ජනාධිපතිවරයා පෞද්ගලික දන්නා කෙනෙක් නිසා ඔහුට එය ජනාධිපතිවරයාට පැවසීමට හැකි විය. එවැනි සිද්ධියක් දෙස සංවේදීව දකින්නට හැකි මනසක් ඇති ජනාධිපතිවරයකු අපට සිටි නිසා එම පුවත අතිශය වැදගත් කරුණක් බව එතුමන් සමස්ත අමාත්‍යවරුන්ටම දැන්වීය. එහෙත් මෙවැනි තත්ත්වයට පත්වන ජනතාව අනන්තය අප්‍රමාණය. එහෙත් ඔවුන්ට එය කියන්නට කෙනෙක් නැත. ඇතැම් විට මෙම තත්ත්වය එම ආයතන බාර අමාත්‍යවරුන්ද හොඳාකාරව දැන සිටියත් ඔවුන්ට එය වැදගත් බව තේරුම් ගැනීමට තරම් සංවේදී වූ ජනතතාවාදී හදවත් නැති වන්නට ඇත.

මේ දිනවල මුහුණු පොතේ මෙවැනි සිද්ධීන් කීයක් නම් පිළිබඳ පළවන්නේද? ඉහතින් ජනාධිපතිතුමන් සඳහන් කළ සිද්ධියද මම මුලින්ම දුටුවේ මුහුණු පොතෙනි. එම සිදුවීම සඳහන් පෝස්ට් එකටත් තවත් එවැනිම සිද්ධීන් ඇතුළත් පෝස්ට්වලටත් මුහුණු පොතේ සාමාජිකයන් ලියා ඇති අදහස් කියවන විට ජනතාවගේ කොතරම් ක්‍රෝධයක් අපගේ රාජ්‍ය සේවාව කෙරේ පවතින්නේද යන්න වටහාගත හැකිය. මා උත්සාහ ගන්නේ මෙවන් සිදුවීම් පිළිබඳ රටේ ප්‍රධාන පුරවැසියාගේද අවධානය යොමු වී ඇති මෙහොතක ඊට හේතු සොයා ගත යුතු පිළියම් යෝජනා කිරීමටත්ය. මේ ලියන මමද රාජ්‍ය ‌ෙස්වයේ වර්ෂ 45ක පමණ කාලයක් සේවය කර අද විශ්‍රාම සුවයෙන් සිටින අයෙක්මි. එබැවින් මෙවැනි සිදුවීම් රාජ්‍ය සේවාව තුළ සිදුවන බව මමද පසක් කරගෙන ඇත්තෙමි. එසේම එසේ නොවන අන්දමින් ඉතාම කාර්යක්ෂම ලෙස ජනතා අවශ්‍යතාවයන් ඉටු කරමින් සිටින රජයේ ආයතනද බොහොමයක් ඇත. කලින් සඳහන් කළ තත්ත්වයේ සිට අප බලාපොරොත්තු වන ජනතාවාදී සේවාවක් කරා රාජ්‍ය සේවය පරිවර්තනය කිරීමේ අත්දැකීමද මා සතුව ඇත. එසේ ජනතාවාදී කර දිවයිනේ හොඳම ආයතන තත්තවයට පත් කිරීමේ අත්දැකීමද මා සතුව ඇත. ඒ අතුරින් යම් ප්‍රමාණයක් ඔබ හා බෙදාහදා ගන්නටයි මා උත්සාහ ගන්නේ. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානය මේ ප්‍රශ්නයට යොමුවී ඇති මේ මෙහොතේ අපගේ අයාලේ ගිය රාජ්‍ය සේවාව ජනතාවාදී රාජ්‍ය ‌ෙස්වාවක් කිරීමේ උතුම්කාර්යට ඔබගේ අවධානය යොමු කර ඔබගේ පාලන කාලය තුළ එය යථාර්ථයක් කළහොත් වසර 70ක කාලය තුළ බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය නායකයා ලෙසින් තවත් අනාදිමත් කාලයක් ජනතාවගේ හදවත් තුළ රැඳෙන්නටත් ජනතාව සමඟම සිටින්නටත් ඔබට වරම් ලැබෙනු ඇත.

මෙම කනගාටුදායක තත්ත්වයට මූලික හේතුව රාජ්‍ය සේවකයාගේ ආකල්ප නිසි පරිදි කාලීනව සකස් නොවීමයි. යටත්විජිත යුගයේ තිබූ ආකල්ප එසේම පරපුරෙන් පරපුරට උරුම වෙමින් ගලාගෙන යයි. අප පත්කර ඇත්තේ මහජනතාවට සේවය කිරීමටය. අප දිනපතා කාර්යාලයට යන්නේ එම ජනතාවට සේවය කරන්නටය යන සිතුවිල්ල රාජ්‍ය සේවකයන්ගේ සිත් තුළට පත්වීම ලබාදෙන මොහොතේම ඇතුළත් කර එය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. මාස්පතා තමන්ට පඩි ගෙවන්නේ රජය නොව මහජනතාව බව නිරන්තරයෙන් මතක් කර දිය යුතුය. මහජනතාව මිස රජය සතුටු කිරීම ඔවුන්ගේ කාර්යභාරය නොවන බව සිහිපත් කළ යුතුය. මේ අන්දමින් සමස්ත රාජ්‍ය සේවයේම ඉහළම මට්ටමේ ලේකම්වරයාගේ සිට පහළම කම්කරුවා දක්වා මේ අකල්ප පරිවර්ථනයට යොමු කළ යුතුය. මෙය කළ නොහැකි දෙයක් යැයි ඇතැම් අය සිතනවා විය හැක. මා මේ ලියන්නේ ආයතන කිහිපයකම මෙම වෙනස සිදුකර ඒ තුළින් ඉතාමත් ප්‍රශංසනීය සේවාවක් ජනතාවට ලබා දුන් අත්දැකීම් සහිතවය. පළමුව රාජ්‍ය සේවයේ ඉහළම පුටුවල වැජඹෙන නිලධාරීන්ගෙන් ආරම්භ කර අනෙක් අයගේ ආකල්ප වෙනස් කිරීම ඔවුන්ගේ රාජකාරියේ කොටසක් කළ යුතුය. ඔවුන්ගේ කාර්ය සාධනය ඇගයීමේදී මේ කරුණට මුල්තැන දිය යුතුය. ඉන්පසු ක්‍රමයෙන් ඉහළ සිට පහළට සමස්ත රාජ්‍ය සේවයේම ආකල්ප වෙනස් කර ඉන්පසු අලුතින් පත්වන සියලු දෙනාටම පත්වීම් ලබා දීමේ උත්සවය හුදු ප්‍රසිද්ධිය ලබා ගන්නට කරන දෙයක් වෙනුවට මෙම ආකල්පය හදවත් තුළ තැන්පත් කරන එකක් බවට පරිවර්ථනය කළ යුතුය. මෙම කාර්ය කිරීමට හැකියාව ඇති පිරිසක් රාජ්‍ය සේවාව තුළත් රාජ්‍ය පුහුණු ආයතන තුළත් බිහිකළ යුතුය.

රාජ්‍ය සේවකයන්ගේ කාර්ය සාධන ඇගයීමේදී මහජනයා කෙරේ දක්වන අවධානය පිලිබඳ මැනීමේ ඒකක හඳුන්වා දී ඒ තුළින් ඉහළ ලකුණු ගන්නා අයට උසස්වීම් දීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. අද ලේකම්වරයා බලා සිටින්නේ තමාගේ ඇමතිවරයා සතුටු කර තමාගේ පුටුවේ දිගටම රැඳී සිටින්නටය. ඊට පහළින් සිටින්නන් උත්සාහ ගන්නේ ලේකම්වරයා සතුටු කර තමාගේ පුටුව රැක ගන්නටත් උසස්වීමක් ලබා ගන්නටත්ය. මෙම ආකල්පයත් ක්‍රමවේදයත් මුළුමනින්ම වෙනස් කර සැබෑ ජනතා සේවාව කරන තැනැත්තන්ගේ පුටු ආරක්ෂා කරන, එසේම උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් රාජ්‍ය සේවාවට හඳුන්වා දිය යුතුය.

එසේම මහජනතාවට ඉහත ජනාධිපතිවරයාට සැලවූවා වැනි සිද්ධියක් ඇතිවූ විට පැමිණිලි කිරීමට බලතල සහිත ආයතනයක් ඇති කළ යුතුය. ඕනෑම පුරවැසියකුට රජයේ ආයතනයකින් පහසුවෙන් තම කාර්යය නොකෙරෙන අවස්ථාවකදී එම ආයතනයට පැමිණිලි කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු අතර ලැබෙන සෑම පැමිණිල්ලක් පිලිබඳවද ගත් ක්‍රියාමාර්ගය ඉතා ඉක්මනින් සේවා ලාභියාට දැන්වීමේ ක්‍රමවේදයක් අවශ්‍යය. එම ඉල්ලීම පිළිබඳ ගන්නා පියවර ඔන්ලයින් දැනගැනීමේ ක්‍රමයක් කරා අපගේ රාජ්‍ය සේවාව නවීකරණය කළ යුතුය. විද්‍යුත් ලේඛන කළමනාකරණ ක්‍රමයක් හඳුන්වා දුනහොත් පාරිභෝගිකයාට නිවසේ සිටම තම ඉල්ලීමට සිදුවන්නේ කුමක්දැයි දැනගත හැකිවනු ඇත. මෙම තාක්ෂණික දැනුම දැනට සොයාගෙන ඇත. එහෙත් රාජ්‍ය සේවයේ භාවිත නොකෙරයි. ඇතැම් පෞද්ගලික ආයතන මෙම ක්‍රමවේදය භාවිත කරයි. මා පසුගිය දිනවල ලැබූ එක් අත්දැකීමක් ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තු වෙමි. මම පසුගිය දිනක දිවයිනේ නමගිය ඇස් කන්නාඩි ආයතනයක ශාඛාවකින් කන්නාඩි කුට්ටමක් මිලදී ගතිමි. ඉන් දෙදිනකට පසු එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් මට දුරකථන ඇමතුමක් ලබා දී එම උපැස් යුවළේ තත්ත්වය පිළිබඳවත් අදාළ ශාඛාවෙන් එය මිලට ගැනීමේදී මා මුහුණ පෑ දුෂ්කරතා තිබේද යන්නත් එම සේවකයන්ගේ සේවා සැපයීම පිලිබඳ මා සෑහීමට පත්වන්නේද යන්නත් විමසීය. මට හිතුනේ අපගේ රාජ්‍ය සේවාවත් මෙම තත්ත්වයට කවදා පත්වන්නේද යන්නයි.

ඉහත ජනාධිපතිතුමන් සිය කතාවේදී සඳහන් කළ සිදුවීම ඇසූ විට කාගේ නම් හදවත්වලට එය දැනිය යුතුද? එම සිද්ධියට අදාළ ආයතනයේ ප්‍රධානියාගේ හදවතට නම් දැනටමත් දැනී ඇතිවා විය යුතුය. ඔහුට පමණක්ද එය දැනිය යුත්තේ? ඇත්තෙන්ම නැත. ඒ පිළිබඳ ලජ්ජා විය යුතු විශාල පිරිසක් සිටිති. අප නිදහස ලැබූදා පටන් මේ දක්වා සිදුකළ සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යටතේම දෙපාර්තමේන්තු ප්‍රධානීන් පිලිබඳ පත්වීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනයානුකූල කටයුතු හා සේවයෙන් පහකිරීමේ බලතල පැවරී ඇත්ගේ අමාත්‍ය මණ්ඩලයටය. එය 17 හෝ 18 හෝ 19 වැනි සංශෝධනවලින් හෝ වෙනස් නොවීය. එසේ නම් අදාළ එම ආයතනයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා පත්කළ අමත්‍ය මණ්ඩලයට ජනාධිපතිවරයාගේ මෙම කතාව තුළින් අමන්ත්‍රණය නොකරන්නේද? එය අමාත්‍ය මණ්ඩලයට දැණුනේද? එවන් රාජ්‍ය සේවකයන් පිළිබඳ විනයානුකූලව කටයුතු කිරීමේ බලය ඇත්තේද අමාත්‍ය මණ්ඩලයට බැවින් මේ වන විට ඒ පිළිබඳ කිසියම් පියවරක් ගෙන තිබේද? අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් එහි ආරම්භක පියවර ගැනීම අදාළ අමාත්‍යවරයා විසින් තම ලෙකම්වරයා ලවා කරවා තිබිය යුතුය. අඩුම තරමින් ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු හෝ ඒ පිළිබඳ මූලික විමර්ශනයක් කිරීමට කමිටුවක් හෝ පුද්ගලයෙක් පත්කර ඇත්ද? ආයතන සංග්‍රහය පරිදි එය අදාළ අමාත්‍යාංශය බාර ලේකම්ගේ වගකීමකි. එම සිද්ධියට මුහුණ දුන් තැනැත්තා විදේශයක සිටින නිසා අඩු තරමින් දිවයිනෙන් බැහැර යෑමට පෙර ඔහුගේ ප්‍රකාශය හෝ ගෙන තිබේද? එබැවින් ජනාධිපතිවරයා එදා එම පුවත සැලකිරීමෙන් අපේක්ෂිත අරමුණ ඉටුවන්නට නම් එම සිද්ධියට අදාළ ආයතනයේ ආයතන ප්‍රධානියාගේ සිට වගකිවයුත්තන්ට විරුද්ධව විනයානුකූලව කටුතු කිරීම මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ සිට, අදාළ අමාත්‍යවරයාගේ සිට, අමාත්‍යාංශ ලේකම් දක්වා අයගේ පැහැරහැරිය නොහැකි වගකීමකි. එහි ප්‍රගතිය සොයා බැලීම ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකීමක් විය යුතු යැයි අපි අදහස් කරමු. එසේම ඉදිරියට‌ මෙවන් තත්ත්වයකට කිසිදු පුරවැසියකු මුහුණ නොදෙන තත්ත්වයට රාජ්‍ය සේවාව පත්කිරීමට අවශ්‍ය පියවර වහාම ගැනීමද රාජ්‍ය සේවා කොමිසමේ පැහැර හැරිය නොහැකි වගකීමකි.

News Order: 
-1
මාතෘකා