සාද සහ රහස් කතා

 ඡායාරූපය:

සාද සහ රහස් කතා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී දේශපාලන ගැටලු රැසක් විසඳා ගැනීමට මැදිහත්වූවේය. ඒ අතරම රාජ්‍ය පරිපාලනයේදී වැදගත්වන තීන්දු තීරණ කිහිපයක්ම ගත්තේය. ජනාධිපතිවරයා මේ තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීය. පසුගිය දින දෙක තුන වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන අදහස යළිත් අලුත් මාවතකට රැගෙන ගියේ ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ දේශපාලන ලෝකයේ කතාබහක් ඇතිවීම නිසාය.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කර තිබියදී ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ කතාබහ කරළියට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි පෙළ නායකයන් අතර මුහුණට මුහුණ ඇතිකරගත් සංවාදය නිසාය. එහෙත් ඒ පිළිබඳ පාර්ශ්ව දෙකේ මන්ත්‍රීවරු අතර ඇතිවී තිබෙන්නේ සීතල යුද්ධයකි.

ජනාධිපතිවරණය අත ළඟ තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යනු 1994 වසරේ සිට බලයට පත්වූ සෑම ජනාධිපතිවරයකුම ලබාදුන්, එහෙත් ඉටු නොකළ පොරොන්දුවක් ඉටු කිරීමකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය මේ සඳහා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යනු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයාගේ බලතල වැඩි කරගැනීමට ගත් පියවරයන් සම්පූර්ණයෙන්ම ආපසු හැරීමකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ මතවාදයන් මේ වන විට ඇතිවෙමින් තිබේ. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබෙන්නේ මෙවර පාර්ලිමේන්තු කාලය තුළදී විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතු බවය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඉහළ පෙළේ දේශපාලන සංවාද ඇතිවුවත් ඒ ගැන තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක නියෝජිතයන් කටයුතු කර නැත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ එක් අතකින් කතා කරමින් අනෙක් අතින් තවත් විධායක ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වීම විශේෂයක් ගනී. රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වැඩිකරගත් බලතල මෙන්ම අනෙකුත් ජනාධිපතිවරුන්ට තිබූ බලතලත් ඉවත් කරගෙන අඩු බලයක් ඇති විධායක ජනාධිපතිවරයකුට තෝරා ගැනීමට මෙවර ඡන්දය පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිධුරයට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඇතිවී තිබූ ආන්දෝලනයන්ද පසුගිය සතිය වන විටත් අවසන්ව තිබුණේ නැත. ජනාධිපතිවරයා විසින් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ගත් තීන්දුව විවේචනය කළ ජාත්‍යන්තර ප්‍රජාවට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වූ ආණ්ඩුව බ්‍රහස්පතින්දා වන විට කොළඹදී ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව ආරම්භ කළේය. ඒ ජාත්‍යන්තරය විසින් විරෝධය දැක්වූ යුද හමුදාපතිවරයා මූලිකත්වයෙහි තබාගෙනය. ලෝකයේ විවිධ රටවලින් පැමිණෙන ආරක්ෂක අංශ හා එයට අදාළ නියෝජිතයන් අටසීයක් සමඟ ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව ආරම්භ කළේ ජනාධිපතිවරයාද සහභාගි වෙමින්ය.

ජනාධිපතිගෙන් අලුත් තනතුරු

මේ සතියේදී ජනාධිපතිවරයාට විවිධ දේශපාලන තීන්දු ගැනීමටද සිදුව තිබිණි. මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය සරත් ඒකනායකට ලබාදුන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්. බී. දිසානායකට භාණ්ඩාගාරික ධුරයද අහිමි කරමින්ය.

මේ අතර දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සඳහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන “විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන උලෙළ” ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ කොළඹදී පැවැත්විණි. 2017 වර්ෂය ඇතුළත වෛද්‍ය, කෘෂිකාර්මික සහ ඉංජිනේරුමය ක්ෂේත්‍ර යටතේ උසස් ප්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරත වූ ආචාර්ය මහාචාර්යවරුන් 240කට අධික පිරිසක් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේ සමාප්ති උලෙළ පැවැත්වුණේද ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන්ය. මාතර රුහුණ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන මෙවර තරගාවලිය පැවති අතර සමාප්ති උලෙළට ජනාධිපතිවරයා සමඟ දකුණට අලුතින් පත්වූ ආණ්ඩුකාර හේමාල් ගුණසේකරද පැමිණ සිටියේය. රටේ දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය පිළිබඳ නිවැරදි දැක්මක් රටේ පාලකයන්ට තිබිය යුතු බව ජනාධිපතිවරයා ලෙස තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා එහිදී කීවේය.

උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වෙන් කෙරෙන ප්‍රාග්ධන වියදම පසුගිය වසරවල රුපියල් බිලියන 60 දක්වා ඉහළ නැංවූ බවත් වත්මන් රජය බලයට පත්වීමට පෙර එම ප්‍රමාණය බිලියන් 45ක් පමණක් වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම 2013-2014 වසරවල විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරුණු සිසුන්ගේ ප්‍රමාණය 24,198ක් පමණ වූ අතර ගෙවීගිය 2018-2019 වසරවල එම සංඛ්‍යාව 31,158 දක්වා ඉහළ නැංවූ බවත් එය 28% වර්ධනයක් බවත් ජනාධිපතිතුමා පැවසීය. වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ, විද්‍යා අංශවලට වැඩිපුර සිසුන් ඇතුළත් කිරීම අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් සෑම විශ්වවිද්‍යාලයකම නව පීඨ ඇති කරමින් ඒවාට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවූවා පමණක් නොව නව උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වාදීමටද පියවර ගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මහපොළ ශිෂ්‍යත්ව මුදල රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉන්ටර්පෝල් ප්‍රධානියා ජනපති හමුවේ

ඉන්ටර්පෝල් ආයතනයේ ප්‍රධානියා පසුගිය සතියේදී ලංකාවට පැමිණියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාශීලී මැදිහත්වීමක් කර තිබූ නිසාය. ජනාධිපතිවරයා ඔහු හමුවීමට අවශ්‍යව තිබුණේ මෙම පරීක්ෂණ සඳහා ඉන්ටර්පෝල් ආයතන සහාය දැක්වීම පිළිබඳ ස්තුති කිරීමටය.

"පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සඳහා සහාය ලබාදෙන්න කියලා අපි ඉන්ටර්පෝල් ආයතනයෙන් ඉල්ලීමක් කළා. මේ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් අපේ ස්තුතිය පළ කරනවා" ජනාධිපතිවරයා තමන්ගේ ස්තුතිය පුද කළේය.

"ශ්‍රී ලංකාවේ පොලිසිය හා බුද්ධි අංශ නිලධාරීන් ඉතා ඉහළ වෘත්තීයභාවයකින් කටයුතු කරනවා. මොවුන්ගේ සහායත් අපිට හිමිවුණා" ඉන්ටර්පෝල් ප්‍රධානියා කීවේ තමන්ගේ පරීක්ෂණ කටයුතුවලදී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ලැබුණු සහාය ගැන සිහිපත් කරමින්ය.

"ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය වෙන රටවල සැඟවිලා ඉන්නවා. මේ අය ලංකාවට එන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි මූල්‍ය අපරාධකරුවන් ඉන්නවා. මේ අය අල්ලා ගැනීමටත් සහාය අවශ්‍යයි" ජනාධිපතිවරයා තවත් ඉල්ලීමක් ඉන්ටර්පෝල් ආයතනයෙන් කළේය.

"අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය අපි ලබාදෙන්නම්" ඉන්ටර්පෝල් ප්‍රධානියා සහතිකයක් ලබා දුන්නේය.

බැඳුම්කරය ගැනත් අවධානය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර තිබූ දේශපාලන දීගයට කණ කොකා හැඬලුවේ බැඳුම්කර ගනුදෙනු නිසාය. බැඳුම්කර ගනුදෙනුවේ වංචාවක් සිදුව ඇතැයි ජනාධිපතිවරයා පවසමින් ඊට විරුද්ධව කටයුතු කළා පමණක් නොව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරමින් විශ්වාසභංග යෝජනා ගෙන එන තත්ත්වයක් දක්වා එය වර්ධනය විය. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක්ද පත් කෙරිණි. මේ ගැන යළිත් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේය. ඒ ගැන දේශපාලන පක්ෂවල අවධානය යොමුව තිබුණේ මෙය ඉදිරි මැතිවරණ සඳහා සෘජුව බලපාන කරුණක් වී තිබීම නිසාය.

මේ වන විට අන්තර්කාලීන වාර්තා හතරක් ජනාධිපතිවරයා වෙත ලැබී තිබෙන අතර ඒ ගැන නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය ගැන ජනාධිපතිවරයා විමසා සිටියේය.

"මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් බැංකුවලින් වසර පහක ලේඛන ඉල්ලා තිබෙනවා. තවම ඒ ලේඛන ලැබී නැහැ. ඒ නිසා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනියන්න බෑ" නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

"මේ ගැන අවශ්‍ය කටයුතු යොදන්න. අදාළ බැංකු සමඟ සාකච්ඡා කරන්න" ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

"මේ වංචාවට සම්බන්ධ චූදිතයන්ට දණ්ඩනීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් කර තිබෙන බවට චෝදනා ඉදිරිපත් කරනවා" නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේය.

"මේ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්න. මේවා කඩිනම් කිරීමට අවශ්‍ය ඕනෑම සහායක් මම ලබාදෙනවා" ජනාධිපතිවරයා සහතිකයක් දුන්නේය.

හැම තැනම සාද

මේ දිනවල සාද බොහෝය. පසුගියදා ගෝඨාභය රාජපක්ෂ සාදයක් දුන්නේ එක්තරා සුපිරි හෝටලයකය. පොහොට්ටුවේ මෙන්න ශ්‍රීලනිපයේද පිරිසක් ඊට එක්ව සිටියහ.

මේ අතර පසුගිය සතිය පුරාවටත් එජාපය තුළ සන්ධාන තැනීමේ හා අපේක්ෂකයා නම් කිරීමට අදාළ සාකච්ඡා මෙන්ම විවිධ පාර්ශ්ව අතරේ රාත්‍රී භෝජන සංග්‍රහ තරගයක්ද සිදුවිය. නියෝජ්‍ය නායක සජිත් පිළිගැනීම සඳහා මාතරදී ඇමති මංගල සංවිධානය කර තිබූ රැලියට වර්ෂාව මැදද අතිවිශාල ජනකායක් එක්වූ අතර එජාප මැති ඇමතිවරු විශාල පිරිසක්ද ඔවුන් අතර විය. ආණ්ඩුවට වසර 4ක් පිරීම නිමිත්තෙන් අගමැති රනිල් එදින රාත්‍රියේ සූදානම් කොට තිබූ භෝජන සංග්‍රහයටද ඉහළ ප්‍රතිචාර ලැබිණ. එජාපෙ මැති ඇමතිවරු 90කට ආසන්න සංඛ්‍යාවක් ඊටද එක් වූ අතර එදින දහවල් මාතර රැලියට එක් වූ ජනතා නියෝජිතයන් බහුතරයක්ද ඒ අතර සිටීම විශේෂත්වයක් විය.

"මේ දවස්වල ඔයගොල්ලන්ට රෑ කෑම බීම හැමතැනින්ම ලැබෙනවා නේද? ඒත් මම දෙන්නේ ඩිනර් විතරයි. දේශපාලන සාකච්ඡා මෙතන නෑ." අරලියගහ භෝජන සංග්‍රහය ආරම්භයේදීම අගමැතිවරයා කීවේ උස් හඬින් සිනාසෙමිනි.

ඉන්පසු දිනවලද ඇමති මංගල, රවී, ෆොන්සේකා වැනි අයද විවිධ රාත්‍රී භෝජන සංග්‍රහ පැවැත්වූ බවටත් එහිදී ජනපති අපේක්ෂකයා හා නව සන්ධානය ගැනද විවිධ කෝණයෙන් කතාබහ කෙරුණු බවටද කතාබහ පළවිය.

රවීගේ ගෙදර සාදයක්

පසුගිය සතියේදී අගමැතිවරයා ලබාදුන් රාත්‍රී භෝජන සංග්‍රහයට අමතරව තවත් රාත්‍රී භෝජන සංග්‍රහ කීපයක් පැවැත්වුණේය. මේ සතියේ තවත් රාත්‍රී භෝජන සංග්‍රහ කිහිපයක් පැවැත්විණි. එක් භෝජන සංග්‍රහයක් පැවැත්වුණේ සරත් ෆොන්සේකා ඇමැතිවරයාගේ නිවසේය. සරත් ෆොන්සේකා සමඟ හිරුණිකා, විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරු සාදයට එක්ව සිටියහ.

මේ අතර රවී කරුණානායක ඇමැතිවරයාගේ නිවසේ තවත් සාදයක් පැවැත්විණි. මේ සාදය පැවැත්වුණේ තානාපතිවරු වෙනුවෙන්ය. ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින තානාපතිවරු රවීගේ නිවසට පැමිණ සිටියේ තවත් විශේෂ අමුත්තකුගේ අපේක්ෂාවෙන්ය. ඒ අගමැතිවරයාය.

අගමැතිවරයා රවීගේ නිවසට පැමිණියේ රාජිත සේනාරත්න ඇමැතිවරයා සමඟය. ඔවුන් බටහිර තානාපති කාර්යාලවල නිලධාරීන් සමඟ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම ඉදිරි මැතිවරණය ගැනත් අදහස් හුවමාරු කරගත්තේය.

"මේක සාමාන්‍ය හමුවක්. තානාපති කාර්යාලවල පාටිවලට අපිට ආරාධනා කරනවා වගේ රවීගෙ ගෙදර පාටියට තානාපතිලටත් ආරාධනා කරලා තිබුණා. මමයි රාජිතයිත් ගියා. තවත් කට්ටිය හිටියා. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ ස්කැන්ඩිවේනියානු රටවල් ඇතුළු තානාපතිවරු හුඟ දෙනකුත් ඇවිත් හිටියා. ‘ඒක සාමාන්‍ය සුහද හමුවක්’ මේ පිළිබඳ විමසන සියලු දෙනාටම රනිල් කියා සිටියේ එයයි.

මංගලගේ ගෙදරත් රහස් කතා

රවීගේ ගෙදර තානාපතිවරු හමුවන විට මංගලගේ ගෙදරත් තවත් රාත්‍රී සාදයක් පැවැත්වුණේය. මේ සාදය පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂය තුළ සිටින සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන මන්ත්‍රීවරුන්ටය. සාමාන්‍යයෙන් මංගල සාද පැවැත්වීමට පානදුරේ බොල්ගොඩ වැව අසල පිහිටි ඔහුගේ සුන්දර පුද්ගලික නිවස භාවිත කරන නමුත් මෙවර කොළඹ පිහිටි නිල නිවසට සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණේ සාදයකට වඩා එය දේශපාලන සාකච්ඡාවක් වීම නිසාය.

කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා ඇතුළු සජිත් ප්‍රේමදාස වෙනුවෙන් හඬනඟන මන්ත්‍රීවරු මෙහි පැමිණ සිටියහ.

"ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න කල් ඇතිව තීරණය කිරීමට සිදුවෙනවා" මංගල සාදය කැඳවීම ගැන අදහස් දක්වන්නට විය.

මේ ගැන මන්ත්‍රීවරු විවිධ අදහස් දක්වන්නට වූ අතර මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යෑම පිළිබඳවත් මෙහිදී මන්ත්‍රීවරුන් තම අවධානය යොමු කිරීමට අමතක කර තිබුණේද නැත. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන්ට විරුද්ධව විනය පියවර ගැනීම පිළිබඳවත් තැන තැන කතාබහට ලක්විය.

සන්ධානේ හදන හැටි අගමැති කියයි

බ්‍රහස්පතින්දා සුපුරුදු ලෙස අගමැතිවරයා ගෙවී ගිය සතියට අදාළ සිදුවීම් ගැන මැතිඇමතිවරුන් හා කතාබහ කළේ අරලියගහ මැදුරේදීය.

"ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලත් නැතුව මුහුද හත් ගව්වක් තියලා අපේක්ෂකයකු නම් කරලා පොහොට්ටුව හොඳටම නාලයි ඉන්නෙ. අපි තව ටිකක් පරක්කු වුණාට කමක් නෑ. ඒත් මේවා ඉක්මනින් විසඳාගන්න ඕනෑ." සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැති රනිල්ටය.

"ඔව්. ඒ වැඩපිළිවෙළ වේගයෙන් සිදුවෙනවා. සන්ධාන ව්‍යවස්ථාව ගැන ලැබුණු සංශෝධනවලට අදාළ ප්‍රශ්න විසඳලා ඉවරයි. සන්ධානයේ ප්‍රධානත්වය එජාපෙටයි. දැන් තියෙන්නෙ සන්ධාන ලේකම් හා අපේක්ෂකයා කාගේත් එකඟත්වයෙන් පත් කර ගැනීමයි." අගමැතිවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

"සන්ධානෙ ලේකම්කමත් එජාපෙටද?" නවීන් දිසානායක ප්‍රශ්න කළේද අගමැතිගෙනි.

"ලේකම්කම තීන්දු කරන්නෙ අපියි. ලේකම් එජාපයෙන් වගේම වෙනත් පක්ෂෙකින් වෙන්නත් බැරි නෑ. මේක අපි තනියම කරලා බෑ. අනිත් පක්ෂත් සතුටු වෙන විදියට තීන්දු ගන්න වෙනවා." අගමැති කීය.

"දැන් අපේ අපේක්ෂකයා තේරීමයි, ඔහුගෙ ජනපතිවරණ ප්‍රතිපත්ති හදන එකයි කොහොමද වෙන්නෙ?" චමින්ද විජේසිරි විමසීය.

"අපේක්ෂකයගෙ ප්‍රතිපත්ති සැකසීමට ඇමති රාජිතගෙ නායකත්වයෙන් කමිටුවක් දැම්මා. ඒකට එජාප අය වගේම අනිත් පක්ෂවල සාමාජිකයනුත් ඇතුළත්." අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කරුණු පැහැදිලි කළේය.

මිනිසුන් අතර සිටින අපේක්ෂකයා

"දැන් අපේ අපේක්ෂකයා කවුද කියලයි හැමෝම අහන්නෙ. මිනිස්සු අතරින් අපේක්ෂකයෙක් මතුවෙලා ඉන්නවා" හේෂා විතානගේ කීවේ එවැන්නකි.

"සන්ධානය හදලා ඒ පදනම මත අපේක්ෂකයා තේරීම නිසි වේලාවට කළ යුතුයි. අපේක්ෂකත්වය තාම "ඕපන්" කරලයි තියෙන්නෙ කියන එකයි මට තේරෙන්නෙ." දිනේෂ් වීරක්කොඩි කීය.

"රනිල්, සජිත්, කරු හා සුළු ජාතික පක්ෂ භේදයක් නැතුව එකමුතු වුණාම අපේ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා සියලු දෙනා සමඟි කිරීම වගේම සියලු පාර්ශ්ව නම්‍යශීලීවීමත් අත්‍යවශ්‍යයි" ලක්ෂ්මන් කිරිඇල්ලගේ අදහස සියලුදෙනා අනුමත කළහ.

ජනාධිපති ධුරය අහෝසි කරනවාද?

"ජනාධිපතිවරණයට කලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එජාපෙ උත්සාහ කරන්නෙ ගෝඨාට බයවෙලා කියලා සමහර මාධ්‍යවල යනවා. මේ කතාව මොකක්ද?” මහාචාර්ය ආශු මාරසිංහ විමසීය.

"සම්පූර්ණ බොරුවක් ඔය පැතිරෙන්නෙ. මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා ජනාධිපතිතුමයි මගෙන් ඇහුවේ. කැබිනට් එක ඉවරවෙලා ජනාධිපති කාර්යාල කාමරයේදී තමයි මේ ගැන මුලින්ම අහුවේ. රවීත් මේකට මැදිහත් වුණා. ඇත්ත කතාව රවී දන්නවා. ඊට පස්සේ ජනාධිපතිතුමාගෙ ගෙදරටත් එන්න කියලා මේ ගැන කතා කළා. මම කිව්වේ ඡන්දයක් අත ළඟ තියෙද්දි මේක දැන් කරන්න පුළුවන්ද කියලයි. මහින්දලත් කැමතිනම් මේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්න මගෙන් බාධාවක් නෑ කියන එක විතරයි මම කිව්වේ. ඊට පස්සේ පක්ෂ නායකයන්ගෙ හමුවක් තියලා මේක පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන් කියලා මගේ අදහස් කිව්වා විතරයි” අගමැතිවරයා පැහැදිලි කළේය.

"හැම කුණු ගොඩක්ම බේරුවල් බොක්කට වගේ හැම දේශපාලන කුණු කන්දක්ම එජපෙ පිට පටවලා අනිත් අය ඇඟ බේරගන්නා පහත් දේශපාලන හා ජනමාධ්‍ය සංස්කෘතියක් දැන් මේ රටේ තියෙන්නේ." නවීන් දිසානායක කී දේ සියලුදෙනා අනුමත කළහ.

"පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විවිධ පාර්ශ්වවලට සහන දුන්නා. අගමැතිතුමාගෙ මැදිහත්වීමෙන් මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ගෙන්නන ප්‍රධානම ආනයනකරුවන්ට ලබාදුන් සහන ක්‍රියාත්මක කරන්න රාජ්‍ය හා පෞද්ගලික බැංකු අදිමදි කරනවා. ඒ මිනිස්සු හිරවුණොත් රටේ අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් ඇතිවෙන්නත් බැරි නෑ." අගමැතිවරයා හමුවීමට පැමිණ සිටි රෝහිත බෝගොල්ලාගම කීවේ එවැන්නකි.

"මගේ මැදිහත්වීමෙන් ආණ්ඩුව ඒ ආහාර ආනයනකරුවන්ට සහන දෙන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තම මහ බැංකු අධිපති සහ මේ රටේ සියලු බැංකු ඊට ප්‍රතිචාර දැක්විය යුතුමයි. මගේ උපදේශකයකු හැටියට දිනේෂ් වීරක්කොඩි මැදිහත් වෙලා මේ ප්‍රශ්නය නිරාකරණය කරාවි." අගමැතිවරයා බෝගොල්ලාගමට පිළිතුරු දුන්නේය.

ගෝඨාගේ කෙරුවාව

"ගෝඨා හමුදා ඇඳුමට උඩින් සුදුරෙදි පොරවගෙන ආවට එයාගෙ කෙරුවාව ආරම්භයේදීම පෙන්නුම් කළා. කියන දේ අහගෙන යනවා මිසක් ප්‍රශ්න අහන්න කඩේ යන මාධ්‍යවලටත් තහනම් දැම්මා. තරුණ සමුළුවෙන් මාධ්‍යකාරයො ඔළු පළලා එළවලා දැම්මා. ඔබට සතුටුයිද දැන් කියලා ඒ මාධ්‍යකරුවන්ගෙන් අහන්න කියලා අපි මහින්ද රාජපක්ෂට කියනවා" ගයන්ත කරුණාතිලක කීවේ කාගේත් සිනා මැදය.

"පොහොට්ටු තරුණ සමුළුවට ආපු තරුණයන්ට ටෙලිෆෝන් එක හෝ කරේ තිබුණු බෑග් එකවත් ගෙනියන්න දීලා නෑ. ඒ මදිවට තිර පිටපතක් ලියලා ගෝඨගෙන් ප්‍රශ්න අහපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ මයික් කඩලා රාජ්‍ය දේපළ හානි කරපු කෙනෙක්. අනිත් තැනැත්තිය හිටපු රජයෙන් පඩි 2ක් අරගත්ත හා මුදල් විශුද්ධිකරණයට අදාළව දැනට නඩු දෙකකින් ඇප පිට ඉන්න තරුණියක් කීවාට ඇත්තටම ඇය කාන්තාවක් වෙන්න ඕනෑ.” එජාප නීති නිලධාරියකු කීවේ කාගේත් සිනා මැදය.

"ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසියේ ප්‍රධානියා ලංකාවට ඇවිත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉතා කෙටි කලකදී මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවෙන් මුලිනුපුටා දමන්න ක්‍රියා කිරීම ගැන ආරක්ෂක අංශ ප්‍රමුඛව ජනාධිපති අගමැති හා මේ ආණ්ඩුවට ප්‍රශංසා කිරීම රටක් වශයෙන් අපි ලැබූ විශාල ජයග්‍රහණයක්" ඇමති නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.

"ඊයේ පන්නලදී පොඩි බෝම්බයක් දෙකක් හමුවෙලා. පොහොට්ටුවාදී ජනමාධ්‍යවල මේක මාර විදියට උලුප්පලා පෙන්නනවා. ඒ වගේම පොහොට්ටු අපේක්ෂකයාට ලකුණු දමාගන්න මෙවැනි සැලසුම්ගත කුමන්ත්‍රණ දියත්වීමට ඇති ඉඩකඩ ගැන බුද්ධි අංශ සැක පළකර තිබීම ගැන අපි ආණ්ඩුවක් හැටියට දැඩි අවධානය යොමු කරලා තියෙන්න ඕනෑ. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

පොහොට්ටුවේ ගැටුම් පටන් ගනී

මේ වන විට පොහොට්ටුව සහ ගෝඨාභය පාර්ශ්වය අතර තීරණාත්මක ලෙස මතගැටුම් උග්‍ර වී තිබේ. එහි උග්‍රම අවස්ථාව වාර්තා වූයේ පසුගියදාය.

ඒ ගෝඨාභය පාර්ශ්වයේ ප්‍රබලයකු මහාචාර්ය නලින්ද සිල්වා පොහොට්ටුවේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස විවේචනය කර තිබිණි. සිය ෆේස්බුක් ගිණුමෙහි ඔහු ‘තිස්ස විතාරණ හා ගෝඨාභය’ යන සිරස්තලය යටතේ මේ පිළිබඳ දීර්ඝ සටහනක් තබා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ මාක්ස්වාදී පක්‍ෂ මුලදී ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමැත්තක් දැක්වූයේ නැති බව පවසන හෙතෙම අද ඒ පක්‍ෂ ඔහු වටා රොක්ව සිටින බවත් ඔහු ක්‍රමයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිරකරුවකු බවට පත් වෙමින් සිටින බවත් පවසයි.

ගෝඨාභය පොහොට්ටුවේ සිරකරුවෙක්

කිසිම ජාතිකත්වයක් නැති අය එම පක්ෂයේ නායකත්වයේ සිටින බවත් ජනතාව ඉල්ලන දේ එම පක්‍ෂවලින් ලැබෙන්නේ නැති බවත් ඔහු පවසයි. භික්ෂුන් වහන්සේට හා ජනතාවට අවශ්‍ය ජාතිකවාදී නායකයකු බව පවසන හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ පක්‍ෂ දේශපාලනයේ සිටින ජාතිකත්වයක් නැති පිරිස් තම බලය උපයෝගී කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා තම සිරකරුවකු බවට පත් කරමින් සිටින බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතිකත්වයක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරකරුවකු කර ඇති බවත් ඔහුට මුස්ලිම් ඡන්ද සියයට 25ක්වත් නොලැබෙන බවත් මහාචාර්යවරයා පවසයි.

මහින්දටත් ප්‍රහාරයක්

එහිදී සිය සටහනෙහි ආචාර්ය නලින්ද සිල්වා වැඩිදුරටත් පවසන්නේ මහින්දගේ නායකත්වයෙන් පවත්වන ලද රැස්වීමේ ගත් තීරණ ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ නොවිය යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පක්‍ෂ නායකයන්ගේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා තම සිරකරුවකු කර ගැනීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු සිය සටහනෙන් දක්වා තිබේ.

ශ්‍රීලනිපය ගෝඨා හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරු එම සාකච්ඡාවට සහභාගී වූහ.

කෙසේ වෙතත් සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

මේ අතර ශ්‍රීලනිපය නියෝජනය කරන කුමාර වෙල්ගම දැඩි සේ ගෝඨාභයට විරෝධයක් පෙන්වයි. ඔහු පවසන්නේ කිසිසේත්ම තමන් ඔහුට සහාය නොදෙන බවයි.

අතේ තනතුරු වෙනස් වෙයි - ගිය අයට විනය කෙවිට

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් කර නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පත් කරනු ලැබීමත් මාධ්‍ය ප්‍රකාශක ලෙස සිටි ඩිලාන් පෙරේරා ඉවත් කර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පත් කිරීමත් පසුගිය දිනවල කතාබහට ලක්විය. එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා පසුගිය කාලය පුරා ශ්‍රීලනිපයේ කටයුතුවලින් ඉවත්ව පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීම නිසා ඔවුන් පක්ෂයේ දැරූ තනතුරුවලින් මෙසේ ඉවත් කර ඇත.

මේ අතර ශ්‍රීලනිප ජාතික ලැයිස්තුවෙන් පත්වී වෙනත් පක්ෂවලට එක්ව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගතයුතු බවට යෝජනාවක්ද මධ්‍යම කාරක සභාවේදී අනුමත වී ඇත.

ගෝඨාගේ තරුණ සමුළුව මාධ්‍යයට තහනම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි තරුණ සම්මේලනයේදී මාධ්‍යවේදීන්ට දැඩි අපහසුතාවක් සිදු විය. ඒ අපහසුතාව ගැන සමාව ඉල්ලා සිටිය යුතු බවට පොදුජන පෙරමුණ නියෝජනය කරන එකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගෝඨාභය වෙත යෝජනා කර ඇතත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වෙයි.

නිදහසට කරුණු දැක්වීමක් නොකර මාධ්‍යවේදීන්ගෙන් පක්‍ෂයක් ලෙස සමාව ඉල්ලා සිටින බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර ඇත්තේ ඒ අනුවය.

සන්ධාන කතා

මේ සතියේදීත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගොඩනැඟීම ගැන සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වුණේය. පසුගිය අඟහරුවාදා තවත් තීරණාත්මක සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය. අඟහරුවාදා සවස පැවති සාකච්ඡා වට සන්ධානයට සම්බන්ධ සුළු පක්ෂ ගියේ අවසන් තීරණයක් ගැනීමේ අරමුණින්ය.

"අද අපි අවසන් තීන්දුවක් ගන්නවා. අපි එළියට එන්නේ ඒ තීන්දුව අරගෙනයි" මනෝ ගනේෂන් සාකච්ඡාවට යෑමට පෙර අරලියගහ මන්දිරය අසලට පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් කීවේය. එහෙත් ඔහු එම දොරටුවෙන් නැවත එළියට පැමිණියේ නැත. ඒ එම සාකච්ඡාවේදී ඔහු බලාපොරොත්තු වූ දේ කරගැනීමට නොහැකි වීම නිසාය.

සාකච්ඡාව ආරම්භ කරමින් අගමැතිවරයා පැවසුවේ සන්ධානයක් ගොඩනඟා ගැනීමේ වැදගත්කම හා මේ වන විට එහි තත්ත්වය පිළිබඳවය. අගමැතිවරයා යෝජනා කළේ සන්ධානය ඉදිරියට ගෙන යෑම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කළ යුතු බවය. කබීර් හෂීම්, අකිල විරාජ් කාරියවසම්, රවුෆ් හකීම්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක මේ කමිටුවට පත් කරගැනීමට තීරණය විය.

"අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදනවා වගේම අපේක්ෂකයා කවුරුන්ද කියන එක තීරණය කිරීමත් වැදගත්. ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්න කලින් හරි නම් අපේක්ෂකයා කවුරුන්ද කියන එක තීරණය කරන්න ඕන" කබීර් හෂීම් අවධානය යොමු කළේ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා අපේක්ෂකයා කෙරෙහිය.

මේ වන විට ප්‍රතිපත්ති සකස් කිරීමේ කමිටුව පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව සකස් කරමින් සිටී. ඒ සඳහා සාකච්ඡා වට කිහිපයක්ම පැවති අතර ඒවාට නායකත්වය ලබාදීමට රාජිත සේනාරත්න කැමැත්තෙන්ම ඉදිරිපත් වී තිබිණි.

බැසිල් දයාසිරි අතර මත ගැටුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර මාස ගණනාවක් තිස්සේ අවසානයක් නොදැක ඇදී ගිය සාකච්ඡාවල තවත් සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත්විණි. කලින් පැවති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය නියෝජනය කරමින් සම්බන්ධ වූ කණ්ඩායමේ සංශෝධනයක් ජනාධිතිවරයා කර තිබුණේය. තිලංග සුමතිපාල හා ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ සාකච්ඡා සඳහා දිගින් දිගටම සහභාගී වුවත් ඔවුන් දෙදෙනා සාකච්ඡාවෙන් ඉවත් කර තිබිණි. අර්බුද අවස්ථාවේදී පක්ෂයේ මහ ලේකම් ධුරය ලබාගෙන කටයුතු කළ පුද්ගලයකු හා අපහසු අවස්ථාවලදී පක්ෂ සම්මේලන පැවැත්වීම පිටුපස සිටිමින් ඒවාට අවශ්‍ය මූල්‍ය දායකත්වය ලබාදුන් පුද්ගලයන් දෙදෙනකු මේ ආකාරයට ඉවත් කර තිබිණි.

ඒ අතරම පොදුජන පෙරමුණේද වෙනස්කමක් සිදුව තිබිණි. වෙනදාට මේ සාකච්ඡාවට ජී. එල්. පීරිස් සමඟ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගි වන නමුත් මේ සතියේදී තවත් දේශපාලන චරිතයක් එහි පැමිණ සිටියේය. ඒ බැසිල් රාජපක්ෂය. ජී. එල්. සිටියත් සාකච්ඡාවට නායකත්වය දුන්නේ බැසිල්ය. ආරම්භයේදීම බැසිල් සාකච්ඡා ආරම්භ කළේ සුපුරුදු පරිදි‌ දේශපාලන විශ්ලේෂණයක් කරමිනි.

"මට නම් මේ කතාව පටන් ගන්න තියෙන්නේ ආප්ප කාලා ගියපු තැන ඉඳලයි" බැසිල් ජනාධිපතිවරයාට නොදැනෙන දේශපාලන හීන් සැරයක් යොමු කරමින් සාකච්ඡාව ආරම්භ කළේය.

"මේකයි බැසිල් ඇමැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් දේශපාලන අනන්‍යතාවක් තියෙනවනේ" දයාසිරි බැසිල්ගේ කතාවට වැඩි කැමැත්තක් නොදක්වන බව ඇඟවූවේය.

"ඉතිං දයාසිරි ඔයාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත්තේ මමනේ" බැසිල් කීවේ දෙවැනි වරට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැනීම ගැනය. බැසිල් අසලම සිටියේ දයාසිරිගේ දේශපාලන ගුරුවරයා වන ජී.එල්.ය. ජී.එල්.ගේ පුද්ගලික ලේකම්වරයා වූ දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළත් ජී.ඒල් සමඟ එක්සත් ජාතික පක්ෂයට ගියේය. ජී.ඒල් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන විට දයාසිරි දිගටම එක්සත් ජාතික පක්ෂයේ රැඳී සිටියේය. ඔහු පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණ තිබුණේ බැසිල්ගේ මැදිහත්වීම නිසාය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියලා තියෙන ඡන්ද පදනමක් තිබෙනවා. සිරිමාවෝගේ කාලේ ආසන අටට බැස්සත් අනූ හතරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් හැදුවා" දයාසිරි නැවත දේශපාලන අතීතය සිහිපත් කළේය.

"ඔයාලට මේ වෙලාවේ වෙන් වෙලා යන්න ඕනෑ නම් යන්න. හැබැයි වෙන් වෙලා ගියොත් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න. මේක පළාත් සභා ඡන්දයක් හරි ප්‍රාදේශීය සභා ඡන්දයක් හරි නෙවෙයි. මේක ජාතික මැතිවරණයක්" බැසිල් සුපුරුදු පරිදි කීවේය.

"ගියපාර පාර්ලිමේන්තු ඡන්දෙදි වුණේ මොකක්ද කියලා අපිට මතකයි. අපි එකතුවෙලා ගියත් ඡන්දෙදි අපිව පරද්දාවි" මහින්ද රාජපක්ෂ කණ්ඩායම තුළ ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරුන්ට අත්වන ඉරණම ගැන කතාවක් ඇදී ආවේය.

"ඔයාලා බය වෙන්න එපා. මම ඔයාලව බලාගන්නම්" බැසිල් සහතිකයක් දුන්නේය.

"දැන් බලන්න පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කරලා ඉවරයි. මහ ලේකම් නම් කරලා ඉවරයි. සේරම ඉවරයි. හරි නම් සාකච්ඡා අවසානයේදී තමයි මේවා ප්‍රකාශයට පත් කරන්න තිබුණේ. අපි පොදු ලාංඡනයකින් හරි තරග කරමු" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ‌යෝජනාවක් ආවේය.

"මම ඉතින් ඔයාට මේක ගැන ඊයේ රෑත් කිව්වනේ" බැසිල් සිනාසෙමින් කීවේ අනෙක් දෙදෙනාට හොරා සාකච්ඡාවට ගිය එක් අයකු බැසිල් සමඟ තවත් රහස් කතාවක් කර ඇති බව අඟවමිනි.

මාතෘකා