දේශපාලන කුණාටු සමය ඇරඹෙයි

 ඡායාරූපය:

දේශපාලන කුණාටු සමය ඇරඹෙයි

ජනාධිපතිවරණ උණුසුම සමඟින් උණුසුම්වී තිබෙන දේශපාලන කරළිය තවත් උණුසුම් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද? යන්න ගැන තීරණයක් තවම ගෙන නැති නිසාය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තවම ස්ථිර වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබුණත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කළේ ගාලුමුවදොර පිටියේදී දැවැන්ත රැලියක් පවත්වමිනි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පක්ෂ මුහුණුවරට වඩා සිවිල් සංවිධාන සමඟ එක්ව ඇතිකරගෙන තිබෙන සිවිල් භූමිකාව ඉස්මතු කරගනිමින් සිය අපේක්ෂකයා ප්‍රකාශයපත් කළත් අනුර කුමාර දිසානායක තරග කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සීනුව ලකුණෙන්ද? නැතිනම් වෙනත් පොදු ලකුණකින්ද? යන්න තවමත් ප්‍රකාශයට පත් නොකිරීමට ඔවුහු වගබලාගෙන සිටිති.

ජවිපෙ රෝස පාට වෙද්දී ජනපතිටත් රෝස පාට කමිසයක්

අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සන්ධානයේ අපේක්ෂකයා බවට පත් කරන රැලිය සිවිල් සංවිධානවල රැලියක මුහුණුවර ගත්තා හැරෙන්න එය දේශපාලන පක්ෂයේ රැලියක් ලෙස පෙන්වීමටවත් ජනතා විමුක්ති පෙරමුණ කැමැත්තක් දක්වා තිබුණේ නැත. වෙනදාට රතු පැහැති ඇදුම්වලින් සැරසී සිටින ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකත්වය හා කාඩරයන් වෙනුවට මෙදා සිටියේ සිවිල් ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාවය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම සඳහා සූදානම් කර තිබූ වේදිකාව රෝස පැහැයෙන් අලංකාරවත් වී තිබිණි. අනුර කුමාර රෝස පැහැති වේදිකාවකට නඟින විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද රෝස පැහැති කමිසයකින් සැරසී විවෘත කිරීම් කිහිපයකට සහභාගී විය. ඒ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමඟය. සජිත් සමඟ නිවාස විවෘත කිරීමට ගිය ජනාධිපතිවරයා සජිත්ට සහතිකයක් ලබාදීමට අමතක කර තිබුණේද නැත.

"සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර නායකයෙක්" ජනාධිපතිවරයා සජිත්ගේ ගුණ වැයුවේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ඔහුගේ නම තවත් උණුසුම් ලෙස දේශපාලන කරළියේ කතාබහකට ඉඩ ලබාදෙමින්ය.

පෙරහැර බැලීමට යෑමට නොහැකි වුවත් ජනාධිපතිවරයා පෙරහැරට සහභාගී වූ ශිල්පීන්ට සහතික ලබාදීම සඳහා නුවර පැමිණියේය. මධ්‍යම පළාතට අලුතින් පත්වූ ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සමඟ හිටපු මහ ඇමැති සරත් ඒකනායක එක්ව සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දුක් ගැනවිල්ල වී තිබුණේ වැඩකරන ආණ්ඩුකාරවරු නිසා තමන්ට දේශපාලනය කිරීම අපහසුවී ඇති බවය. එයට කිසියම් විසඳුමක් ලබාදෙමින් මෙම උත්සවලට මධ්‍යම පළාත් හිටපු මහ ඇමැතිවරයා එක් කරගැනීමට කීර්ති කයුතුකර තිබුණේය.

එස්.බී. ගෙන් ආණ්ඩුකාර කීර්තිට තරවටුවක්

මේ අතර කීර්තිට එස්.බී. දිසානායක ඇමැතිවරයා තරමක් තදින් කියා තිබුණේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිගටම කටයුතු කිරීමට කැමැති නම් දේශපාලන අධිකාරිය සමඟ සහයෝගයෙන් කටයුතු කළයුතු බවය. එසේ නොවන්නේ නම් වැඩි කාලයක් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කිරීමට හැකියාවක් නොලැබෙන බවද ඔහු සිහිපත් කර තිබුණේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන කීර්ති දේශපාලන අධිකාරියත් කළමනාකරණය කරගෙන තිබුණේය.

නුවර සිට මාතලේ බලා ජනාධිපතිවරයා ගියේ විශේෂ බලකායේ කඳවුරක් විවෘත කිරීමටය. නැවත නුවර පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කැඳවූවේය. ඒ මහනුවර දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය.

"ඉදිරි ජනාධිපතිවරණයේදී මොකද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරනවාද?"ආසන සංවිධායකවරු තමන්ගේ ප්‍රධානම දේශපාලන ගැටලුව ජනාධිපතිවරයා වෙත යොමු කරන්නට විය.

"කලබල වෙන්න එපා. සැප්තැම්බර් 3 වැනිදා පක්ෂයේ වාර්ෂික සමුළුව සුගතදාසේදී තියෙනවා. එතැනදී අපි ගන්නා තීරණය කුමක්ද කියලා ප්‍රකාශයට පත් කරනවා. මොන අපේක්ෂකයා තරග කරන්න ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගන්නේ නැතිව කිසිම අයෙක්ට ජයග්‍රහණය කරන්න බෑ" ජනාධිපතිවරයා කීවේය.

යෂුෂි අකාශිටත් සම්මාන

ජපානයේ විශේෂ සාම නියෝජිත යෂුෂි අකාශි පසුගිය සතියේදී ලංකාවට පැමිණියේය. ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන් රැසක්ම හමුවී ඔහු සුහද සාකච්ඡාවල නිතරවී තිබුණේ යුද ගැටුම් පැවති කාලයේදී සාමය වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය ගැනද සිහිපත් කරමින්ය.

අකාශි ලංකාවට පැමිණියේ ඔහුට විශේෂ සම්මානයක් ලැබෙන නිසාය. විදේශිකයෙක්ට ලංකාවෙන් පිරිනැමෙන ඉහළම සම්මානය වන ලංකා රත්න සම්මානය ඔහුට පිරිනැමුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවති උත්සවයකදීය.

ජනාධිපති අගමැතිට තැන දෙයි

රජය සතු විශාලතම ගොඩනැඟිල්ල පසුගිය සතියේදී ජනතා අයිතියට පත් කළේය. මහල් තිස්පහකින් සමන්විත කම්කරු අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කළේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදීය. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පීත්ත පටිය කැපීමට ගියත් එහි තිබුණේ එක් කතුරකි.

පීත්තපටිය කපන කතුර ජනාධිපතිවරයා අතට පත් කරන විට ඔහු එය අතට ගත්තේ නැත.

"ඕක අගමැතිතුමාට දෙන්න. අගමැතිතුමා පීත්ත පටිය කපාවි"ජනාධිපතිවරයා එය අගමැතිවරයාටබාර කළේය.

අගමැතිවරයා පීත්ත පටිය කපමින් ගොඩනැඟිල්ල විවෘත කළ අතර උත්සවය අතරවාරයේදී අගමැතිවරයා හා ජනාධිපතිවරයා සුහද කතාබහකද නිරත විය.

ජනාධිපතිවරයාට චිත්‍රපටයක් බැලීමට වෙලාව වෙන් කරගැනීමටද මේ සතියේ සිදුව තිබිණි. ධර්මසිරි බණ්ඩාරනායකගේ පාරාදීසයක කඳුළු චිත්‍රපටය බැලීමට ජනාධිපතිවරයා යන විට කථානායක කරු ජයසූරියද එය නැරඹීමට පැමිණ සිටියේය. ඔවුන් දෙදෙනා එම චිත්‍රපටය බැලුවේ එකටමය.

මහින්දගෙන් සාදයක්

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී බදාදා රාත්‍රී සාදයක් සූදානම් කර තිබුණේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට දේශපාලනඥයන්ගේ සහාය ලබාගැනීමේ යටි අරමුණ ඇතිවය. මේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණෙන්නැයි ආරාධනා කළේ මහින්දය. ඒ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

"ටාජ් එකේ බදාදා රෑට ඩිනර් එකක් තියෙනවා. අපේ මන්ත්‍රීවරු හැමෝම පවුලේ අයත් එක්ක එන්න"මහින්ද විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විවෘත ආරාධනාවක් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඇතැම් අය මේ ආරාධනාව පිළිගත්තත් දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, කුමාර වෙල්ගම, වීරකුමාර දිසානායක ආරාධනාව පිළිගෙන තිබුණේ නැත. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‌ලේකම් දයාසිරි ජයසේකර මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීරද සාදයට සහභාගී වී සිටියේය.

"මේක මහින්ද මහත්තයා කරපු ආරාධනාවක් නිසා තමයි අපි ගියේ. එතුමා විපක්ෂ නායක වුණාට පස්සේ මේ වගේ සාදයක් සංවිධානය කරලා තිබුණේ නෑ. ඒ නිසා අපි ගියා"මහින්ද අමරවීර කියන්නේය.

එහෙත් මේ සාදයට ජනාධිපතිවරයා සහභාගි වූයේ නැත. ජනාධිපතිවරයා කීවේ තමන්ගේ හිතවතුන්ගේ අවමඟුල් කිහිපයකට සහභාගීවීමට තිබෙන නිසා මෙම සාදයට නොපැමිණෙන බවය.

අගමැති යාපනේ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී යාපනයේ සංචාරය කළේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ද හමුවෙමින්ය. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ ඔහු කියා තිබුණේ ජනාධිපති අපේක්ෂකත්වයට තමා උවද ඉදිරිපත් විය හැකි බවය.

මේ අතර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාද ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමේ සූදානම ඇතිව අවශ්‍ය පසුබිම නිර්මාණය කරගනිමින් යයි. පසුගිය සති අන්තයේදී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් කිහිපදෙනෙක් පුද්ගලිකව හමුවූවේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රූපගත කරනු ලැබූ ඡායාරූප එකතුව ‘සිංහාභිමානය’ නමින් ඡයාරූප දැක්මක් ලෙස කොළඹ පැරණි ලන්දේසි රෝහලේදී පැවැත්විය.

විශාල පිරිසක් එය නැරඹීමට පැමිණි අතර පසුගිය බදාදා විශේෂ අමුත්තන් තිදෙනෙක් එය නැරඹීමට පැමිණියහ.

ඒ කථානායක කරු ජයසූරිය, මුදල් ඇමති මංගල සමරවීර සහ නිවාස හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාසය.

කථානායකවරයා පැමිණ ඡායාරූප දැක්ම නරඹමින් චම්පික සමඟ ආගිය විස්තර කතා කළ අතර මංගලද කතා කළේ ඡායාරූප ගැනය.

එහෙත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහ චම්පික රණවක අමාත්‍යවරයා අතර ඊට වඩා කතාබහක් සිදු විය.

එක් අතකින් දෙදෙනාම ඡායාරූප පිළිබඳ උනන්දුවක් ඇති අයය. වනජීවී ඡායාරූප ගැන දෙදෙනාම උනන්දුය.

චම්පික සජිත් රහස් කතා

එකින් එක ඡායාරූප නැරඹූ දෙදෙන පසුව අසල ආපනශාලාවට ගොඩවිය. පැය බාගයක් පමණ වේලා දෙදෙනා අතර දේශපාලනික කතාබහක් සිදුවිය.

කිසිදු මාධ්‍යවේදියකුට එම අවස්ථාව ආවරණය කළ නොහැකි වූ නමුත් අපට වාර්තා වන්නේ දෙදෙනා තීරණාත්මක දේශපාලන කතාබහක යෙදුණු බවය. පක්ෂය එකට තබාගෙන යෑම, ගැටලු ඇති නොවන පරිදි ඉවසිල්ලෙන් කටයුතු කිරීම යනාදී බොහෝ අදහස් දෙදෙනා හුවමාරු කරගෙන තිබේ.

සජිත් සහ චම්පික කුටියෙන් පිටතට එන අතර දොරටුව අසල මාධ්‍යවේදීහු විශාල පිරිසක් වූහ.

'ඇමතිතුමා මොනවද කතා කළේ?'

මාධ්‍යවේදීහු අඇසූහ.

'අපි දෙන්නා සිංහ සෙයියාවෙන් ඉදිරියට යනවා'

සජිත් උත්තර දුන්නේය.

'මෙතුමන්ලගේ සහය ලැබෙයිද?'

මාධ්‍යවේදීන් නැවත ඇසීය.

'මම ඇමති වෙච්ච දවසේ ඉඳලම එතුමන්ලා සහය දෙනවා'

සජිත් උත්තර දුන්නේය.

අනතුරුව මාධ්‍යවේදීන් චම්පික දෙසට හැරුණි.

'ඔබතුමන්ලගේ සහය ලැබෙනවද?'

'ඒකට උත්තරේ මෙතුමා දෙයි' කී චම්පික සජිත්ව පෙන්නුවේය.

අනතුරුව කැමරාවක් ඉල්ලාගත් සජිත් 'එන්න, ඔබතුමාගේ ෆොටෝ එකක් ගන්න'යැයි කියා චම්පිකට කතා කළේය.

සජිත් චම්පිකගේ ඡායාරූප කිහිපයක් ගත් අතර අනතුරුව චම්පිකද සජිත්ගේ ඡායාරූප කිහිපයක් ගනු ලැබීය.

චම්පික මෙන්ම රාජිතත් දැන් සිටින්නේ සජිත්ට සහාය ලබාදෙන ස්ථාවරයේය.

"මැතිවරණ ළඟම එනවා. අපේ පක්ෂයට බරපතල ප්‍රශ්න කිසිවක් නෑ. සියලුම ප්‍රශ්න පක්ෂය ඇතුළේම විසඳා ගන්නවා. ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් අපි ජනතාවට දෙනවා. ජයග්‍රාහී රජයක් අපි පිහිටුවනවා. අපි පරාජය වෙන්න තරග කරන්නේ නෑ. අපි ගෝඨාභය රාජපක්ෂ පරාජය කරනවා"රාජිත සේනාරත්න පැවසුවේය.

සජිත්ගේ සාකච්ඡා

පසුගිය සෙනසුරාදා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ නිවසට ගියේය. ඒ ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන්නේ කවුරුන්දැයි යන්න ගැන අවසන් තීරණයක් ගැනීමටය. රවි කරුණානායක, චම්පික රණවක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩායමක් රැස්වූයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කතා කිරීමටය. සජිත් ප්‍රේමදාසගේ නමත් රනිල් වික්‍රමසිංහගේ නමත් කරු ජයසූරියගේ නමත් එහිදී සාකච්ඡා වූ නමුත් අවසන් තීරණයක් එහිදී ගත්තේ නැත. නමුත් සෙසු සියලු කාරණා ගැන එකඟතාවකට පැමිණ තිබේ.

පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරු ගියේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ සාකච්ඡාවට ලක්වනු ඇතැයි යන විශ්වාසය ඇතිවය. එහෙත් මෑත කාලයේදී පැවති කෙටිම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම බවට පත් කරමින් මෙම සතියේදී කණ්ඩායම් රැස්වීම ඉතාම කෙටි වේලාවකදී අවසන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට සූදානමින් සිටියේය. ඒ සුජීව සේනසිංහගේ නිවසේදීය. එහෙත් හදිසියේම එම හමුව පසුදාට කල් දැමිණි. මේ අතර ලංකාවේම පළාත් සභා මන්ත්‍රීවරු සජිත් කොළඹ කැඳවා තිබුණේය. එහෙත් අවසානයේදී මන්ත්‍රීවරු විශාල පිරිසක් එහි ගොස් තිබුණේය.

චම්පිකගේ බෝට්ටු ගැන රනිල් කී කතාව

අගමැතිගේ උපදෙස් මත බස්නාහිර පළාතම මහ නගරයක් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ දියත් කළ චම්පික රණවක ඊයේ (22) තවත් ඉතා ජනතාවාදී ව්‍යාපෘතියකට මුලපිරුවේය. ඒ කොළඹ කොටුවේ සිට කොල්ලුපිටිය ආසන්නය දක්වා බේරේ වැවේ බෝට්ටු මගී ප්‍රවාහන සේවයක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමය.

"අද මාර වැස්සක් වහිනවා. බෝට්ටුව කුණාටුවකට අහුවේවිද දන්නෙ නෑ” යැයි විහිළුවක් කළ අගමැතිවරයා එහි යෑමට පෙර අරලියගහ මැදුරේදී තමා හමුවට පැමිණ සිටි මැති ඇමතිවරුන්ට කියා කොක් හඬලා සිනාසුනේය.

"එහෙනම් ව්‍යාපෘතිය විවෘත කිරීම කරල පස්සෙ දවසක බෝට්ටු පදින්න" ලක්ෂ්මන් කිරිඇල්ල කීවේද සිනාසෙමිනි.

"කිසි දේකට බයවෙන්න එපා. අපි දාන බෝට්ටු සුනාමියටවත් පෙරළෙන්නෙ නෑ." චමිපික රණවක කීවේද සියල්ලන්ම සිනා ගස්සවමිණි.

එජාප අපේක්ෂකයා කවුද?

"ජනාධිපතිවරණය තවම ප්‍රකාශ කළේ නැතත් අපේ අපේක්ෂකයා ඉක්මනින් ලෑස්ති කරන්න ඕනෑ." චමින්ද විජේසිරි කීය.

"හොඳ අපේක්ෂකයෙක් වගේම මේ ජයග්‍රහණයට ශක්තිමත් සන්ධානයකුත් ඕන. මුලින් ඉදිරිපත් කරපු සන්ධානෙ ව්‍යවස්ථාවට අපේ සමහරු සංශෝධන ඕන කිව්වා. අපි ඒකට අවස්ථාව දුන්නා. ඒත් සංශෝධන දෙන්න බාරගත්ත කබීර් තාම ඒක බාර දුන්නේ නෑ. කෙටුම්පතක් විදියට ලබා දෙන්නයි එකඟ වුණේ." අගමැති පැහැදිලි කළේය.

" පරක්කු වෙන්න හේතුව ගැන ඒ අය අතරත් මත ගැටුම් තියෙනවද දන්නේ නෑ. මේව ඉක්මනින් අවසන් වෙන්න ඕනෑ. " අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීය. "

කබීර් රාජිතට පොරොන්දු වෙච්ච සන්ධාන ව්‍යවස්ථා කෙටුම්පත තාම නැති එකෙන් මේ වැඩ තව පරක්කු වෙනවා. ඒක හරි නෑ කවුරුත් එකතු වෙලා මේවා ඉක්මන් කරන්න ඕනෑ. " ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

" අවසන් කෙටුම්පත ඉක්මන් කරන්නැයි පක්ෂ නායකයොත් අගමැතිතුමාට බල කරනවා. එයාල ගැලවිලා යන්නත් බැරි නෑ. මේ පාර මුස්ලිම් ඡන්ද පොහොට්ටුවට බින්දුව නිසා හකීම්ලට දැල එළන්න එයාල ට්‍රයි කරනවාලු" දිනේෂ් වීරක්කොඩි කීය.

“සජිත් ඇමතිතුමා කැඳවන පළාත් සභා හා මන්ත්‍රීලාගේ හමුවලට ලොකු සංඛ්‍යාවක් එනවා” හේෂා විතානගේ කීය.

“පෙන්වන සංඛ්‍යාලේඛන ගැන පොඩි ප්‍රශ්න තියෙනවා. සමහරු එජාපයෙන් ගිය අයලු. මැති ඇමතිවරුන්ට ආරාධනා කරලා තිබුණේ ඇමති සුජීවගේ ගෙදරට නෙමෙයි. බාන්ස් ප්ලේස් එකේ දොස්තර කෙනකුගේ ගෙදරටලු. ඒ දොස්තර ඉස්සර මෛත්‍රී ඇමති කාලේ එයාගෙ දොස්තර හැටියටත් වැඩ කරපු කෙනෙක්ලු ” අරලියගහ මැදුරේ නිලධාරියකු කීවේ එවැනි කථාවකි.

“එදා රෑ පාටියට ටී.වී. කැමරා ගෙනාපු එක ගැන පාලිත තෙවරප්පෙරුම ඇතුළු අය දොස් කිව්වා” මහාචාර්ය ආශු මාරසිංහ කීය.

“ අද කෑගල්ලේ දිසාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීල සජිත් ඉල්ලල උද්ඝෝෂණයක් කරනව නේද? ” ගයන්ත කරුණාතිලක කීවේය.

“ එජාප සභාපති කබීර් ඒ ගැන දන්නේ නෑ කියන්නේ. ඊයෙලු එයා දන්නේ” යයි අගමැතිවරයා කීවේ මඳ උපහාසයක්ද සමගිනි.

" යුද හමුදා මාණ්ඩලික තනතුර කෙනකුට දීලා එයා හමුදාපතිත් කරලා කියලා ජාත්‍යන්තරේ කතාබහක් යනවා. ලංකාවට එරෙහි මානව හිමිකම්, යුද අපරාධ ගැන ජාත්‍යන්තරව යටපත්ව තිබුණු කතා මේවා එක්ක ආපහු එළියට ආවා. " එජාප නීති නිලධාරි‍ෙකු කීය

" ලංකාවෙ හමුදා සාම සාධක හමුදාවලට යවන එකත් මේ ප්‍රශ්නයත් එක්ක නවතින්න පුළුවන් කියලයි ආරංචි. මේ ඔක්කොම ගත්තාම මේ ආණ්ඩුව අමාරුවෙන් ගොඩ දාපු ලංකාවේ ආර්ථිකයටයි පහර වදින්නේ.” දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට කාගෙත් එකඟත්වය පළවිය.

ඉඩම් බෙදිල්ලට පොහොට්ටුවෙන් බාල්දි

“ රටේ ලක්ෂ 25ක ජනතාවට ඉඩම් දෙන්න මේ ආණ්ඩුව ක්‍රියා කළා. ඒත් මේ කුහක පොහොට්ටුව ඇතුළු විපක්ෂය උසාවි ගිහින් ඒක නවත්තලා මේ රටේ ඉඩම් නැති දුප්පතුන් ආපහු අනාථ කළා” ගයන්ත කරුණාතිලක කීවේ ඉතා කනගාටුවෙනි.

“මේ පනත හරහා පිටරට අයටත් ඉඩම් දෙන්න හදන බවට විපක්ෂය කරන චෝදනාව අලි බොරුවක්. රාජපක්ෂලා ෂැංග්‍රිලා එකට අපේ හමුදා මූලස්ථානය දෙනකොටයි ඇමෙරිකාවේ ඩෝල් සමාගමට වවන්න අක්කර 15,000ක් දෙනකොට මේ පනත තිබිලද දුන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගෙත් අවධානය යොමුවිය.

“ලංකාවට විරුද්ධව යළිත් ජාත්‍යන්තර මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා මතු වුණාම අපේ හමුදාවල අයට විදේශවලට වීසා නොදෙන අනතුරක් තියෙනවා කියලත් ආරංචියි " මහාචාර්ය ආශු මාරසිංහ කීවේ එවැන්නකි.

" එක්සත් ජාතීනුත් ලංකාව ගැන උනන්දුයි. අපේ හමුදා පහුගිය වසර 04 පුරා සාම සාධක හමුදාවලට ගිහින් ගෙනා කෝටි ගණන් විදේශ විනිමයත් රටට අහිමි වෙන බවට අනතුරක් තියෙනවා කියලත් ආරංචියි. "

චමින්ද විජේසිරි හා හේෂා විතානගේ කීවේ එකම කතාවකි.

" දැන් එජාපය ඇතුළෙ "ඩිනර් තරගයක්" තියෙනවා. අපට හොඳට කාල බීල ඉන්න ලැබෙන කාලයක් මේක" චමින්ද, හේෂා හා ආශු කීවේ කොක් හඬලමිනි.

“ආණ්ඩුවට වසර 04 පිරෙන එකට මම මේ සිකුරාදා ඩිනර් එක සූදානම් කළේ සති 02කට කලින්. වෙන වෙන ඩිනර් එක පාරටම තියන්නේ ඇයි. ඒකට හේතු මොනවාද මම දන්නේ නෑ. "අගමැතිවරයා පැහැදිලි කළේ මඳ සිනහවක් ද සමගිනි.

“ ගෝඨා තාම ඇමෙරිකානු පුරවැසිකමින් නිදහස් කරල නෑ. නිදහස් කළා නම් ඊළඟට එන ලැයිස්තුවේ නම වැටෙනවා. ඒ තරමට ඇමෙරිකානු සිස්ටම් එක නව තාක්ෂණයක් එක්ක යන්නේ. ගෝඨා ඩමියක්, නාම යෝජනා දෙන්න වෙන කෙනෙක් රහසේ සූදානම් කරල කියලා පොහොට්ටුවේ අයටම දැන් ලොකු සැකයක් ඇති වෙලාලු තියෙන්නේ.” දිනේෂ් වීරක්කොඩි කීවේ මේ ගැන අධ්‍යයනය කළ කණ්ඩායමක අදහස් ගෙනහැර පාමිනි.

බැසිල් ගේම අතෑරල ද?

පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මේ දිනවල තීරණාත්මක නිහැඬියාවකය. ගෝඨාභය රාජපක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කළ අගෝස්තු 11දායින් පසුව බැසිල්ගේ නිහැඬියාව දැඩිම මතු වී තිබේ. සීමාව ඉක්මවා ගිය ගෝඨාභයගේ ප්‍රචාරක යාන්ත්‍රණය මේ වනවිට ව්‍යාකූලව ඇති අතර ප්‍රචාරණ ව්‍යාපෘති පුරාම එම ව්‍යාකූල බව දක්නට ලැබේ. සද්දන්ත කටවුට්, පෝස්ටර් ව්‍යාපාරයක් රට පුරා දියත් වූ අතර ඊට බැසිල් එකඟවී නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට 'මේ පෝස්ටර් සහ කටවුට් ප්‍රචාරණයද හේතු විය. හිටි අඩියේ ගෝඨාගේ කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීම නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් සිදු විය. 'ඒක පාරේ මලපහ කරලා අදිනවා වගේ වැඩක්' යැයි සමහරු කීහ. මේ අතර ඉතාම පැහැදිලිව දක්නට ලැබුණේ ගෝඨාට එම දින අට පුරාම පන්සිල් සමාදන්වීම, අටපිරිකර පූජා කිරීම, පල්ලි යෑම, කෝවිල් යෑම සහ වචන දෙකෙන් තුනෙන් ස්තූති කතාවක් කිරීම යනාදිය හැර යමක් සිදු නොවූ බවයි.

රටම හෙල්ලූ 2017 මැයි දිනයට ගෝල්ෆේස් පිටිය පුරවා පෙන්නුවේ බැසිල් විසිනි. රැල්ලේ මුල වූයේ එතැනය. බැසිල් නැතිව පොහොට්ටුවට එවන් හපන්කම් කළ නොහැකි බව ද ඇස් පනාපිටම ඔප්පු වූයේ ඔහු ඇමෙරිකාවේ සිටියදී නාමල් රාජපක්ෂ විසින් සංවිධානය කළ කොළඹ වැටලීම අතිශය අසාර්ථක වීමෙනි.

එවැනි අතිදක්ෂ, රාජපක්ෂ පවුලේ තීරණාත්මකම සාමාජිකයා මෙවැනි අතිශය උද්වේගකර, තීරණාත්මක මොහොතක ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් මඟට නොබැසීම තේරුම් ගැනීමට අසීරු කරුණකි.

ගෝඨාට ප්‍රශ්නයක්

මොනතරම් තර්ක ඉදිරිපත් කළත්ො දැවැන්ත උත්සවයකින් ගෝඨා කරළියට ගෙනාවත් තවමත් ව්‍යාකූල තත්ත්වය පහව ගොස් නැත. දිය යට තද කරගෙන සිටින රබර් බෝලයක් මෙන් ගෝඨාගේ ඇමෙරිකන් පුරවැසිකම මතුවෙයි.

ඔහු තවමත් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන නොමැති බව ගෝඨාවිරෝධීන් ප්‍රකාශ කරන අතර පොහොට්ටු පාක්ෂිකයන් පවසන්නේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බවය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසිභාවය අහෝසි කරගෙන සිටි සමයේ ඔහුගේ නම මෙරට ඡන්ද හිමි නාමලේඛනයේ සඳහන්ව තිබීම පිළිබඳද මේ දිනවල කතාබහට ලක්ව තිබේ.

ඔහු ඇමරිකානු පුරවැසියඅකුව සිටිමින් 2005 වසරේදී ඡන්දය භාවිත කළේ කෙසේද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත පැමිණිලි ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසම තීරණය කර තිබේ.

මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඔහු 2005 වසරේ ජනාධිපතිවරණ සමයේදී සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන කටයුතුවල නිරතව ඇති බවයි. එවකට ඇමරිකානු පුරවැසියකු වූ ‍ගෝඨා 2005 ජනාධිපතිවරණයේදී සිය සොයුරු මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීම සඳහා සංචාරක වීසා මත මෙරටට පැමිණියේය.

ශ්‍රී ලංකා පුරවැසියකු නොවන පුද්ගලයෙකු සංචාරක වීසා මත මෙරටට පැමිණ ‍දේශපාලන කටයුතු සිදු කිරීම නීතිවිරෝධී බවත් එය මෙරට මැතිවරණ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වන බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නීතිය ද අභිභවා ගොස් කටයුතු කර ඇති බව පෙනීයන බව ද එම සංවිධානය පේනවා දෙයි.

මේ කරුණු පිළිබඳ බැසිල් අවබෝධයෙන් ඇතිවාට සැක නැත.

අතාවුදත් රාජපක්ෂලාට සුභාෂිතයෙන්ම කියා දෙයි

මෑතකදී රාජපක්ෂ කඳවුරට එරෙහිව මුල්ම ප්‍රහාරය එල්ල කළේ වෙල්ගමය. දැන් ඔහුට තවත් ප්‍රබලයෙක් එක්ව සිටී. ඔහු අතාවුද සෙනෙවිරත්නය. ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතාවුද සෙනෙවිරත්න පසුව ශ්‍රීලනිපයට සම්බන්ධ විය . ඒ ඔහු දැනට සිටි ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි.

'අයියා ජනාධිපති, මල්ලි අගමැති වීම භයානකයි' කියා ඔහු පවසයි.

‘මහින්ද මහත්තයා පහුගිය දින පනස් දෙකේ අගමැති වෙලා පොහොට්ටුවට බැඳුණා. අධිකරණය ඒ ආණ්ඩුව නීත්‍යනුකූල නෑ කීවම අගමැතිකම නැතිවුණා. පස්සේ කීවා පොහොට්ටුවට ගියේ නෑ කියලා. රටම දැක්ක, ලෝකෙම දැක්ක ඇත්ත එතුමා නෑ කීවා. මන්ත්‍රී ක‍ෙනෙක්, ඇමතිකෙනෙක්, අගමැතිකෙනෙක්, ජනාධිපති කෙනෙක් වෙච්ච එතුමා එහෙම කියනවනම් තව මොනවද? සුභාෂිතයේ තියෙනවා ‘තණකොළ නොබුදිති සිංහ පැටවු’ කියලා. නායකයෝ එහෙම වෙන්නයි ඕන. තණකොළ කන්න යන්න හොඳ නෑ. කොහොම හරි බලයට එන්න හදනවා. ඇයි..පවුලට නඩු නිසා. ඒවයින් බේරෙන්න. ඇයි මේ බලය වෙනුවෙන් බොරු කියන්නේ’ යනුවෙන් ඔහු අසයි.

චන්දිමට හූ කිව්වේ ඇයි?

මහින්දගේ ප්‍රධානත්වයෙන් මේ සතියේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පසුගිය දිනවල ඇතිවූ දේශපාලන අර්බුද සාකච්ඡාවට ගැනුනේය. ගෝඨාභය රාජපක්ෂ ගාල්ලට පැමිණි වෙලාවේදී චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාට හූ කීම ගැන ඔහු මහින්දට පැමිණිලි කළේ කණ්ඩායම් රැස්වීමේදීය.

"ගෝඨාභය මහත්තයා ආපු රැස්වීමට ගියපු මට හූ කිව්වා. රමේෂ් පතිරණ තමයි හූ කියන එක සංවිධානය කළේ. මම අද ඊයේ ආණ්ඩුවෙන් අයින් වුණා නෙමෙයි. දහසයේ කණ්ඩායමත් එක්ක තමයි මම අයින් වුණේ" චන්දිම තමන්ගේ දුක්ගැනවිල්ල කීවේය.

"අපි සංවිධානය කරලා හූ කිව්වා නෙමෙයි. මිනිස්සු හූ කිව්වා. ඔයාලා කරපු ඒවා නිසා තමයි මිනිස්සු හූ කිව්වේ"රමේෂ්ද නැඟිට කීවේය.

"මොනවද අපි කෙළේ" චන්දිමත් උණුසුම්ව ඇසුවේය.

"කරපු ඒවා මගෙන් අහගන්න එපා. ඇමැතිකම් කරන කාලේ කරපු දේවල් හැමෝම දන්නවා. ඒ කාලේ තෙල් සංස්ථාවෙන් ගහපු ගැහිලි ගැන මගෙන් අහගන්න එපා"රමේෂ් කියන විට චන්දිම නිහඬ විය.

ප්‍රසන්න කළ වැඩේ

පසුගිය සතියේදී මහින්ද ගම්පහ දිස්ත්‍රික්කයේ මළ ගෙවල් කිහිපයකට යෑමට සූදානමින් සිටියේය. ඔහු ගම්පහට යන බව ආරංචිවූ ප්‍රසන්න රණවීර මහින්දගේ නිවසට ගියේය. ඒ වන විට මහින්ද තරමක තෙහෙට්ටුවෙන් සිටි අතර ප්‍රසන්න ඒ ගැන ඇසුවේය

"මට මේ මළ ගෙවල් තුනක යන්න තියෙනවා. ඒත් හරි මහන්සියි" මහින්ද කීවේය.

"සර් ඉන්න. මම සේරම ටික බලාගන්නම්"කී ප්‍රසන්න මහින්දගේ ශෝක ප්‍රකාශ රැගෙන නැවත පැමිණියේය. ඔහු පැමිණියේ මහින්ද පැමිණෙතැයි අපේක්ෂාවෙන් සිටි මළ ගෙවල්වලය. මහින්දට එන්න ඒපා යැයි කී ප්‍රසන්නට කන පුරා ඇතැම් තැන්වලදී අසා ගැනීමට සිදුව තිබුණේය.

ඡායා [හිරන්ත ගුණතිලක] 
[විමල් කරුණාතිලක]

මාතෘකා