අදින් අරඹන සටන ජයග්‍රහණයෙන් කෙළවර කරනවා

 ඡායාරූපය:

අදින් අරඹන සටන ජයග්‍රහණයෙන් කෙළවර කරනවා

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය වෙනුවෙන් අපේක්ෂකයා ලෙස මා තෝරා ගනු ලැබ තිබෙනවා. ජාතික ජන බලවේගයටත් ඔබ ඇතුළු මේ රටේ පොදු ජනතාවටත් මා කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ නොකරන බවට සහතික වෙනවා. මා තඹුත්තේගමට ආසන්න කුඩා ගමක ඉපදී ශිෂ්‍ය අවධියේ සිට තිස් වසරක් දේශපාලනයේ නිරතව ඉන්නවා. පසුබැසීම්, අභියෝගවලට මුහුණ දෙමින් අප දේශපාලනය කරමින් සිටිනවා. ඈත ගම් දනව්වල ජනතාවගේ සිට සියලු තරාතිරම්වල මිනිසුන්ගේ අත්දැකීම් මත පදනම් වෙමින් අදින් අරඹන මේ සටන සහතික වශයෙන්ම ජයග්‍රහණයෙන් කෙළවර කරනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ එම සංවිධානයේ මංගල රැලියේදී ජනතාව අමතා ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගය පිහිටුවීමෙන් පසු ඊයේ ගෝල්ෆේස් පිටියේදී ලක්ෂ ගණනක ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම රැලිය පැවති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

“මේ ජනාධිපතිවරණය වන විට රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තියෙනවා. එක් මාවතක් වන්නේ වසර 71ක් පුරා මේ රට පැමිණි යල් පැනගිය විනාශකාරීත්වයේ මාවතයි. අනෙක සතුට, සැපත හා නිදහස පිරුණු සෞභාග්‍යයේ මාවතයි. මේ සෞභාග්‍යයේ මාවත තෝරා ගැනීම සඳහා සියලු ජනතාවට ආරාධනා කරනවා. රටට ආදරය කරන අදූෂිත දේශපාලනයේ, රට ගොඩනඟන විද්වතුන්ගේ සහ රට මෙහෙයවන වැඩකරන ජනතාවගේ මධ්‍යස්ථානය මෙයයි. රටට අලුත් මාවත පෙන්වන්නේ ජාතික ජන බලවේගයයි.

“මේ රටේ පිළුණු වූ හිරිකිත දූෂිත වළල්ලක් අතට දේශපාලන බලය අත් වී තිබෙනවා. සමාජයට; දේශපාලනය පිළිකුල් කර තිබෙන්නේ මේ තත්ත්වයයි. මේ දේශපාලන පොර පිටිය සුද්ධ කර පිරිසුදු කරන බවට අප සපථ කරනවා. නව ආර්ථික ගමනකට රට යොමු කළ යුතුව තිබෙනවා. නිෂ්පාදනය මත පදනම් වන ආර්ථිකයක් නිර්මාණය කරන බවටත් එහි ඵල ගොවි ජනතාව, ධීවර ජනතාව, කම්කරු ජනතාව ඇතුළත් සමාජයට ගලා යෑමට සලස්වන බවටත් සපථ කරනවා.

“මේ සමාජයේ විශාල ජනතාවක් විවිධ හේතු නිසා පීඩාවට පත්ව සිටිනවා. ජාතිකත්වය, කුලය, ලිංගිකත්වය මත ඔවුන් පීඩා විඳිනවා. සියලු අසාධාරණ සැලකීම් අහෝසි කොට ඔවුන් සියලු දෙනා මහා මිනිස් සමාජයක කොටස්කරුවන් බවට පත්කර ගන්නා බවට සපථ කරනවා.

“අද මහජන ආරක්ෂාව ගැන සාකච්ඡාවක් පැමිණ තිබෙනවා. පාසල්, රෝහල් හා ඇතැම් ගම්මාන මායිම් අසලට පොලිස් මුරපොළ පැමිණ තිබෙනවා. කිසිදු ජාතිවාදියකුට, අන්තවාදියකුට මේ මුරපොළවල් ඉවත් කළ නොහැකියි. ඔවුන්ට කළ හැකි වන්නේ ඒවා වැඩි කිරීම පමණයි. සැකය හා අවිශ්වාසය දුරු කළ, ජාතික සමගිය රජයන සමාජයක් ස්ථාපිත කරන බවට මම සපථ කරනවා.

“මානව සමාජය ඉදිරියට ආවේ නිදහස් අදහස් ගැටී නිවැරදි අදහස් ඉදිරියට ගිය නිසයි. මානව අදහස් පෙට්ටගම්වල දමා වසා තැබිය නොහැකියි. එවැනි නිදහස් අදහස් ගැටෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කරන බවට පොරොන්දු වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරෙන දේශපාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

“අප රටේ විශාල ජෛව විවිධත්වයක් ඇති පරිසර පද්ධතියක් තිබුණා. ලාභය හඹා යන මේ සමාජ ක්‍රමය එය විනාශ කරමින් යනවා. මේ රට සැකයකින් තොරව පලතුරක් ආහාරයට ගැනීමට බැරි තැනක් වී තිබෙනවා; ලෝකයේ කුණු ගෙනැවිත් දමන ස්ථානයක් බවට පත්වී තිබෙනවා; දරුවකුට විෂ නොමැති පලතුරක්, විෂ නොමැති ජල බිඳක්, පිරිසුදු හුස්මක් ලබාදීමට අප මැදිහත් වනවා.

“අප අත්කරගන්නා සමාජ සංවර්ධනයේ ඵල ජනතාවට ලැබෙන සමාජයක් ස්ථාපිත කළ යුතුව තිබෙනවා. කුඩා දරුවන්ට පැහැදිලි අනාගතයක් ලැබෙන, තරුණ තරුණියන්ට තමන්ගේ හැකියාවන්ට දක්ෂතාවන්ට ප්‍රතිලාභ ලැබෙන, වැඩිහිටියන්ට සුරක්ෂිතභාවය ලැබෙන සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. අපට එවැනි සිහිනයක් තිබෙනවා.

“ඇමෙරිකානු කළු ජාතික විප්ලවීය නායක මාටින් ලූතර් කිං වරක් මෙහෙම කිව්වා.මේ යුගයේ ඛේදවාචකය වූ කලී නරක මිනිසුන්ගේ නරක ක්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහැඬියාවයි. ඇතැමුන් මේ ඛේදවාචකය ගැන කම්පාවෙන් සිටිනවා. නමුත් අප වෙනස් වීමට මැදිහත් නොවුණහොත් ඵලක් නැහැ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලෙස ඔබ මෙතැනට පැමිණ අපට ධෛර්යය ලබාදෙනවා. අප මේ රටේ ජනතාවට කිසිදා පසුතැවිලි වීමට සිදුනොවන අනාගතයක් ඔබට ලබා දෙන බවට සහතික වෙනවා.

“අපේ ජනතාව ප්‍රෞඩ මිනිස් ප්‍රජාවක් බවට පත් කළ යුතුව තිබෙනවා. මේ රට ලෝකය තුළ නොසැලෙන රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. මෙය කළ හැක්කේ සියලු ජනතාව මේ සටන සඳහා එකතු කිරීමෙනුයි. මෙය අපට දිනිය හැකි සටනක්. සියලු දෙනා මේ පණිවිඩය ගම් නියම්ගම් කරා ගෙන යන කෙනෙක් බවට පත් වෙන්න. ඒ සඳහා ඔබ සැමට ආරාධනා කරනවා.”

මාතෘකා