අපි හැමදාම වෘත්තිය අයිතීන් වෙනුවෙන් සටන් කළා

 ආනන්ද පාලිත ජාතික සේවක සංගමයේ උප සභාපති ඡායාරූපය:
. ආනන්ද පාලිත ජාතික සේවක සංගමයේ උප සභාපති

අපි හැමදාම වෘත්තිය අයිතීන් වෙනුවෙන් සටන් කළා

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තිය සමිති සභාපතිවරයා ලෙස වසර 17ක් කටයුතු කර ඇති ආනන්ද පාලිත මහතා රටේ ප්‍රබලම වෘත්තිය සමිතියක් වන ජාතික සේවක සංගමයේ උප සභාපතිවරයකු ලෙස වර්තමානයේ කටයුතු කරයි. එසේම ඛතිජ තෙල් තොග නිමා සමාගමේ අධ්‍යක්ෂවරයකු, විදුලි බල හා බල ශක්ති ව්‍යාපාර අමාත්‍යාංශයේ සහකාර ලේකම් (වෘත්තීය සබඳතා) ලෙස මෙන්ම එජාප වෘත්තීය සමිති ව්‍යාපාරයේ සම්බන්ධීකාරකවරයකු, ගම්පහ දිස්ත්‍රික් වෘත්තීය සමිති ලේකම් සහ ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වසර 17ක් පුරා කාරක සභා සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.

1979 සිට ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරිකයකු ලෙස වෘත්තීය සමිති ක්ෂේත්‍ර යේ හසල අතිදැකීම් ඇති ආනන්ද පාලිත මහතා සමග මෙම සතියේ ‘රැස‘ සංවාදය පැවැත්වීමු

 

 

2002දී ගෙනාපු ග්ලෝබල් එනර්ජි ප්‍රොජෙක්ට් එක මොකක්ද?

එක ඩොලරයක්වත් අපි වියදම් කරන්නේ නැතුව සපුගස්කන්දේ ඒකාබද්ධ සමාගමකින් පිරිපහදුවක් හදනවා ඕනෑම වර්ගයක බොරතෙල් බැරල් ලක්ෂයක් දිනකට පිරිපහදු කරන්න. වසර 20ක් අවසානයේ එක ඩොලරයක් සමාගමට ගෙවලා තෙල් සංස්ථාවට පිරිපහදුව අයිති කරගන්නවා. ඒ අවුරුදු 20 කාලයේදී ලාභාංශයෙන් 20%ක් තෙල් සංස්ථාවට ලැබෙනවා. තියෙන පිරිපහදුවත් නොමිලේ ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. හොඳ වැටුප් ගෙවනවා, නව තාක්ෂණික පුහුණුව දෙනවා. ඒක කරන්න දුන්නේ නැහැ. මොකද ජාතික සේවක සංගමය විතරයි කැමැති වුණේ අනිත් වෘත්තීය සමිති විරුද්ධ වුණා. රාජපක්ෂ මහත්තයා පොරොන්දුවක් දුන්නා සමාගම් රටට ගෙන්න ගන්නේ නැතුව සංස්ථාවේ තනි අයිතියේ පිරිපහදුවක් හදනවා කියලා. ඒ පිරිපහදුව නැති කරලා ඉරානය එක්ක ගිවිසුමක් ගැහුවා ඩොලර් බිලයන 425ක් දාල පිරිපහදුවක් හදන්න. එහෙම ආයෝජනය කරන්න සල්ලි සංස්ථාවට නැහැ. ලක්ෂ 34ක මුල්ගලක් තියලා වැඩේ ඉවර කළා. පවරගත්ත ඉඩම්වල අද හරක් ලගිනවා. කසිප්පු ජාවාරම් කරනවා. ගත්ත ඉඩම්වලට තාම වන්දි ගෙවලා නැහැ. ඒ ඉඩ්ම් අයිතාකාරයෝ දාපු නඩුවකුත් තියෙනවා. පිරිපහදුව කඩා වැටිලා. හැබැයි පිරිපහදුවට සේවකයෝ බුරුතු පිටින් දාලා සේවක අතිරික්තයක් ඇති කෙරුවා.

අලුත් පිරිපහදුවක් හැදීමේ වාසිය කුමක්ද?

පිරිපහදු තෙල් ගන්නවාට වඩා බොර තෙල් නිෂ්පාදනයේ ලාභය වැඩියි. බොරතෙල් බැරල් එකක් ඩොලර් 60 වෙනකොට පිරිපහදු තෙල් බැරල් එක ඩොලර් 90ට යනවා. ඊළඟට බොර තෙල් ගෙනාපුවහම අපිට නිෂ්පාදන 12ක් කරන්න පුලුවන්. බොර තෙල්වලින් අපිට නැප්ටා එනවා, එල්.පී. ගෑස් එනවා, අන්තිමට තාර එනවා. එහෙම වුණානම් අපිට ගෑස්වලින් ස්වයං පෝෂිත වෙන්න තිබුණා. එක ගෑස් කඳුළක් පිටින් ගේන්න වෙන්නේ නැහැ.

මෙයට පෙර පැවැති එජාප රජයන් යටතේ විදුලිබල හෝ ඛනිජ තෙල් සේවක අයිතීන්ට තර්ජනයන් එල්ල වූ විට ඔබලා ඊට එරෙහිව සටන් කළාද?

මම සාමාජිකයෙක් වෙලා ඉන්න කාළේ අසූව දශකයේ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න ආව අවස්ථාවේ අපි පාරේ නිදාගත්තා. ලොකු සටනක් කළා. රාජ්‍ය බලය තියෙද්දි අපි විරුද්ධ වුණා. ඒ වගේම තමයි සංස්ථා ඉතිහාසයේ ඛනිජ තෙල් සහ විදුලිබල මණ්ඩලයට 42%කින් වැටුප් වැඩිකරන්න නිර්දේෂ කරලා තියෙද්දි වැඩි කළේ නැහැ. අපි වරුවෙන් වර්ජනයක් පටන් අරගෙන දවසෙන් ඒ ඉල්ලීම දිනා ගත්තා. කරු ජයසූරිය ඇමතිතුමා තමයි එතකොට විදුලිබල හා බලශක්ති ඇමති. එතුමා විවාහ මංගල උත්සවයකට යන අවස්ථාවක මම කිව්වා ‘‘නෑ අනිවාර්යයෙන්ම මේක ලිඛිතව ඕනේ. ඒක චන්ද්‍රිකා රජය දෙන්න තිබුණ දෙයක්. දුන්නෙ නැති දෙයක්. 42% අවුරුදු 3ක හිඟ වැටුප් එකපාර ගත්තා. මොකද සේවක ඵලදායකත්වයක් තිබුණා එතන. ඒ නිසා අපි සටන් කළා.

මොනවා කිව්වත් දැන් විදුලි බිලටත් ජනතාව මැසිවිලි නඟනවා නේද? අඩු කරන්න විදිහක් නැද්ද?

අඩු කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග තියෙනවා. හැම තිස්සෙම ඉතිහාසයේ විදුලිය මිලට අරං තියෙන්නේ වැඩි මිලට. මේ වතාවේ නොරච්චෝලෙ මිලට තමයි මිලදී ගන්න යෝජනා ආවේ. හේතුව මොකක් වුණත් අද ඒක නතරවෙලා තියෙනවා. ඒකෙන් පහර වැදුණේ පාරිභෝගිකයාට. ඒකකය රුපියල් විසි ගණන් වෙන එක දහඅටට ගන්න කොට ඉස්සලේලා අපි ගන්න ඕන අඩු ගණන් එක. අරගෙන මුලින්ම විසිගණන් ගෙවන මිනිස්සුන්ගේ විදුලි බිල අඩුකරන්නයි ඕන. ඒකට ක්ෂණිකව යන්න ඕන. දැන් ඒ ක්ෂණික ක්‍රියාමාර්ගවලට යන්න විදිහක් නැහැ. ඒකට එක හේතුවක් සමහරු ඉන්න අමාත්‍යවරයා එක්ක ගැටුම් ඇතිකරගැනීම. විදුලිය මිලදී ගැනීම සඳහා ඒ ගෙනාව යෝජනා අපි වෘත්තිය සමිති විදිහට අධීක්ෂණය කළා ඒ යෝ්ජනා ඉතාම නිවැරදියි. අපිට අවශ්‍ය පාරිභෝගිකයාගේ බිල අඩුවෙන්නයි. පැය විසිහතරම විසන්ධි කිරීමකින් තොරව විදුලිය සපයන්නයි. රටක් ලෙස ඉදිරියට යන්න නම්, අලුත් කර්මාන්ත එන්න නම් විදුලි බිල අඩු විය යුතුයි. දැන් පාරවල් හදල තියෙනවා. ඒත් විදුලි බිල දැක්කහම කවුරුවත් එන්නේ නැහැ කර්මාන්ත ආරම්භ කරන්න.

හෙජින් ගිවිසුමට එරෙහිව මොනවද කළේ?

අපි ඒකෙදිත් අරගල කළා. ඒ ගිවිසුමට විරුද්ධව නඩු දැම්මෙත් අපි. හෙජින් ගිවිසුම ආපු වෙලාවේ ඒක අත්සන් කරන්න එපා කියලා අපි කිව්වා. සරත් එන්. සිල්වා මහත්තයා තමයි අගවිනිසුරු ලෙස හිටියේ. එයා මුලදි හෙජින් ගිවිසුමේ ගෙවීම් අත්හිටෙව්වා. අත්හිටුවලා ඉන්ධන ලීටරය රුපියල් 100 ගාණේ දෙන්න කියලා නියෝග කළා. නමුත් ආණ්ඩුව ඒක කළේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මුදල් ඇමතිවෙලා හිටියේ. ඒ තීන්දු රජය ගණන් ගත්තේවත් නැහැ. එදා 35%ක් බදු තියාගෙන තමයි රුපියල් 100ට පෙට්ට්‍රල් දෙන්න කිව්වේ. නමුත් ඒ තීන්දු ක්‍රියාත්මක කළේ නැහැ.අන්තිමට මේ හෙජින් ගිවිසුම නිසා අදත් තෙල් සංස්ථාවට බැරි වෙලා තියෙනවා ජාත්‍යන්තර බැංකුවලින් ණයක් ගන්න. ජාත්‍යන්තර බැංකු අපිට ණය දෙන්නේ නැහැ මෙතන අපි පොල්ල තියල තියෙන හින්දා.

අපි පැහැදිලිව කිව්වා ගෙනාව බාල තෙල් ඉන්ධන ලීටරයක්වත් පිටතට යවන්නේ නැතුව මුතුරාජවෙල ගබඩාකරන්න කියලා. එහෙම කරන්න පුලුවන්කම තියෙද්දි තමන්ට ඕන කොමිස් කුට්ටිය නිසා ජනතාව ප්‍රාණ ඇපයට තියල ඉන්ධන වෙළෙඳපලට නිකුත් කළා. ඒකේන් සංස්ථාවට කෝටි ගණනක් පාඩු වුණා. ඒව මහජන මුදල්. ඊට අමතරව ජනතාවගේ පෞද්ගලික මුදලුත් කෝටි ගණනක් පාඩු වුණා. විපක්ෂ නායකවරයටත් ගෙව්වේ භාගයයි. එතුමාගේ වාහනයත් බාල තෙල් නිසා මඟ හිටියා. මහලොකුවට කිව්වා වන්දි ගෙවනවා, ඒ සමාගම් බ්ලැක් ලිස්ට් කරනවා කියලා. ඒ බ්ලැක් ලිස්ට් කරනවා කිව්ව ඉන්ධන ආපසු ගෙනාවා. ඒ සමාගම් එකක්වත් බ්ලැක් ලිස්ට් කළේ නැහැ.

වගකීමකින්ද කියන්නේ?

ඉතාම වගකිමෙන් කියන්නේ ඒ කිව්ව වන්දි අරගෙන නැහැ. තෙල් සංස්ථාවේ තිබුණේ බ්‍රිග්ස්ටන්, ඩන්ලොප් කියන ඉන්ධන නළ. ඒ නළ වසර ගණනාවක් තිබුණා කිසිම ප්‍රශ්නයක් නැතුව. අලුතින් ගෙනාවා මනොලි කියලා නළයක්. අපි දිගින් දිගටම විරුද්ධ වුණා. තාක්ෂණික කම්ටුවෙන් ඒක ප්‍රතික්ෂේප කළහම ආණ්ඩුව අලුත් තාක්ෂණික කමිටුවක් දාලා ඒක ගත්තා. මනෝලි කියන්නේ රටවල් 16ක් ප්‍රතික්ෂේප කරපු නළයක්. අරගෙන මාස 6ක් යන්න කලින් නළය කැඩුණා. නළය කැඩුණා විතරක් නෙවෙයි අපිට නැව්වලට බිලියන ගණන් වන්දි ගෙවන්න වුණා. ගැරන්ටි කාළේ කැඩෙනවා සත පහක වන්දියක් අපිට ගෙවන්නේ නැහැ. බ්ලූ මැන්ඩල් පැත්තෙනුත් කැඩෙනවා. මුතුරාජවෙල පැත්තෙනුත් නළය කැඩෙනවා. දෙපැත්තෙන්ම කැඩෙනවා.

ඒ කියන්නෙ ශ්‍රීලනිප රජයකින් තෙල් සංස්ථාව ගොඩ නගන්න දායක වුණේම නැද්ද?

නැහැ ඒ රජයන් පිරිපහදු හැදුවේ නැහැ. ආසියාවේ පැරණිතම ක්‍රියාත්මක කර්මාන්ත ශාලාව ජර්මන් තාක්ෂණයෙන් ඩොලර් මිලියන 160ක් වැය කරලා සපුගස්කන්ද පිරිපහදුව හැදුවේ එජාප රජය. ඒ පිරිපහදුව 1967 ජූලි මාසේ මුල්ගල තියලා අවුරුදු දෙකකින් විවෘත කළා 1969දී. 1994න් පස්සේ ශ්‍රීලනිප ආණ්ඩුවලින් ඒ පිරිපහදුව කඩා වැට්ටුවා.

රාජපක්ෂ යුගයේ කොළොන්නාවට බ්ලූ මැන්ඩල් හරහා කි.මි.6.5ක් දිග දිරච්ච නළ පද්ධතිය හරහා තෙල් ගත්තා දිනකට නැවකට ඩොලර් 18,000ක ප්‍රමාද ගාස්තු ගෙවමින්. එක නැවකට දින හතරකට ඩොලර් 72,000ක ප්‍රමාද ගාස්තු ගෙව්වා. නැව් 15-20කට එහෙම ප්‍රමාද ගාස්තු ගෙව්වා.

මුතුරාජවෙල ගබඩාවට පැය 48ක් තුළ අඟල් 18ක නළයෙන් ඩොලර් සතයක්වත් වැයවෙන්නේ නැතුව ඉන්ධන බාගන්න පුළුවන්කම තියෙද්දි එමෙ නොකර මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 3.5 ප්‍රමාද ගාස්තු සහ නැවකට දිනකට ප්‍රමාද ගාස්තු ඩොලර් 18,000ක් ගෙවමින් කොළොන්නාවට ඉන්ධන ගත්තා. මාසයකට ඉන්ධන ගබඩා කරන්න තියෙන මුතුරාජවෙල දවසකට මෙට්‍රික් ටොන් 500ක්වත් නිකුත් කරන්නේ නැහැ. ඇයි? එහේ ඉන්දන අවශ්‍ය ප්‍රමාණයට ගබඩා කළේ නැහැ.තනිකර කොමිස් මාෆියාවෙන් කොළොන්නාව භාවිත කළා.

එජාපෙ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න ඔබලාගේ දායකත්වය මොකක්ද?

අපේ පක්ෂය ගොවි ජනපද ඇති කළා ඩී.එස්. යුගයේ ඉඳලම, ඩඩ්ලි මහත්තයා ඒක ඉදිරියට ගෙනිච්චා, ජේ. ආර්. ජයවර්ධන කාලේ මහවැලිය හැදුවා. නිවාස විප්ලවයක් ඇති කළා, මහපොළ, යොවුන් පුරය. ඒ හැම දෙයක්ම කළේ එජාපය. එහෙම කරපු පක්ෂයේ වෘත්තිය සමිතිය අපි. අපේ වෘත්තිය සමිති කියන්නේ සම්පතක්. අපේ මතයත් පක්ෂය තුළ ප්‍රබලයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරපු ක්‍රමවේදයක් තිබුණා. හැමදාම ඇතුළෙන් තේරුවේ. කවදාවත් එළියට දුන්නේ නැහැ. ආර්. ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වුණේ නිකම්ම නෙවෙයි. අගමැති වෙන්නත් ඡන්දයකට යන්න වුණා. එතුමාට නියෝජ්‍ය නායකයා වෙන්නත් ඡන්දයකට යන්න වුණා. එතුමයි, ගාමිණී දිසානායක මහත්මයයි තරගකරල. හැබැයි ප්‍රේමදාස මහත්තයාට අපේක්ෂකත්වය ලැබුණට පස්සේ ගාමිණී දිසානායක මහත්තයයි, ලලිත් ඇතුලත්මුදලි මහත්තයයි හැමෝම එකතුවෙලා එතුමාව දිනෙව්වා. 1994දිත් එහෙමයි අපේක්ෂකයා තෝරා ගත්තේ.

මෙවරත් එහෙමද වෙන්නේ?

මේ වෙලාවේ අගමැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ඉතා ප්‍රබල භූමිකාවක් කරනවා. මම ඒකට එතුමාට ගොඩක් ගරු කරනවා. එතුමා මැදිහත්වෙලා 19වැනි සංශෝධනය ගෙනාවේ අධිකරණයේ ස්වාධීනත්ය රකින්නයි. දින 52ක ප්‍රජාතන්ත්‍රවාදී අරගලයෙදී ඔහු තනිවම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටියා. ඒ අවස්ථාවේදී අධිකරණයට බෙදුණු තීන්දුවක් නොදී ඒකමතික තීන්දුවක් දෙන්න පුළුවන් වුණේ අධිකරණයේ පැවැති ස්වාධීනත්වය නිසා.

අපි කවුරුවත් හිතුවේ නැහැ 2015දි අපි ආණ්ඩු බලය ගනියි කියලා. අපි විහිළු කෙරුවා. මම එතුමට විරුද්ධව පෙනි හිටපු කෙනෙක්. නමුත් එතුමා නායකයෙක් ලෙස පක්ෂය එක්ක කථා කරලා ගත්තු තීන්දුව නිසයි 2015 අපි දිනුවේ. දැන් කථාකරන්න ඕන හෙට ගැන බලන දර්ශනයක් ගැන. පාක්ෂික විඥ්ඥානය විතරක් නෙමෙයි රටේ ජන විඥ්ඥානයත් අඳුරගන්න ඕන අපි ප්‍රබල පක්ෂයක්. හැම වෙලාවෙම අපි අපේ අපේක්ෂකයා දැම්මේ අවසන් මොහොතේ. ඒ අපි ළඟ තුරුම්පු තියෙන නිසා.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගැන මොකද හිතෙන්නේ?

හිටුපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෘත්තිය සමිති නායකයන්ට කනට ගහපු එක හැමෝම දන්න රහසක්. එක අවස්ථාවක මම සාකච්ඡා කරල යනකොට දුරකථන ඇමතුම් එනවා ‘‘ඔතන තියෙන්නේ ඇළක්, ඔය ඇළේ තමුසෙ සමහර විට පාවෙන්න පුළුවන්‘‘ කියලා. වගකීමකින් කියන්නේ ඒ දුරකථන ඇමතුම් මට ආව නිසා. මම ගාල්ලේ නගරයේ සරත් ෆොන්සේකා මහත්තයාගේ රැස්වීමක වෘත්තීය සමිත කථාවක් කරලා ගෙදර ආවට පස්සේ රෑ 12.30ට විතර ගෙදරට ආව නාඳුනන පිරිසක් මට පිස්තෝලයක් පෙන්නුවා. ‘‘මූණ බලල යන්න ආවේ පරිස්සමින් ඉන්න‘‘ කියලා ගියා. මීගමු පාරේ ඉඳලා මගේ ගෙදරට එන සිංහ පාරේ මගේ ගේ ළගට එනකම්ම ලයිට් කණුවල කහපාටින් ඉරක් අැඳල තිබුණා. ගේ ළඟ ලයිට් කණුවේ තිත තියලා සුදුවට රවුමක් තියලා තිබුණා. මහ දේවල් කරලා නෙවෙයි ස්ට්‍රයික් කරලා. ඒ කාළේ අපි ඉල්ලපු කිසි දෙයක් දුන්නේනැහැ.

එතුමා ආවොත් තොරතුරු දැනගැනීමේ පනත බල්ලට දානවා. වෘත්තීය සමිතිවලට කට අරින්න දෙන්නේ නැහැ. දෙන පඩිය ගන්න වෙනවා. මර බියෙන් යුතුව වැඩ බිමේ ඉන්න වෙයි. පිකටිං කරන්න ලීෆ්ලට් බෙදන්න ලැබෙන්නේ නැහැ. පාරවල් හදයි අරවා මේවා හදයි. රජකාළේ මාලිගා හැදුවා. නමුත් හදපු කම්කරුවන්ට වෙච්චදේ කවුරුවත් දන්නේ නැහැ. ඒ යුගය නැවතත් එයි.

සාකච්ඡා කළේ    [වසන්ත රනිල් කුමාර]

මාතෘකා