ලොකු වැඩ දෙකක්

 ඡායාරූපය:

ලොකු වැඩ දෙකක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අගමැති හමුවුණාද?

"ගෝඨා අපේක්ෂකත්වයට නම් කළාට පස්සේ පොහොට්ටුවේ හා ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අගමැතිතුමා හමුවුණා කියන්නේ ඇත්තද?" ගයන්ත කරුණාතිලක විමසූ විට අගමැතිවරයා සිනාසී ඉවත බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත.

"තාම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලත් නෑ. අපේක්ෂකයෝ නම් කරන්න පොහොට්ටුවට තියෙන හදිස්සිය එජාපෙට අවශ්‍යත් නැහැ." එසේ කීවේ චමින්ද විජේසිරිය.

"එජාපෙ අපේක්ෂකත්වය ගැන තීන්දුවකට එන්න රාජිතලා චම්පිකලා වගේම සමහර සුළු ජාතික පක්ෂ අතරත් පොඩි කඹ ඇදිල්ලක් තියෙනවා. මේ සියලුදෙනාම මුලින් සමගි කරන්න වෙනවා. තව පක්ෂ එකතු කරගන්නවා මිසක් ඉන්න අය බෙදිලා මේක කරන්න බෑ; සන්ධානයත් අත්‍යවශ්‍යයි." අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.

"පොහොට්ටුව ස්ටේඩියම් එක ඇතුළේ පවත්වපු රැස්වීම වගේ දහගුණයක සෙනඟක් ඊට පහුවැනිදා එජාපෙට බදුල්ලෙදි එකතු වුණා. පොහොට්ටුව ඒ නිසා පතුළටම වැටුණා." හේෂා විතානගේ කීවේ එවැන්නකි.

"අගමැතිතුමයි සජිතුයි දෙපැත්තට නෙවෙයි එකපැත්තට කඹ අදින සැලැස්මක් ඉක්මනින් ඕනෑ. දෙන්නම මස් රාත්තලේ න්‍යායෙන් මිදෙන්න අත්‍යවශ්‍යයි. බදුල්ල මාතර වගේ රට පුරා රැස්වීම් තියලා විතරක් මේ ප්‍රශ්න විසඳන්න බෑ. දෙපැත්තෙම ජ්‍යෙෂ්ඨයන්ගෙ මතයටත් සවන්දීලා නම්‍යශීලී වීම කාගේත් වගකීමයි." දිනේෂ් වීරක්කොඩි කීවේය.

"ජනතා මුදල් අවභාවිත කරපු බවට චෝදනා රාශියක් තියෙන අතුරුදන්කිරීම්, සුදුවෑන්, මිනීමැරුම් ගැන දැඩි සමාජ විරෝධයක් තියෙන විශේෂයෙන් ඇෙමරිකානු පුරවැසියෙක් ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන පොහොට්ටුවේ අය ලැජ්ජ වෙන්න ඕනෑ. එජාපෙන් මෙහෙම කෙනෙක් අපේක්ෂකයා කළා නම් වීරවංශයි ගම්මන්පිලයි ඔය හොර නඩයයි නටන නැටිල්ල බලාගන්න තිබුණා" ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලුදෙනාම අනුමත කළහ.

තෙලෙන් බැද්දත් කොබෙයියා - කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියමයි

"හැමෝම ගෝඨගෙ පුරවැසිකම ගැන විතරක් කතාකරනවා. ඒත් මම ඒ රාමුවෙන් පිට පැනලා තෙලෙන් බැද්දත් කොබෙයියා - කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියමයි කියලා ඉදිරිපත් කරපු මතවාදය සමාජ ජාලවල දැඩි අවධානයට ලක්වුණා." අගමැතිවරයා කීවේය.

"ඒ වගේම සුදුවෑන්, අතුරුදන් කිරීම්, තාජුඩීන් - එක්නැලිගොඩ ඝාතන, සිරස - සියත ගිනිි තැබීම, මවුපියන්ගේ සොහොන ජනතා මුදලින් ඉදිකිරීම, වැලිකඩ සිරකාරයන් 27ක් නම් ලයිස්තු අනුව මැරීම, නාවික හමුදාවේ ආදායම ඇවන්ගාඩ් සමාගමට ලබාදීම, රතුපස්වල රොෂේන් චානක, මීගමුවෙ අන්ටනී ඝාතන ගැන, හමුදා මූලස්ථාන ඉඩම ෂැන්ග්‍රිලා එකට විකිණීම, කොළඹ යාචකයන් ඝාතනය, මිනීමෝරු සංස්කෘතිය වගේ දේවල් ගැන ඡන්දෙ ඉල්ලන්න කලින් ගෝඨා ජනතාවගෙන් සමාව ඉල්ලනවද කියලා කියන්නැයි අගමැතිතුමා කරපු අභියෝගයෙන් පොහොට්ටුව සසල වෙලා කියලා ආරංචියි." නවීන් දිසානායක කී විට සියලු දෙනා සිනාසෙන්නට විය.

"අපි වෙනුවෙන් අපි අරමුදලට එකතු වූ රු. දශලක්ෂ 4500න් පොඩි ගෙවල් 200ක් විතරයි හදලා තියෙන්නේ. මිලියනයක් විතර වටිනාකමක් තියෙන්නේ ඒ එක ගෙයක්. ඉතිරි මුදල්වලට වුණේ මොකක්ද කියලත් මෙයාලා හෙළිකරන්න ඕනෑ කියලා ෆීල්ඩ් මාර්ෂල් ළඟදි කියපු කතාවත් ඉතා වටිනවා." ගයන්ත කරුණාතිලක කීවේ එවැන්නකි.

"ප්ලාස්ටික් පොලිතීන් නැතිව ඡන්ද කරනවා කියල ගෝඨා කතාවෙදි කිව්වට පරිසරය රකිමින් දළදා පෙරහැර කරන්න අපි උත්සාහ කළත් මුළු නුවර ටවුමම ප්ලාස්ටික්, රෙක්සින්, ඉටිකොළ, බැනර්වලින් පොහොට්ටුව මුළු නුවර නගරයම දූෂණය කරලා. දළදා පෙරහැරෙනුත් දේශපාලන වාසි ගන්න තරමට මෙයාලා පහත වැටිලා" ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

"දැන් පළාත් සභා ඡන්දය ගැන ජනාධිපති මත විමසන කතාව මොකක්ද? ආණ්ඩුවයි පොහොට්ටුවයි දෙකම හිර කරලා තනතුරු ගන්න ජනාධිපති හා ශ්‍රීලනිපයේ සමහරු ප්ලෑන් කරනවා කියලා ආරංචියි. ශ්‍රීලනිපයේ අය පොහොට්ටුවට ගියොත් 2015දී වගේම ප්ලෑන් කරලා පොහොට්ටුවේ අය එයාලව පරද්දනවා. එජාපෙට ආවොත් ශ්‍රීලනිප අයට දිනන්න අපි සහයෝගය දෙන බව ශ්‍රීලනිපයට ඒත්තු ගන්වන්න ඕනෑ." මහාචාර්ය ආශු මාරසිංහ කළ විග්‍රහය සියලුදෙනා අනුමත කළහ.

"13 වැනි සංශෝධනය අනුව එකම රටක් තුළ පළාත් සභාවලට උපරිම බලතල බෙදිය යුතු බවට ඇමති නවීන් දිසානායක උතුරෙදී කළ කතාව ඉතා වටිනවා." අගමැති කීවේ ප්‍රශංසා මුඛයෙනි.

"ගෝඨාභය අපේක්ෂකත්වයට නම් කරන තුරු තනියම දිනන්න පුළුවන් කියපු පොහොට්ටුව තනියම අපේක්ෂකයා නම් කරලා ශ්‍රීලනිපයට කොකා පෙන්නලා දැන් කියනවා ශ්‍රීලනිප සහායත් එයාලට අත්‍යවශ්‍යයි කියලා. ඉතා ලාභ හා තුට්ටුදෙකේ තනතුරු කිහිපයකට වහල් වෙලා ආත්මයම පාවාදීලා ශ්‍රීලනිපය බඩ ගාගෙන පොහොට්ටුව ළඟට යනවද නැද්ද කියලයි දැන් මිනිස්සු බලන් ඉන්නේ." අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේය.

එජාපෙන් විජිත ගැන ඇගයීමක්

"අගමැතිතුමාට අමතරව ගෝඨා ගැන හොඳම විග්‍රහය කළේ ජවිපෙ විජිත හේරත්. පොහොට්ටුවේ දුර්වලම අපේක්ෂකයා විදියට ගෝඨා දාන්න තරම් රාජපක්ෂවරු සූක්ෂ්ම වෙලා තියෙනවා. පරාජය කරන්න ලේසිම අපේක්ෂකයා ගෝඨාභය කියලත් විජිත කිව්වා. මොකද හිට්ලර්ලා ඉඩි අමීන්ලා වගේ කෘෘර පාලකයන්ට දැන් මේ ලෝකෙ ඉඩක් නැති බව විජිත නිවැරදිව වක්‍රාකාරව විග්‍රහ කළා." මහාචාර්ය ආශු මාරසිංහ කී විට සියලු දෙනාම ඊට එකඟත්වය පළකළහ.

එජාපයේ ලොකු වැඩ දෙකක් එකම දවසේ

පොහොට්ටුව ජනපති අපේක්ෂකයා නම්කොට ඇති අතර තවමත් එජාපය සිය අපේක්ෂකයා නිල වශයෙන් නම්කොට නැත. ඊට උත්තර දුන්නේ එහි සභාපති කබීර් හෂීම්ය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයකින් සමන්විත සන්ධානයේ ගිවිසුම අත්සන් කරන දිනය හා ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන දිනය බොහෝ විට සෙනසුරාදා දිනයේදී ප්‍රකාශ කළ හැකි වන බව ඔහු කීය.

ජනමතයට ගරු කරමින් පොදු ජනතාව අපේක්ෂා කරන සුදුසුම පුද්ගලයා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

“සන්ධානගත වීම කල් ගියේ එහි ව්‍යවස්ථාව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්න කිහිපයක් තිබූ නිසයි. මීට දින දෙකකට පෙර අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී අපි සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළා. ඉන් එක සංශෝධනයක් පිළිබඳව නැවත සාකච්ඡා කළ යුතුයි.

“මේ සතියේ සෙනසුරාදා පක්ෂ නායකයන් හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නියෝජිතයන් හමුවීමට නියමිතයි. එතැනදී අපි විශ්වාස කරනවා අපේ සංශෝධන පිළිබඳ එකඟතාවකට පැමිණිය හැකි බව. එකඟතාවකට පැමිණීමෙන් පසුව සන්ධානයේ ගිවිසුම අත්සන් කරන දිනය හා ගිවිසුම අත්සන් කරන දිනයේම අපේ අපේක්ෂකයා නම් කිරීම සිදු කිරීම යෝජනා කරන්නට අපි අපේක්ෂා කරනවා. සෙනසුරාදා වන විට මේ සියල්ල අනාවරණය කළ හැකිවේයැයි විශ්වාස කරනවා. කෙසේ වුවත් ජනමතයට ගරු කරමින් ඔවුන් අපේක්ෂා කරන සුදුසුම පුද්ගලයා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

පොහොට්ටුවේ අමුතු වීඩියෝව

යහපාලන කාලසමය අලළා රට පුරා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පොහොට්ටුව කටයුතු යොදා තිබේ. විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවකින් පසු මෙම වාර්තා චිත්‍රපටය මන්ත්‍රී කණ්ඩායමට ප්‍රදර්ශනය කළ බවද ඔහු ප්‍රකාශ කළේය. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන්ට එහි සීඩී තැටි ලබාදී ඇති අතර රැස්වීම් අවස්ථාවලදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලෙසට උපදෙස් දී ඇත.

මේ අතර පොහොට්ටු සමුළුව අවස්ථාවේ පෙන්වූ වීඩියෝව පිළිබඳව බොහෝ දෙනා තුළ විවිධ මත ඉදිරිපත්ව තිබේ. එම වීඩියෝවේ සරසවි සිසුන්ට, විරෝධතා ව්‍යාපාරවලට පහර දෙන දර්ශන අඩංගුව තිබූ අතර ඒවා බොහොමයක් රාජපක්ෂ සමයේ ඒවාය.

'මේ වීඩියෝ එක හදලා තියෙන්නේ මහින්දටම ගහන්න වෙන්න ඕන'යැයි එහි සිටි සමහර මන්ත්‍රීවරුන් පවසා තිබේ.

මාතෘකා