හිට්ලර් සහ චර්චිල් අතර සටනක්

 ඡායාරූපය:

හිට්ලර් සහ චර්චිල් අතර සටනක්

වික්‍රමබාහු කරුණාරත්න

 වාමාංශික පක්ෂවලට 77න් පසු තිබුණු කේවල් කිරීම අහිමි වුණේ න්‍යායාත්මක ප්‍රශ්න නිසා වෙන් වුණු නිසාද? ජනපදනම නැති නිසාද?

ඒක වුණේ විශේෂයෙන්ම ජාතිවාදී පක්ෂ එක්ක එකතු වීම නිසා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටීම නිසා. ඒ විදිහට දිගටම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ අපේ පක්ෂය විතරයි. 88-89 කාලයේදී ජවිපෙ තමයි ජාතිවාදී නායකයෝ වුණේ. ඒගොල්ලන්ට විරුද්ධ වෙන මිනිස්සු මරලා දාන තැනට පවා ඒ අය පත් වුණා. ජාතිවාදීන්ට යටවීම නිසා තමයි මේ පක්ෂ ඔක්කොම කඩාකප්පල් වෙලා මේ තැනට වැටුණේ.

 ලෝකයේ වුණත් වාමාංශික පක්ෂ බලය අරන් වැඩි කාලයක් පාලනය කරනවා අපිට පේන්න නැහැ. ඒක මේ කාලේ ලෝකෙටම පොදු දෙයක්ද?

ගෝලීය ධනවාදය කියන කාලපරිච්ඡේදය උදාවීමෙන් පස්සේ ධනවාදය ශක්තිමත් වුණා. නව ලිබරල්වාදී ප්‍රයත්නය තුළ ඔවුන්ට ලොකු අවකාශයක් ලැබුණා. එතකොට ධනවාදය තව පිම්මක් ඉදිරියට ගියා. ඒ පිම්ම තුළ ධනවාදය අර්බුදයට යනවා කියලා හිතපු වාමාංශිකයන්ට බොහොම නරක තත්ත්වයක් ඇති වුණා. ඊට වෙනස්ව ලිබරල් ධනේෂ්වරය මෙහෙම වුණාට ඉදිරියේදී අපිට නව ලිබරල් ධනවාදයට එරෙහිව කටයුතු කරන්න වෙනවා කියලා හිතලා වැඩකරපු වාමාංශිකයන් විතරයි ඉතුරු වුණේ.

නව ලිබරල්වාදී ගෝලීය ධනවාදය මේ වෙද්දි වර්ධනය වෙලා ඉවරයි. දැන් ලෝකයේ වෙන ධනවාදයක් නැහැ; තියෙන්නේ ලිබරල් ධනවාදය විතරයි. ඒකට කලින් සමාජවාදී කියපු රටවලුත් ඇතුළු වෙලා ඉන්නේ. උදාහරණයකට රුසියාව, චීනය පවා ඉන්නේ ධනවාදය තුළ; නමට විතරයි සමාජවාදය.

නමුත් සටන තියෙනවා. අපිට පේනවා අැමෙරිකාවේ ජනතාව විශේෂයෙන්ම දක්ෂිණාංශික නායකයකු පත් වුණාට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා දරුණු විදියට සටන් කරන්න පටන් අරන් තියෙන බව. එංගලන්තයෙත් ඒ වගේ. අද වන විට ජාත්‍යන්තර ලෝකය පිළිගන්න වාමාංශික නායකයන් බිහි වෙලා තියෙනවා ඒ රටවල් දෙකෙන්ම. ඒ දෙන්නම හොඳ නූතන මාක්ස්වාදී ස්ථාවරයන්ගේ සිට දැඩි ප්‍රහාරයක් දක්ෂිණාංශික රජයන්ට එල්ල කරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණ; ජනතා බලය පාරට බස්සලා ආපස්සට හරවන්න එයාලට පුළුවන් වුණා. එංගලන්තයෙත් කොන්සර්වේටිව් පක්ෂයම අර්බුදයට ගියා, ලේබර් පක්ෂයේ නායකයා එක්ක හැප්පෙන්න ගිහිල්ලා. ඒ නිසා ලෝකයේ නව වාමාංශික උදාවක් තියෙනවා.

 ලංකාවේ වැඩියෙන්ම කැබලිවෙලා ගිහින් තියෙන්නේ වාමාංශික පක්ෂ?

එහෙම වෙනවා. න්‍යායාත්මක ගැටලු තමයි එතැන තියෙන්නේ.

 නමුත් ඒ පක්ෂ දිගටම වාමාංශික ස්ථාවරවල නැහැනේ?

ඔව්, ජවිපෙ කලින් ජාතිවාදී ස්ථාවරයක ඉඳලා දැන් අපේ ස්ථාවරයට කිට්ටු ස්ථාවරයකටම ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ ස්ථාවරය තියාගෙන, රටේ විශාලම පක්ෂයක් වුණු එජාපය එක්ක වැඩ කරන්න. අපේ පක්ෂය කුඩාම පක්ෂයක් නම් රනිල් වික්‍රමසිංහ අපිත් එක්ක කථා කරන්න වැඩ කරන්න එන්නේ නැහැනේ.

 ඔබ හිතන්නේ ඒ වරප්‍රසාද එන්නේ පක්ෂයට තියෙන පිළිගැනීම නිසාද? ඔබේ පෞරුෂය නිසාද?

පක්ෂයෙන් පිට පෞරුෂයක් මට නැහැ. පක්ෂය සහ මාක්ස්වාදය පිළිබඳ තියෙන දැනුම තමයි අපේ ශක්තිය. ඒකම එජාපයටත් කියනවා; රනිල් වික්‍රමසිංහ තමයි පක්ෂය කියලා. සමහර වෙලාවට එහෙම වෙනවා. පක්ෂය තමයි නායකයා, නායකයා තමයි පක්ෂය.

 නමුත් පක්ෂවලින් කැඩිල වෙන්වීම දිගටම වෙනවා. එහෙම යන අයත් නවතින්නේ දක්ෂිණාංශික පක්ෂවල?

ඔව්, ශක්තිමත් න්‍යායාත්මක පක්ෂවලින් කැඩිලා ගිය අයට යන්න තැනක් නැති වෙනවා. දේශපාලනය කරන්න නම් එක්කෝ සල්ලිවලට වැඩ කරන පක්ෂයකට හරි යන්න වෙනවා. නැත්නම් ඒ අයට ලංකාවේ දේශපාලනයේ පැවැත්මක් නැහැ. නමුත් වාමාංශික පක්ෂවල පැවැත්ම තියෙන්නේ ශක්තිමත් න්‍යායාත්මක වැඩපිළිවෙළක් සහ නායකත්වයක් එක්කයි. ඒක මාරු කරනවා නම් ඒ විදිහට මාරු වෙන්න වෙනවා.

හොඳම උදාහරණය ජවිපෙ 88-89 දේශප්‍රේමී සහ ජාතිවාදී ස්ථාවරයක ඉඳලා අනිත් පක්ෂවල අය මරලා තමන්ගේ පක්ෂයේ අයවත් නැතිකරගෙන ලොකු භීෂණයක් ඇති කරන්න මුල් වුණු පක්ෂයක් වීම. මේ වෙද්දි ඒ පක්ෂය අනුර කුමාර දිසානායක යටතේ වෙනත් ස්ථාවරයක ඉඳන් හරියට කඩා වැටිච්ච බස් එකකට අලුත් එන්ජින් එකක් දැම්මා වගේ හදලා ගත්තා. නමුත් පසුගිය වැරදි ගැන ආපසු හැරී බැලීමක් සහ මාක්ස්වාදී විවරණයක් කරන්න බැරි වෙලා තියෙනවා. කැඩිලා ගිය වෙනත් පක්ෂවල ස්ථාවරය මම දන්නේ නැහැ. ජවිපෙ නම්; තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ කටයුතු කළ යුතුයි කියලා වැඩකරන බව පේනවා. දැන් වුණත් ජවිපෙ ආණ්ඩුවට වෙනස් ස්ථාවරයන් ගනිමින් නමුත් ආණ්ඩුවට අවශ්‍ය දේ කරමින් යනවා.

 ඔබේ ඔය ස්ථාවරයත් එක්ක ඉදිරි ජනාධිපතිවරණයකදී සහාය දෙන්නේ ජවිපෙටද?

නැහැ. මම සහාය දෙන්නේ එජාපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට.

 අපේක්ෂකයා කවුරු වුණත් සහාය දෙනවාද?

කවුරු අාවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි රනිල්ගේ නායකත්වය අයින් කරගෙන ආවොත් අපිට කල්පනා කරලා බලන්න වෙනවා.

 රනිල් වික්‍රමසිංහගේ නායකත්වය නැතුව ආවොත්?

එහෙම එකක් නැහැ. නායකයෙක් කියන්නේ හොඳ දෘෂ්ටියක් ඇති අයෙක්; න්‍යායන් සහ ප්‍රායෝගිකත්වය නිසි ලෙස පෙනෙන කෙනෙක්. දෙවැනි ලෝක යුද්ධ කාලේ එංගලන්තයේ චර්චිල් දක්ෂ නායකයෙක්. දැනුම් සම්භාරයක් තිබුණු නායකයෙක්. රනිල් කියන්නෙත් ඒ වගේ නායකයෙක්. මට නම් දෙයක් කථාකරලා, ප්‍රශ්න කරලා එයා දෙන උත්තර අනුව සෑහීමට පත් වෙන්න පුළුවන්. රනිල් කියන්නේ තමන් කරන දේ ගැන අවබෝධයක් තියෙන නායකයෙක්. නායකත්වය ලේසි නැහැ. ජේ. ආර්. වුණත් හොඳින් නායකත්වය දැරුවා. ආර්. ප්‍රේමදාසත් තමන් ඉගෙන ගත්ත පාඩම්වලින් වැඩේ කළා. අඩුපාඩු තිබුණා. ඉස්සරහට එජාපෙ නායකයෙක් හැදෙයි. දැනට රනිල්ව අයින් කරන්න තරම් නායකයෙක් මට පේන්න නැහැ.

නමුත් අභියෝගයක් කරන්න පුළුවන් නායකයෙක් තමයි සජිත්. එයත් කිහිපවරක්ම හැප්පිලා බැලුවනේ රනිල් එක්ක. දැන් එයා අවබෝධයෙන් වැඩකරගෙන යනවා.

 ඔබ 2015 වෙනසට මූලික වුණු කෙනෙක්. එදා බලාපොරොත්තු වුණු දේ වෙලා කියලා හිතනවද වසර හතරකට පසුව?

2015 වෙනසින් අපි බලාපොරොත්තු වුණේ සමාජවාදය නෙවෙයි කියන එක මුලින්ම මතක තියාගන්න ඕන. රනිල් කියන්නේ ලෙනින් නෙවෙයි. ධනවාදී රජයක් යටතේ අපි බලාපො‍ෙරාත්තු වුණු දේවල් රාශියක් ඉටු වෙලා තියෙනවා. අඩුපාඩු තියෙනවා. මතක තියා ගන්න ඕන දරුණු ජාතිවාදී පසුබිමක් මැදයි මේ වෙනස්කම් වුණෙත්. අපි ගෙනාව ජනාධිපතිම අගමැතිව අයින් කළා. ඒකට විරුද්ධවත් විශාල යුද්ධයක් කරන්න වුණා. ජාත්‍යන්තර කුමන්ත්‍රණයකටත් රටට රිංගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේ තත්ත්වයකයි මේ වගේ ප්‍රමාණයෙන් සහ ගුණයෙන් ඉහළ ජයග්‍රහණ රැසක් අත්කරගෙන තියෙන්නේ. ඒක කළේ රනිල් ඇතුළු ආණ්ඩුවේ නායකයෝ. ඒ අය ශක්තිමත් ලිබරල් නායකයෝ. මම කියන්නේ නැහැ ඒ අය ඒබ්‍රහම් ලින්කන් වගේ කියලා. නමුත් දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාගේ මාර්ගයේ යන අය ලෙස සැලකිය හැකියි.

 මේ ආණ්ඩුවෙන් කරගන්න බැරි වුණ දේවල් මොනවද?

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් කළ යුතුව තියෙනවා. ඒක පාර්ලිමේන්තුවෙන් සම්මතවෙලා තියෙනවා. උතුරු නැඟෙනහිරට ඉඩම් සහ පොලිස් බලතල දීම වගේ ඒවා. එතකොට පසුගිය දිනවල මුස්ලිම් ජනතාවට වූ දේ බලන්න. ඒ අයට දැන් නිදහසේ ජීවත් වෙන්න අවකාශ සැලසිය යුතුයි. මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය ගෙනාවේ ඒ අය නෙවෙයි. නමුත් දොස් කියන්නේ මුස්ලිම් ජනතාවට. නියම අපරාධකරුවන් හෙළිකර ගත යුතුයි.

 අන්තවාදී බලවේගවලට යටවෙලා ඇතැම් ප්‍රතිසංස්කරණ කරන්න බැරි වුණා කිව්වොත්?

රනිල් වැඩ කරන්නේ එයාගේ ක්‍රමයේ ලිබරල් අකෘතියකට. ජනාධිපති පසුගිය දිනවල අපි දැක්කේ මහින්ද රාජක්ෂට සහාය දෙන බවක්. නමුත් අගමැතිතුමා බිහිසුණු සටන්වලට යන්නේ නැතුව ඉවසීමෙන් උපක්‍රමශීලීව කල් අරගෙන එයාගේ ක්‍රමයට ඒ අභියෝගවලට මුහුණ දෙනවා. එයාගේ ක්‍රමයේ ලිබරල් චාරිකාවක් තමයි අගමැතිතුමා යන්නේ. ලිබරල් ක්‍රමයෙන් තමයි නයි, පොළොංගු අල්ලන්න හදන්නෙත්. ගැටුමක් ඇතිකර ගන්නේ නැතුව තියෙන දේත් නැතිකර ගන්නේ නැතුව තමයි කටයුතු කරන්නේ.

 ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගැන කිව්වොත්?

එයාලගෙන් එන්නේ ගෝඨානේ. මුල ඉඳලම ඒගොල්ලෝ දැම්මේ ගෝඨා පදනම. දැන් ඒක එළියට ඇවිල්ලා තියෙනවා.

 ඔහුගේ පැමිණීම ගැන ඇමෙරිකාවේ ප්‍රතිචාර මොකක් වෙයිද?

ඇමෙරිකාව මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා. මෙයාගෙනුත් වැඩ ගන්න පුළුවන්ද බලයි. විශේෂඥයො දාලා මැන බලයිනේ. මම හිතන්නේ අැමෙරිකාවෙන් අනුමැතිය ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ වුණත් මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන බාධා රනිල් වික්‍රමසිංහ අයින් කරලා දෙයි. එයා කකුල් මාට්ටු දාලා වට්ටලා දිනන්නේ නැහැ. අපි නම් වාමාංශිකයො වුණත් කියනවනේ ඕකට එහෙම එන්න දෙන්න බැහැ, අරකද මේකද කියලා. රනිල් එහෙම නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව එන්න හදන කෙනාට එන්න දෙනවා. විමල් වීරවංශට ඔක්කොම කරලා දුන්නේ. පාස්පෝට් දෙකක් තිබිලත්.

 පොදුජන පෙරමුණයි ශ්‍රීලනිපයයි එකතු වෙයිද? ශ්‍රීලනිපට මොනව වෙයිද?

එකතුවෙයි. වෙන විකල්පයක් නැහැ. එයාලා පරාජය අතවනලා ගන්නේ. ඊට පස්සේ තමයි ශ්‍රීලනිපයේ තියෙන අර්බුදය හොඳටම වැඩි වෙන්නේ.

 එජාපෙ ජනාධිපති අපේක්ෂකයා කවුද?

සජිත් තමයි දැනට ඉන්න ශක්තිමත් අපේක්ෂකයා. සජිත් ජාතික ප්‍රශ්නය ගැන ස්ථාවරයක් දරන්නේ නැහැ කියන එක තමයි ජනතාව කියන්නේ. දැන් ඒකටත් එයා බැහැලා තියෙනවා කියලා පේනවා. දෙමළ, මුස්ලිම් ජනතාව අතරටත් පසුගිය දිනවල ගියා; 13 ගැනත් ටිකක් කථා කළා. අපේක්ෂකත්වයෙදි රාජිත ගැනත් කියවෙනවා. රාජිත අපිත් එක්ක වැඩ කළ කෙනෙක්. සුළු ජනතාවගේ විශ්වාසය තියෙන කෙනෙක්. ජාතික ප්‍රශ්නය ගැන හොඳ ස්ථාවරයක ඉන්න කෙනෙක්. නමුත් එජාපෙ අය ඉල්ලන්නේ සජිත්ව.

 සුළු ජාතීන්ගේ අයිතීන් ගැන කටයුතු කරන්න පුළුවන් වෙයිද ඔහුට?

අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. සුළු ජාතීන්ගේ සහාය එජාප අපේක්ෂකයාට ඕන. ජනාධිපති වුණාට පස්සේ බලපෑම් ඇතිවෙනවානේ පොරොන්දු ඉටු කරන්න කියලා. විශේෂයෙන්ම ජාත්‍යන්තර ලෝකෙන් පවා බලපෑම් එනවා; ඒ ප්‍රශ්න විසඳන්න. දෙමළ ජනතාවගේ ප්‍රශ්න, යුද අපරාධ, මානව හිමිකම් රකින වගේ දේවල් ඉටු කරන්න කියලා ධනවාදී රටවල නායකයන් පවා කියයි.

 ජවිපෙන් ඉදිරිපත්වන අපේක්ෂකයාගේ බලපෑම කුමක්ද?

මෙතන බරපතල සටනක් තියෙන්නේ ජාතිවාදය විශ්වාස කරන පක්ෂයක් සහ පශ්චාත් නූතනවාදී ලෝකය ගැන විශ්වාස කරලා වැඩකරන රැඩිකල්වාදී පක්ෂයක් අතර. ධනපතියො දෙන්නෙක් කිව්වට නිවැරදි නැහැ. එක්කෙනෙක් ෆැසිස්ට්, අනිත් කෙනා ලිබරල්. හරියට ජර්මනියේ හිට්ලර් සහ එංගලන්තයේ චර්චිල් අතර සටනක් වගේ. ඒ සටන අස්සේ රතු කොඩියක් දාන්න ගිහින් හරියන්නේ නැහැ.

ඒ වගේ අවස්ථාවක තමයි ට්‍රොස්ට්ස්කි කිව්වේ ‘බොරු වැඩ කරන්න එපා. ෆැසිස්ට්වාදයට විරුද්ධව වැඩකිරීම අනිවාර්යයයි. ඒ නිසා සටන් පෙරමුණක් හදන්න. එහෙම නැතුව රතු කොඩියක් වැනුවට සමාජවාදය එන්නෙත් නැහැ, විනාශය නැති වෙන්නෙත් නැහැ’ කියලා.

දැනුත් එයාලා වැඩ කරන්නේ ඒ විදියට. විශ්වාසභංගයක් ගෙනැල්ලා ඇත්තටම ආණ්ඩුව ශක්තිමත් කරන දෙයක් කළා. ජනාධිපතිවරණයෙත් එහෙම තමයි වෙන්නේ. කෑකෝ ගහලා අන්තිමට එජාප අපේක්ෂකයාට ඡන්දය දෙන්න කියන්න වෙනවා.

 දෙමළ සහ මුස්ලිම් ජනතාවටත් විශ්වාස කරන්න පුළුවන් නායකයා කවුද?

මම තමයි, ඊළඟට රනිල් වික්‍රමසිංහ.

 මේ අවස්ථාවේ ලංකාවට බලපාන ජාත්‍යන්තර සාධක මොනවාද?

ධනවාදයට යටවුණාම තියෙන ප්‍රශ්නය තමයි මනුෂ්‍යත්වය රැකගෙන කොහොමද වැඩ කරන්නේ කියන එක. ඇමෙරිකාවේ බිල් සෝන්ඩර්ස්, එංගලන්තයේ ජෙරමි කෝබින් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ ඒකයි. ප්‍රංශය සහ ජර්මනියෙත් එහෙමයි. රටවල් විදියට නෙමෙයි, සංවිධාන විදියට ඉස්සරහට යන්නේ කොහොමද කියලයි බලන්නේ. ට්‍රම්ප්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විහිළුවක් වෙන්නේ ඒකයි. ඇමෙරිකන් නායකයෙක්ට කවදාවත් එහෙම වෙලා නැහැ. මොනව වුණත් හිටපු අය ක්‍රමය රැක්කා. ට්‍රම්ප්ට පාරේ යද්දි මිනිස්සු හූ කියාගෙන යනවා පිස්සෙක් කියලා. දක්ෂිණාංශයක් වුණත් දක්ෂ මිනිස්සු නායකයො වෙන්න ඕන, නැත්නම් පැවැත්මක් නැහැ.

 ඔබ කලින් වතාවක් කිව්වා ‘‘අපි කඩේ යනවා තමයි. හැබැයි සල්ලි රනිල්ගේ වුණාට බඩු ලිස්ට් එක අපේ” කියලා. දැන් ඒ බඩු ලිස්ට් එක කෝ?

ඒකේ බඩු ගොඩක් ගත්තා. මානව හිමිකම්, දුප්පත් ජනතාවට සහන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, කාන්තාවන්ට තිබුණු ප්‍රශ්න. මුලදි බඩු මිල සම්බන්ධයෙන් වුණත් සහන ලැබුණා. ප්‍රජාතන්තවාදී අවකාශය, මාධ්‍ය නිදහස වගේ දේවල්; හුඟක් බඩු ගෙනාවා. තව ටිකක් ගන්න තියෙනවා. සමහර වෙලාවට ධනවාදයේ තියෙන්න ඕන දේවල් ධනවාදී නායකයෝ දන්නේ නැහැනේ. අපි ඒක කියලා දෙන්න ඕන.

 හැම අවස්ථාවෙම එහෙමද?

එහෙමත් නැහැ. දැන් අපි ජේ. ආර්. එක්ක ගොඩක් හැප්පුණා. ‘යැංකි ඩිකී’ වගේ අන්වර්ථ නම් පටබැඳලා පාරට බැහැලා විශාල උද්ඝෝෂණ කළා. අන්තිමට අපි පළාත් සභා හැදුවේ වාමාංශිකයො එක්ක නෙවෙයි ජේ. ආර්. එක්ක. රටේ තිබුණු කුලවාදයට විශාල පහරක් ගහලා ආර්. ප්‍රේමදාසට අගමැතිකම දුන්නා; ජනාධිපතිකම දුන්නා. අපි හිතුවේ මාක්ස්වාදී අරගලයෙන් සමසමාජ ආණ්ඩුවකින් තමයි කුල පීඩනය නැති වෙන්නේ කියලා. මිනිහා ඒක කළා.

 උතුරේ ජනතාවට අවශ්‍ය දේවල් වුණේ නැහැ කියනවා. උතුරේ ජනතාවට කුමන අපේක්ෂකයාද විශ්වාස කළ හැක්කේ?

මෙහෙමයි. අපි එළියට බැස්සොත් එජාප අපේක්ෂකයත් විශ්වාස නැහැ; කවුරුත් වැඩක් නැහැ කියලා, උතුරේ ජනතාව ඒක විශ්වාස කරනවා. ඒ වගේම එජාප අපේක්ෂකයාට සහාය දෙන්න කියලා අපි කිව්වොත් ඒකත් විශ්වාස කරනවා. මොකද අපි ඉතිහාසෙ ඉඳලම කාගෙවත් විශ්වාසය කඩලා නැහැ. ප්‍රතිපත්ති අත්හැරලත් නැහැ. ඒ විශ්වාසය උතුරු නැඟෙනහිර ජනතාවට තියෙනවා. එයාලගේ සහාය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එයාලා දන්නවා මොකද වුණේ කියලා. අපි ගෙනාපු කෙනාම ජනතාවට කොකා පෙන්නුවා කියලා එයාලා දන්නවා.

 නමුත් 2005 ජනාධිපතිවරණයේදී වගේ කුමන හෝ බලපෑමකට උතුරේ ජනතාව ඡන්ද වර්ජනයකට ගියොත්?

එහෙම වෙන්නේ නැහැ. අනික මමත් කිව්වා 2005 වර්ජනය කරන්න කියලා. මම උදව් කළා ඒගොල්ලන්ට. මගේ ඡන්දපොළ නියෝජිතයෝ ලෙස තමයි එල්ටීටීඊ අය ඡන්දපොළට ගියේ. ඒ අය ඉන්න නිසා බයට තමයි මිනිස්සු ඡන්දය දාන්න ආවේ නැත්තේ.

 ඒකේ ප්‍රතිඵලය?

ඔව්, හැබැයි අපි කිව්වා ඒ අයට සමහර විට ප්‍රතිඵලය අනුව වඩා නරක දෙයක් වෙයි කියලා. නමුත් ඔවුන් අපිට බලකරලා හිටියා. එදා රැඩිකල් දෙමළ ජනතාවගේ ඉල්ලීමටයි අපි එහෙම කළේ. අනික ඒ දවස්වල රනිල් වික්‍රමසිංහත් පුළුවන්කාරකම් කථා කළා මිසක් අපි එක්ක සාකච්ඡා කළේ නැහැනේ.

මාතෘකා