ජනතාවට සේවය කරමින් මහපාරේ මියයෑමට වුණත් මම සූදානම්

 ඡායාරූපය:

ජනතාවට සේවය කරමින් මහපාරේ මියයෑමට වුණත් මම සූදානම්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස

ජනතාව වෙනුවෙන් සේවය කර මහපාරේ මියයෑමට වුවද තමා සූදානම් බවත් අතළොස්සක් සංවර්ධන ප්‍රතිලාභ භුක්ති විඳීම අවසන් කර පුරවැසියන් ලක්ෂ 220ටම ප්‍රතිලාභ ලැබෙන නව ආර්ථික ගමනක් නිර්මාණය කරන බවත් නිවාස හා සංස්කෘතික අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (12) බදුල්ල නගරයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි. අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සංවිධානය කර තිබූ මෙම ජන හමුවට අති විශාල ජනකායක් සහභාගි වී සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

“ජනතාවාදී, ජනහිතකාමී ප්‍රගතශීලී චින්තනයක් තුළින් අලුත් ආරම්භයක් ලබා දෙන්නට කටයුතු කරන මොහොතක්. අධිරාජ්‍යවාදී බලවේග සුනුවිසුනු කළ ඌව වෙල්ලස්සෙන් මෙය ආරම්භ කරන්න හැකිවීම ගැන මා සතුටු වෙනවා. මේ වැඩපිළිවෙළට අභීත නායකත්වයක් ලබා දුන් හරින් ප්‍රනාන්දු මහතාට මාගේ ස්තූතිය පුදකරනවා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ ජන නායකයන්ටද මාගේ ස්තූතිය පළ කරනවා.

“අපේ අලුත් ගමනේදී කාර්යශූරව විධිමත්ව පැය විසිහතරම දවස් 365ම අපේ මාතෘභූමියට අගය එකතු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. රට සුරකින අභිමානවත් දේශයක් නිර්මාණය කරන්න අප කටයුතු කරනවා. රාජ්‍ය පාලනය කියන කාර්ය තාවකාලික භාරයක් බව අප අවබෝධ කරගත යුතුයි. එය ජනතාවගෙන් ලැබුණු දෙයක්. මේ රටේ ඉදිරි ගමනේ ප්‍රධානම කොටස්කරුවන් වියයුත්තේ ජනතාවයි. රටක් පාලනය කරන විට හීනමානයකින් තොරව ශීඝ්‍ර ගමනක් යෑමට නම් ගජමිතුරු කල්ලියකට නොව, දක්ෂ පක්ෂ හපන්කම් තිබෙන අයට අවස්ථාව ලබාදිය යුතුයි. දක්ෂයාට සුදුසු තැන දෙන රාජ්‍ය පාලනයකින් රට ශීඝ්‍ර සංවර්ධනයකට නතු කිරීමට අප කටයුතු කරනවා. එමඟින් සෞභාග්‍යමත් රටක් අප නිර්මාණය කරනවා. සුපිරි බුද්ධිමතුන් හැකියාව, දක්ෂතාව තිබෙන කණ්ඩායම් එකතු කරගෙන පුරවැසියන් ලක්ෂ 220ට ලබාදිය යුතු ශක්තිය ලබා දෙනවා.

“අපේ අනාගත රජයකින් ඒ සඳහා කැප වෙනවා. මුළු ලෝකයම පිළිගත් න්‍යායන් මත අප රට ඉදිරියට ගෙනයනවා. කුඩා හා මධ්‍ය කර්මාන්තකරුවන් දිරිමත් කරන්න කටයුතු කරන්න ඕන. ඉලක්කගත සහන තුළින් ධන උත්පාදන ක්‍රමය ශක්තිමත් කළ යුතුයි. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියන්නේ අපේ රටේ ආර්ථිකයේ එන්ජිමයි. අපි සංවර්ධන වේගය ගැන කතා කරන විට රටක් හැටියට මේ කුඩා හා මධ්‍ය කර්මාන්ත ශක්තිමත් කරන්න ඉලක්කගත වැඩපිළිවෙළක් සකස් කරනවා. මේ නිර්මාණය කරන අලුත් ගමන තුළ තරුණ පරපුරේ සිතුම් පැතුම් රාජ්‍යකරණය සඳහා අප යොදා ගන්නවා. තරුණ පරපුර සුපුරුදු ලෙස දේශපාලන පාපන්දුවක් නොකරගත යුතුයි. තරුණ සිතුම් පැතුම්වලට ඉඩක් ලබාදිය යුතුයි. යල්පැනගිය අදහස් ඉවත් කර තරුණ පරපුරේ අදහස් මේ රටේ පාලනයට යොදා ගැනීමට අවස්ථාවක් ලබා දිය යුතුයි. රටක් හැටියට දියුණු වීමට මේ නව අදහස් ඉතාම වැදගත් වෙනවා. නවෝත්පාදනයට මුල්තැන දෙන්න ඕන. නව තාක්ෂණය මුල්කරගෙන ගමනක් යා යුතුයි.

“අපේ රටේ සිලිකන් වැලි යොදාගෙන නිෂ්පාදන කරන්න බැරි ඇයි? නව නිෂ්පාදන කර්මාන්ත රට තුළ ස්ථාපිත කරලා ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න කටයුතු කරනවා. රටක් පාලනය කරන්න ආවට ගියාට සංකල්ප නිර්මාණය කරලා හිතුමතේට සැලසුම් හදලා බැහැ. එයට නිශ්චිත ජාතික සැලසුමක් අවශ්‍යයි. සතියෙන් සතිය සොයාබලන මාසයෙන් මාසය සොයාබලන ජාතික ඉලක්ක කේන්ද්‍ර පදනම් කරගෙන හැදුණු සැලසුමක් අවශ්‍යයි. සොයාබැලීමක් අවශ්‍යයි. රටක් හැටියට ඉලක්ක සම්පූර්ණ කළාද කියා සොයාබැලිය යුතුයි. යන ගමන හරිද කියා බැලිය යුතුයි. මේ ආකාරයෙන් ගමන යන විට අනාගත ශ්‍රී ලංකාව බුද්ධිමත්, දැනුම මත කේන්ද්‍ර වුණු රටක් බවට පරිවර්තනය වෙනවා. සංවර්ධනය තුළ හැමෝම දිනන්න ඕන. කොටසක් විතරක් සහන ලබාගෙන වැඩක් නැහැ. පසුගිය දශකයේ සංඛ්‍යාලේඛන දිහා බැලූ විට මවිතයට පත්වෙනවා. ජාතික ආදායමෙන් සියයට 54ක් භුක්ති විඳින්නෙ සියයට 20ක් වන පොහොසතුන්. දුප්පත්ම සියයට 20ට හිමිවෙලා තිබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලයි. මේ ක්‍රමය අසාධාරණයි. අමානුෂීයයි. අතළොස්සක් සංවර්ධන ප්‍රතිලාභ භුක්ති විඳීම අවසන් කර පුරවැසියන් ලක්ෂ 220ටම ප්‍රතිලාභ ලැබෙන නව ආර්ථික ගමනක් අප නිර්මාණය කරනවා.”

මාතෘකා