අපේ අපේක්ෂකයා වෙනුවෙන් සීයට සීයක් කැප වෙනවා

 ඡායාරූපය:

අපේ අපේක්ෂකයා වෙනුවෙන් සීයට සීයක් කැප වෙනවා

සෞඛ්‍ය පෝෂණ හා දේශීය

වෛද්‍ය අමාත්‍ය

රාජිත සේනාරත්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදුකරන ලදි. එළැඹෙන 18 වැනිදා ජනතා විමුක්ති පෙරමුණද ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට යන බව පෙනෙයි. මුළු රටම ජනාධිපතිවරණයකට සූදානම් වන අයුරක් පෙනුණද ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව දක්නට ඇත. නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ ‘රැස’ කළ සංවාදයකි.

 

සංවාදය [රසිකා හේමමාලි]

ඡායා [සුදම් ගුණසිංහ]

■ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පත්කළා. මොකද ඒ ගැන ඔබට හිතෙන්නේ?

අපට ඉතා හොඳයි ඒ අපේක්ෂකයා. එයා එක තැනකට කොටු වෙනවා. එන මැතිවරණයට සීයට 30. 3ක ඡන්ද ප්‍රමාණයක් මේ රටේ සුළු ජාතීන්ගෙන් තියෙනවා. ඒකෙන් ඡන්ද දශම තුනවත් ඒ අපේක්ෂකයාට ලබා ගන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නෑ. ඔහුගේ මිත්‍රයන් වන නීතිඥවරුන් කියනවා මිත්‍රත්වයට ඒ නීතිඥවරයා ඡන්දය දුන්නත් එයාගේ නෝනාවත් ඡන්දය දෙන්නේ නෑ කියලා.

ඒ වගේම ඔහුට විශාල ප්‍රශ්න පත්‍රයක් තියෙනවා උත්තර දෙන්න. මේ රටේ ප්‍රවීණ මාධ්‍යවේදීන්, කර්තෘවරුන් ඝාතනය වුණේ කොහොමද? තාජුඩීන් වගේ රගර් ක්‍රීඩකයන් ඝාතනය වුණේ කොහොමද? මිග් ගනුදෙනුව සහ ලසන්ත ඝාතනය අතර තිබෙන සම්බන්ධතාව කුමක්ද? මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම්, පුද්ගලයන් අතුරුදන් කිරීම්, උතුරේ මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම් හා උතුරේ මාධ්‍ය ආයතන ගිනි තැබීම වැනි විශාල ප්‍රශ්න පත්‍රයකට ඒ අපේක්ෂකයාට උත්තර දෙන්න වෙනවා.

ඒ සියලු ප්‍රශ්න එක්ක තමයි ඔහුට මැතිවරණයට මුහුණදෙන්නට සිදුවෙන්නේ.

■ ඒ චෝදනා එල්ල කරමින් පවතින ආණ්ඩුව පත්වුණේ. නමුත් ඒ චෝදනා කිසිවක් ඔප්පු කරගන්න ආණ්ඩුවට බැරි වුණා කියන චෝදනාව ආණ්ඩුවට එල්ල වෙලා තියෙනවා?

චෝදනාවක් උසාවියක ඔප්පු වුණාද නැද්ද කියන එක නොවෙයි දේශපාලනඥයකුට වැදගත් වෙන්නේ. ඒ මියගිය අයගෙන් එක්කෙනෙක්වත් මියගියේ හදිසි අනතුරකින් නෙවෙයි. මේ රටේ මොළයක්, බුද්ධියක් තියෙන හැම කෙනකුම දන්නවා ඔවුන්ව ඝාතනය කලා කියලා.

■ නමුත් ඒවා ඔප්පු වුණේ නෑනේ?

කවුද ඒ අය ඝාතනය කළේ? ඔය විත්තිකූඩුවේ ඉන්න හමුදාවේ පුද්ගලයන්ද? ඒ අයට ඒ පුද්ගලයන්ව ඝාතනය කිරීමට තිබුණු අවශ්‍යතාව මොකක්ද? චෝදනා ඇති මේ පහළ මට්ටමේ හමුදා නිලධාරීන්ට එරෙහිව ඝාතනය වූ පුද්ගලයන් කළේ මොනවාද? එහෙම නම් ඔවුන්ට යම් තැනකින් අණ ලැබුණා. ඒවා හෙළිදරවු වෙලා නෑ තවම. මතක තියාගන්න පිලිපීනයේ මාර්කෝස්ගේ, ඉන්දුනීසියාවේ සුහර්තෝලා කරපු ඝාතන සහ හොරකම් පිළිබඳ තවමත් විභාග වෙනවා. සමහර ඒවා තවමත් අවසන් නිගමනයකට ඇවිත් නෑ. නමුත් මුළු ලෝකයම දන්නවා මාර්කෝස්, සුහර්තෝ මිනිස්සු ඝාතනය කළා, හොරකම් කළා කියලා. ඒ නිසා රටේ මිනිස්සු නැඟී සිටියේ. ඒ වගේම තමයි ගිය ආණ්ඩුවට විරුද්ධව නැඟී සිටින්නට ප්‍රධාන හේතුවක් වුණේ ගෝඨාභයගේ හැසිරීම.

■ ඒ චෝදනා ජනතාව අමතක කරලා වගේ දෙයක් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පේන්න තිබුණා.

පළාත් පාලන ඡන්දය වෙලාවේ අපට තිබුණු ලොකුම අවාසිය තමයි අපේ ආණ්ඩුව තුළම සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිකම් ආදී තනතුරු දරමින්ම අගමැතිතුමාට සහ ආණ්ඩුවට විරුද්ධව වහසි බස් දෙඩීම, චෝදනා එල්ල කිරීම. එතකොට මේ රටේ මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙනවා මේ කියන කතා ඇත්ත කියලා; හේතුව ආණ්ඩුව ඇතුළෙන්මයි ඒ කතා කීවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දවසකට ආණ්ඩුවකට තමන්ගේ ආණ්ඩුව ඇතුළෙන්ම මේ වගේ චෝදනා ආවේ නෑ. චෝදනා හැමදාම ආවේ විපක්ෂයෙන්. සමඟිය රැක ගැනීම සඳහා ඔවුන් ඒ චෝදනා කරද්දි අපි ඔවුන්ට විරුද්ධව පහර ගැසීමක් කළේ නෑ. ඒ ගැටීමට නොයෑම තුළ ජනතාව ඒ වෙලාවේ යම් සත්‍යක් තියෙනවා කියලා හිතුවා.

ඔවුන්ගේ න්‍යාය වුණේ ඌරු මී න්‍යාය. ගේ ඇතුළෙම ඉඳගෙන ගේ ඇතුළෙම උළුවස්ස හාරනවා; ගේ ඇතුළෙම බිත්තිය හාරනවා. ඒ මඟින් ඒ නිවසේ ශක්තිය දුර්වල කරනවා. ඒක තමයි මෙතන වුණේ. යූඇන්පීයට පහර දීම තුළින් ඔහු බලාපොරොත්තු වුණේ ඔහුට ඡන්ද ඒවි කියලා. නමුත් ඒ ඔක්කොම ඡන්ද ගියේ පොහොට්ටුවට. ඒක තමයි යථාර්ථය.

වාසනාවට ඒ පිරිස අද ආණ්ඩුවෙන් එළියට ගිහින් හරි ඉන්න පුළුවන් කට්ටිය ඇතුළේ ඉඳගෙන එක මතයක ඉඳගෙන අපි කතා කරනවා.

■ ආණ්ඩු පක්ෂය සමඟියෙන් කටයුතු කරනවා කියලද ඔබ කියන්නේ?

ඔව්. විවිධ ප්‍රශ්න තියෙනවා. පවුල්වලත් ඔක්කොම එක මතකය ඉන්නේ නෑනේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා; නමුත් ඒවා සතුරු ප්‍රතිවිරෝධතා නෙවෙයි. මිතුරු ප්‍රතිවිරෝධතා.

■ නමුත් ඔබ පාර්ශ්වයෙන් තවම අපේක්ෂකයෙක් නම් කරගන්නට බැරි වෙලා තියෙනවා?

අපට පවුලේ අපේක්ෂකයෝ නෑනේ. රාජපක්ෂලාට තිබුණේ පවුලේ අය වාඩි වෙලා ඒ පවුලින් කොයි කෙනාද අපේක්ෂකයා කරන්නේ කියන ප්‍රශ්නය. ඒක තමයි ඒ පක්ෂේ මුල ඉඳලම ඉතිහාසය. ඉස්සර බණ්ඩාරනායකලාගේ පවුලේ අය හොරගොල්ලේදී එකට වාඩි වෙලා ඒ පවුලේ කාටද අපේක්ෂකත්වය දෙන්නේ කියලා කතා කරගත්තා. බණ්ඩාරනායක, ඉන්පසුව බණ්ඩාරනායක මැතිනිය, ඉන්පසුව චන්ද්‍රිකා ඉන්පසුව අනුර ආදි වශයෙන් පවුල කේන්ද්‍ර වුණා. ඒ පවුල ඉවත් වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස ටිකක් හුස්මක් ගත්තා, දැන් හැකියාවක් තියෙන තවත් කෙනකුට අවස්ථාවක් තියෙනවා කියලා. නෑ; ඉන්පස්සේ ඊට වඩා භයානක පවුලක් ආවා. රාජපක්ෂ පවුලේ ඉන්න ප්‍රමාණයට බණ්ඩාරනායක පවුලට වඩා වැඩියි. පහුගිය කාලේම කවුද අපේක්ෂකයන් විදිහට කතා කළේ? රාජපක්ෂලා ඇරෙන්න පොහොට්ටුවේ වෙන එක්කෙනකුගේ නමක් එතන කියැවුණාද? කියවුණේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. ඔය ඔක්කොම, නාමල්ටත් පස්සේ තමයි අනිත් අය හිටගන්නේ. මහාචාර්ය ජී. එල්. පීරිස් හිට ගන්නෙත් නාමල්ගෙන් පස්සේ. අපේ පක්ෂේ එහෙම නෙවෙයි; අපේ පක්ෂෙ ප්‍රජාතන්ත්‍රවාදියි.

අපේ පක්ෂෙන් තමයි මේ රටේ කම්කරු පන්තියෙන් ඉපදුණු පුද්ගලයෙක් පළමුවෙනි වරට ජනාධිපති මන්දිරයට යන්නේ. ඒ රණසිංහ ප්‍රේමදාස. මේ පක්ෂයෙන් තමයි වෙලේ, කමතේ වැඩකරපු ගොවියෙක් වුණු ඩී.බී. විජේතුංග ජනාධිපති වුණේ. මේ පක්ෂය මුල් වෙමින් හතරවරක් අගමැතිකම් දරපු මේ රටේ හොඳ නීතිඥයෙක් වූ රනිල් වික්‍රමසිංහ පැත්තකට වෙමින් තමයි පොළොන්නරුවේ ගොවියෙක්ගේ පුතෙක්ට ජනාධිපති මන්දිරය විවෘත කරන්නේ. ඒකයි මේ පක්ෂයයි ඒ පක්ෂයයි අතර තියෙන වෙනස. අපේ පක්ෂයෙන් වික්‍රමසිංහගේ පවුලේ කවුරුත් එන්නේ නෑ.

අන්තිම වැඩවසම් පක්ෂයකට තමයි ඒ මිනිස්සු ගැත්තෝ, බයියෝ වෙලා ඒ දේශපාලනේ කරන්නේ.

■ ඔබ කියන ඔය අදහස ආණ්ඩුව විසින් ජනතාවට පැහැදිලි කරා කියලා හිතුවද?

පැහැදිලිවම ඒ අවබෝධය ලබා දෙනවා. මතුගමින් දින කිහිපයකට පෙර එය ආරම්භ කරන්න පළමු වැනි වෙඩි මුරය තිබ්බා.

■ ඔබ බයියෝ කියලා හැඳින්වූයේ ජනතාවද නැත්තම් ඒ දේශපාලන නායකයෝද?

එතන ඉන්නේ බයියෝ. ඒ අය බයියෝ කියලා හිතාගෙන තමයි ඒ තීන්දු ගන්නේ. ඒ තීන්දු ගන්න බය නැත්තෙත් ඒ වටේ ඉන්නේ බයියෝ නිසා. ජනතාව නෙවෙයි, වටේ ඉන්න බයියෝ.

■ ජයග්‍රහණය කරන්න නම් ඔය කියන බයියන්ගෙන් ඡන්ද ඔබ පාර්ශ්වයට ගන්න වෙනවා නේද?

වටේ ඉන්න බයියන්ගෙන් නෙවෙයි ජනතාවගෙනුයි අපට ඡන්ද ඕනෑ. ආචාර්ය, මහාචාර්ය, නීතිඥ ආදිය කීවට ඔවුන්ගේ පෙළපත බයි.

■ මේ ආණ්ඩුව පත්කර ගන්නා අවස්ථාවේ ඇසුණු සටන් පාඨ දැන් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් ඇසෙනවා නේද?

ඒ අයට යහපාලන සටන් පාඨ කවදාවත් ගන්න බෑ. ඒ අයට කවදාවත් මාධ්‍ය නිදහස ගැන කතා කරන්න බෑ. මිනිසුන්ගේ නිදහස අපි දීලා ඉවරයි. ඒ කාලේ කොච්චර මාධ්‍යවේදීන් මැරුණද? අද එක මාධ්‍යවේදියකුගෙවත් ඇඟේ හැප්පිලා තියෙනවාද? නෑනේ. අද තියෙන්නේ මාධ්‍යවේදීන් අපේ ඇඟේ හැප්පෙන එකයි. මාධ්‍ය ආයතන රට ගෙන යන්න හදනවා. ඒ තරමටම ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා.

අද උතුරේ එක දරුවෙක්වත් වෑන්වලින් උස්සගෙන ගියේ නෑනේ. උතුරේ මිනිස්සු අද පෙළපාළි යනවා; උපවාස කරනවා; සත්‍යග්‍රහ කරනවා; අපට විරුද්ධව සටන් පාඨ ගේනවා. දකුණේ මිනිසුන්ට තියෙන අයිතිය උතුරේ මිනිස්සුන්ටත් ලැබුණා නේද කියලා අපට තියෙන්නේ ආස්වාදයක්. මේ හැම මනුස්සයකුටම අද නිදහස ලැබිලා තියෙනවා; ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලා තියෙනවා; ඒ මිනිස්සුන්ට තමන්ගේ අයිතිය වෙනුවෙන් කතා කිරීමේ අයිතිය ලැබිලා තියෙනවා; යහපාලනයෙන් මූලික අරමුණු වුණු ඒවා අද ඉෂ්ට වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවය, පොලිස් සේවය, අධිකරණය, මාධ්‍ය, මැතිවරණ ආදි සියල්ල සඳහා මැදිහත්වීමට දේශපාලනඥයාට තිබුණු බලපරාක්‍රමය ස්වාධීන ආයතනවලට බාරදීලා තියෙනවා. ඒ වගේ ඒවා ගැන රාජපක්ෂලා හැසිරුණු විදිහට ඔවුන්ට හිතන්නවත් බෑ. ඒ සඳහා ඔවුන් පුනරුත්පත්තියකට පත්වෙලා තියෙන්න ඕනෑ. මැතිවරණ ප්‍රතිඵලවලින් මිනිහෙක් හිතන ක්‍රමය එක මොහොතකින් වෙනස් වෙන්නේ නෑ. තාවකාලික සටන් පාඨයක් ලෙස ඔවුන් ඒවා පාවිච්චි කරයි. ඒත් ඒ ගතිගුණ වෙනස් කරන්න බෑ.

ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනි වැඩසටහනකට සහභාගී වුණු අවස්ථාවකදී ලසන්ත ගැන නිවේදිකාව ඇසුවාම, ඔහු who is Lasantha? කියලා අසන විට ඔහුගේ මුළු ඇඟම වෙවුලන්න පටන් ගත්තේ. ඒ කියන්නේ එහෙම වෙනසක් වෙලා නෑ කියන එකයි.

■ පසුගිය ජනාධිපතිවරණයේදී බෙදීම ශිෂ්ටත්වය සහ අශිෂ්ටත්වය ලෙස නම් වුණා. මේ පාර කුමක් වෙයිද?

ශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කිරීම. ගිය සැරේ තිබුණු සටන් පාඨ මේ සැරේට අවලංගු වෙන්නේ නෑ. ඒ සඳහා තමයි ජනතාව මහරජාණන් කෙනෙක්ව පරදලා ගමෙන් ආපු සාමාන්‍ය මනුස්සයකුට බලය දුන්නේ. ජනතාවට කුතුහලයක් තියෙනවා අපි ඒ ශිෂ්ටත්වය කොතරම් දුරට රකිනවාද කියලා. ඒ අපේම සමහර අයගේ හැසිරීම නිසා. සීයට සීයක නිවැරදි ආණ්ඩු ලෝකෙ කොහෙවත් බිහිවෙලා නෑ. අපේ ආණ්ඩුවෙත් ප්‍රශ්න නෑ කියලා අපි කියන්නේ නෑ. නමුත් සමස්තයක් විදිහට ගත්තහම අපි කළ මෙහෙය කිසිදු ආණ්ඩුවක් ඉටු කරලා නෑ.

■ ජනතාව එය පිළ‍ෙගන්නවා කියලා හිතනවාද?

පිළිගන්න වෙනවානේ. වෛද්‍ය පහසුකම් සඳහා ලක්ෂ 15ක් නැති වුණු පිළිකා රෝගියකුට අද ඒ මුදල ලැබෙනවා නම් එය පිළිගන්න වෙනවානේ. හෘද රෝගයක් හැදුණු කෙනකුට ස්ට්‍රෙන්ට් එක නොමිලේ ලැබෙනවා නම් ජනතාවට පිළිගන්න වෙනවානේ. ඇස් පෙනීම නැතුව යන මිනිසුන්ට අක්ෂි කාච දෙනකොට මේවා ලැබුණේ මේ ආණ්ඩුවෙන් කියලා පිළිගන්නේ නැද්ද? රටේ සංවර්ධනයට හා සුබසාධනයට කොයිතරම් දේ අප කළාද? මහපොළ ශිෂ්‍යත්වය රු. 2500 සිට රු. 5000 දක්වා වැඩි කළේ අපි. ඒ ශිෂ්‍යන්ට ඡන්දේ දාන්න යනකොට හිතෙන්නේ නැද්ද අපි අද හොඳට ඉන්නේ මේ ආණ්ඩුව නිසා නේද කියලා. සමෘද්ධිලාභියා තේරෙන්නේ නැද්ද ඔවුන්ගේ සමෘද්ධිය දෙගුණ කළා කියලා.

■ පොහොට්ටුවේ අපේක්ෂකයා පත්කරන්න පවුලේ ගැටුම් තියෙන බව ආණ්ඩුව කීවා. නමුත් දැන් ආණ්ඩු පක්ෂය තමයි ප්‍රමාද අපේක්ෂකයා සඳහා?

අපි සංවාද, වාද විවාද කරලා තමයි අපේක්ෂකයකු පත් කරන්නේ. ඔහුගේ ජයග්‍රහණය සඳහා සියලු දෙනා කැපවෙනවා.

■ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් නිසා ආණ්ඩුවට තම අපේක්ෂකයකු පත් කරන්න ප්‍රමාද වෙලා කියන කතාව බොරුවක් කියලද ඔබ කියන්නේ?

අපේ පක්ෂයේ අපේක්ෂකයන් ගණනාවක් ඉන්නවා. එක පවුලක කට්ටියක් තීරණ ගන්නේ පක්ෂ කාර්යාලයේ නෙවෙයි. එයාලා තීන්දු ගන්නේ කාල්ටන් එකේ. වටේ ඉන්න කවුරුත් දන්නේ නෑ ඔවුන් ගන්නේ මොන තීරණයද කියලා. ඒ අය අතරේ ප්‍රශ්න තිබුණත් ඒ අය බෙදුණොත් රාජපක්ෂ පවුල ඉවරයි කියලා ඔවුන් දන්නවා. ඒක නිසා ඔවුන් ඒ ප්‍රශ්න අමතක කරනවා. මහින්දට ෂුවර් නෑ ගෝඨාභයව. ඉතින් එතකොට අපට කොහොමද ඔහුව ෂුවර් වෙන්නේ?

■ ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂ විශ්වාස නෑ කියලද?

පැහැදිලිවම නෑ. ඒ කාලෙත් ගෝඨාභයට බයයි. ඒ කාලෙත් ගෝඨාභය මහත්තයා එනවා කිව්වහම සාමය වෙනුවෙන් කතා කරපු ඔක්කොම මිනිස්සුන්ව කාමරේ හංගනවා. ජනාධිපති වුණාම කොච්චර බය වෙයිද?

■ ආණ්ඩු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනෙක් ඉන්න බව ඇහෙනවා. ජනතාවගෙන් බහුතරයක් කැමති අපේක්ෂකයෙක් තෝරා ගන්න බැරිද ඉතින්?

අපේ ජනතා බලය 2015 ජනවාරි 08 වැනිදා පෙන්නුවා. ඒ පෙන්වනකම් කවුරුත් ඒක දැක්කේ නෑ. ඉන්පස්සේ 2018 ඔක්තෝබර් 26 වැනිදා මේ ආණ්ඩුව පෙරලන්න හදනකොට ජනතා බලය නැඟී සිටියා. එක ජනමාධ්‍යක්වත් නැතුව සමාජ මාධ්‍ය හරහා තරුණ පරපුර ඒ විදිහට නැඟී සිටියේ. ගෝඨාභය එනවා කීවාට පසුව සමාජ මාධ්‍ය ඊට විරුද්ධව නැඟී ඉන්නවා. අනතුරක් එනවා ඒ වෙනුවෙන් නැඟී සිටිය යුතුයි කියලා අද ප්‍රබුද්ධ තරුණ පරම්පරාව නැඟිටලා තියෙනවා සියලු දේ අමතක කරලා. එතැනදී ඔවුන් අපේ අඩුපාඩු සියල්ල අමතක කරනවා ප්‍රධාන හතුරාට විරුද්ධව.

■ ප්‍රබල සතුරකුට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ දුර්වලකම් අමතක කරයි කියන විශ්වාසයෙන් ආණ්ඩුව හැසුරුණේ එතකොට?

මේ රටේ ජනතාව ඉතාමත් බුද්ධිමත්. ජර්මනියේ ජනතාව වගේ රැවටුණේ නෑ. ජර්මනියේ හිට්ලර් කෙනෙක් බිහිවුණේ ඒකනේ. අපේ රටේ ඒකාධිපති ස්වරූපයට ජනතාව කැමති නෑ. ඒකාධිපති නායකයන් මේ රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළා. බණ්ඩාරනායක මැතිනිය ඒකාධිපති ස්වරූපයට එනකොට ඇය 1977 වසරේදී පරාජය කළා.

■ ඔබ ඉන්න නිල නිවසින් අද ජනාධිපති අපේක්ෂකයෙක් බිහිවෙලා. ඔබටත් එවැනි බලාපොරොත්තුවක් තියෙවාද?

අවසාන කඩුල්ලත් පනින්න තමයි දේශපාලනයට එන්නේ. ඒවාට කාලයක් තියෙනවා. ඉවසීමක් තියෙන්න ඕනෑ. ජේ. ආර්. ජයවර්ධන 1947 මුදල් ඇමති වෙලා 1977 වනතුරු සිටියා ජනාධිපති වෙන්න. අපට හදිසි නෑ. මිනිස්සු ඉල්ලන වෙලාවට අපි එන්නම්.

මාතෘකා