කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියකු මිස රාජාලියකු වන්නේ නැහැ

 ඡායාරූපය:

කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියකු මිස රාජාලියකු වන්නේ නැහැ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණියද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බවත් කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියකු මිස රාජාලියකු බවට පත්නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (11) කුරුණෑගල නගර සභා ශාලාවේ පැවති වගා හානිවූවන් සඳහා වන්දි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“දස වසරක් බලයේ සිටි රාජපක්‍ෂ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වුණා. වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර කිහිපය තුළ විනාශ වී තිබූ රට විවිධ අභියෝග මධ්‍යයේ යළි ගොඩගෙන සංවර්ධනය කරමින් සියලු රටවැසියන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනඟාදීමට පියවර ගත්තා. එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනගොස් දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවාද එසේත් නැතිනම් නැවත විනාශකාරී යුගයකට ඇද දමනවාද කියා තීරණය කළ යුතු කාලය එළැඹ තිබෙනවා. අද දින මම මෙම ස්ථානයට පැමිණීමට පෙර දිවංගත සාලින්ද දිසානායක මහතාගේ දේහයට ගෞරව දැක්වීමට එතුමාගේ නිවසට ගොඩවුණා. සවස් කාලය වන විට මේ ප්‍රදේශයේ යම් යම් පිරිස් කොළඹ පැවැත්වෙන සම්මේලනයට සහභාගී වෙනවා. නම වෙනස් කරමින් තමයි එම සම්මේලනය පවත්වන්නේ. එලෙස නම වෙනස් කිරීම පිළිබඳව මා සුබ ප්‍රාර්ථනා කරනවා.

මහින්ද රාජපක්‍ෂ පාලනයට වසර 10ක් රට සංවර්ධනය කිරීමට නොහැකි වුණා. එසේ නම් නම වෙනස් කරමින් බලයට පැමිණ ඔවුන්ට රට සංවර්ධනය කළ හැකිද කියා මා විමසා සිටිනවා. යුද්ධය අවසන් වුණාට පසු රටේ සංහිඳියාව ඇතිවුණේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී තිබුණා. නමුත් සියලු අභියෝග මධ්‍යයේ වසර 05ක් තුළ අපි සංහිඳියාව ඇති කරමින් ඉදිරියට පැමිණියා. රාජපක්‍ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය සියයට 30 සිට සියයට 18 දක්වා පහත වැටුණා. ජී.එස්.පී. ප්ලස් සහනය නැති වුණා. රට ලෝකය හමුවේ හුදෙකලා වුණා. නමුත් වසර 05ක් තුළ මේ සියල්ල යළි ගොඩනඟමින් රට සංවර්ධනය කරා ගෙනයෑමට අපට හැකි වුණා.

"මීට පෙර වගා හානිවූවන් සඳහා වන්දි මුදල් ලෙස අක්කරයකට ගෙවනු ලැබූයේ රුපියල් 10,000ක් පමණයි. එම මුදල් ප්‍රමාණවත් වන්නේ නැහැ. වගා හානිවූවන් සඳහා ගෙවනු ලබන එම වන්දි මුදල වැඩි කරන ලෙස අප විපක්‍ෂයේ සිටියදී අවස්ථා කිහිපයකදීම එවකට පැවැති ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් එවකට පැවැති රාජපක්‍ෂ ආණ්ඩුව කියා සිටියේ එම වන්දි මුදල වැඩි කළ නොහැකි බවයි. අවසානය වන විට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවට වන්දි ගෙවීමට හෝ වෙනත් කිසිදු කටයුත්තක් සඳහා හෝ මුදල් තිබුණේ නැහැ. 2014 වසරේ නොවැම්බර් මාසයේ පැවැති ගංවතුර තත්ත්වය ඔබට මතක ඇති. එම ගංවතුරෙන් හානිවූවන් සඳහා වන්දි ගෙවීමටවත් ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. අනතුරුව 2015 වසරේදී අප ආණ්ඩු බලය ලබාගත් පසු එම ගංවතුරින් හානිවූවන් සඳහා වන්දි ගෙවීමට කටයුතු කළා.

"රාජපක්‍ෂ ආණ්ඩුවට එම වන්දි මුදල්වත් ගෙවා ගැනීමට නොහැකි වුණේ ඇයි? ඔවුන්ට ආර්ථිකය හසුරුවාගෙන ඉදිරියට යෑමට නොහැකි වුණා. එම නිසා 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය 2014 වසරේදී පැවැත්වීමට ඔවුන්ට සිදුවුණා. සම්පූර්ණ මුදල් හිඟයක් ඇතිවීමට පෙර මැතිවරණය පැවැත්වීමට ඔවුන්ට අවශ්‍ය වුණා. එම මැතිවරණය ජයග්‍රහණය කොට ආණ්ඩුව බාර ගැනීමෙන් පසු පළමුව ආර්ථිකය ගොඩනැඟිය යුතු බව මම තීරණය කළා. එම ක්‍රියාමාර්ගය කෙතරම් දුෂ්කර වුවත් මඟදී පැනයෑමට හෝ හදිසි මැතිවරණවලට යෑමට හෝ කටයුතු නොකොට කෙසේ හෝ ආර්ථිකය ගොඩනැඟීමට කටයුතු කරන බව මා කියා සිටියා. එහිදී පළමු වසර දෙක ඉතාමත් අසීරු වසර දෙකක් බව මම හොඳින් දැනසිටියා.

"වසර 10ක් ආර්ථිකය බාරගෙන සිටියත් ආර්ථිකය දියුණු කිරීමට රාජපක්‍ෂ ආණ්ඩුවට නොහැකි වුණා. අවම වශයෙන් යුද්ධය අවසන් වී ගතවූ වසර 5ක කාලය තුළදීවත් ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. අවසානයේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකිව ඒ කටයුතු අතහැර හදිසි මැතිවරණයකට ගොස් ආණ්ඩු බලයත් අතහැර යෑමට රාජපක්‍ෂ ආණ්ඩුවට සිදුවුණා. වසර 10ක කාලය තුළ රටේ අපනයනය ඉහළ නැංවීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුවට නැවත රටේ අපනයනය ඉහළ නැංවීමට හැකියාවක් ලැබෙනවාද? ඔවුන්ගේ පාලන කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. එවකට සිටි අග්‍රවිනිශ්චයකාරතුමිය ඇදගෙන ගොස් පැය 24කින් ධුරයෙන් පහකළා. ආණ්ඩුවට පක්‍ෂපාතී නොවන තීන්දු තීරණ ලබා දුන්නැයි කියා ඇතැම් අධිකරණ විනිශ්චයකාරවරුන් ඉවත් කළා. අපි වසර 5ක් තුළ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ඇති කළා.

"වසර 10කදී සිදුකළ නොහැකි වූ දේ මේ අය නැවත වසර 5කින් කරන්න යනවාද නැතිනම් අපි වසර 5කදී රට වෙනුවෙන් සිදුකළ දේ සම්පූර්ණයෙන්ම නැති කරන්න යනවාදැයි මා ප්‍රශ්න කරනවා. අග්‍රාමාත්‍යවරයා ලෙස මාව මාධ්‍ය ඔස්සේ කෙතරම් දෝෂාරෝපණය කිරීමට නිදහස තිබුණත් එදා ඔවුන්ට එරෙහිව කිසිවක් කියන්න අවස්ථාව තිබුණේ නැහැ. එදා මාධ්‍යට සිදුවතිබුණේ ඔවුන්ගේ ගුණ ගායනා කර කර සිටීමටයි. එදා මාධ්‍යට නොතිබූ නිදහස අපි වසර 5ක් තුළ ලබාදී තිබෙනවා.

වසර 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරන්න ඒ පාලකයන්ට හැකි වුණේ නැහැ. එදා මාධ්‍ය නිදහස තිබුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළේ නැහැ. සුදු වෑන් සංස්කෘතියක් රටේ ඇති වී තිබුණා. හැම අතින්ම රට පිරිහීමකට ලක්ව තිබුණා. සෞඛ්‍ය, අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළේ නැහැ. නැවත මෙවැනි විනාශකාරී යුගයකට ගමන් කරනවාද එසේත් නැතිනම් ගතවූ වසර 05 තුළ සිදුකරගෙන ආ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනගොස් රට දියුණු කර අනාගතය ගොඩනඟා ගන්නවාද කියා ජනතාව තීරණය කළ යුතුයි. වසර 10කින් සංවර්ධනය කිරීමට නොහැකි වූ රට නැවත සංවර්ධනය කළ හැකිද? ඇඳුම් හා මුහුණ මාරු කිරීමෙන් වෙනසක් සිදුවන්නේ නැහැ. කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි. මොනවා කළත් කොබෙයියා රාජාලියෙක් වෙන්නේ නැති බව ජනතාව තෙරුම් ගත යුතුයි.”


ජනප්‍රිය ලිපි