ජනාධිපතිවරණයේ සැඟවුණු අමුත්තෝ

 ඡායාරූපය:

ජනාධිපතිවරණයේ සැඟවුණු අමුත්තෝ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ පොළොන්නරුවේ ගතකළ ආකාරයටම මේ සති අන්තයේත් සිටියේ පොළොන්නරුවේය. පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව නිර්මාණය කළ නව පාලම ඉතා කෙටි කාලයක් ඇතුළත අවසන් කළ ඉංජිනේරුවන්ට හා අනෙකුත් පුද්ගලයන්ට ජනාධිපතිවරයා සම්මාන ප්‍රදානය කළේ ඒ වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකදීය. ඉන්පසුව මෛත්‍රී ගියේ තමන්ගේ ගම් පළාත වන පොළොන්නරුව ලක්ෂ උයනටය. දෙවැනි ලෝක යුද්ධ කාලයේදී සටන් කළ රණවිරුවන් සිහිපත් කරමින් පොළොන්නරුව ලක්ෂ උයනේ ඉදිකළ සේවා මුක්ත භට රණවිරු ස්මාරකය විවෘත කළ ජනාධිපතිවරයා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව දෙවැනි ලෝක යුද්ධයට සහභාගී වී ජීවතුන් අතර සිටින රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ ඥාතීන් විසින් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි. මියගිය රණවිරුවන්ට පිං පැමිණවීමේ ආගමික වතාවත් සඳහාද ජනාධිපතිවරයා එක්විය.

ජනාධිපතිට හිටපු ජනාධිපති හමුවෙයි

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරයේ “යතිවර සමරු පහය” ගුණානුස්මරණ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මේ සතියේදී පැවැත්විණි. බෙල්ලන්විල විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නායක හිමිපාණන් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් මෙම නව මන්දිරය ඉදිකර තිබේ. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසුන හෙබවූ අතර ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙහි පැමිණ සිටියහ.

ජනාධිපතිවරයා මේ උත්සවයට යන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එහි පැමිණ සිටියේය. හිටපු ජනාධිපතිවරයා සමඟ වර්තමාන ජනාධිපතිවරයා සුහදව කතාබස් කළේ පැවැති දේශපාලන ආරවුල් අමතක කරමින්ය.

ජනාධිපති අපේක්ෂක ‌ෙවන්න නිමල් සිරිපාල සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පිළිබඳ සාකච්ඡාව පසුගිය සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය, තිලංග සුමතිපාල, එස්.බී. දිසානායක, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

“අපි පක්ෂයේ සංවත්සරය ඉතා හොඳින්ම කරන්න ඕනේ.... ඒ වගේම ආසන මට්ටමින් විශාල පිරිසක් සහභාගී කරවන්නට අවශ්‍යයි. ඒ වගේම සංවත්සරයට හොඳ ප්‍රචාරක වැඩසටහනක් නිර්මාණය කරන්නත් ඕන. ඒ වැඩපිළිවෙළ අපි පක්ෂ ප්‍රචාරක ලේකම් සියඹලාපිටිය මන්ත්‍රීතුමාට බාරදෙමු.” දයාසිරි යෝජනා කළේය

“ඒ විතරක් නෙවෙයි අපි සෙනඟ ගෙන්වන්න සංවිධායකවරුන් මනාව සම්බන්ධීකරණය කරලා වැඩපිළිවෙළක් සකස් කරමු. ඒ සකස් කරන වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගෙන් වෙලාවක් අරගෙන ඉදිරිපත් කරමු.

ඒ වගේම මේ වැඩේට අරමුදල් හොයන්න අපේ පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. ඇමතිතුමාට වගකීම ලබාදෙන්න” දයාසිරි කියා සිටියේය.

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේ වෙනසක පෙරනිමිති මේ සමුළුවත් සමඟ ආරම්භ වන බවයි.

මේ අතර මුහුණුපොතේ සටහන්ව තිබූ ප්‍රවෘත්තියක් නිමල් මන්ත්‍රීවරයාට පෙන්නුවේ මාධ්‍ය අධ්‍යක්ෂ පැතුම් පැස්කුවල්ය. එහි සටහන් වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා කරන්න ජ්‍යේෂ්ඨයන් පිරිසක් සූදානම් වන බවයි. ඒ දුටු නිමල් සිරිපාල මහතා ප්‍රකාශ කළේ තමන්ට ඊට සුදුසුකම් තිබෙන බවයි.

මෛත්‍රී - මහින්ද රහස් හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිකර ගැනීමට තිබෙන ගිවිසුම අවසන් අදියරකට පැමිණ තිබුණත් අවසන් තීරණයක් ගැනීමට පාර්ශ්ව දෙකටම හැකියාවක් ලැබී නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුව සමඟ එක්වන මන්ත්‍රීවරුන් ඒ සඳහා කැමැත්තක් දක්වා තිබුණත් පොහොට්ටුව ලකුණින් තරග කිරීමට ඔවුන්ගේ කැමැත්ත තිබුණේ නැත. මේ නිසා හිටපු ජනාධිපතිවරයා හා වර්තමාන ජනාධිපතිවරයාට මේ ගැන අවසන් තීරණයක් ගැනීමට සිදුව තිබුණි.

මේ ගැන සාකච්ඡා කිරීමට මහින්ද කෙළින්ම ගියේ පැජට් පාරේ පිහිටි ජනාධිපතිගේ නිල නිවසටය. මහින්ද එහි යෑමට ප්‍රථම ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි සහ සන්ධානයේ මහලේකම් අමරවීර යන දෙදෙනා සමඟ සාකච්ඡා කර පූර්ව සූදානමකට පැමිණ සිටියේය. මහින්ද එහි යන විට පක්ෂයේ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරමින් සිටි ජනාධිපතිවරයා සිටියේ නිවසේ ඉහළ මාලයේය. ඉහළ මාලයේ සිටි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා පමිණෙන විටම පහළට පැමිණ කාමරයට ගොස් කතා කළේය.

ඒ අනුව පැවැති සාකච්ඡාව උපරිම සුහදත්වයෙන් යුතුව පැයකට ආසන්න කාලයක් ගලා ගියේය. සාකච්ඡාවට සහභාගී වූයේ ඔවුන් දෙදෙනා පමණකි.

පොහොට්ටු සමුළුවට අත නෑ

මේ අතර පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාව පිළිබඳව මන්ත්‍රීවරුන් කරුණු විමසන්නට විය. එය සුබදායක සාකච්ඡාවක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මේ සම්බන්ධ විවිධ තර්ක මතුවිය. පොහොට්ටුවේ සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවන්නටද මෙහිදී තීරණය විය.

ඊ කැන්වසින් නියෝජිතයා බැසිල්ටත් කොළේ වසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊ කැන්වසින් වැඩසටහන පසුගිය 03 සහ 04 දිනවල රට පුරා පැවැත්වුණේ බැසිල්ගේ මඟපෙන්වීම යටතේය. සතියකට පමණ පෙරාතුව ඊ කැන්වසින් වැඩසටහන අත්හදා බැලීම සඳහා තෝරාගත් ප්‍රදේශවල ගෙන්ගෙට යෑමේ වැඩපිළිවෙළක්ද බැසිල් සකසා තිබුණේය. ඊ කැන්වසින් වැඩසටහනේ නියෝජිතයන් අදාළ ඇප් එක ක්‍රියාත්මක කරන ස්ථාන ප්‍රධාන කාර්යාලයේ සිට දැකගැනීමේ අවස්ථාව සලසා තිබුණි. අත්හදා බැලීම යන අතර බැසිල්ට දැනගන්නට ලැබුණේ එක් නියෝජිතයකු රැවටීමක් කරන බවය.

නියෝජිතයාට අදාළ ප්‍රදේශයේ ඊ කැන්වසින් වැඩසටහන ක්‍රියාත්මක වන නමුත් ප්‍රධාන කාර්යාලයේ තිරයේ සටහන්ව ඇති අන්දමට අදාළ නියෝජිතයා ඒ වන විට සිටියේ බැංකොක්වලය. බැසිල්ටත් කොළේ වසා බැංකොක් සිටින අතරතුර ඊ කැන්වසින් ගිය බව පෙන්වීමට උත්සාහ දැරූ වංචාකාර නියෝජිතයා වහාම පොහොට්ටුවේ කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගැනිණි.

පොහොට්ටුව දත්ත එකතු කිරීමේ අවදානම මෙන්න

මේ අතර ජනතාවගේ සංවේදී දත්ත එකතු කිරීමේ අයිතියක් දේශපාලන පක්ෂයකට නැති බවත් එම අයිතිය ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවට පමණක් බවත් තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පවසා තිබේ.

ඇමෙරිකාවේ මැතිවරණයකදී එක් දේශපාලන කණ්ඩායමක් විසින් දත්ත එකතු කිරීම සඳහා රුසියානු පරිගණක විශේෂඥයන්ගේද සහාය ලබාගත්තේය. ඒ අතර සිටි එක් රුසියානුවකුගේ නම වූයේ ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්’ ය. කවුරුත් නොදන්නා නමුත් ඔහු අති දක්ෂ පරිගණක හැකරෙකි. පසුකලෙක ඔහු ඇමෙරිකානුවන්ගේ ගිණුම්වලින් කිසිවකු නොදැන සොරකම් කළ මුදල ඩොලර් බිලියන ගණනකි. ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානය ඒ ගැන දැනගන්නා විට ඔහු අතුරුදන්ය. ඔහු අල්ලා ගැනීම සඳහා ඇමෙරිකාව ඉන්ටර්පෝල් වරෙන්තුවක් නිකුත් කළේය.

නවීන්ගෙන් විරෝධයක්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය පිළිබඳව විශාල අභ්‍යන්තර අර්බුද මාස ගණනාවක් තිස්සේ ඇදී යද්දී එජාපය තුළද එවැනිම ව්‍යාකූලතාවක් මතුව තිබේ. ඒ, නම් කිහිපයක් ජනපති අපේක්ෂකත්වය සඳහා මෑතකදී කරළියට පැමිණීමත් සමඟය. එහි වඩාත් උත්සන්නම අවස්ථාව වූයේ අපේක්ෂකයා නම් නොකර පසුගිය 05 වැනිදා අත්සන් කිරීමට නියමිතව තිබූ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම මඳක් කල්යෑමය.

මේ සතියේ පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලි‌මේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ කතාබහ ඇදී ආ නිසාය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැන මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්ඡාවට ලක්වූ අතර එහිදී නොයෙක් යෝජනා ඉදිරිපත් විය.

"අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියලා දැන් තීරණය කරන්න වෙනවා. දැන් මේ ජනාධිපති අපේක්ෂකයන් ගැන කතා කරනවා. එක එක නම් කියවෙනවා. අපි හය දෙනෙක් මේ පැත්තට ආවා. තවම අපේක්ෂකයෙක් නෑ. ඒ නිසා කිසි උත්තේජනයකුත් නෑ. මෙහෙම ගියොත් අපි කොක්කෙන් තමයි ඉතිං එල්ලෙන්නේ..." විජිත් විජිතමුණි ද සොයිසා කීවේය.

"අපේ ජනාධිපති අපේක්ෂකයා ගැන සම්මුතියකින් තීරණයක් අරගන්න. අගමැතිතුමා, සජිත් ඇමතිතුමා සහ කරු කථානායකතුමා එකතුවෙලා තීරණයක් ගන්න." මුජිබර් රහුමාන් කළ යෝජනාවට බොහෝදෙනා එකඟත්වය දැක්වූවේය.

මේ අතර පාඨලී චම්පික රණවක ඇමතිවරයාට එල්ලවූ චෝදනා ගැන කතා කිරීමට ඔහු නැඟී සිටියේය.

"අපිට ත්‍රීවීල් පක්ෂ කියලා සමහරු කියලා තිබුණා. ත්‍රීවීල් පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට ඉඩ දෙන්නේ නෑ කියලා සමහරු කියලා තියෙනවා. මේ විදියට කතා කරන එක වැරදියි. එක්සත් ජාතික පක්ෂය දිනවීමට මා ඇතුළු බොහෝ දෙනෙක් කැපවීමෙන් කටයුතු කළා. ඒක පංගුපේරු කරලා වෙන් කරන්න බෑ. දේශපාලනය නොතේරෙන අය මෙහෙම කරන එක වැරදියි. සන්ධාන වීම කළේ මිනිසුන්ගේ ඉල්ලීමට." චම්පික කීවේය.

"මගේ පක්ෂය කුඩා පක්ෂයක් නෙමෙයි. අපි විශාල වැඩකොටසක් කරලා තියෙනවා. රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න මුල් පියවර තැබුවේ අපි. ඒවා අමතක කරන්න එපා. අපි ත්‍රීවීල් පක්ෂ නෙමෙයි. වැඩිය නටන්න හදන්න එපා. එහෙම වුණොත් අපි තුන්වැනි අපේක්ෂකයෙක් දානවා." චතුර සේනාරත්න අභියෝගයක් කළේය

"කලබල වෙන්නේ නැතිව ඉන්න. අපි ප්‍රශ්න විසඳාගනිමු. කොහොම වුණත් අගෝස්තු ඉවර වෙන්න කලින් සන්ධානය ගේනවා." අගමැතිවරයා සහතිකයක් දුන්නේය.

මේ අතර නවීන් දිසානායක ඇමතිවරයා නැඟී සිටිමින් තවත් චෝදනාවක් කරන්න ගියේය.

"අගමැතිතුමනි, මෙතැන අපේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් දෙදෙනෙක් ගෝඨාභය රාජපක්ෂ බලන්න ගිහින් තිබෙනවා. එහෙම කරන්න දෙන්න බෑ. මෙතැන දවල් මිගෙල් රෑ දනියෙල් වැඩ කරන්න දෙන්න බෑ." නවීන් කීවේ තරමක ආවේගයෙන් යුතුවය.

"මම නම් දවල් බලන්න ගියේ. ඒ නිසා මම මිගෙල් වෙන්න ඇති. අපි සාමාන්‍ය විදියට සුවදුක් විමසන්න ගියේ. එහෙම නැතිව වෙන එකකට නෙමෙයි ගියේ." සාගල රත්නායක ඇමතිවරයා සිනාවකින්ම පිළිතුරු දුන්නේය.

"මේක මැතිවරණ වෙලාවක්නේ. මේ වෙලාවට මේ වගේ දේවල් කරන්න ඒපා." අගමැතිවරයා පැවසුවේය.

සජිත් - රනිල් හමුවේ කතා වූ දේ

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව ‌ඇතිවූ ආන්දෝලනයන් හමුවේ ‌පසුගියදා අරලියගහ මන්දිරයේදී විශේෂ හමුවීමක් පැවැත්වුණේය. අගමැතිවරයා හා රහසේ කතාබස් කළේ සජිත් ‌‌ප්‍රේමදාස ඇමතිවරයාය. ‌

මේ ගැන කතාබහ ඇදී ආවේ පසුගියදා අගමැතිවරයා තමන් හමුවීමට මැතිඇමැතිවරුන් කිහිපදෙනෙක් කැඳවාගත් අවස්ථාවේදීය.

"රනිල් - සජිත් හමුව ගැන හැමෝම විස්තර අහනවා." සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේද මඳ සිනහවක් සමඟිනි.

"ඒ කතාබහ ඉතා සුහද හා ඉතා අවබෝධයෙන් කරපු එකක්. ජනතාවගෙන් ඉල්ලීමක් තියනවා කියලා සජිත් කිව්වා. පක්ෂය ඇතුළෙන් හා පක්ෂ නායකයන්ගෙන් මටත් එවැනිම ඉල්ලීමක් තියනවා කියල මමත් කිව්වා. මෙතැනදි වැදගත්ම ප්‍රතිඵලය වුණේ සන්ධානය හදන්න සජිතුයි මමයි එකඟ වීමයි. ඊට පස්සෙ කතාකරල කාගේත් එකඟත්වය මත තීන්දුවකට එමුයි කියලා සුහදව විසිරුණා." අගමැතිවරයා පැහැදිලි කළේය.

"සජිත් ඇමතිතුමා හම්බවෙන්න කලින් ඔබතුමා මහින්ද රාජපක්ෂ හමුවුණා කියලත් ආරංචියක් යනවා." නවීන් දිසානායක ඇසුවේ අගමැතිගෙනි.

"නෑ.. අර ත්‍රෛනිකායික හාමුදුරුවන්ගෙ උත්සවයේදී හමුවෙලා අපි දෙන්නා නිකන් කතා කළා. එතැන ජනාධිපති මෛත්‍රීත් හිටියනේ..." අගමැතිවරයා කීවේය.

"කතෝලික මිනිස්සු උසිගන්වලා නැති ප්‍රශ්න ඇති කරන්න පටු දේශපාලන අවස්ථාවාදීන් උත්සාහ කරනවා. පාස්කු බෝම්බෙ නිසා වේදනාවෙන් ඉන්න ඒ මිනිස්සු පහත් විදියට ආවේගවලට තල්ලු කරන එක මහා පාපයක්. අර කටුවාපිටිය ප්‍රතිමාවට ගලකින් ගහලා ප්‍රතිමාවට කිසිම හානියක් නොවෙන්න වීදුරුව විතරක් කඩලා ඒ ගල ඒක උඩින් තියලා යෑම නිසාම පේනවා මේක සැලසුම් කරපු වැඩක් කියලා. ගුවන් හමුදාව ඒ ප්‍රදේශය රකිනවා. ඒත් පොලිසිය, ආමි එක දාලා මේවා තවත් ශක්තිමත් කරන්න ඕනෑ. පියතුමන්ලාගේ හා මිනිසුන්ගේ ඉල්ලීම ඒකයි." වෛද්‍ය කාවින්ද ජයවර්ධන කතා කළේ ඉතා හැඟුම්බරවය.

"කළ හැකි සියලුම දේ කරනවා." අගමැතිවරයාගේ ප්‍රතිචාරය එය විය. මේ අතර අගමැතිවරයා තේරීම්කාරක සභාවට සහභාගී වීම ගැන කාගේත් ප්‍රසංශාව හිමිවිය.

ජනාධිපතිවරණයකට කලින් මහ මැතිවරණයක්?

"ඊළඟ ජනාධිපතිවරණයට කලින් කාගේත් එකඟත්වයෙන් මහ මැතිවරණයක් එන්නත් පුළුවන් කියල කතාවක් යනවා. මොන ඡන්දෙ ආවත් මේ පාර මාර යුද්ධයක් තියේවි. ඒ නිසා පහසුවෙන් දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් දාන්න ඕන කියලයි පාක්ෂිකයො කියන්නෙ." ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම එහි සිටි මැති ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන්ද කීවේ එකම අදහසකි.

"මම පොඩි සමීක්ෂණයක් කරල තියනවා. කොච්චර සිංහල බෞද්ධයෙක් වුණත් ජනපතිවරණයකදි එයාලා ඡන්දෙ දෙන්නෙ රටේ දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාවක් තිබෙන දෙමළ අය ඡන්දය දෙන විදිය ගැන අධ්‍යයනය කරලයි. ඒ වගේම මුස්ලිම් පක්ෂත් බොහෝ විට තීන්දුවකට එන්නේ දෙමළ ඡන්ද ක්‍රියා කරන දිහා බලලයි. මොකද සුළු ජාතික පක්ෂ නැතුව කිසිකෙනකුට ජනපතිවරණයක් දැන් දිනන්න බෑ. පරදින පැත්තකට ඡන්දෙ දීල ඡන්දෙ නාස්ති කරගන්න බුද්ධිමත් සිංහල මිනිස්සුත් කැමති නෑ. යථාර්ථය ඒකයි." එජාප සංවර්ධන සන්නිවේදන අංශ ප්‍රධානි නීතිඥ සුදර්ශන ගුණවර්ධන කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.

"ඒ කතාව හරි. 2015දී එජාප නොවන මෛත්‍රීට සියලු සුළු ජාතික ඡන්ද අරන් දෙන්න මූලික වුණේ අගමැතිතුමායි. ඒ නිසා එජාප අපේක්ෂකයා රනිල්ද සජිත්ද කරුද කවුරු වුණත් අගමැතිතුමාගෙ සහයෝගය නැතුව ජයග්‍රාහී මාවතකට පාර හදාගන්න අමාරු වේවි. ඒ උපාය මාර්ගය අනුගමනය නොකළොත් සුළු ජාතික පක්ෂ හා ඒ ඡන්ද විසිරිලා යෑමේ යම් අනතුරකුත් තියනවා." අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයටද එහි සිටි සියලුදෙනාගේ ඉහළ ප්‍රතිචාර ලැබිණ.

සැඟවුණු අමුත්තෝ

ජනාධිපතිවරණය කිට්ටු වුවද තවමත් ප්‍රධාන පක්ෂ තුනේම අපේක්ෂකයා 'සැඟවුණු අමුත්තෙක්' බවට පත්ව තිබේ. ඒ අනුව ඒ ඒ පක්ෂවල පාක්ෂිකයෝත් පොදුවේ සියලුදෙනාත් කිසියම් කුතුහලයක සිටියි.

ලබන 11 වැනිදා පොදුජන පෙරමුණ සිය සම්මේලනය පවත්වන අතර තමන්ගේ අපේක්ෂකයා එදිනට හෙළිකරන බවට පාක්ෂිකයන් විශ්වාස කරයි. එහෙත් අපට වාර්තාවන පරිදි එය හුදෙක් මහින්ද රාජපක්ෂට පොහොට්ටුවේ නායකත්වය ලබාදෙන උත්සවයක් පමණි.

එක්සත් ජාතික පක්ෂයද සිය ජනපති අපේක්ෂකයා තවමත් හෙළිකර නැති අතර පාක්ෂිකයනුත් වෙනත් පක්ෂත් ඒ ගැන කුතුහලයෙන් සිටී.

මේ අතර මේ මාසයේ මැද වන විට ජනතා මධ්‍යස්ථානයේ සාකච්ඡා සම්මුතියෙන් තම කඳවුරේ අපේක්ෂකයා නම් කරන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. අලුත් ලකුණකින් ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පැවසේ.

හරින්ගෙන් දැවැන්ත රැලියක්

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ ලබන ඉරිදා බවත් මේ වන විට තිබෙන ආරංචිමාර්ග අනුව ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට නියමිතව ඇති බවත් පැවසේ. එහෙත් ඔහුගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමට පෙර මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වයට පත් කිරීමේ ප්‍රකාශය කිරීමටද නියමිතය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයද මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට සූදානමින් සිටී. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීරණයක් ගත්තද නැතද එජාපය දිනවන මැතිවරණ ව්‍යාපාරය ඊට පසු දින සිට ආරම්භ කිරීමට සජිත් සූදානමින් සිටී. මෙවර සජිත්ගේ ශක්තියට සිටින්නේ හරින් ප්‍රනාන්දු ඇමතිවරයාය. පසුගිය ජනාධිපතිවරණයට පෙර ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ඉහළ දමාගනිමින් පක්ෂයට ශක්තියක් ලබාදුන් හරින් ලබන සඳුදා දිනයේදී දැවැන්ත රැලියක් සංවිධානය කරන්නේ ලංකාවෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් බදුල්ලට ගෙන්වා ගනිමිනි.

සජිත් රට පුරා යයි

මේ අතර සජිත් ප්‍රේමදාස නිවාස ව්‍යාපෘති විවෘත කිරීමද වේගවත් කරමින් සිටී. ඉන්දීය රජයේ මූල්‍ය පරිත්‍යාග මත ඉදිකළ ගාන්ධිනගර් හා මොහොදීන් අබ්දුල් කාදර් ග්‍රාමම් විවෘත කිරීම සඳහා සජිත් ගියේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සමඟය. රවුෆ් හකීම් ඇමතිවරයා සමඟ සිටින අමීර් අලි හා අලි සහීර් මවුලානාද එහි පැමිණ සිටියහ.

"ඔබතුමා අද මඩකලපුවේ. ඊයේ අම්පාරේ. හෙට මොනරාගල. ඊළඟට යාපනේ. මහන්සි නැද්ද මෙහෙම දුවන්න? අලි සහීර් මවුලානා ඇසුවේය.

"මහන්සි නම් තමයි. ඒත් මිනිස්සුත් එක්ක ඉන්නකොට ඒ මහන්සිය නැති වෙනවා." සජිත් උත්තර දුන්නේය.

"රටට සල්ලි ගේන්න නම් හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්න ඕන කියලා සමහරු කියනවා. ඔබතුමා ඉන්දියානු රජයෙන් මේ තරම් මුදලක් අරගෙන මඩකලපුවටත් ආවා." අමීර් අලි කීවේය.

"මම ජාත්‍යන්තර සම්බන්ධතා නිර්මාණය කරගන්නේ මට වාසියක් ලබාගන්න නෙමෙයි. ජනතාවට සහන අරගෙන දීමටයි. සමහරු ජාත්‍යන්තර සම්බන්ධතා තබා ගන්නේ ආධාර ලබාගන්න නෙමෙයි. ගිනි පොලී ණය ගන්නේ. ගිවිසුම් අත්සන් කරනකොට ණය ඉල්ලන පාර්ශ්වයේ බලවතුන්ට ලොකු කොමිස් එකක් ලැබෙනවා. අන්තිමේදී රටේ දුප්පත් ජනතාව ඒ ගිනි පොලී ණය ගෙවනවා." සජිත් පැහැදිලි කළේය.

කරුගෙන් යතිවර පූජා

කථානායක කරු ජයසූරිය පසුගිය සතියේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පූජෝපහාර දැක්වීමේ උත්සවයක් සංවිධානය කර තිබුණේය. ඔහු මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ත්‍රෛනිකායික හිමිවරුන්ගෙන් ඔහුට ලැබුණ ගෞරව සම්මානවලට කෘතගුණ සැලකීම සඳහාය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවම කසාවතින් සැරසවූ මේ උත්සවයේ ආරාධිතයකු ලෙස සහභාගී වූ ගිහි පිරිස අතර අගමැතිවරයාද විය.

සුදු ඇඳුම අඳින පුද්ගලයන් සියලුදෙනා පිරිසුදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත් සිය චරිතය කිලිටි කරගත් බොහෝදෙනකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත් එවන් සමාජයක වත්මන් කථානායක කරු ජයසූරිය මහතා දුර්ලභ ගණයේ උතුම් චරිත ලක්ෂණවලින් හෙබි සැබෑ ලෙසම මනුෂ්‍යත්වය අර්ථවත් කළ නායකයකු බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්ව‍යේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ උත්සවයේදී පැවසූහ.

"අද මා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටව යන්නේ සාරධර්ම පිරිහුණු සමාජයක්, යුතුකම් අයිතිවාසිකම් වටහා නොගත් සමාජයක්, විනය පිරිහුණු සමාජයක්, නීතිගරුක නොවුණු සමාජයක්, හා ජාති ආගම් ෙභ්ද වැපි‍රෙමින් පවතින සමාජයක් හරි මඟට ගෙනඒමට ආගමික නායකත්වය දරන දැඩි උත්සාහයට අපද කැපවෙන බවට අදිටන් කරමින්. දැන් අප ඒ අතීතයට සමුදිය යුතුයි. මේ දේශයේ උපන් සහ ඉපදීමට සිටින අනාගත පරම්පරාවට අප මේ විඳි ගැහැට නැවත අත්දැකීමට නොලැබෙන දිනයක් උදාවිය යුතුයි. එවන් දිනයක් උදා කරවීමේ වගකීම ඇත්තේ වර්තමාන දේශපාලන සහ සමාජ නායකත්වයටයි. " යැයි කතානායකවරයා එහිදී සහතියක් ලබාදීමද අමතක කළේ නැත.

මාතෘකා