ආරක්ෂාව ගැන දැන් මට දැනුමක් තියෙනවා

 ඡායාරූපය:

ආරක්ෂාව ගැන දැන් මට දැනුමක් තියෙනවා

රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන

අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති හා පොලිස්පති නොමැතිව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ බවත් ඔක්තෝබර් ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව විධායකය හා ව්‍යවස්ථාදායක අතර ඇතිවූ නොහොඳ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවෙන්නට ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පෙරේදා (06) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවැසීය. ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා සාක්ෂි ලබාදෙමින් මෙසේ කීය.

කමිටු සභාපති – ආනන්ද කුමාරසිරි මහතා,

මෙම කමිටුවේ සාක්ෂි මඟින් හෙළිවූ කරුණු තහවුරු කර ගැනීම සඳහා ඔබව සාක්ෂියට කැඳවූවා. ආරක්ෂක රාජ්‍ය ඇමති ධුරය පිළිබඳව සඳහන් කරමින් එය පැහැදිලි කරන්න.

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

මම 2015දී ආරක්ෂක රාජ්‍ය ඇමති ලෙස පත්වුණා. 2017 ආරක්ෂක කමිටු රැස්වීමේදී කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි දෙකක් ගැටුම පිළිබඳ සාකච්ඡා වුණා. ඒ කාලේ නීතිය හා සාමය වෙනම අමාත්‍යාංශයක් ලෙස පැවැතියා. ප්‍රහාරයක් ගැන ජාතික ආරක්ෂක කමිටුවේ කතා කළේ නෑ. මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් මට මෙම ප්‍රහාරයට කලින් ලැබිලා නෑ. ප්‍රහාරයට පසු තමයි එවන් බුද්ධි තොරතුරු තිබෙනවා කියලා හෙළිවුණේ. ප්‍රහාරයෙන් පසු මම අමාත්‍යාංශයට ගියා. ලේකම්තුමාට කතා කළා. එතුමා ෂ්‍රැංග්‍රිලා හෝටලයට ගිහින් තිබුණා. ඊට පසු අපි පල්ලියට ගියා. ඇමැතිවරුන් මේ ගැන කතා කළා. අගමැතිතුමා මට කතා කළා.

අගමැතිතුමා කොළඹින් පිට හිටියේ. එතුමා කොළඹට ආපසු සාකච්ඡාවක් පැවැත්වූවා. නීතිපතිතුමා එනවා කිව්වා, පොලිස්පතිතුමාට එන්න කිව්වා. එහෙත් උනන්දුවක් දැක්වූයේ නෑ. තුන්වැනිපාර අගමැතිතුමා මට කතාකරලා ඇහුවා ඔබලා අරලියගහ මැදුරට එන්නේ නැත්නම් මම ඔහෙට එන්නම් කියලා. ඒ වෙලාවේ මම කිව්වා ආරක්ෂක අමාත්‍යාංශයට ආවොත් හොඳයි කියලා. මගේ අමාත්‍යාංශයට ආයතන හතරයි තිබෙන්නේ. බුද්ධි අංශයත් ත්‍රිවිධ හමුදාවවත් නෑ. මගේ බාරව තිබෙන්නේ සුළු ඒකකයක් පමණයි.

අමාත්‍ය රවි කරුණානායක මහතා,

මාවනැල්ල සිද්ධිය ගැන මොනවද කතා කළේ?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

ආරක්ෂක කමිටු රැස්වීමේ ජනපති ප්‍රධානත්වය ගත්තා. මම මේ කාලයේ කමිටු රැස්වීමට සහභාගී වුණේ නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා,

ඔබ ආරක්ෂක කමිටුවේ මුලසුන ගන්නවා නේද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

මම මුලසුනේ ඉඳගන්නවා. මෙහෙයවන්නේ ආරක්ෂක ලේකම්තුමා. න්‍යායපත්‍රය හදන්නේ මම නෙවෙයි, මට එන්න කියනවා. සහභාගි වෙනවා, ප්‍රධාන න්‍යායපත්‍රය හදන්නේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා. ඩී.එන්.අයි. කළේ. බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය කළා. ත්‍රස්ත විමර්ශන අංශය සහභාගී වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා,

මාවනැල්ල සිද්ධිය 2018 ඔක්තෝබර්, ඊට පෙර දිගන මාර්තුවල. මේ අතර කාලය තුළ රැඩිකල්කරණය හෝ අන්තවාදය ගැන කතා කළේ නැද්ද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

මම අවසන් වරට 2018 ව්‍යවස්ථා අර්බුදයට පෙර අන්තිමට ඔක්තෝබර් සහභාගි වුණා. බුද්ධි අංශ රැස්වීමට සහභාගි වුණා. ඊට පසුව මම අප්‍රේල් 21 වැනිදා දක්වා ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි වුණේ නෑ. මට ආරාධනා කළේ නෑ. දෙසැම්බර් 16 පසුව අප්‍රේල් 21 වැනිදාට කලින් සහභාගි වුණේ නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා,

ඔබ ඇහුවේ නැද්ද ආරක්ෂක ලේකම්ගෙන් ඇයි නොකැඳවන්නේ කියලා.

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

මම ඇහුවා, එතුමා කිව්වා දැන් කවුන්සිලය රැස්වෙන්නේ නෑ. අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදාව හමුවෙනවා කිව්වා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා,

ඔබ ජනපතිගෙන් ඇහුවේ නැද්ද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

නෑ, මම ඇහුවේ නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා,

බුද්ධි අංශ රැස්වීම් ගැන ඇහුවේ නැද්ද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

මාර්තු මාසයේදී මම ඇහුවා. එහිදී ඉදිරි රැස්වීමේදී ආරාධනා කරයි කිව්වා. එහෙත් කැඳෙව්වේ නෑ. සාමාන්‍ය වශයෙන් මගේ ලේකම්වරයාට කැඳවීමක් ලැබෙනවා මට එන්න කියලා. නමුත් මාව කැ‍ඳෙව්වේ නෑ. මේ රැස්වීම් මගේ අමාත්‍යාංශ කාර්යාලයේ පැවැත්වෙනවා. එහෙත් මට එන්න කියලා කිව්වේ නෑ.

අමාත්‍ය රවි කරුණානායක මහතා,

ඔබ විරෝධයක් පළකළේ නැද්ද මේ ගැන.

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

ඒ නිසා තමයි මම ලේකම්වරයාගෙන් ඇහුවේ. එහිදී ඔහු කිව්වා ඊළඟ රැස්වීමේදී කතාකරයි කියලා.

අමාත්‍ය රවි කරුණානායක මහතා,

යම් සම්බන්ධීකරණයක් නොමැති බව ඔබට වැටහී ගියාද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

ඔව්. මම ඒ ගැන අවබෝධයක් ලැබුවා. 2015 සිට ආරක්ෂක ලේකම්වරු පස්දෙනෙක් පත්වුණා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

ගැසට් එක අනුව ඔබේ රාජකාරි ඉටුවුණාද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

ඒ අනුව තමයි ආරක්ෂාවට සහාය ලබාදීම මම සිදුකළේ. ත්‍රිවිධ හමුදාව මට තිබුණේ නෑ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

පාර්ලිමේන්තුවේ ආරක්ෂක ප්‍රශ්නයකට උත්තර දෙන්නේ ඔබතුමා. තීන්දු තීරණ ගන්න වගකීමක් තිබුණේ නැද්ද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

එහෙම වගකීමක් තිබුණේ නෑ. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේදී උත්තර දෙනකොට යම් අපහසුතාවකට පත්වෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

ආරක්ෂක දැනුමක් ඔබට තිබුණාද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

මුලදි මට දැනුමක් තිබුණේ නෑ. අවුරුදු හතරමාරක් මේ තනතුරේ සිටියා. දැන් යම්කිසි අවබෝධයක් ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ආරක්ෂක ඇමතිතුමාගෙන් යම් නියෝගයක් ලැබුණද මේ ජාතික තවුහීද් ජමාද් පිළිබඳව.

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

නෑ. මට මතක නෑ. එහෙම නියෝග ගැන බුද්ධි අංශවලට, පොලිසියට දැනුවත් කළා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

මේක මර්දනය කරන්න උපදේශයක් ලැබුණද? බෝම්බ පිපිරුවා, කඳවුරු පැවැත්වූවා.

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

මම ඉන්න කාලේ එහෙම නියෝගයක් ලැබුණේ නෑ. කාත්තන්කුඩි පොලිසිය, මාවනැල්ල පොලිසිය නිසි පරිදි කටයුතු කළා නම් මේ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

ජාතික ආරක්ෂක කවුන්සිලය දින කීයක් පැවැත්වූවාද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

එහෙම නිශ්චිත දිනයක් නෑ. 2015 සිට සෑම බදාදාවකම පැවැත්වූවා. ඊට පසුව මාසයක් අතර පැවැත්වූවා. ජනාධිපතිතුමා අවශ්‍ය පරිදි කැඳෙව්වා. රැස්වීම රටාවකට පැවැත්වූවේ නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා,

ඔබට කලින් ඉතිහාසයේ කවුද හිටි ඇමතිවරු. රණවිරු සේවා අධිකාරිය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ඔබට පැවරුවා. ඊට පෙර ඇමතිවරුන්ට බලතල තිබුණා නේද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

ඇමැතිවරු හිටියා ඔවුන්ට බලතල තිබුණා. මගේ ආයතන ගැන කතාකරන්න තිබෙන්නේ ආයතනික ප්‍රශ්න ගැන මට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් පැවරී නෑ. මම සහභාගී නොවූ දිනවල තොරතුරු මට දැනුම් දීමක් නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා,

ප්‍රහාරයට පෙර අප්‍රේල් 09 වැනි දින බුද්ධි ලිපිය ඔබ දැක්කද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

නෑ මම දුටුවේ නෑ. ප්‍රහාරයෙන් පස්සේ දැක්කා. මම ඇහුවා මේ ලිපිය ආරක්ෂක නිලධාරීන්ට ලැබුණද කියලා. ඔවුන් කිව්වා මෙවන් ලිපි හැමවිටම ලැබෙනවා. අපි ඒ ගැන කියන්නේ නෑ. අපේ වගකීම ඔබ ආරක්ෂා කිරීම කියලා. අන්තවාදී කණ්ඩායම් ගැන සාකච්ඡා කළා. දිගන ප්‍රහාරයෙන් පසුව යම් සාකච්ඡාවක් සිදුවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා,

ඔබට දීලා තිබෙන්නේ ආයතන හතරක් නම්, ආරක්ෂක කවුන්සිලයට ඔබ යන්නෙත් නැත්නම් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමාට පැවරෙන රාජකාරිය අපිට ගැටලුවක්. ආරක්ෂක රාජ්‍ය ඇමති ලෙස ජනතාව බලාපොරොත්තු වන දෙයක් තිබෙනවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හෝ දැනුවත්විය යුතුව තිබුණා නේද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

ඒවා පත්තරවල පළවුණා. නමුත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උත්තර දුන්නේ මම.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා,

අගමැතිතුමා, පොලිස්පතිතුමා, ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමා, ආරක්ෂක කවුන්සිලයට කැඳවන්නේ නෑ. යම් සම්බන්ධීකරණයක් ජාතික ආරක්ෂාව පිළිබඳ නොතිබූ බව ඔබට වැටහුණාද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

මටත් එය සාක්ෂි අනුව වැටහී ගියා. ආරක්ෂක ලේකම්වරු පස්දෙනෙක් පත්වුණා. දැන් ජනරාල් කෝට්ටේගොඩ මහතා ඉන්නවා.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා,

පාර්ලිමේන්තුවත් ආරක්ෂක ඇමති ජනාධිපති අතර යම් සම්බන්ධීකරණයක් නොතිබුණා කියලා නාභිගත නොවීමක් වුණා කියලා ඔබට හිතෙනවාද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

සම්බන්ධීකරණ අඩුපාඩු නිසා මේ ප්‍රහාරය සිදුවුණා. බුද්ධි තොරතුරු ලැබුණම යම් විශ්ලේෂණයක් සිදුවිය යුතුයි. අපේ රටේ එහෙම විශ්ලේෂණයක් නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා,

ජාතික බුද්ධි ප්‍රධානීන්ට මීට වඩා බලතල තිබිය යුතුයි කියා හිතනවාද?

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

එසේ බලතල තිබිය යුතුයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට ලබාදී ඇති බලතල අඩුකරලා. මෙහෙයුම් වගකීමක් එම පනත අනුව ලැබී නෑ.

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා,

මම ඔබතුමා සමඟ සියයට සියයක් එකඟ වෙනවා.

 

ඡායා [හිරන්ත ගුණතිලක]

 

මාතෘකා