අගමැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කියයි

 ඡායාරූපය:

අගමැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කියයි

2018 දෙසැම්බර්වලින් පසුව ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැ‍ෙඳව්වේ නෑ

පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක මණ්ඩල රැස්වීමට ආරක්ෂක ප්‍රධානීන් අරලිය ගහ මන්දිරයට කැ‍ඳෙව්වද නොපැමිණි නිසා තමන් ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් පියවර ගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (06) පැවසීය.

ආරක්ෂක නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාද වන නිසා අගමැතිවරයකු ලද අත්දැකීම් පදනම් කරගනිමින් ආරක්ෂක කවුන්සිලය මෙහෙය වූ බවත් පැවසූ අගමැතිවරයා රටේ අනාගත ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු රාශියක් මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවද කීය.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් රජයක් ලෙස වගකීම හා වගවීම පෙරදැරි කර සියලු තීන්දු තීරණ ගන්නා බව පැවසූ අගමැතිවරයා බුද්ධි තොරතුරු තමන්ට නොලැබීම හා නිසි පරිදි විශ්ලේෂණය නොවීම අඩුපාඩුවක් බවද පැවසීය.

කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කමිටු සාමාජිකයින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අගමැතිවරයා මෙසේ සාක්ෂි ලබා දුන්නේය.

කමිටු සභාපති ආනන්ද කුමාරසිරි මහතා

මේ අන්තවාදි සංවිධාන පිළිබඳ විටින් විට කරුණු අනාවරණය වෙනවා. ඔබතුමාට ඇමැතිවරු මේ ගැන කියලා තිබෙනවා. ඔබ ගත්ත ක්‍රියාමාර්ග මොනවාද?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

විටින් විට ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මේ පිළිබඳ වාර්තා ලැබෙනවා. ඒ එක්කම සුමානයකට වරක් නීතිය හා සාමය ඇමැතිගෙන් මට වාර්තා ලැබුණා. රාජ්‍ය බුද්ධි සේවා ඒ අයට මම කිව්වා ජාතික වශයෙන් වැදගත් කරුණු දැනුම් දෙන්න කියලා මම කිව්වා. අපිට සාක්කි ආවා අන්තවාදි ක්‍රියා ගැන. සිරියාවේ මැරුණු පුද්ගලයා ගැන තොරතුරු ආවා. කට්ටියක් සිරියාවට ගිහිල්ලා හිටියා. සමහර අය ලංකාවට ඇවිල්ලා හිටියා. මම සිටි කාලයේ අන්තවාදි කණ්ඩායම් ත්‍රස්තවාදයට යෙදෙන කරුණු අනාවරණය වුණේ නෑ. නීතිය හා සාමය ඇමැතිතුමාගෙන් ලැබුණා.

ආනන්ද කුමාරසිරි මහතා

අන්තවාදි සංවිධාන ගැන රාජ්‍ය බුද්ධි අංශ දැනුවත් කළා ද?

අගමැතිතුමා

එහෙම වුණේ විශේෂයෙන් නීතිය හා සාමය ඇමැතිවරුන් මාර්ගයෙන් මට ලැබුණා. ආරක්ෂක කවුන්සිලයෙන් ආවා. ඒ වෙනකොට සති 4ක් විතර යනවා. වැඩියෙන්ම ආවේ අමාත්‍යාංශයෙන්. ඇමැතිවරු දන්න කාරණා මට ආවා.

රවි කරුණානායක මහතා

ආරක්ෂක මණ්ඩලයට ඔබ කැ‍ඳෙව්වේ නෑ කියලා තිබුණා.

අගමැතිතුමා

2018 ඔක්තෝම්බර් වෙනකම් ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම් දැනුම් දුන්නා. සහභාගි වුණා. 2018 දෙසැම්බර් මාසෙන් පස්සෙ කැ‍ඳෙව්වෙ නෑ. 2019 පෙබරවාරිවලින් පස්සේ රැස්වෙන්නේ නෑ කියලා මට ආරංචි වුණා. ඊට පෙර පොලිස්පති කිව්වා එයාව ඒකට කැ‍ඳෙව්වෙ නෑ කිව්වා. ජාතික ආරක්ෂක මණ්ඩල තොරතුරු මට ලැබුණේ නීතිය හා සාමය ඇමැතිගෙන්. හමුදා බුද්ධි අංශ තොරතුරු ලැබුණේ නැහැ.

රවි කරුණානායක මහතා

2018 ඔක්තෝම්බර්වලින් පසුව ඔබ කැ‍ඳෙව්වෙ නැත්නම් අගමැති වශයෙන් තොරතුරු දැනගත්තේ කොහොමද?

අගමැතිතුමා

නීතිය හා සාමය ඇමැතිගෙන් මට ලැබුණා. පොලිසියෙන් ජාතික රාජ්‍ය ආරක්ෂක අංශයෙන් ලැබුණා ඒ අයගේ වාර්තා මට ලැබුණා.

රවි කරුණානායක මහතා

රටේ පරිණතභාවයක් තිබෙන අගමැතිවරයෙක් ලෙස ඔබට ත්‍රිවිධ හමුදා තොරතුරු ලැබුණ ද මේ අන්තවාදය රටට ඇතුළුවීම ගැන. 2016 – 2017 කළ ක්‍රියාකාරකම් ගැන.

අගමැතිතුමා

මට නීතිය හා සාමය ඇමැතිගෙන් ලැබුණා. යුද හමුදාවල ආරංචි ලැබුණේ ජාතික ආරක්ෂක මණ්ඩලයෙන්.

රවි කරුණානායක මහතා

නැගෙනහිර පළාතේ අපිට පෙනෙනවා සුවිශේෂි වෙනසක් වෙනවා. කාත්තන්කුඩි අන්තවාදි හැසිරීම ශ්‍රී ලංකා අනන්‍යතාවයට විරුද්ධයි. ඒ ගැන ආරංචි වුණා ද?

අගමැති

පොලිසියෙන්, බුද්ධි අංශවලින් පමණක් නොව දේශපාලනික වශයෙන් තොරතුරු ආවා. කාත්තාන්කුඩි අන්තවාදි මූලස්ථානය කියලා මට ආරංචි වුණා. දේශපාලනික වශයෙන් ගතයුතු පියවර ගත්තා. සහරාන් අත්අඩංගුවට ගන්න උසාවියෙන් නියෝගයක් ගෙන තිබෙනවා.

රවි කරුණානායක මහතා

තුර්කියේ ‍තානාපති විටින් විට රට දැනුවත් කරලා තිබෙනවා. පෙරෝ කියන ආයතනයක් ගැන අභ්‍යන්තර ඇඟිලි ගැසීම් ගැන කිව්වා.

අගමැතිතුමා

තුර්කි තානාපති කිව්වා ඒ අයගේ සංවිධානයක් මෙතැන්ට සහයෝගය දුන්නා කියලා. බුද්ධි අංශ කිව්වා ආරක්ෂක ප්‍රශ්නයක් මතුවෙලා නෑ කියලා.

රවි කරුණානායක මහතා

මේ ගැන විශේෂ තොරතුරු තිබෙනවාද?

අගමැතිතුමා

යම් යම් තොරතුරු තිබුණා. නමුත් ත්‍රස්තවාදය ගැන කියවුණේ නෑ.

නලින්ද ජයතිස්ස මහතා

ජාතික ආරක්ෂක මණ්ඩලයේ සිටිය යුතු නිත්‍ය සාමාජිකයින් කවුද?

අගමැතිතුමා

මම සිටින ආණ්ඩුවල ජනපති, අගමැති, ආරක්ෂක රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති, නීතිය සාමය ඇමැති,ආරක්ෂක ලේකම්, හමුදාපතිවරු, බුද්ධි අංශ, පොලිස්පති, විදෙස් ඇමැති , සමහර වෙලාවට හිටිය මුදල් ඇමැති හිටියා. 2001 ආණ්ඩුවේ මුදල් ඇමැති චොක්සි මහතා ආරක්ෂක මණ්ඩලයට සහභාගි වුණේ නෑ. හිටියේ නෑ. නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම් හිටියා. බුද්ධි අංශ නිලධාරින් සහභාගි වුණා.

නලින්ද ජයතිස්ස මහතා

ආරක්ෂක මණ්ඩලයට මාස 06ක් නොගිය පළමු අවස්ථාව මේකද? තොරතුරු ගත්තේ කොහොමද?

අගමැතිතුමා

මම එදිනෙදා ආරක්ෂක තොරතුරු ගත්තේ නීතිය හා සාමය ඇමැතිතුමාගෙන්. ඒ සම්බන්ධීකරණය තිබුණා.

නලින්ද ජයතිස්ස මහතා

2015 සිට 2018 වෙනකම් විවිධ සංවිධාන, මුස්ලිම් පූජකවරු මෙවැනි අන්තවාදි සංවිධාන ගැන ජනපතිට අගමැතිට ආරක්ෂක අංශවලට කිව්වා කියලා මේ කමිටුවේදී සාක්කි දුන්නා. 2017 මාර්තු කාර්තන්කුඩි ගැටුමෙන් පසු මාර්තු 07 දින එක්තරා ආගමික පදනමක් ඔබතුමාට ලිපියක් යොමුකරල තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, ටි.අයි.ඩී. එක යම් ක්‍රියාමාර්ග ගන්නේ මේ ලිපිය පදනම් කරගෙන ආරක්ෂක මණ්ඩලය ගත් ක්‍රියාමාර්ග මොනවාද?

අගමැතිතුමා

ඇත්ත වශයෙන්ම මේ ගැන බලන්න ත්‍රස්ත විමර්ශන අංශයට බාර දුන්නා. කල්ලි දෙකක් අතර ප්‍රශ්නයක් එය. සම්ප්‍රදායික සුර්පි හා පල්ලියක්. එය පොලිසියට බාර දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස සහරාන්ට විරුද්ධව 2018දී ත්‍රස්ත විමර්ශන අංශය විවෘත වරෙන්තුවක් ගත්තා. අයි.සි.සි. පී. ආර් නීතිය උල්ලංඝනයට අත්අඩංගුවට ගන්න නියෝග ගත්තා. ඒ අය සැක කළේ සහරාන් ඇත්ත වශයෙන්ම රටින් පිටවෙලා කියලා. මන්නාරම ප්‍රදේශය හරහා ඉන්දියාවට ගියා කියලා කතාවක් තිබුණා. 2018 වනකොට සහරාන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පටන් ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවටත් එය දැනුම් දීලා තිබුණා.

නලින්ද ජයතිස්ස මහතා

2015 සිට සහරාන් ගැන තොරතුරු තිබුණා. නමුත් අත්අඩංගුවට ගන්නේ නෑ කියලා මේ කාරක සභාවට සාක්ෂි තිබුණා.

අගමැතිතුමා

ඒ වනකොට සාක්ෂි තිබුණේ නෑ කියලා කියවුණා. ගන්න හිටියෙ අයි.සි.සි.පී.ආර් ඇට් එක යටතේ

නලින්ද ජයතිස්ස මහතා

ඔබතුමා පොලිසිය බාර ඇමැති කාලේ තමයි අම්පාරේ සිදුවීම හා දිගන සිදුවීම වෙන්නේ මේ සිදුවීමට පස්සෙ. මෙවැනි අන්තවාදි කණ්ඩායම්වල වර්ධනයක් තිබ්බද?

අගමැතිතුමා

ඇත්ත වශයෙන් මම සති දෙකයි අමාත්‍යාංශය බාරගෙන සිටියේ. දිගන සිද්ධියේදී මම කිව්වා සිරි‍යාවේ ගිය අයගේ සම්බන්ධයක් තිබෙනවද නැද්ද කියලා බලන්න කියලා. මොකද ඒ අය වෙනත් සංවිධාන ඇති කරයි කියලා සිරියාවේ ගිය අය මේ සිද්ධිය ගැන කම්පාවෙන් කෝපයෙන් සිටියා.

නලින්ද ජයතිස්ස මහතා

අන්තවාදි ප්‍රචාර සම්බන්ධයෙන් ෆේස් බුක් හරහා හෝ සී.ඩී. තැටි මගින් ඇයි තවුහිත් ජමාද් සංවිධානය තහනම් කරන්න බැරි වුණේ.

අගමැතිතුමා

තහනම් කරලා තිබුණේ නෑ. ඒ අයට නඩු දාන්න පුළුවන් කියලා තමයි ත්‍රස්ත විමර්ශන අංශය කිව්වේ. මෙතැන මුස්ලිම් ඉස්ලාම් අන්තවාදය පමණක් නෙවෙයි සිංහල අන්තවාදය එක එක අන්තවාදය තිබුණා. දෙතුන් දෙනෙක් ද්‍රවිඩ ත්‍රස්තවාදය කරන්න බැලුවා. ඇත්ත වශයෙන් යුද හමුදා බුද්ධි අංශ උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ. වැඩ සටහන් පරීක්ෂණ කළා.

[ස්වර්ණා විජේකෝන්] [රෝෂාන් තුෂාර]

ඡායා [හිරන්ත ගුණතිලක]

මාතෘකා