උත්තර හොයන බැසිල්

 ඡායාරූපය:

උත්තර හොයන බැසිල්

බැසිල් රාජපක්ෂ මේ දිනවල ගෙන්ගෙට යමින් සිටී. ඔහුගේ අතේ පත්‍රිකාවකි. එහි ප්‍රශ්නාර්ථයක් සහිත වැකියකි. 'උත්තරය' යනුවෙන් එම වැකිය සටහන් වී තිබේ. උත්තරය කුමක්දැයි අසන බැසිල්ගෙන් පෙරළා අසන්නට බොහෝ ප්‍රශ්න තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ “අප්‍රකාශිත අගමැතිවරයා” ලෙස පෙනී සිටි බැසිල් රාජපක්ෂය. ඔහුට එවක මහේශාක්‍ය බලයක් තිබිණි.

බැසිල් රාජපක්ෂ, රාජපක්ෂ රෙජීමයේ දේශපාලන යාන්ත්‍රණයේ සිටි වඩාත් සැලකිල්ලට ගත යුතු සහ ගත හැකි චරිතය විය. හෙතෙම එවර රාජ්‍ය යාන්ත්‍රණයේ 'තීරක බලයක්' ඉසිලූ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් වඩා ප්‍රබල භූමිකාවක් නිරූපණය කළේය. එවක රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරෙන්නට හේතු වූ ප්‍රමුඛතමයකු ලෙස හෙතෙම ලැයිස්තුගතය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව රාජාභිෂේක කිරීමෙහි නියමුවා බැසිල්ය.

‘මහින්ද ජනාධිපතිතුමා වටේ ඉන්න අය හිතනවා ගස්වල ගෙඩි හැදෙන්නේ, මල් පිපෙන්නේ, සිහිල් සුළං හමන්නේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුහසින් කියලා.’

මෙහෙම කීවේ රෙජිනෝල්ඩ් කුරේය. ඒ මීට අවුරුදු ගාණකට කලින්ය. හරියටම කීවොත් මහින්ද 2015 ජනාධිපතිවරණෙට එන්න හදපු දවස්වලය. එහෙම වටපිටාවක් හැදුවේ බැසිල්ය.

රෙජිනෝල්ඩ් කීවා වගේම සියල්ල සිදු වූයේ ඒකාධිපති රටවල වගේය. උතුරු කොරියාවේ මෙන් සියලුම ගොඩනැඟිලිවලට ‘මහින්ද රාජපක්ෂ’ නම තබනු ලැබීය. 2005 ඔහු දිනවූ කණ්ඩායම් දෙකක් විය. එකක් ජාතික කණ්ඩායම් ය; අනෙක ජාතිවාදී කණ්ඩායම්ය. ඒ දෙකම එකම අරමුණකට යෑමෙහි පාරු බවට පත් කරන්නට අපූරු බුහුටිකමක් මහින්දට තිබුණේය. එහෙත් ජයග්‍රහණයෙන් පසු ඔහු තීරණාත්මකව ඒ කණ්ඩායම් වීසිකොට දැමුවේය. ජනතා විමුක්ති පෙරමුණ වීසි කළේ සාහසික ලෙස ඒ පක්ෂය කඩා දමමිනි. විමල් වීරවංශ ජාතිවාදී කෝවක දමා අලුතින් ඇඹීමෙහි නිර්මාපකයා මහින්දය. ඉන් අනතුරුව ඔහු, ඔහු සමඟ සිටි සහ ඔහුට තීරණාත්මක හයියක් වූ හෙළ උරුමය එළවා දැම්මේය. ඒ වෙනුවට ඔහු, ඔහුට ඡන්දයක් නොදුන් පක්ෂවලින් බිළී බා ගැනීම් පටන් ගත්තේය. අන්තිමට මේ ගිය ගමන කෙළවර වූයේ ‘විනාශයේ සුනාමිය’ කඩා වැදීමෙනි. අධික බලකාමය සේම අධික තක්සේරුවද උරුම කරන්නේ ඛේදවාචකයකි. එහි මහ මොළකරු බැසිල්ය. ශ්‍රීලනිපය වෙනුවට ‘රාජපක්ෂ’ නමැති පක්ෂය නිර්මාණය කිරීමෙහි පුරෝගාමියා බැසිල්ය. ඒ වෙනුවෙන් ඔහු සිය සකල ශක්තිය වැය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසු කලෙක ‘පොහොට්ටුව‘ නිර්මාණය කළේය.

ඒ පොහොට්ටුව මාස 6න් ප්‍රාදේශීය සභා දිනුවේය.

එයින් මොනතරම් උද්දාම වුණාද කීවොත් ‘පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා’ කියා බන්දුල ගුණවර්ධන පුරසාරම් දෙඩුවේය. කීවා වගේම පත්වෙලා ආව අයගේ කැරැට්ටුව දැන් රටේ හතර වටෙන්ම දැකිය හැකිය.

නාරම්මල පොහොට්ටු මන්ත්‍රී පුද්ගලයකුට පහරදී අත්අඩංගුවට පත් විය. වත්තල පොහොට්ටු මන්ත්‍රී පාසල් ඉඩම සමාගමකට දී හසු විය. සීගිරියේ නිදන් හාරා පොහොට්ටුවේ අයකු හසුවිය. යටිනුවර පොහොට්ටු මන්ත්‍රී පොලිස් නිලධාරියකුට පහර දුන්නේය. කළුතර පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවේය. පුද්ගලයකුට කඩුවකින් කොටා බරපතළ තුවාල සිදුකළා යැයි සැකපිට දඹුල්ල මහනගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු කඩුවක්ද සමඟ හසු විය.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපතිවරයා මුස්ලිම් ජාතිකයන්ට දංකොටුව සතිපොළෙහි වෙළෙඳාම් කිරීම තහනම් කරමින් තලේබාන් පන්නයේ නාඩගමක් නැටුවේය.

මේ අතර උත්තරය සොයා බැසිල් ගෙන් ගෙට යයි.

පොහොට්ටුවේ අය කියන්නේ ‘අපිට කවුරුත් ලොකු නෑ. අපි පුංචි ඡන්දේ දිනුම්’ කියාය.

මේකට අපූරු උත්තරයක් චම්පික දුන්නේය. ‘ඌව ඡන්දේ තියලා ඉවර වෙලා උදේ හතරහමාරට මහින්ද කතා කළා. බැසිල් ප්‍රසන්ටේෂන් එකක් කළා. පළාත් නවයෙම ප්‍රතිඵල ආවා. සන්ධානය ලක්ෂ 50යි. එජාපය ලක්ෂ 24යි. ජවිපෙ ලක්ෂ තුනහමාරයි. ෆොන්සේකගේ පක්ෂය තුන් ලක්ෂ හැත්තෑපන්දාහයි. දෙමළ සන්ධානය ලක්ෂ පහයි. මේක බැසිල් කීවම රාජපක්ෂ මහත්තයා කීවා ඉක්මනින් ජනාධිපතිවරණය තියනවා කියලා. පස්සේ මගෙන් මහින්ද මහත්තයා ඇහුවා, ‘ඔයත් ගණන්කාරයනේ මොකද කතා නැත්තේ?’ කියලා. මම කීවා ‘ඔබ පරාදයි’ කියලා. එතුමා පුදුම වෙලා ඇහුවා, ‘පිස්සුද’ කියලා. මම කීවා, ‘ඔබ බලගතු වෙනසක් නොකළොත් පරාදයි. පළාත් සභා ඡන්දේ දෙන්නේ සීයට 60යි. ජනාධිපතිවරණෙදි සීයට අසූවයි. වැඩිවෙන සීයට විස්ස වෙනසක් පතන අය. දිනන්න ලක්ෂ හැටක් ඕන.’

චම්පික කීවා වගේම මහින්ද පරාජය විය. චම්පික කීව ලක්ෂ විස්ස ගියේ මෛත්‍රීටය.

ඒ නිසා මහා පරිමාණ අධිතක්සේරුව ඒ තරම් ගුණ නැත.

උත්තර සොයමින් යන බැසිල්ගෙන් අසන්නට බොහෝ ප්‍රශ්න තිබේ.

‘අර මල්වානේ නිවස කාගෙද?’ යනුවෙන් පටන්ගෙන අටෝරාසියක් ප්‍රශ්න අසන්නට තිබේ.

‘රාජපක්ෂලා විතරද ඉන්නේ?’ කියා අසන්නටත් පුළුවන.

රාජපක්ෂලා රට කළ සමය තුළ මෙරට දේශපාලනයේ මතු වූ චරිත තිබේද? කිසිවෙක් නැත. සියලු දෙනා රාජපක්ෂලා පමණි.

ඩී. ඇස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ඇන්. ඇම්. පෙරේරා, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර, දසනායක, ඊරියගොල්ල, කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස, අමිර්තලිංගම්, කදිරගාමර් වැනි විවිධ වාසගම් සහිත චරිත මෙරට බිහි විය. එහෙත් රාජපක්ෂ සමයේ බිහි වූයේ කවුද?

බැසිල්, මහින්ද, ගෝඨා, චමල්, නාමල්, ශෂීන්ද්‍ර, රෝහිත, යෝෂිත, ශිරන්ති වැනි රාජපක්ෂලා පමණි. එවක නමේ අගට 'රාජපක්ෂ' වාසගම තිබුණොත් එයම 'වැජඹීමේ' ලකුණක් විය.

ඒ නිසා ‘මේ රට රාජපක්ෂලාගේ විතරද?’ කියා අසන්නට පුළුවන.

2015 ජනවාරි 8 වන විට සමස්ත රටම පිළිකෙව් ලෙස නෙරපා හරින්නේ එහෙව් 'පවුල් වසංගතයක්'ය.

එලෙස නෙරපා හැරි කණ්ඩායමක් අඩුම තරමේ ස්වයං විවේචනයක් කොට අලුත් කෙනකුට ඉඩක් දෙන්නට තිබිණි. එහෙත් බල උන්මාදය ඊට සහාය දෙන්නේ නැත.

දැන් මහ යුද්ධයකි. ගෝඨා, බැසිල්, චමල්, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන සිහින දකිමින් සිටී.

වරක් ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත අපූරු කතාවක් කීවේය.

මහින්ද කිසි විටෙක වෙනත් රාජපක්ෂ කෙනකුට ඉඩක් නොදෙන බවත් ඉඩක් දුන්නොත් දෙන්නේ ශිරන්ති රාජපක්ෂට පමණක් බවත් ඔහු කීවේය.

මේ සිදුවන්නට යන්නේ ඒකද කියන්න දන්නේ නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් බැසිල් කෙරෙහි ආශක්ත වන්නේ නැත. එක් අතකින් ඔහු පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ යුව රජුය. ඔහුගේ බල පරාක්‍රමය යට එවක සියලු දෙනා සිටියේ 'තැතිගෙන'ය. අනෙක් අතට ඒ ආණ්ඩුවේ අතිමහත් ආර්ථික බලයක් සහ දේශපාලන බලයක් තුළින් ඔහු දූෂිත කොට තිබිණි.

සියල්ලට වඩා ඔහු මහින්දගේ පරාජයෙන් පසු 'සූක්ෂ්මව නමුත් නින්දාසහගත ලෙස' රටින් පලා ගියේය.

අහවර කලකට පසු මෙරටට විත් ඔහු ශ්‍රීලනිපය තීරණාත්මකව කඩා වෙන් කළේය. පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක් බවටත් ඡන්ද බලයෙන් ඉතිහාසයේ දරුණුම සෝදාපාළුවටත් ලක් කිරීමේ අත්මිදිය නොහැකි පාපයේ මොළකරු බැසිල්ය.

ජනපතිවරණයකදී ඔහු ඒකාන්තවම ශ්‍රීලනිප ප්‍රතිවාදියෙකි.

අනෙක් අතට ඔහුගේ ඉතිහාසය සහමුලින්ම ශ්‍රීලනිප විරෝධීය.

1977දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුල්කිරිගල ආසනයට තරග කළ ඔහු පරාජයට පත්වූ අතර පසුව සිය දේශපාලන කඳවුර වෙනස් කළේය. 1983දී පැවැති මුල්කිරිගල අතුරු මැතිවරණයේදී චමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග කරද්දී බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ නියෝජිතයකු ලෙස එජාප අපේක්ෂක ආනන්ද කුලරත්නට සහාය දැක්වීය.

පසුව ඔහු නැවතුණේ අැමෙරිකාවේය.

ශ්‍රීලනිපය අන්ත පරාජයක් ලැබූ නවසිය හැත්තෑ හත මැතිවරණයට බැසිල්ද මුල්කිරිගල අසුනින් තරග කළ මුත් එහිදී ඔහුට අත්වූයේ පරාජයය. 77දී ලද දැවැන්ත පසුබැස්මත් සමඟ පාර්ලිමේන්තු ආසන 08කට සීමා වීමෙන් පසු ශ්‍රීලනිපයට “දේශපාලනය” කිරීම පහසු කටයුත්තක් නොවූ අතර අපේක්ෂා කළ යුතු ආකාරයෙන්ම පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුම් කෙටි කලකින් කරළියට පැමිණියේය. 1981දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමෙන් පසු හිස්වූ අත්තනගල්ල ආසනයට මන්ත්‍රීවරයකු තෝරා ගැනීමේ අවස්ථාවේදී එය තීරණාත්මක තැනකට පැමිණි අතර එහි ප්‍රතිඵලය වූයේ මෛත්‍රීපාල සේනානායක මහතා ඇතුළු කණ්ඩායමක් පක්ෂය හැර යෑමය.

අනුර බණ්ඩාරනායක, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, ස්ටැන්ලි තිලකරත්න ආදි පුද්ගල චරිත රැසක් ඒ වටා ගොනු වී සිටි අතර බැසිල්ද එහි ඉදිරිපෙළ සාමාජිකයකු විය. කෙසේ වෙතත් එම වෙනසත් සමඟ බැසිල්ගේ දේශපාලන ස්ථාවරය දෝලනය වන්නට වැඩි කාලයක් ගත නොවීය. ආන්දෝලනාත්මක 1982 ජනමත විචාරණයේදී බැසිල් සහාය දැක්වූයේ එජාපය පෙනී සිටි ස්ථාවරයටය. එහිදී “ලාම්පුව” ලකුණ ලැබූ දිනුමෙන් පසු තවත් වසර හයකට පාර්ලිමේන්තු බලය තහවුරු වීමත් සමඟ බැසිල් එජාපය සමඟ “දීග” කෑම නිල වශයෙන් ඇරැඹුවේය. ජනමත විචාරණයේදී පරාජයට පත්වූ මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් “අතුරු මැතිවරණ” පැවැත්වීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අනුව මුල්කිරිගල ආසනය වෙනුවෙන්ද අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු විය. බැසිල් තවදුරටත් පක්ෂයේ නොසිටි පසුබිමක ශ්‍රීලනිපය එම අතුරු මැතිවරණය සඳහා නම් කළේ නිරූපමා රාජපක්ෂවය.

නිරූපමා, ජෝර්ජ් රාජපක්ෂගේ දියණියක වූවාය. නෑකමට බැසිල් ඇගේ මාමා විය. එජාපය මුල්කිරිගලට නම් කළේ ආනන්ද කුලරත්නවය. රාජපක්ෂ කෙනකු මැතිවරණයට ඉදිරිපත් වූ පසුබිමක බැසිල් එම මැතිවරණයේදී “නිහඬව” සිටිනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළද ඔහු ආනන්දගේ ජයග්‍රහණය වෙනුවෙන් පැල් බැඳගෙන වැඩ කළේය. වෙනකක් තියා එජාප අපේක්ෂකයාගේ ඡන්ද පොළ නියෝජිතයා වූයේද බැසිල්ය. මැතිවරණයෙන් ආනන්ද කුලරත්න ජය ලැබූ මුත් එහි ආයුෂ කෙටි විය. එම ප්‍රතිඵලය අභියෝගයට ලක්කරමින් නිරූපමා රාජපක්ෂ ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමක් සලකා බැලූ ගරු අධිකරණය තීරණය කළේ කුලරත්නගේ ඡන්ද පොළ නියෝජිතයා වූ බැසිල්, නිරූපමාගේ පෞද්ගලික චරිතය හා හැසිරීම සම්බන්ධ අසත්‍ය ප්‍රකාශයක් සිදු කරමින් මැතිවරණ නීතිය අවභාවිත කර ඇති බවය. අද මෙන් නොව එකල මැතිවරණ නීතිය තදින් ක්‍රියාත්මක වූ අතර ඒ තුළ පුද්ගල චරිත ඝාතනවලට කිසිදු ඉඩක් නොවීය. බැසිල් එජාපය සමඟ වැඩ ඇල්ලුවේම එසේ වැරදි ආකාරයටය.

ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා අනුව මිද්දෙනියේ පැවැති ප්‍රචාරක රැස්වීමක් අමතමින් බැසිල් සඳහන් කර තිබුණේ නිරූපමා ඇගේ පියාට කිසිදු ආදරයක් සැලකිල්ලක් නොදැක්වූ තැනැත්තියක බැවින් ජෝර්ජ් රාජපක්ෂ මහතාට කරන ගෞරවයක් ලෙස තමන්ට ඡන්දය ලබාදෙන ලෙස ඇය කරන ඉල්ලීම වංචාසහගත රැවටිලිකාර එකක් බවය. ඡන්ද පෙත්සමින් පරාජයට පත්වීම තුළ යළි මුල්කිරිගල අසුන වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වීමට සිදුවූ අතර බැසිල්ව සම්බන්ධ කර නොගනිමින් එය ජය ගැනුමට කුලරත්න සමත් විය. ඉන් අනතුරුව ඒ යුගයේ එජාප ප්‍රබලයකු වූ ගාමිණි දිසානායකට, බැසිල් සමීප විය. ඒ වන විට රැකියා විරහිතව සිටි බැසිල්ට අනුර බණ්ඩාරනායකගේ ඉල්ලීම මත මහවැලි අමාත්‍යාංශයේ රැකියාවක් ලබාදීමට ගාමිණි කටයුතු කළේය. කඩිනම් මහවැලි ව්‍යාපාරය හා සම්බන්ධව සිටි ජපාන ඉදිකිරීම් සමාගමක් වූ හසාමා ටෝඩා සඳහා පරිවාර නිලධාරියකු සේ කටයුතු කිරීමේ අවස්ථාව බැසිල්ට ලැබුණේ එසේය. එතැන් සිට අසාර්ථක දෝෂාභියෝග ක්‍රියාවලිය තෙක්ම බැසිල් සේවය කළේ දිසානායක වෙනුවෙනි. එය විවිධ හැඩතල ඔස්සේ දිගහැරුණි.

දෝෂාභියෝග ක්‍රියාවලිය අසාර්ථක වී ගාමිණි දිසානායකගේ “බලය” දුර්වල වීමෙන් අනතුරුව මිරිහානේ පිහිටි තම නිවස කුලියට දුන් බැසිල් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් විය. ඇමෙරිකාවට ගිය බැසිල් කැලිෆෝනියාහි ෆොන්ටානාහි ප්‍රෙස්ටන් ඩ්‍රයිව්හි පදිංචි විය. 2005 ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වූ පසු තම සොහොයුරාගේ ජයග්‍රහණය වෙනුවෙන් බැසිල් උපරිමයෙන් වැඩ කළේය. ඔහුට අවශ්‍ය වූයේ කෙක්කෙන් හෝ කොක්කෙන් මහින්දව ජනාධිපති කිරීමටය.

ඔහු මහින්දගේ ජයෙන් අනතුරුව යුව රජු විය. එහි සියලු වරප්‍රසාද ලැබ පසුව මහින්දගේ පරාජයත් සමඟ හැරෙන තැපෑලෙන් ඇ‍ෙමරිකා ගියේය.

නැවත පැමිණ හෙතෙම ‘උත්තරය’ සොයමින් සිටී.

උත්තරය ඇත්තේ ඔහු ගාවමය.

මාතෘකා

ජනප්‍රිය ලිපි