දහම් අධ්‍යාපනය වැඩිදියුණු කරන්න ගතහැකි සෑම පියවරක්ම ගන්නවා

 ඡායාරූපය:

දහම් අධ්‍යාපනය වැඩිදියුණු කරන්න ගතහැකි සෑම පියවරක්ම ගන්නවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ගුණවත් සහ විනයවත් සමාජයක් ගොඩනැඟීමට දහම් අධ්‍යාපනය ඉතා වැදගත් වන අතර දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (03) කදුරුවෙල ජයන්ති විහාරයේ පැවැති 125 වැනි සමස්ත ලංකා දහම්පාසල් දින සැමරුම් වැඩසටහනට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“අද මේ ජාතික වැඩසටහන ජයන්නි විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳ මුලින්ම මම දහම් පාසල් පිළිබඳව කටයුතු කරන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාටත් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් මගේ ස්තුතිය පිරිනමනවා. මා ඔබට කියන්න ඕනෑ දරුවනේ ඔබ වගේ මමත් කුඩා කාලයේ දහම් පාසල් ශිෂ්‍යයෙක්. ඒ වගේම මම රජයේ රැකියාවල් කළත් මම දහම් පාසල් ගුරුවරයෙක් විදියටත් සේවය කළා. ඒ නිසා දහම් පාසල මට හොඳට හුරුපුරුදු ස්ථානයක්. මේ ස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දහම්පාසල් ගුරුවරු, ස්වාමීන් වහන්සේලා, දරුවන් ඇවිත් තිබෙනවා. ඒ පිළිබඳවත් මට සතුටුයි.

“දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට රජයක් විදියට මුල්තැන දීමේදී දහම් අධ්‍යාපනය පිළිබඳ ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් විය යුතුයි කියන එකයි මගේ අදහස. අද සමාජයේ තිබෙන විවිධ විෂමාචාරයන්, සිර ගෙවල් පිළිබඳව කතා කරන විට අද සිරගෙවල් පිරී තිබෙනවා. සිර ගෙවල්වල උපාධිධාරීන් ඉන්නවා. මාස තුනට පෙර මම වැලිකඩ සිර ගෙදරට ගිය අවස්ථාවේ ආචාර්ය උපාධියට ඉගෙනගන්න සිරකරුවෙක් මගෙන් ඉල්ලීමක් කළා ආචාර්ය උපාධිය ලබාගන්න අවශ්‍ය වියදම් දෙන්න කියලා. මම පහුගිය දිනක ඔහුට අධ්‍යයන කටයුතු සඳහා සම්පූර්ණ මුදල් බන්ධනාගාර කොමසාරිස්තුමාට යැව්වා ඔහුට දෙන්න කියලා. ඒ වගේම සිරගෙවල්වල සිටින අපරාධකරුවන්, තවත් පැත්තකින් ඒ අපරාධවලට සම්බන්ධයි කියලා කලින් සැලසුම් නොකළ හදිසි කෝපය නිසා වැරදිකරුවන් වෙලා හිරගෙදර ඉන්නවා. හිරගෙදර ඉන්න කොටසක් හිරගෙදර ඉඳන් අපරාධ කරනවා. තවත් පිරිසක් ඉන්නවා වැරදිකරුවන් වෙලා අධ්‍යාපනය ලබනවා. බණ භාවනා කරනවා. යහපත් ජීවිත ගතකරන පිරිසකුත් සිර ගෙවල් ඇතුළේ ඉන්නවා.

“සිරගෙවල්වල ඉන්න අපරාධකරුවන් මගේ දැනුමේ හැටියට බණ කියලා ලේසියෙන් හදන්න පුළුවන් අය නෙවෙයි. ගිය මාසේ නාවික හමුදාව මුහුද මැදදී ට්‍රෝලර් යාත්‍රාවක ඉඳලා අත්අඩංගුවට ගත්ත විදේශිකයන් සතුව මත්කුඩු තිබුණා. ඒ අතරේ මිලියන 18ක මත්පෙති තිබුණා. පස්සේ අත්අඩංගුවට ගත් පිරිසගේ ජංගම දුරකථන පරීක්ෂා කළාම ඔවුන් ලංකාව සතු මුහුදු ප්‍රදේශවලට පැමිණ තිබෙන්නෙ, ඒ අයට කතා කරලා තිබෙන්නෙ හිරගෙදර ඇතුළෙන්. ඒ කියන්නේ හිරගෙදර දඬුවම් විඳින අය ඉන්නවා මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වෙලා ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කාරයන් සමඟ සම්බන්ධකම් පවත්වන අය. එහෙම අය ලේසියෙන් හදන්න පුළුවන් අය නෙමෙයි. ඉතින් යහපත් සමාජයක් හදන්න නම් අපි සැමවිටම ප්‍රධාන වශයෙන්ම පාසලේ දෙන විෂය දැනුම විද්‍යාත්මක, වාණිජ, කලාත්මක වශයෙන් ලබනවා වගේම ප්‍රධාන වශයෙන්ම ඉතාමත් වැදගත් වෙන්නේ ගුණයහපත් මිනිස්සු හදන්න මේ බෞද්ධ අධ්‍යාපනය කියන එක ඔබ අප කවුරුත් දන්නවා. ඒක නිසා අපේ පුංචි දරුවෝ පොඩි කාලේ හදාගන්න එක තමයි ලොකු වෙන්න කලින් හොඳම දේ. ලොකු මිනිස්සු හදන්න බැහැ. ලොකු මිනිස්සු හදන්න අමාරුයි. රටක් හදන්න, දරුවෝ හදන්න ඕන. දරුවෝ ටික හදාගත්තහම දරුවන්ට නොමඟ යන්න නොදී හොඳ රටක් හැදෙනවා. එතනදී වඩාත් මූලික වෙන්නේ දහම් අධ්‍යාපනය. ඒ නිසා අපි රජයක් විදියටත් පෞද්ගලිකවත් දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා අපට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා කියලා කියන්නට ඕන.

“මට ලංකාවේ පිට පළාත්වල බොහෝ විට ගම්මානවල ඇවිදින්න ලැබෙන්නේ නැහැ. කලාතුරකින් යන්නේ අපි. නමුත් පොළොන්නරු ප්‍රදේශයේ හුඟක් ගම්වලට යන විට ඇතැම් වේලාවට ඉරිදා දවසෙත් මම ඔය පාරේ යනකොට දහම් පාසලක් දැක්කොත් ගොඩවෙනවා. පහුගිය දවසකත් මට මතකයි අපි පුලස්තිගම පන්සලේ පවත්වපු උත්සවයට ගිය වේලාවේ එදා ගිය ඉරිදා දහම් පාසල. ඒ දරුවොත් එක්ක කතා කරපුවහම මම අහනවා මොනාද අඩුපාඩු කියලා. එතකොට කියන දෙයක් තමයි අපිට ඩෙස් නෑ. පුටු නෑ කියලා. මම ඒ හැම වේලාවෙම දිසාපතිතුමාට කියනවා මෙන්න මේ අහවල් දහම් පාසලට ඩෙස් පුටු යවන්නයි කියලා. ඒ වගේ අඩුපාඩු දැනගත්තොත් අපි ඒවා නොසලකා හරින්නේ නැහැ. ඒ නිසා දරුවනේ ඔබ වගේම මේ රටේ දහම් අධ්‍යාපනය ලබන ලක්ෂ සංඛ්‍යාත දරුවන් සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළත් පෞද්ගලිකවත් අපට කළ හැකි උපරිම සේවය ඔබ වෙනුවෙන් ඉෂ්ට කරනවයි කියන එක කියන්නට ඕන. අපේ ගෞරවණීය ධම්මානන්ද නායක හාමුදුරුවෝ ඒ වගේම ගෝනදූවේ නායක හාමුදුරුවෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා ඈත දුර බැහැර ඉඳලා වැඩම කරලා තියෙන්නේ. ඒ නිසා වැඩිපුර කාලය ගන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ අපි බොහෝ වේලාවට නිතර හමුවෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අපි මේ කටයුතු සමාලෝචනය කරනවා. අඩුපාඩු කතා කරනවා. උන්වහන්සේ දැන් මෙහිදී අනුශාසනා කරමින් මට තේරුණා ටිකක් හිතේ අමාරුවෙන් වගේ කතා කළා. මේ දහම් පාසල් අරමුදල ශක්තිමත් කරගන්න ගන්න උත්සාහයේදී උන්වහන්සේ කිව්වා පහුගිය දවස්වල ලක්ෂ 54ක්ද කොහෙද එකතු වුණා, දහම් පාසල් කොඩි ටික ගහන්න ලක්ෂ 12ක් විතර ගියා, තව අනෙක් එහෙ මෙහෙ තිබුණු වියදම්වලට ලක්ෂ 4ක් 5ක් ගියා, අන්තිමට ලක්ෂ 30ක් විතර තමා ඉතුරු වුණේ කියලා. ඉතින් ඒ නිසා ඔබ වහන්සේලා පොළොන්නරුවට වැඩම කළ අවස්ථාවේ විශේෂයෙන්ම දහම් පාසල් පිළිබඳව ඔබ වහන්සේලාගේ ඒ දෙන උතුම් වූ විශිෂ්ට ගෞරවණීය මඟපෙන්වීම, නායකත්වය, උපදේශකත්වය, අවවාද, අනුශාසනා අපි ඉතාම අගය කොට සලකනවා වගේම මම කල්පනා කළා මේ පොළොන්නරුවේ මේ උත්සවයක් පැවැත්වීමේ වැදගත්කම සලකලා දහම් පාසල් අරමුදලට මං උදව්වක් කළ යුතුයි කියලා. ඒක නිසා දහම් පාසල් අරමුදලට මම ලබන සතියේ රුපියල් ලක්ෂ 100ක් ඔබවහන්සේලාට එවනවා අපේ හාමුදුරුවනේ. ඒ චෙක්පත ලියන්නේ කාටද කියලා මං බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගෙන් අහන්නම්. දහම් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට මම ඒ රජයේ මුදල් පරිත්‍යාග කරනවා.”