අහිමි සමාජයේ හිමිකම් සුරැකි රණසිංහ ප්‍රේමදාස

 ඡායාරූපය:

අහිමි සමාජයේ හිමිකම් සුරැකි රණසිංහ ප්‍රේමදාස

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අභාවප්‍රාප්ත වී මැයි මස 01 දිනට 26 වසරක් සපිරේ. සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාදාමයෙන් බැහැරවූ ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන් අවධානය යොමුකරනු ලැබුවේ මෙරට ජීවත්වන දුගී දුප්පත් ජනතාව කෙරෙහිය. ඔවුන් දිනාගැනීම යනු රට දිනාගැනීම බව දැඩිව විශ්වාස කළ ප්‍රේමදාස මැතිතුමා සිය දේශපාලනික දිවිපෙවෙත තුළ ඉටුකළ බොහෝ ක්‍රියාකාරකම් තුළින් උත්සාහ ගනු ලැබුවේ දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමටය. ඒ සඳහා ඔහු අනුගමනය කළ බොහෝ ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමවේද හෝ දේශපාලනික ක්‍රියාකාරකම් තුළ නුදුටු නව හඳුනාගැනීම් විය.

දුප්පත්කම හා බැඳුණු නිවහන

සමාජය තුළ ඇති නැති භේදය හඳුනාගැනීමට හොඳම සාධකය පුද්ගලයා මුල්කොටගත් පවුලේ ජීවත්වන නිවසයි. නැති බැරි අය පැල්පත් හෝ තාවකාලික නිවහනේත් ඇති හැකි අය ස්ථිර නිවසකත් ජීවත්වීම සමාජ සම්මතයයි. මෙය වඩාත් නිවැරදිව තේරුම්ගත් ප්‍රේමදාස මැතිතුමා දුප්පත්කම දුරුකරලීම උදෙසා සහ දුප්පතුනට සහාය වීමට නිවහන දායක කරගනු ලැබීය.

නිවසක හිමිකම දුප්පත් ජනතාව වෙනුවෙන් ඉටුකරලීමේ මෙම ජාතික නිවාස මෙහෙවර 1979 වසරේ ඔහු විසින් ආරම්භ කරනු ලැබුවේ යාපහුව බඩල්ගම අංගසම්පූර්ණ නිවාසයන්ගෙන් සමන්විත උදාගමක් බවට පත්කරලීමෙනි. එතෙක් තමන් ජීවත්වූ පැල්පත හෝ තාවකාලික නිවහනේ ස්ථිර නිවහනක හිමිකරුවකු බවට පත්කිරීම තුළින් මෙම ජන කණ්ඩායම සමාජයේ පිළිගත් ජනකොටසක් බවට පත්වන බව ප්‍රේමදාස මැතිතුමා දැඩිව විශ්වාස කරනු ලැබීය.

ස්වශක්තියෙන් පොහොසත් වීම

දුප්පත් ජනතාව මුදල් හදල් අතින් අඩුපාඩු වුවද ස්වශක්තිය හා කැපවීම තුළින් ඔවුන් පොහොසත් බව ශ්‍රී ලාංකේය ජන සමාජයට හා ජාත්‍යන්තර ලෝකයට ප්‍රේමදාස මැතිතුමන් විසින් නිවාස දසලක්ෂයේ වැඩපිළිවෙළ තුළින් පෙන්නුම් කර දෙනු ලැබීය. එදා රජයෙන් ලැබුණු රුපියල් 7,500ක් වැනි සුළු මූල්‍ය අනුග්‍රහයකට නිවසේ හිමිකම ලබන පවුලේ ශ්‍රම දායකත්වයත් අඩු වියදම් තාක්ෂණයත් පාරම්පරික ශිල්ප ක්‍රමත් එක්කරලීම තුළින් ආයෝජිත මුදල මෙන් දෙතුන් ගුණයක වටිනාකමකින් යුත් නිවසක් ඉදිකළ හැකි බව නිවාස දසලක්ෂයේ වැඩසටහන පෙන්නුම් කරනු ලැබීය.

මෙම නිවාස සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයටම නව අත්දැකීමක් විය. එනිසා ලොව සෑම රටකම අවධානය මෙම ක්‍රියාදාමය සඳහා යොමුවිය. එය 1987 වසර ජාත්‍යන්තර නිවාස වසර ලෙසින් ශ්‍රී ලංකාවට ලැබීමටද හේතුවිය. දුප්පතුන් හුදෙක් ජීවත්වන්නේ ගම තුළ පමණක් නොවේ. ඔවුන් බහුතරය නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන බව වඩාත් නිවැරදිව තේරුම්ගත් ප්‍රේමදාස මැතිතුමා සහභාගිත්ව සංවර්ධනය තුළින් ගමේ ක්‍රියාත්මක කළ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ නාගරික ජනතාවගේ දායකත්වයෙන් නගරය තුළ පවත්නා අවම පහසුකම් සහිත නිවාස ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති බවට පත්කරනු ලැබීය. එදා කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසයන්හි ජීවත්වන දහස් සංඛ්‍යාත ජනකායකට තමන්ගේම නිවහනක අයිතිය හිමිකරදීමට සමත්විය

ප්‍රාදේශීය සංවර්ධනය

නිවහන මුල්කොටගත් දුප්පත්කම දුරුකරලීමේ මෙම ක්‍රියාදාමය හුදෙක් නිවහනකට හෝ නිවාස රැසකින් යුත් ගමකට සීමා නොකළ යුතු බව නිවැරදිව දැන සිටි ප්‍රේමදාස මැතිතුමා තමන් ග්‍රාමීය ඒකකයක් තුළින් ලැබූ මේ සාර්ථක අත්දැකීම තුළින් නිර්මාණය වූ ප්‍රාදේශිකයක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදනු ලැබීය. ප්‍රාදේශීය ගම්උදාව වැඩපිළිවෙළ බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. නිවස මුල්කොට ගම තුළ ඇතිවූ සංවර්ධන අත්දැකීම ගම් සමූහයක් එක්වීම තුළින් නිර්මාණය වන ප්‍රාදේශිකයේ සංවර්ධන අවශ්‍යතාවක් ඉටුකරලීම උදෙසා මෙම ප්‍රාදේශීය ගම්උදාව වැඩපිළිවෙළ තුළින් දායක කරගනු ලැබීය. ඒ අනුව නිවාස සංවර්ධනය මෙන්ම අදාළ ප්‍රාදේශිකයේ මාර්ග, ජලය ඇතුළු සෙසු සංවර්ධන කාර්යයන්ද ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ ඉලක්කගත ක්‍රමවේදයකට අනුව ක්‍රියාවට නංවනු ලැබීය. මෙම වැඩපිළිවෙළේ ඇති විශේෂත්වය වනුයේ මෙතෙක් රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රියාදාමයෙන් බැහැරවීමයි.

දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධනය

ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නැංවූ මෙම ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළ දිස්ත්‍රික් මට්ටම දක්වා ව්‍යාප්ත කරලීම ප්‍රේමදාස මැතිතුමන්ගේ උත්සාහය විය. එය ඔහු අත්හදා බලනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පවත්වනු ලැබූ පල්ලෙකැලේ ගම්උදාව ප්‍රදර්ශනය මුල්කොටගෙනයි. එම ප්‍රදර්ශනය ප්‍රකාශයට පත්වීමත් සමගම එයට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන කාර්යයන්, සියලු රාජ්‍ය ආයතන දායකත්වයෙන් ඉලක්කගත ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවීමට සැලසුම් සකස් විය. එය එදා ඉතා සීමිත භූමි භාගයකට සීමාවූ මහනුවර නගරය පල්ලෙකැලේ ප්‍රදේශය දක්වා විහිදී යන නාගරික බල ප්‍රදේශයක් බවට පත්කරලීමේ විධිමත් සැලසුම් ක්‍රියාකාරිත්වයේ ආරම්භයයි. මහනුවර නගරයට දැඩි ලෙසින් බලපෑ අභ්‍යන්තරික මාර්ග ගැටලුවට විසඳුම් සොයමින් ප්‍රධාන මාර්ග ලෙසින් පේරාදෙණිය සිට මහනුවර දක්වා දිවෙන රජ මාවත වැනි ප්‍රධාන මාර්ග බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉන් අනතුරුව පැවති සෑම ගම්උදා සංවත්සරයක්ම අදාළ දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන්ට දායකත්වය ලබාදෙමින් ක්‍රියාවට නැංවිණි.

ජගත් ප්‍රදර්ශන අත්දැකීම් ජනතාවට

ගම්උදාව ප්‍රදර්ශනය හුදෙක් මුදල් නාස්තියක් හා සම්පත් නාස්තියක් ලෙසින් සීමිත පිරිසකගේ විවේචනයක් විය. එසේ වුවද එහි ප්‍රතිලාභ ලැබූ බහුතර ජනතාවගේ අදහස වූයේ රටේ සංවර්ධනයත් ජාත්‍යන්තරයේ අත්දැකීමත් පිටිසර ගැමි ජනතාවට දැක බලාගැනීමට මෙම ප්‍රදර්ශනය මහඟු අවස්ථාවක් බවයි. වෙනත් ප්‍රදර්ශන කටයුතු යොදාගන්නා භූමිය තාවකාලික ගොඩනැඟිලි සමූහයකට සීමාවන අවස්ථාවක ප්‍රේමදාස මැතිතුමා ගම්උදාව ප්‍රදර්ශනය සැලසුම් කරනු ලැබුවේ අදාළ ප්‍රදේශයේ පවත්නා මූලික අවශ්‍යතාවන් සපුරාලීමේ අරමුණින්ය. පල්ලෙකැලේ ගම්උදාව ප්‍රදර්ශන භූමිය මධ්‍යම පළාත් සභාවේ පරිපාලන සංකීර්ණයක් ලෙසින් සැලසුම් වූ අතර එය අදද එම කර්තව්‍යය සඳහා දායක කර ගැනේ. එමෙන්ම කඹුරුපිටිය ගම්උදාව ප්‍රදර්ශන භූමිය ආරෝග්‍ය ශාලා මධ්‍යස්ථානයක් ලෙසින් සැලසුම් වූ අතර මිහින්තලේ ගම් උදාව ප්‍රදර්ශන භූමිය සැලසුම් කරනු ලැබුවේ එවකට ආරම්භ කරනු ලැබූ රජරට විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි හා යටිතල පහසුකම් අවශ්‍යතාවන් සපුරාලීමේ අපේක්ෂාවෙනි.

ප්‍රේමදාස මැතිතුමන් තමන් ක්‍රියාවට නැංවූ බොහෝ සංවර්ධන කාර්යයන් පිළිබඳ දේශපාලන නායකත්වය නුදුටු ඇසකින් එම කාර්යදාමයට යොමුවිය. ඔහු ඒ තුළින් ලැබූ අත්දැකීම් උගත් පාඩම් වහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට උත්සුක විය.

දුප්පතුන්ගේ ප්‍රශ්න සොයා ගමට

දුප්පතුන් සහ සාමන්‍ය ජනතාව හා රාජ්‍ය නිලධාරීන් අතර පවත්නා සාම්ප්‍රදායික පරතරය ජනතාවගේ සංවර්ධන අපේක්ෂාවන් ඉටුකිරීමට බාධාවක් ලෙසින් දුටු ප්‍රේමදාස මැතිතුමා එය අවම කිරීම සඳහා සිය උදාගම් ව්‍යාපාරය දායක කරගනු ලැබීය. උදාගම් ජංගම සේවාව ආරම්භ කළේ මෙහි ප්‍රතිඵලයක් ලෙසින් දිවයිනේ ආරම්භ කළ ප්‍රථම ආදර්ශ ගම්මානය වන යාපහුව උදාගමින්ය. ඒ අනුව උදාගම් ජංගම මෙහෙවර ආරම්භ කළ අතර එම ජංගම සේවාවට සහභාගි වූ දේශපාලන නායකත්වය හා විවිධ තරාතිරම් දරන නිලධාරීන් උදාගමට පැමිණීම හේතුවෙන් ගම්මුන් විසින් ජීවිත කාලයක් බලපෑ ගැටලු රැසකට කඩිනමින් විසඳුම් හිමිවිය. පසුකලක මෙම ජංගම සේවා වැඩසටහන වෙනත් රාජ්‍ය ආයතන හා අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම ජනාධිපති ජංගම සේවාව දක්වා විහිදී ගියේය.

ගමේ දුප්පත්කම නැති කළ ඇඟලුම් කම්හල

ගමේ තාරුණ්‍යය නගරයට ගොස් රැකියාවේ නියුක්ත වීම හේතුවෙන් ගමේ සම්පත් නාස්තිය සිදුවන බවත් ඔවුන් උපයන ආදායම නගරය තුළම වැය කිරීම හේතුවෙන් ගමට එයින් යහපතක් සිදුනොවන බවත් දැඩි ලෙසින් විශ්වාස කළ ප්‍රේමදාස මැතිතුමන් ගමේ සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරලීමේ කාර්යභාරය සඳහාද අවධානය යොමුකරනු ලැබීය.

ගම තුළ සිටින තරුණ තරුණියන් දහස් ගණනින් නගරයට පැමිණ ඇඟලුම් කර්මාන්තශාලා සඳහා විවිධ දුෂ්කරතා මධ්‍යයේ රැකියාවේ නියුක්තවෙමින් නගරයේ ඇඟලුම් කම්හල ගමට ගෙන ගොස් ගමේ ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් ඇඟලුම් කර්මාන්තයේ නිෂ්පාදන කාර්ය ශක්තිමත් කිරීම සිදුකළ යුතු බව ප්‍රේමදාස මැතිතුමන්ගේ අදහස විය. එතුමන් විසින් දිවයින පුරා ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ස්ථාපනය කරනු ලැබුවේ මෙම උදාර සංකල්පය පෙරදැරි කොටගෙනය. ඔහු විසින්ම ගම තුළ මෙම කර්මාන්තශාලා ස්ථාපිත කිරීම හේතුවෙන් එමඟින් උපයන සමස්ත ආදායම ගම තුළම සංසරණය වී ගමේ ආර්ථිකය ශක්තමත් වීම සිදුවිය.

පාසල් දරුවාගේ පෝෂණය

උදාගම් ව්‍යාපාරය ඒ හා බද්ධ වූ සෙසු සංවර්ධන කාර්යනුත් ක්‍රියාවට නැංවූ ප්‍රේමදාස මැතිතුමා පාසල් දරුවන්ගේ දිවා ආහාරය නොමිලේ ලබාදීමත් නිල ඇඳුම් ප්‍රදානය කිරීමත් අසරණ වූ දරු දැරියන් රැකබලා ගැනීම සඳහා සෙවණ සරණ කැපකරු මාපිය වැඩසටහන ආරම්භ කිරීමත් සිදුකරනු ලැබීය.

දුප්පතුනට පිහිට වූ සෙවණ

දුප්පතුන්ට පිහිට වීමේදී රාජ්‍ය ආයතනික ක්‍රමවේද හා නීතිරීති දැඩි ලෙසින් බලපාන බව දැන සිටි ප්‍රේමදාස මැතිතුමන් ක්ෂණයකින් මෙම අසරණ ජනතාව සඳහා උදවු උපකාර කිරීම උදෙසා මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ අපේක්ෂාවෙන් සෙවණ අරමුදල ස්ථාපිත කරනු ලැබීය. අසූව දශකයේ ආරම්භක කාලයේදී වැල්ලවාය ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ප්‍රදානය කිරීම උදෙසා නිර්මාණය වූ සෙවණ අරමුදල පසුකලක දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම සෙවණ ලොතරැයියේ අනුග්‍රහයෙන් පෝෂණය වී ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධනය ඇතුළු සෙසු සංවර්ධනයට දායක වූ වඩාත් ශක්තිමත් වූ අරමුදලක් බවට පත්විය.

නැතිබැරි අයට පිහිට වූ ජනසවිය

ශ්‍රී ලංකාවේ බොහෝ පාලකයන් මෙරට දුගී දුප්පත් ජනතාවට සිය කෘතවේදීත්වය පළකරනු ලැබුවේ රජයෙන් කිසියම් සීමිත මූල්‍ය අනුග්‍රහයක් ලබා දීම තුළිනි. දුප්පතුන්ගේ දුප්පත්කම දුරුකිරීම පිණිස මුදල් ප්‍රදානය කිරීමේ සාම්ප්‍රදායික සිතිවිල්ලෙන් බැහැර වූ ප්‍රේමදාස මැතිතුමා දුප්පතුන්ට නැත්තේ මුදල් පමණක් බවත් එසේ වුවද ඔවුන් සතු ආත්ම ගෞරවය හා ස්වශක්තිය මුදලට වඩා දැඩි වටිනාකමක් පෙන්නුම් කරන බවත් දැඩිව විශ්වාස කරනු ලැබීය. එම අදහස පෙරදැරිකොට නැති බැරි අයවලුන්ගේ ඇති හැකිකම ඉස්මතුවන අයුරින් ජනතාව සතු ශක්තියට අභියෝග කර ජනසවිය වැඩසටහන හඳුන්වාදෙනු ලැබීය.

තමන් ජීවත්වන ගම් ප්‍රදේශයේ සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා සැබෑ දායකත්වය ලබා දී ගම දියුණු කිරීමේ ක්‍රියාදාමය එමඟින් ශක්තිමත් කරනු ලැබීය. එයට අමතරව ඔවුන්ට සිය අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමේ ක්‍රමවේදයකට යොමු කිරීමත් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය වර්ධනය කර ගැනීමත් මෙහිදී සිදුකෙරුණු විශේෂ කාර්යක් විය. රටේ බහුතර අඩු ආදායම්ලාභී ජනතාව හා දුගී දුප්පතුන් ආරක්ෂා කරගැනීම උදෙසා මෙවන් වූ විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතරතුර ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුවන ආකාරයෙන් රටේ පරිපාලන ක්‍රමවේදය හැකිතාක් දුරට විමධ්‍යගත කොට එය ගම සහ නගරයේ බිම් මට්ටමට ගෙනයෑම ප්‍රේමදාස මැතිතුමන්ගේ අපේක්ෂාව විය.

උදාගම් සංකල්පය සමඟින් එදා එතුමන් ආරම්භ කළ ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමවේදයේ වඩාත් ශයක්තිමත් කරමින් එය ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කළමනාකරණ ක්‍රියාවලිය වඩාත් බලවත් හා ශක්තිමත් වූ වැඩපිළිවෙළක් බවට පත්කරනු ලැබුවේ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ අදහසක් පෙරදැරිකොටය.

මෙයට අමතරව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හා අනාගත කාර්යදාමය සඳහා තරුණ තරුණියන් දායක කරගැනීමේ ඇති වැදගත්කම නිවැරදිව අවබෝධ කරගත් ප්‍රේමදාස මැතිතුමා රටේ දේශපාලනික ක්‍රියාවලිය හා පරිපාලන රටාව තුළ තරුණයන්ට වැඩි ඉඩ ප්‍රස්ථාවක් සලසා දෙනු ලැබීය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් අපෙන් වියෝ වී වසර 26ක් ගත වී තිබේ. දශක හතරකට ආසන්න ඔහුගේ සමාජීය හා දේශපාලනික මෙහෙවරේ ක්‍රියාකාරකම් රැසක් තුළින් අප මෙහිදී සඳහන් කරනු ලැබුවේ සීමිත කාර්යයන් කිහිපයක් පමණි. ඔහු බහුතර ක්‍රියාකාරකම් තුළින් නිරන්තරයෙන් අවධානය යොමුකළේ මෙරට දුගී දුප්පත් ජනතාව හා සමාජීය වරප්‍රසාද අහිමි ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීම සම්බන්ධයෙනි.

ප්‍රේමදාස මැතිතුමන් විසින් ක්‍රියාවට නැංවූ කවර හෝ සංවර්ධනයක විවේකයක් නොවීය. එයට දායක වූ නිලධරයන්ට එය මහත් සේ මතකයේ රැඳුණු අත්දැකීමක් විය.

ඔහු ඒ පිළිබඳ ජනසවිය සහ නිවාස සංවර්ධනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. “දුප්පත්කම හා නිවසක් නොමැතිකම නිසා ජනතාව අනේක විධ දුක් විඳිමින් සිිටිති. නිලධාරීන් වශයෙන් තමුන්නාන්සේලා වෙත රජය විසින් පවරා ඇත්තේ ඔවුන් පීඩා විඳින එම දුෂ්කරතාවයන්ගෙන් ඔවුන් මුදාගැනීමේ කාර්යභාරයයි. ඒ සඳහා තිරසර වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම අප සතු වගකීමයි. එවන් වූ කටයුත්තක් හුදෙක් කල්වේලා අපට අපගේ පෞද්ගලික කාලසටහනකට ක්‍රියාවට නැංවිය නොහැකි වේ. එවන් කාලසටහනක් ප්‍රතිලාභී ජනතාවගේ අවශ්‍යතාවට අනුකූලව නිර්මාණය කොට ඔවුන් සමඟින් එය ක්‍රියාවට නැංවිය යුතුය.”

සර්වකාලීන දැක්මක්

ප්‍රේමදාස මැතිතුමන් සැබෑ ප්‍රායෝගික ජනතා නායකයෙකි. මෙයට දශක හතරකට පමණ ප්‍රථම මෙරට නිවාස සංවර්ධනය සහ දුගී දුප්පත්කම දුරුකරලීම සඳහා විවිධ වූ සංවර්ධන කාර්යයන් තුළ ඔහුගේ මෙම ක්‍රියාකාරකම් ඉහතින් සඳහන් වූ ඔහුගේම විවිධ වූ ප්‍රකාශන තුළින් වඩාත් තහවුරු වේ. ප්‍රේමදාස මැතිතුමන් අප සමාජයෙන් සමුගෙන දශක දෙකකට අධික කාලයක් ගත වී තිබේ. ඔහු එදා ක්‍රියාවට නැංවූ එකී සංවර්ධන කාර්යයන් වඩාත් උචිත වනුයේ එවන් යුගයකටද වත්මනටද නොඑසේ නම් හෙට දිනටද යන්න අප සිතා බැලිය යුතුය.

[ලක්විජය සාගර 

මාතෘකා