දෙවිනුවර බාර ගැනීමේ තීරණාත්මක ඡන්දය

 ඡායාරූපය:

දෙවිනුවර බාර ගැනීමේ තීරණාත්මක ඡන්දය

හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල් මහතාගේ ජීවන චරිතය ඇසුරෙන් (රැස) පුවත්පත ගෙන එන ලිපි මාලාවේ දාහතර වැන්න (14) මෙය වේ.

ළමා අවධිය, මොරටුව වේස්ල් කුමාර විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපන අවධිය මෙන්ම ලංකා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සමය, භාණ්ඩාගාරයේ පුහුණු නිලධාරිවරයෙක්, දිසාපතිවරයෙක්, අමාත්‍යාංශ උප ලේකම් වරයෙක්, සමුපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක්, ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ගත කළ සමය සහ ගුවන් විදුලියෙන් ඉවත්වී දේශපාලනයට ප්‍රවේශ වීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලේකම් ලෙස කටයුතු කළ කාලය, බිබිල ආසනයට තරග කර පරාජය වීම දක්වා තොරතුරු මින් පෙර ලිපි හරහා ගෙන හැර දැක්වූ අතර දෙවිනුවර ආසනයේ අතුරු මැතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස තරග කරන ලෙස මැතිනිය යෝජනා කිරීම දක්වා තොරතුරු මතු දැක්වේ.

රොනීගේ දේශපාලන ගමන බිබිලේ පරාජයෙන් අවසන් වූ බැව් බොහෝ දෙනකුගේ නිගමනය විය. එහෙත් දෛවය විසින් රොනීට බාරදී තිබුණේ බිබිලේ ජනතාවට නායකත්වය සැපයීම නොවේ. රොනී, ඔහුට උරුම නොවූ බිබිලේ ජනමතය විමසමින් සිටියදී දෛවය විසින් ඔහුගේ ඒ ඉරණම ශ්‍රී ලංකාවේ දකුණු ලක අවසන් කෙළවරේ දෙවිනුවර මැතිවරණ කොට්ඨාසයේ සටහන් කරමින් පැවතිණි.

ලේක්හවුස් ආයතනය පවරා ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක මැතිනිය පත්තර පනතක් ගෙන ඒමට වූ සූදානම පරාජය කරමින් ඇයගේ රාජාසන කතාව පරාජය කිරීමට නායකත්වය සැපයුවේ එවකට අධිකරණ උප ඇමති, පී.පී. වික්‍රමසූරිය මහතාය. ඔහු ශ්‍රීලනිපයේ දෙවිනුවර ආසන සංවිධායකවරයාය.

1965 මැතිවරණයේදී පී.පී. වික්‍රමසූරිය මහතාට ශ්‍රීලනිපයේ දෙවිනුවර අසුනට නාමයෝජනා හිමි නොවූ අතර ඔහු තරග කළේ ඔහුගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය යටතේය. එම මැතිවරණයේ දෙවිනුවර ශ්‍රීලනිප අපේක්ෂකයා වූයේ පී.එච්. විලියම් සිල්වා මහතාය. එ.ජා.ප.ය තරගකරුවකු ඉදිරිපත් නොකරමින් වික්‍රමසූරිය මහතාට අනියමින් සහාය දැක්වීය. ස්වාධීන අපේක්ෂකයින් තිදෙනෙක්ද එම මැතිවරණයට ඉදිරිපත්ව සිටි අතර ‘යතුර’ ලකුණින් ඊ.කේ. සිරිල් මහතාද ‘මල’ ලකුණ යටතේ පී. අබේසුන්දර මහතාද ‘පුටුව’ ලකුණින් පී.එම්.බමුණුසිංහ මහතාද මැතිවරණයට ඉදිරිපත්ව සිටියෝය.

අංක 72 දෙවිනුවර අසුන වෙනුවෙන් වූ ඡන්දය රටේ වෙනත් ප්‍රදේශවල ඡන්දයට වඩා තරමක් ගැටුම්කාරී විය. සිය ආණ්ඩුව අවසන් කිරීමට නායකත්වය සැපයූ වික්‍රමසූරිය මහතා කෙරේ ශ්‍රීලනිප පාක්ෂිකයන් දැක්වූයේ වෛරී සහගත නැඹුරුවකි. පිටුපසින් සිට මැතිනියට පිහියෙන් ඇන්නා යැයි වන අරුතෙන්, වික්‍රමසූරිය මහතාගේ පක්ෂය ඔවුන් හැඳින්වූයේ ‘පිහි පාටිය’ යනුවෙනි.

විලියම් සිල්වා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වටා ව්‍යාපාරිකයින්, පක්ෂයේ දැවැන්තයින්, හිතවතුන් විශාල පිරිසක් කඳවුරු බැඳ සිටියේ එ.ජා.ප.යට තරඟයක් දීම වෙනුවෙන් නොව පී.පී.වික්‍රමසූරිය මහතාට අමතක නොවන පරාජයක් ලබා දෙන්නේය යන අදහසිනි.

වික්‍රමසූරිය මහතාගේ දේශපාලන හා පෞද්ගලික චරිතය අලලා දැඩි ප්‍රහාර එල්ල කරන කථිකයන් අතර විලියම් සිල්වා මහතාගේ වේදිකාව වර්ණවත් කළ තවත් පාර්ශ්වයක් වූයේ කොළඹ යුගයේ කවි කිවිඳියන්ය. ශ්‍රීලනිපයේ උග්‍ර පාක්ෂිකයකු වූ පී.බී. අල්විස් පෙරේරා ඉන් ප්‍රධාන වූයේ ඔහු නොමැති ජන හමුවක් දෙවිනුවර නොවූ නිසාය.

විවිධාකාර ගැටුම්, මතවාද මෙන්ම උණුසුම් සිදුවීම් රැසක් සහිතව දින ගණනක් මුළුල්ලේ පැවති මැතිවරණ සටනේ අවසන් දිනයට පැමිණ තිබිණි. අවසන් ප්‍රචාරක රැලිය පැවැත්වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් දෙවිනුවර නගර මධ්‍යයේය.

විවිධ කථිකයන් ජනතාව අමතද්දී මන්ත්‍රී අපේක්ෂක විලියම් සිල්වා මහතා, පී.බී. අල්විස් පෙරේරා කිවිඳුන්ට ආරාධනා කළේ සභාව රසවත් කිරීමට කවි කතාවක් කිරීම සඳහාය. මැතිනියගේ ගුණ වරුණද ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති පිළිබඳ කවියෙන් කියා පෑ අල්විස් පෙරේරා, එ.ජා.ප නායකත්වය හා පක්ෂ ප්‍රතිපත්ති විවේචනය කරමින් වේගවත් කවි කතාවක් කළේය. ජය ඝෝෂා මැද ඔහුගේ කවි කතාව අවසන් කළේ මෙම කවියෙනි.

එම්බා යතුර, එම්බා මල, බොල පුටුව

ඡන්දය නොකඩමින් හැකිනම් මග හිටුව

විලියම් සිල්ව මැතිඳුන්ගේ අත ගනුව

මිරිකමු පනස් දාහේ පොළඟගෙ බොටුව

අල්විස් පෙරේරා කවියෙන් කළේ, යතුර, මල සහ පුටුව ලකුණින් තරඟ කරන ස්වාධීන අපේක්ෂකයන් වෙත ඉල්ලීමකි. මෙදා මැතිවරණයේදී ඡන්දය කැඩීමෙන් වැළකී, පී.පී. වික්‍රමසූරිය මහතා පරාජය කිරීම සඳහා අත ලකුණින් තරග කරන විලියම් සිල්වා මහතා සමඟ එක්වන ලෙස එහි විය. කවියේ පී.පී. වික්‍රමසූරිය මහතා හඳුන්වා තිබුණේ ‘පොළඟා’ යනුවෙනි. පත්තර පනත ගෙන ඒම වැළැක්වීම සඳහා යටි බිම් ගත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ එවකට ලේක්හවුස් ප්‍රධානි, එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා, රාජාසන කතාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට රුපියල් පනස් දහසක් බැගින් අල්ලස් දුන් බව එවකට ශ්‍රීලනිපයේ ප්‍රධාන චෝදනාව විය.

පී.බී.අල්විස් පෙරේරා ලවා කවි කතාවක් කරවමින් තමා පත්තර පනතට එරෙහිව ඡන්දය දී විපක්ෂයට වාසි සැලසීම සඳහා අල්ලස් ගත්තකු ලෙස ජනතාව ඉදිරියේ හංවඩු ගසමින්, සිය කීර්ති නාමයට කැළලක් සිදු කළේයැයි පවසා ඡන්දය අවසන් වෙත්ම පී.පී. වික්‍රමසූරිය මහතා දෙවිනුවර නව මන්ත්‍රී, පී.එච්. විලියම් සිල්වා මහතාට එරෙහිව මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළේය.

ඡන්ද පෙත්සමට අදාළ නඩුව වසර දෙකක් පුරා පැවැත්විණි. එවකට ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් අල්ලස් ගත්තේය යන රාවයක් එසමයේ පැතිර තිබූ බැවින්ද පී.පී.වික්‍රමසූරිය මහතා ප්‍රදේශයේ සියලු දෙනා හඳුනන්නේ ‘පොළඟා’ යන අන්වර්ථ නාමයෙන්ද වන බැවින් අල්විස් පෙරේරාගේ කවියේ “මිරිකමු පනස්දාහේ පොළඟගෙ බොටුව” යන කවි පදය සෘජුවම වික්‍රමසූරිය මහතා ඉලක්ක කර අපහාස වන ලෙස කර ඇති බව බැලූ බැල්මටම පෙනී යන බව විනිසුරුගේ නිගමනය විය. අල්ලස් ලබා ගත්තවුන් සමාජය පිළිකුල් කරන බැවින්, මෙම අපහාසය නිසා මැතිවරණයේදී ජනතාව වෙතින් පී.පී. වික්‍රමසූරිය මහතා ප්‍රතික්ෂේප වීමට හේතු වී ඇති බවට ප්‍රමාණවත් සහේතුක කරුණු ඇති බැව් අධිකරණයේ පිළිගැනීම විය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දෙවිනුවර ශ්‍රීලනිප මන්ත්‍රී පී.එච්. විලියම් සිල්වා මහතාට සිය මන්ත්‍රී අසුන අහිමි විය.

ඩඩ්ලි සේනානායක මහතා රටේ පාලන බලය හිමිකරගෙන සිටියදී තම බලයේ තිබූ දෙවිනුවර අසුන ශ්‍රීලනිපයට අහිමි වීම මැතිනියට මහත් මදිකමක් විය. මන්ත්‍රී ධුරය පුරප්පාඩු වූ දෙවිනුවර මැතිවරණ බලප්‍රදේශය සඳහා සභිකයකු තෝරා ගැනීම වෙනුවෙන් 1967 මාර්තු 16 දිනට අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබිණි. විලියම් සිල්වාගෙන් පසු දෙවිනුවර ජයගත හැකි අපේක්ෂකයකු නොමැති කමින් මැතිනිය මහත්සේ අසීරුතාවකට පත්වී සිටියාය.

ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ හැකි යම් තරමකින් හෝ සුදුසු අපේක්ෂකයා වූයේ ඩික්සන් සිල්වා හෙන්දාවිතාරණ මහතාය. ඔහු ශ්‍රීලනිපයට හිතවත් මෙන්ම බණ්ඩාරනායක මැතිනියගේ ඉතා කුලුපග පාක්ෂිකයෙක් වූ අතර ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්ද විය.

අතුරු මැතිවරණය සඳහා තරග කිරීමට පාලක එ.ජා.ප.යද තීරණය කර තිබූ අතර එම පක්ෂයේ අපේක්ෂක ලෙස එවර නාමයෝජනා හිමිවුණේ, මැතිවරණ පෙත්සම ජයග්‍රහණය කළ පී.පී. වික්‍රමසූරිය මහතාටය. අධිකරණයෙන් ලද විජයග්‍රහණය මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහායද හිමිව තිබූ බැවින් වික්‍රමසූරිය මහතා ප්‍රබල ස්ථානයක පසු විය. ඔහු සමඟ තරග කිරීමට ඩික්සන් සිල්වා මහතා ශක්තිමත් නොවන බැව් ශ්‍රීලනිපයේ තක්සේරුව විය. එබැවින් දෙවිනුවර ජය ගත හැකි අපේක්ෂකයකු නොමැති කමින් බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ශ්‍රීලනිපය උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටියේය.

දෙවිනුවර අහිමි වූ අසුන නැවත ලබා ගැනීම සඳහා ඉතා ප්‍රබල අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන්න සියලු දෙනාගේ මතය වුවද රාජ්‍ය බලය පරයමින් අපේක්ෂිත ජය ලැබිය හැකි අපේක්ෂකයා කවුරුන්ද යන්න කිසිවකුට තෝරා බේරා ගත නොහැකි විය.

නාමයෝජනා දිනය කෙමෙන් කෙමෙන් ළංවත්ම මැතිනියට සිහි වූයේ සිය පක්ෂයේ සංවිධායක ලේකම්වරයා පිළිබඳ මීට පෙර දිනයක තමා තැබූ තක්සේරුවයි. “රොනීට ලංකාවෙ ඕනම තැනකින් ඡන්දයකට ඉදිරිපත් විය හැකියි ” යන සිය තක්සේරුව මත පිහිටා මැතිනිය රොනීගෙන් ඉල්ලා සිටියේ දෙවිනුවර අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසයි.

පැරෂුට්කරුවකු සේ බිබිලට ගොඩ බට රොනීට පක්ෂය විසින් නැවතත් යෝජනා කරන්නේ පැරචුට්කරුවකු සේ දෙවිනුවරට ගොඩ බැසීමට ය. ශ්‍රීලනිපය කරමින් සිටින්නේ රොනීගේ දේශපාලන අනාගතය ඔට්ටුවට තබමින් සූදු කෙළියක් බැව් ඔහුගේ සගයන්ගේ මතය විය.

රොනී මැතිනියට දැක්වූ ප්‍රතිචාරය කෙසේ වේද...? ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මීළඟ සතියේදී බලාපොරොත්තු වන්න.

[උපුල් ගලප්පත්ති]

මාතෘකා