විධායක ජනාධිපති ක්‍රමය

 ඡායාරූපය:

විධායක ජනාධිපති ක්‍රමය

1972දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීම තුළින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල විය. අධිකරණයටවත් වග නොකියන ඒකාධිපති සහ බල සම්පන්න ධුරයක් ඇති විය. වසර 47කට පසු වෙනස්විය යුතු යැයි සැලකෙන මෙම ක්‍රමයේ ප්‍රධාන කරුණක් වන්නේ මෙම විධායක ජනාධිපති ක්‍රමයයි.

ජනතා මතය

විධායක ජනාධිපති ධුරය වෙනස් කළ යුතු යැයි ජනතා මතය වඩාත් ප්‍රබලව ගොඩනැඟෙන්නේ 88/89 භීෂණ යුගයත් සමඟය. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විධායක ජනාධිපතිධුරය ඉවත් කරන බවට ලිඛිතව පොරොන්දු වූ අතර ජනතා විමුක්ති පෙරමුණ ඒ අනුව තම ජනාධිපති අපේක්ෂකයා තරගයෙන් ඉවත් කර ගන්නා ලදී.

ඉන් අනතුරුව ඇගේ දෙවන ධුර කාලය සඳහා වන මැතිවරණ පොරොන්දුවල, මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු සහ දෙවන ධුර කාලය සඳහා වූ පොරොන්දුවල සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනවාරි 8 පොරොන්දුවලද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟ වීම සිදුවිණි. ඒ අනුව වසර 25ක් පුරා ජනාධිපතිවරණ 5ක් පුරා ජයග්‍රහණය කළ අපේක්ෂකයන් තිදෙනාම විධායක ජනාධිපතිකම අහෝසි කිරීම වෙනුවෙන් පොරොන්දු දුන් අතර එය වෙනස් කිරීම සඳහා පැහැදිලි ජන වරමක් ලබා දීමට ශ්‍රී ලාංකික ඡන්දදායකයා කටයුතු කරන ලදී. මෙම කරුණු ගැළපීමෙන් අපට පැහැදිලිව පෙනෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ ජනතා මතය වසර 25ක සිට නොවෙනස්ව වර්ධනය වෙමින් පවතින බවකි.

බලලෝභී දේශපාලකයන්

බලයට ඒමට පෙර එය වෙනස් කරන බවට පොරොන්දු දුන් සියල්ලෝම බලය ලැබීමෙන් පසු බලලෝභීව එහි රැදී ඉන්නට කටයුතු කළහ. එපමණක් නොව විධායක ජනාධිපති ධුරය වෙනස් කරන බවට පොරොන්දු දුන් මහින්ද රාජපක්ෂ මහතාම ජනාධිපති ධුරය දැරීමේ දෙවරක් වූ උපරිම කාල සීමාව වෙනස් කිරීමද විශේෂත්වයකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දෙවන ධුර කාලයේ වසර 6ම ගත කිරීම සඳහා අධිකරණයට යෑමද මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 6ම සම්පූර්ණ කාලය බලයේ රැඳී සිටීම සඳහා අධිකරණයේ මතය විමසීමද යන කාරණා බැලීමෙන් පෙනෙන්නේ විධායක ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි උපරිම කාලය ලබාගන්නට මේ සියලු දෙනා කටයුතු කළ බවයි.

විධායක ජනාධිපති ක්‍රමය සහ ක්‍රමයේ වෙනස

මේ වන විට ක්‍රමය වෙනස් කළ යුතු යැයි කියවෙන බොහෝ අවස්ථාවල විධායක ජනාධිපති ධුරය වෙනස් විය යුතු බවත් පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් රටේ නායකයා විය යුතු බවත් පැවසේ. මේ මජර ක්‍රමයේ මූලිකම කරුණක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. රට වෙනස් මාවතකට ගෙන යෑම සඳහා වූ ක්‍රමයේ වෙනසක් සඳහා විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීම අනිවාර්ය කොන්දේසියකි. එය කිසිසේත් මඟ හැරිය නොහැකිය.

ක්‍රමය වෙනස් කළ යුතු යැයි පවසමින් විධායක ජනාධිපති ධුරය රැක ගත යුතු යැයි පැවසීම න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකවද විකෘතියකි. එවැනි මතවාදයක් කිසිවිටෙක විකල්පයක් නොවනවා මෙන්ම එවැනි මතවාදයක් සහිත කණ්ඩායමක්, සංවිධානයක් හෝ පක්ෂයක් විකල්පයක් ලෙස පිළිගත නොහැකිය. මක්නිසාද යත් විධායක ජනාධිපති ක්‍රමය යනු මෙම පවතින මජර ක්‍රමයේ සිරස වන බැවිනි. මේ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් විකල්පයක් නොවේ. එමෙන්ම පසුගිය වසර 25ක් පුරා මේ රටේ ගොඩනැඟී ඇති විධායක ජනාධිපති ධුරය සම්බන්ධව ජනතා විරෝධයට පිටුපා ගමන් කිරීමකි.

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම

විකල්ප යනු ආදේශකයක් නොවේ. තියෙන එකේම වෙනත් මුහුණක්ද නොවේ. තියෙන ක්‍රමයේ ගැටලු අර්බුද හඳුනාගෙන ඒවා නැවත ඇති නොවන සේ නව ක්‍රමය සකස් විය යුතුය. එය එක රැයින් සිදුකළ නොහැකිය. සමහර විට දශක දෙකක් පමණ ඉදිරියට ක්‍රමානුකූලව එකින් එක වෙනස් කරමින් ගමන් කිරීමට සිදුවනු ඇත. නමුත් මූලිකවම එම ගමනට බාධා වන මූලික මුල් උදුරා දැමිය යුතුය. විධායක ජනාධිපති ක්‍රමය වූ කලී එහි මුලින්ම ගැලවිය යුතු මුදුන් මුල වේ. එය ගැලවීමෙන් පසු ඉතිරිය ක්‍රමානුකූලව සිදුකර ගත හැකිය.

වසර 25ක් පුරා බහුතර ජනමතයක් ප්‍රතික්ෂේප කළ මජර විධායක ජනාධිපති ක්‍රමය රැකගැනීම යනු විකල්පයක් නොවේ. එය ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් වැඩකරන විකල්ප කඳවුරට එරෙහිව වැඩ කරන ප්‍රතිගාමී වැඩපිළිවෙළකි.

මාතෘකා