කෙනෙක් දෙවරකට වඩා ජනාධිපති වෙන්න ඕන නෑ : වාසුදේව නානායක්කාර

 ඡායාරූපය:

කෙනෙක් දෙවරකට වඩා ජනාධිපති වෙන්න ඕන නෑ : වාසුදේව නානායක්කාර

මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රබල දේශපාලන චරිත අතර වාසුදේව නානායක්කාර මහතාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. නව සම සමාජ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරමින් ඒකාබද්ධ විපක්ෂයේද ප්‍රබල භූමිකාවක නිරත ඒ මහතා සමඟ මෙරට වත්මන් දේශපාලන තත්ත්වය හා බැඳුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් 'රැස' කළ සාකච්ඡාවකි මේ.

මේ දවස්වල ඔබේ දේශපාලන ජීවිතය කෙබඳුදු?

වැඩ කටයුතු අධිකයි. සංකීර්ණයි. ඒ වගේම බෙහෙවින්ම පොළඹවනසුලු තත්ත්වයක අපි ඉන්නේ.

වාසුදේව නමින් කිසිදු දේශපාලඥයෙක් මෙරට දේශපාලනයේ නැහැ. ඔබ හා බැඳුණු ඒ නමේ විශේෂත්වය කුමක්ද?

බහුලව පාවිච්චි නොකිරීමම තමයි එහි විශේෂත්වය. ඉන්දියාවේ නම් උතුරේත් දකුණේත් වාසුදේව කියන නම බහුලව පාවිච්චි වෙනවා. උතුරේ වාසුදේව් කියලා පාවිච්චි වෙනවා. දකුණේ වාසුදේවන් කියලා පාවිච්චි වෙනවා. ඉතින් අපේ ලංකාවේ සිංහලෙන් ඒක වාසුදේව කියලා තමයි භාවිතා වෙන්නේ. මගේ පියා දැඩි විෂ්ණු භක්තිකයෙක්. එතුමා තමන්ගේ විෂ්ණු භක්තියට කරන උපහාරයක් විදිහට විෂ්ණු දෙවියන්ට කියන නමක් වන වාසුදේව කියන නම ලොකු පුතාට ලබාදුන් බව තමයි මේ පිළිබඳ කරුණු දැක්වීමේදී මගේ පියා සඳහන් කළේ.

කලක් වාමාංශික ව්‍යාපාරය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වුණා. නමුත් "වාමාංශික ව්‍යාපාරයෙන් වාසුට ඉතුරු වුණේ රැවුල විතරයි"කියලත් කියන අය සිටිනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ඒ වගේ රසකතාවලට දේශාපාලන ලෝකයේ හැමදාම ඉඩ තිබෙනවා. ඒවාට අපි කියන්නේ රසකතා කියලා. දේශපාලන රසාස්වාදය කියලා එකකුත් තියෙනවනේ. ඒ නිසා ඒ කතා ගැන මගෙ අමනාපයක් නැහැ.

විසි වැනි සංශෝධනය පිළිබඳ ඔබේ අදහස කුමක්ද? ඇතැම් පුද්ගලයන් වගේ ඔබ මෙයට විරුද්ධ වන්නේත් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ එකක් නිසාද?

නැහැ. එවැනි අදහසක මම නැහැ. නමුත් මේ අවස්ථාවේදී විසි වැනි සංශෝධනයේ බරපතලකම මම දකිනවා. අගමැතිතුමාට තියෙන බලයයි ජනාධිපතිතුමාට තියෙන බලයයි අතර මේ වෙලාවේ තරගයක් තිබෙනවා. ඒ තරගය තුළ අගමැතිතුමාට වාසියට හැරවෙන තත්ත්වයක් විසි වැනි සංශෝධනයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේ අගමැතිතුමාට වැඩිපුර බලයක් ලැබීම දේශපාලන වශයෙන් අපිට අහිතකරයි. ඒ නිසා අපි කල්පනා කළා මේ බල තුලනය මේ විදිහටම තියෙන්න ඕන, අපි මේ රටේ විපර්යාසය ඇති කරන තාක්. ඒ විපර්යාසය ඇති කරන්නම ඕන. පාර්ලිමේන්තුවට බලය ගන්න ඕන. ජනාධිපතිවරයෙක්, තනි පුද්ගලයෙක් මුදුනේ තියාගන්න අවශ්‍ය නැහැ. ඒකට ඉස්සර තිබුණා වගේ නාමික ජනාධිපතිවරයෙක් උවමනායි. මේ වෙලාවේ ඔය සංශෝධනය ගෙනාවොත් මේ තියෙන්නා වූ බල තුලනය වෙනස් වීමෙන් අපට අවාසියක් සිදුවෙනවා.

නමුත් 2010 වසරේදී ඔබ ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයෙක් දෙවතාවකට වඩා ධුරයේ ඉන්නවට ඔබ අකමැතියි, නමුත් විධායක අගමැතිවරෙක් පත්වනවාට අකමැත්තක් නැහැ කියා. ඔබේ ඒ ස්ථාවරය දැන් වෙනස් වෙලාද?

නැහැ මගේ ස්ථාවරය ඒකමයි. ප්‍රතිපත්තියත් ඒකමයි. නමුත් මේ වෙලාවේ උපායික වශයෙන් තමයි අපි මේ ස්ථාවරය ගන්නේ. උපාය මාර්ගිකව මේ අවස්ථාවේ මේ සන්දර්භය තුළයි අපි වත්මන් ස්ථාවරය තුළ ඉන්නේ.

කීර්තිමත් වාමාංශික දේශපාලඥයකු ලෙස ඔබ මේ රටට පවුල් පාලනයක් ලැබෙනවාට කැමතියිද?

එකම පවුලකට බලය ලැබෙනවට මම එකඟ නැහැ. ඒ වගේම පවුල් බලයට මම කැමතිත් නැහැ. මම කැමති මහජන බලයට. මහජන බලයෙන් පත්වන කෙනෙක් එකම පවුලකට අයත් වීම අපට වැළැක්විය හැකි දෙයක් නෙවෙයි. අපේ වගේ රටවල්වල බොහෝවිට පෙළපත් අනුව තමයි ජනප්‍රියතාවයත් එන්නේ. උදාහරණයක් විදිහට අපි ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වගේ රටවල් ගත්තොත් ඒවායෙත් එකම පෙළපතකින් දේශපාලනයට ආ අය හිටියා. පෙළපත් ස්වරූපයට මහජනයාගේ කැමැත්ත ලැබෙන ස්වරූපය අපේ රටවල්වල ස්වරූපයක්. අපේ රට තවමත් ප්‍රජාතන්ත්‍රවාදයේ පූර්ණත්වයට ගිහින් නෑනේ. ඒ වගේම තාමත් අපිට වැඩවසම් යුගයේ ලක්ෂණ සහ එහි ආභාෂයක්, බලපෑමක් තිබෙනවා. ඒ ස්වභාවය තමයි පවුල්, පෙළපත් අනුව නායකයන් කරගැනීම තුළත් දකින්නට ලැබෙන්නේ. එකම පවුලක අය මහජන නියෝජිතයෝ හැටියට පත් වෙනවා නම්, ඒක අපිට වළක්වන්න බැහැ. ඒ වගේම අපි දකින දෙයක් තමයි වැඩිපුරම මහජන ප්‍රසාදය දිනාගත හැකි වන්නේ ප්‍රභූ පවුල්වලට. වැඩවසම් ක්‍රමයෙන් එන්නා වූ අනුපිළිවෙල අනුව ඔවුන් ඉන්නේ සමාජයේ ඉහළ තලයක. ඒ තත්ත්වය බොහෝ සෙයින් වැදගත් වෙනවා ජනප්‍රසාදය ගොඩනඟාගැනීමට. නමුත් අපි පිළිගන්න ඕන අපේ වගේ රටවල්වල තාම පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා අර ප්‍රභූ පවුල්වලින් එන්නාවූ අයට තමයි වැඩි අවස්ථාව තියෙන්නේ මහජන ප්‍රසාදය දිනාගන්න.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පවසා තිබුණා ඔහු පිළිගන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය පමණයි කියා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මම මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය පිළිගන්න කෙනෙක්. අපේ අදහස් අනුව මේ රට ඉදිරියට ගෙනියන්න වෙන නායකයෙක් නැහැ. අපේ අරමුණු ඉටුකරගැනීමට යම් පියවර ගත හැකි ඒ සඳහා නායකත්වය දිය හැකි, අත්දැකීම් තිබෙන පුද්ගලයෙක්.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කර තිබුණා ඊළඟට මැතිවරණට ඉදිරිපත් වෙන්නේ ඔහුගේ දරුවෙක් හෝ සහෝදරයෙක් බව? ඒ ප්‍රකාශය ව්‍යවස්ථානුකූලව ඔහුට යළි ඉදිරිපත් විය නොහැකි බව පිළිගැනීමක් නේද?

එදා ඒ සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇහුවේ ඔබේ සහෝදරයෙක් හරි දරුවෙක් හරි මේ ඡන්දෙට එනවද කියලයි. එතකොට මහින්ද මහත්මයා කිවවේ මගේ දරුවන්ට නම් දැන්ම එන්න බැහැ, මගේ සහෝදරයින්ට සුදුසුකම් තියෙනවා. නමුත් ඒක තීන්දු වෙන්නේ අපේ ඒකාබද්ධ විපක්ෂය පවත්වන සාකච්ඡාවලින් ඇති වන එකඟතාවයන් අනුවයි කියලයි කිව්වේ.

රාජපක්ෂ සහෝදරයෙක් නායකත්වයට පත්වීම ගැන ඔබේ පෞද්ගලික මතය කුමක්ද?

මගේ යෝජනාව නම් මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙක් බව නොතකා අපි මේ ප්‍රශ්නය දෙස බැලිය යුතුයි. සහෝදරයාද නැද්ද කියලා දෙවනුව බැලිය යුතුයි. මුලින්ම බලන්න ඕන දේශපාලන වශයෙන් අපි අනුමත කරන චරිතය කවුද? දිනන්න පුළුවන් චරිතය කවුද කියන එක. ඊළඟට තමයි සහෝදරයෙක්ද නැද්ද කියන එක වැදගත් වෙන්නේ.

ඒ ආකාරයෙන් බලද්දි නැවතත් ඒ පවුලටම නේද බලය යන්නෙ?

අපි මෙහෙම හිතමු. අපි චමල් රාජපක්ෂ මහත්මා තීන්දු කරගත්තොත් එතුමා රාජපක්ෂ සහෝදරයෙක් වීම අපිට දෙවැනියි. මොකද එතැනදී ප්‍රධාන වෙන්නේ එතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය. එතුමා තුළ තිබෙන්නේ මැද මාවතේ වමට බර ප්‍රතිපත්ති. ඒක තමයි ප්‍රධාන දේ. අපිට ඒක ඉටුකරගන්නයි අවශ්‍ය. ඔහු රාජපක්ෂ පවුලට සම්බන්ධද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් දේශපාලන බලය ඔහුගේ ප්‍රතිපත්ති සමඟයි තීරණය වෙන්නේ.

වරක් ඔබ ප්‍රකාශ කර තිබුණා මිලිටරි ආණ්ඩුවකට නම් කැමති නොවන බව. තවමත් ඔබ ඉන්නේ ඒ ස්ථාවරයේමද?

ඔව්. මිලිටරි ආණ්ඩුවකට මම විරුද්ධයි. මම ප්‍රජාතන්ත්‍රවාදියෙක්. මිලිටරි ආණ්ඩුවකට හෝ මිලිටරිවාදී ශෛලියක් තියෙන ආණ්ඩුවකටත් මම විරුද්ධයි. මම ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය අදත් පූර්ණ නැහැ. එය පූර්ණභාවයට පත් කිරීමක් සමඟ තමයි අපි ඇත්තටම ජයග්‍රාහීභාවයකට එන්නේ.

පවුල්වලින් බාහිරව බිහිවන නායකයන්ට මේ රටේ තැනක් නැද්ද? පරිණත වාමාංශික දේශපාලඥයෙක් විදිහට ඔබට ඒ ගැන තිබෙන අදහස කුමක්ද?

දැන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි කවුරුවත් මේ රටේ වැඩ කරන පන්තියේ නියෝජිතයෝ නෙවෙයි. සියයට අනූවක් අය බොහොම වත් පොහොසත්කම් තියෙන අය. ව්‍යාපාරිකයො, නීතිඥයෝ වගේ ආදායම් තියෙන අය. ඒ අය ජනතාව නියෝජනය කළාට ඒ අය පහළම මට්ටමේ ඉන්නා ජනතාවගේ ජීවිතය නියෝජනය කරන්නේ නෑනේ. දැන් බලන්න ධීවරයෙක් ගත්තොත් ඒ ධීවරයා අද මුහුණ දෙන ප්‍රශ්න හෝ ඔහුගේ ජීවිතය නියෝජනය වෙන්නෙ නැහැ. ඒ නිසා මම කියන්නේ ධීවරයන්, කම්කරුවන්, ගොවියන්, වැඩ කරන ජනතාවගේ සංවිධානවලින් නියෝජිතයන්, වෘත්තිය සමිතිවලින් එන නියෝජිතයන් මේ අයගෙන් සමන්විත විය යුතු පාර්ලිමේන්තුවක් විය යුතුයි. විද්වතුන්, උගතුන් සහ බුද්ධිමතුනුත් ඕනේ. නමුත් වැඩි පංගුව විය යුත්තේ වැඩ කරන ජනතාවගේ ජීවිතය නියෝජනය කරන අය මිස වැඩ කරන අය නියෝජනය කරන අය නෙවෙයි. ඒ විදිහට වැඩ කරන අයගේ ජීවිත නියෝජනය කරන්න පුළුවන් ඒ පංතියේ, ශ්‍රේණියේ ඉන්න ජනතාවගේම උදවියට. ඒ කියන්නේ ධීවර සංවිධාන නායකයෙකුට පුළුවන් වෙන්න ඕන පාර්ලිමේන්තුවට එන්න. පාර්ලිමේන්තුවෙන් ගියාම ඒ ගොල්ල බෝට්ටුවේ නැඟලා ධීවර කර්මාන්තෙටත් යනවා. මෙතැනදී වෙලා තියෙන්නේ වැඩ කරන ජනතාවගේ ජීවිතය නියෝජනය වෙන පිරිස් පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. ඒ නිසා අපේ රටේ ජ්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ අර්ධ වශයෙන්.

ඒ වෙනුවෙන් ඔබ ළඟ වැඩපිළිවෙළක් තියෙනවාද?

අපේ වැඩපිළිවෙළ තුළ ඒ යෝජනාව තිබෙනවා. වැඩ කරන ජනතාවගේ ජීවිත නියෝජනය කරන ඔවුන් අතරින්ම තෝරාගත් පිරිසක් පාර්ලිමේන්තුවට එන ක්‍රමයක් අපි හදන්න ඕන. මේ තියෙන ඡන්ද ක්‍රමය තුළ ඔවුන්ට පාර්ලිමේන්තුවට එන්න ඉඩක් නැහැ. පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ බොහෝ අය අතරින් පුද්ගලයන් පළාත්සභාවලට තේරාපත්කරන්නත් පළාත් සභාවලට තේරී පත්වන අය අතරින් පාර්ලිමේන්තුවට පුද්ගලයන් පත්කරන්නත් පුළුවන් ක්‍රමයක් අපි හැදුවොත් ඔය කියන විදිහේ බිම් මට්ටමේ ඉන්න ජනතාවගේ නියෝජිතයන් ඔවුන්ගේ ශ්‍රේණිවල ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙනවා. ඒ වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ඒ අය මොන පක්ෂයට අයිති වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ.

පසුගිය රජයේදී ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමති ධුරය දැරූ ඔබ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ අවශ්‍යතාව දකින්නේ කෙසේද?

මේ රටේ ජාතික එක්සත්කම ඇති කිරීම තමයි අපි කළ යුතුව තිබෙන ප්‍රධාන කාර්යය. ඒ ප්‍රමුඛ කාර්යය තවමත් ඉටුවෙලා නැහැ. ඒ සඳහා ක්‍රියාදාමයක් අපි ඉදිරියට ගෙන යා යුතුයි. මේක එක දවසකින් වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. සමානාත්වය හැමෝටම එක වගේ ඇති වුණොත් ඒකට පාර කැපෙනවා. හැම අතින්ම සමානාත්වය ඇති වුණොත් එකතු වීමේ ගතිය ඇති වෙනවා. හැමෝටම ජාතික සහ ආගමික හැඟීම් තිබෙනවා. ඒ හැඟීම්වලටත් ඉඩක් දෙන්නට ඕන. හැබැයි රට එකට තියෙන්නත් ඕන. මෙන්න මේ කොන්දේසිවලට යටත්ව අපි රට එක්සත් කිරීමේ ක්‍රියාදාමයකට යන්නට ඕන.

ඔබ අමාත්‍ය ධුරය දරන කාලයේදී ඒ දේවල් ඉටු කිරීමට අපොහොසත් වුණේ ඇයි?

අපිට කාලය මදිවුණා. අනිත් එක අපේ ආණ්ඩුවත් ඒ පිළිබඳ ප්‍රබල ලෙස සැලකීමක් වුණේ නැහැ කියලා මම පිළිගන්නවා. හැබැයි ලොකු දෙයක් වුණා එහේ පළාත් සභා ඡන්ද, පාර්ලිමේන්තු ඡන්ද තිබ්බා. ඒ කිසිම දේකදී හමුදාව බලපෑමක් කළා කියලා කිසිම පැමිණිල්ලක් නැහැ. අපේ ආණ්ඩුව යටතේ ඒවා ඉටුවුණා. ඒක ලොකු දෙයක්.

"සංහිඳියාව වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන වාසුදේව ඉන්න ඕන මේ ආණ්ඩුව යටතේයි" ඇතැම් පුද්ගලයන් එවැනි අදහසක්ද දරනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මෙතැන තියෙන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධ සටනක්. අධිරාජ්‍යවාදයට විරුද්ධව තියෙන සටන ප්‍රබල, ප්‍රධාන සටනක්. නව ලිබරල්වාදයට, ගෝලීයකරණයට, රාජ්‍ය සම්පත් විකිණිමට, පුද්ගලීකරණයට, ජනතාව මත දිගින් දිගටම බදු බර පැටවීමට ආදියට විරුද්ධවයි අපි මේ සටන ගෙනියන්නේ. ඒ කරුණුවලට වගේම ජාතික නිදහසට බලපෑම් කිරීමට විරුද්ධව අපිට යන්න තියෙන්නේ මහින්ද මහත්තයාගේ කඳවුරයි. ඒ කඳවුරත් එක්ක යන ගමනේදී අපිට ජාතික එක්සත්කම ඉතා අවශ්‍යයි. අපි එය ඉටුකළ යුතුයි.

මහින්ද රාජපක්ෂගේ කඳවුරක් ගැන ඔබ දකින්නේ සිහිනයක් වෙන්න බැරිද? ව්‍යවස්ථානුකූලව ඔහුට යළි ජනාධිපතිවරණයට එන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් නේද?

එය නීති තර්කයක් පිළිබඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ නැහැ ඒක ඒතරම්ම ලොකුවට ගත යුතුයි කියා. නීතියෙන් බැලුවාම එහෙම තර්කයකටත් ඉඩ තියෙනවා. නමුත් දෙපාරකට වඩා මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය අහිමි කරපු සංශෝධනය හරි කියලයි මමත් හිතන්නේ. මමත් ඒ සංශෝධනයට පක්ෂ වුණා.

ඒකාබද්ධ විපක්ෂ කඳවුරේදී අද ඔබේ වටපිටාවේ සිටින පුද්ගලයන් ගැන කළකිරීමක් නැද්ද?

කළකිරීම්, අතෘප්තිකරභාවයන් නැතිවා නෙවේ. දේශපාලන වශයෙන් නොයෙකත් දුක් ගැනවිලි තියෙනවා. නමුත් ඒ සියල්ල අපි අධිරාජ්‍ය විරෝධී, ජාතිකවාදී ව්‍යාපාරය තුළ තමයි ගෙනයන්නේ. ජාතිකත්වය අපේ අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම්වලට යටකර ගන්න දෙන්න බැහැ. ඒ වගේම මේ රටේ පොදු ජනතාවගේ උවමනාව පෙරදැරි කරගත්තා වූ ආණ්ඩු පාලන ප්‍රතිපත්තියකට රට ගමන් කරවිය යුතුයි.

ජ්‍යෙෂඨ දේශපාලඥයෙක් විදිහට ජනාධිපති ධුරය ගැන ඔබටත් සිහිනයක් තිබෙනවාද?

මම හිතන්නේ නැහැ දැන් මම ඉන්න වයස තුළ එවැනි අනාගතයකට ඉඩප්‍රස්ථාව තිබෙනවා කියා. ඒ නිසා මම එවැනි බලාපොරොත්තුවකින් හෝ අභිමතාර්ථයකින් තොරවයි දේශපාලනයේ යෙදෙන්නේ.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

ඡායා [ලලිත් සී ගමගේ]

මාතෘකා