රුපියල අවප්‍රමාණය වීමේ ඇත්ත කතාව

 ඡායාරූපය:

රුපියල අවප්‍රමාණය වීමේ ඇත්ත කතාව

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ වැටීම හෙවත් රුපියල අවප්‍රමාණය වීම මේ වන විට ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ආණ්ඩුව මේ සිදුවීම ගෝලීය ආර්ථිකය තුළ සිදුවන බලපෑම මත සිදුවන ස්වාභාවික තත්ත්වයක් සේ කොතරම් පැහැදිලි කළත් රජපක්ෂ කල්ලිය විසින් නිර්මාණය කළ “ආර්ථික අර්බුදය” පිළිබඳ මිථ්‍යාව තව දුරටත් ව්‍යාප්ත වෙමින් හා බලවත් වෙමින් තිබෙන බවක් අපට නිරීක්ෂණය කළ හැකිය. පසුගිය 22 වැනිදා මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීද මේ මිථ්‍යාව කොතරම් දුරට සමාජගත කිරීමට ඔවුන් වෑයම් කරන්නේද යන්න පැහැදිලි වුණා.

 

අද රුපියල අවප්‍රමාණය වීම ගැන රාජපක්ෂ කථිකාවේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ව සිටින්නේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, බන්දුල ගුණවර්ධන සහ විමල් වීරවංශ ඇතුළු කල්ලියයි. පසුගිය 22 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීද ජනමාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් රුපියල අවප්‍රමාණය වීම ගැන, යම් කිසි ආකාරයකින් ඉදිරියේදී බලයට පත්වන ඔහුගේ ආණ්ඩුවක් යටතේ ගන්නා වූ පියවර ගැන විමසූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා “තක්බීර් ” වූ ආකාරයක් පැහැදිලිව දැකගත හැකි වුණා. විනාඩියක් පමණ වටපිට බලමින් කල්ගත් රාජපක්ෂ මහතාට පසුපස අසුන් ගෙන සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා කනට කර යම්කිසි දෙයක් ප්‍රකාශ කළ අතර පසුව රාජපක්ෂ මහතා එය පුනරුච්චාරණය කරන ආකාරය අපට දැක ගත හැකි වුණා.

රාජපක්ෂ - කබ්රාල් යුගය

රුපියල අවප්‍රමාණය වීම පිළිබඳ සංවාදයේදී රාජපක්ෂ කල්ලිය ක්‍රියාත්මක වන්නේ තම යුගයේදී එය ස්ථාවරව හා ශක්තිමත්ව තිබූ බවට චිත්‍රයක් ජනතාව හමුවේ නිර්මාණය කරමිනුයි. එහෙත් රාජපක්ෂ - කබ්රාල් යුගයේදී ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා ආදිය දෙස බැලීමේදී අද ඔවුන් කියන “වැදි බණ”වල තරම අපට පහසුවෙන් වටහා ගත හැකියි.

විදේශ විනිමය අනුපාත (වාර්ෂික සාමාන්‍ය) 2008-15

වර්ෂය ඇමෙරිකානු ඩොලර්

2008 108.33

2009 114.94

2010 113.06

2011 110.57

2012 127.60

2013 129.12

2014 130.56

2015 135.94

උපුටා ගැනීම : 2016 සංඛ්‍යාන අත්පොත, පිටුව 63, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

2008 දී 108.33 ක් වූ විනියමය අනුපාතය 2009 රුපියල් 114.94 ක් දක්වා අවප්‍රමාණය වන විට එහි උපරිමය අපට 2012 දී දැක ගත හැකියි. ඒ 2011 වර්ෂයේදී රුපියල් 110.57 ක් වූ විනිමය අනුපාතය 2012 දී රුපියල් 127.60 ක් දක්වා රුපියල් 17කට ආසන්න අගයකින් අවප්‍රමාණය වීමයි. මේ තත්ත්වය අඛණ්ඩව පැවැති බවද අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව 2008 දී රුපියල් 108.33 ක් වූ විනියම අනුපාතය 2014 මහින්ද - කබ්රාල් යුගය අවසානයේදී රුපියල් 130.56 දක්වා රුපියල් 22කට ආසන්න ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබෙනවා. 2015 ද සැලකිය හැකිවන්නේ රාජපක්ෂ පවු ගෙවූ වසරක් වශයෙන් හෙයින් ආසන්න වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි යුගය වශයෙන් සැලකෙන 2010-15 යුගයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 113.06 සිට 135.94 දක්වා අඛණ්ඩව අවප්‍රමාණය වීමකට ලක්ව තිබෙනවා.

අර්බුදයෙන් බේරීමට තිරසර පියවර

රටේ ප්‍රධාන අපනයන කර්මාන්තය වන ඇඟළුම් කර්මාන්තයට ඍජුව සම්බන්ධ ජී. එස්. පී. ප්ලස් තීරු බදු සහනය අහිමි කර ගනිමින්, දේශීය අපනයන කර්මාන්ත වැඩි දියුණු කිරීමට කිසිදු අවධානයක් යොමු නොකරමින් හම්බන්තොට, මත්තල වැනි සුදු අලි නඩත්තු කළ රාජපක්ෂ - කබ්රාල් හවුල තම යුගයේදී ආර්ථික අර්බුදය වසා ගත්තේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සුබසාධන වියදම් කප්පාදු කිරීම ආදිය මගින් බවට ප්‍රකට කරුණක්. ඒ අතර අපනයන ආදායම බිඳ වැටීම, විදේශ ආයෝජන (චීන හැර) සීමා වීම නිසා ගෙවුම් ශේෂය මත ඇති වූ පීඩනය හේතුවෙන් ඇති වූ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් මුදා හැරීම මගින් බව අද ප්‍රකට කරුණක්. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2012 දී සිදු වූ අවප්‍රමාණයවීම් වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව මහ බැංකු සංචිත වශයෙන් තබා ගෙන සිටි ඩොලර් බිලියන 4.2ක මුදලක් මුදා හැර තිබෙනවා. එහෙත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණාත්මකව සඳහන් කළේ වත්මන් රජය එවැනි සූදුවකට සූදානම් නැති බවයි. එනම් ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත මුදා හැරීම මගින් රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමේ කිසිදු සූදානමක් රජයට නැති බවයි. ඒ සඳහා තිරසර පියවර ගැනීමට රජය පියවර ගන්නා බව ද මුදල් ඇමැතිවරයා සඳහන් කළා.

මුදල් ඇමැතිවරයා අවධාරණය කරන මේ කරුණට පදනම වන්නේ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම රාජපක්ෂ යුගයේදී මෙන් දේශීය සාධක බලපෑම මත සිදුවන හුදකලා සිදුවීමක් නොව ගෝලීය ප්‍රවණතාවක් වීමයි. එම තත්ත්වය තුළ ලංකාව තමන් සතු සංචිත මුදා හැරීම මගින් ගන්නා හුදෙකලා ප්‍රයත්නයක් ඵලදායී නොවන බව මුදල් ඇමැතිවරයා පෙන්වා දෙනවා. මුදල් ඇමැතිවරයාගේ මේ ප්‍රකාශයේ ඇති සත්‍යතාව මේ වන විට ගෝලීය වශයෙන් ඩොලරයට සාපේක්ෂව සිදුවන මුදල් අවප්‍රමාණය වීම් නිරීක්ෂණය මගින් පැහැදිලිව හඳුනා ගත හැකියි.

රට අවප්‍රමාණය වීම

ඉන්දියාව 13.5

පාකිස්ථානය 12.1

ඉන්දුනීසියාව 9.5

රුසියාව 18.2

බ්‍රසීලය 24.8

අර්ජන්ටිනාව 11.2

ඕස්ට්‍රේලියාව 8.2

පිලිපීනය 7.2

ශ්‍රී ලංකා රුපියල 7

මේ සඳහා ප්‍රධාන ප්‍රවණතා තුනක් වෙත ඔවුන් සිය අවධානය යොමු කරනවා.

1. ඇමෙරිකානු පොලී අනුපාත ඉහළ දැමීම

2. ඇමෙරිකානු - චීන බදු යුද්ධය

3. ඇමෙරිකානු - ඉරාන අර්බුදය

ඉහත සඳහන් කරුණු ත්‍රිත්වයම ඍජුව ඇමෙරිකානු ආර්ථික හා මූලෝපායික ප්‍රතිපත්ති හා ඍජුව ගැටී තිබෙනවා. ඇමෙරිකානු වෙළෙඳපොළේ පොලී අනුපාතය පහළ තිබූ යුගයේදී ලංකාව ඇතුළු රටවල කොටස් වෙළෙඳපොළ ඇතුළු අංශවල ඇමෙරිකානු ආයෝජන පුළුල් වුණා. එහෙත් මේ වන විට ඇමෙරිකාවේ පොළී අනුපාතය ඉහළ යාම හේතුවෙන් ඔවුන් යළිත් තම ආයෝජන ඉවත් කර ගනිමින් ඇමෙරිකාව වෙත සංක්‍රමණය වෙමින් සිටිනවා. එය ලංකාව වැනි රටවලට කෙටි කාලීන ඍජු අහිතකර ප්‍රතිවිපාක ඇති කරවන තත්ත්වයක්. අනෙක් අතින් ඇමෙරිකානු - ඉරාන අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ යමින් තිබෙනවා.

ඉහත සඳහන් ගෝලීය ප්‍රවණතා ගැන මනාව දැනුවත් මහින්ද රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන හා අජිත් නිවාඩ් කබ්රාල් වැනි මහත්වරුන් ඩොලරය ශක්තිමත් වීමේ ගෝලීය අර්බුදය දේශීය වශයෙන් තම දේශපාලන වාසිය පිණිස යොදා ගැනීමට තැත් කිරීම ‘දේශපාලනය’ම මිස වෙන යමක් නොවෙයි. මෙවැනි අවස්ථාවාදී භාවිතයක් එනම් ‘කල දුටු කල වළ ඉහ ගැනීම්’ බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්.

ආනයන වියදම් අසීමිතව ඉහළ යාම

ගෝලීය ආර්ථික ප්‍රවණතා හමුවේ රුපියල අවප්‍රමාණය වීම තාවකාලිකව පාලනය කර ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට නොයාමට ආණ්ඩුව ගන්නා පියවර ගැන ආර්ථික විශේෂඥයන් වෙතින් පළ වන්නේ සාධනීය ප්‍රතිචාරයක්. ඔවුන් සඳහන් කරන්නේ කෘත්‍රිමව ඩොලර් සංචිත මුදා හැරීමට ගන්නා කෙටි කාලීන පියවරවලට වඩා අපනයන ආදායම වර්ධනය කර ගැනීමට හා ආනයන වියදම් අඩු කර ගැනීමට ආණ්ඩුව ගන්නා පියවර බුද්ධිමත් පියවර වශයෙන් සැලකිය හැකි බවයි. ඒ අනුව ආනයන පාලනය කෙරෙහි රජය විසින් පසුගිය දිනවල ගත් සියලුම ආකාරයේ පියවර ඔවුන් සලකන්නේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගන්නා ඵලදායී හා තිරසාර පියවර ලෙසයි. මන්ද මේ වන විට වේගයෙන් ප්‍රසාරණය වන ආනයන වියදම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තව දුරටත් දැරිය නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. මේ තත්ත්වය සංඛ්‍යාත්මකව පැහැදිලි කළහොත්, ආහාර සහ පාන වර්ග, පරිප්පු, ලූනු, සීනි, සහල්, පාන්පිටි, කිරිපිටි හා කිරි නිෂ්පාදන, මාළු, තෙල් හා මේදය, කුළුබඩු හා අනෙකුත් ඇතුළුව 2013 වසරේදී පාරිභෝගික භාණ්ඩ ආනයනය වෙනුවෙන් කළ වියදම රුපියල් මිලියන 410, 996 සිට 2017 වන විට රු. මි. 686,424 දක්වා රුපියල් මිලියන 276කින් පමණ වර්ධනය වෙලා තිබෙනවා. රථවාහන, ගෘහ උපකරණ, (ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර), ගෘහ හා දැව භාණ්ඩ, රබර් නිෂ්පාදන, බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදන හා අනෙකුත් ආනයනය 2013 දී රුපියල් මිලියන 234, 573 සිට 2017දී රුපියල් මිලියන 405, 778 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. පොහොර, ඉන්ධන, රසායනික නිෂ්පාදිත, තිරිඟු හා ඉරිඟු, රෙදිපිළි හා රෙදිපිළි උපාංග, දියමන්ති, අගනා ගල් වර්ග හා ලෝහ, මූල ලෝහ, රථවාහන හා යන්ත්‍ර කොටස්, කඩදාසි හා ඝන කඩදාසි හා අනෙකුත් භාණ්ඩ ආනයනය 2013දී රුපියල් මිලියන 1,361,740 සිට 2017 දී 1,743,719 දක්වා වර්ධනය වී තිබෙනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්‍රවාහන උපකරණ, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, අනෙකුත් ඇතුළු ආයෝජන භාණ්ඩ ආනයනය 2013 දී රුපියල් මිලියන 548, 604 සිට 2017දී රුපියල් මිලියන 746, 175 දක්වා වර්ධන වුණා. වර්ග නොකළ ආනයනය ද 2013දී රුපියල් මිලියන 1788සිට 2017 වන විට රුපියල් මිලියන 22, 254 දක්වා දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙනවා. මේ අනුව සමස්ත ආනයනය 2013දී රුපියල් මිලියන 2, 323, 128 සිට 2017 දී රුපියල් මිලියන 3, 198, 572 දක්වා වර්ධනය වී තිබෙනවා.

රුපියල ශක්තිමත් කිරීම

මේ අහිතකර තත්ත්වය තුළ ආනයන මත බදු පැනවීම්, ඉන්ධන, ගෑස් ඇතුළු ආනයනික භාණ්ඩ මත කෙටි කාලීන බදු පැනවීම් ක්ෂණිකව ජනතාවගේ විරෝධයට හේතු වුවත් දිගු කාලීනව එම පියවර පෙරළා ජනතාවටම ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

රුපියල අවප්‍රමාණය වීම වැනි ඍණාත්මක තත්ත්වයන්ට දිගු කාලීන මුහුණ දිය හැකි ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමට මේ වන විට ආණ්ඩුව ප්‍රමුඛ පියවර රැසක් ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 11.3ක් දක්වා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ යුගයට සාපේක්ෂව (2014 දී 1, 453, 176 ක්) වූ අපනයන ආදායම 2017 දී රුපියල් මිලියන 1, 732, 440 දක්වා වර්ධන වී තිබෙනවා. මේ තත්ත්වය තුළ අපට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තම ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ මේ වන විට ක්‍රමයෙන් අත්පත් කර ගනිමින් සිටින බවයි. මේ තත්ත්වය තුළ වත්මන් ආර්ථික දුෂ්කරතා කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ද සාර්ථක ආකාරයෙන් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන බව අප වටහා ගත යුතුයි.

සටහන [චින්තක බණ්ඩාර කරල්ලියද්ද]

මාතෘකා