රෙද්ද පල්ලෙන් බේරෙන මහින්දලාගේ ඉන්දියානු විරෝධය

 ඡායාරූපය:

රෙද්ද පල්ලෙන් බේරෙන මහින්දලාගේ ඉන්දියානු විරෝධය

අද වේගයෙන් ශක්තිමත්ව දියුණුවන රටක් විදිහට අසල්වැසි ඉන්දීය මිත්‍රත්වය සමඟ ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය ගොඩනැ‍ඟීම රටට හොඳ දෙයක්. ඉන්දීය අගමැතිතුමා ලංකාවට පැමිණීම ලෝකයේ අනෙක් රාජ්‍යවල රාජ්‍ය නායකයන්ගේ අවධානයට යොමු වන කාරණයක්. එ් නිසා වැරදි දේශපාලන ප්‍රචාරයන් මම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා" යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2017 වසරේ මැයි 12වැනි දා පැවසුවේ වෙසක් උත්සවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවට පැමිණිම ගැන අදහස් පළ කරමිනි. ඒ වත්මන් රජය විසින් ඉන්දීය සාධකය මෙරට සංවර්ධන කාර්යයට කොතරම් අත්‍යවශ්‍යය දැයි හඳුනාගෙන තිබූ නිසාය.

නමුත් එය අවබෝධකර නොගත් වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු ගෝල පිරිස දැවැන්ත ඉන්දියානු විරෝධයක් මවා පාමින් ඉන්දියාව බිල්ලෙකු ලෙසින් ඒත්තු ගැන්වීම වෙනුවෙන් විශාල ව්‍යාපෘතියක් දියත් කළහ.

එදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කීවේ මෙසේය.

"ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝඩි එනවා. එන්නේ වෙසක් බලන්න තොරණ බලන්න නෙවෙයි. කියන්නේ වෙසක් බලන්න කියලා තමයි. අපි කියනවා තමුන්නාන්සේලාට ඒ පාවා දීමට එරෙහිව මෝඩි අගමැතිට පේන්න මුළු රටම කළු කොඩිවලින් පුරවන්න."

(2017 මැයි 01 ගාලු මුවදොර පිටියේදී)

එදා ඉන්දියානු විරෝධය ඉදිරියට දමමින් මෙරට ජනතාව තුළ අනියත බියක් මතු කරන්නට මහින්ද රාජපක්ෂ විසින් පාවිච්චියට ගත්තේ වාමාංශික හැව ඉවතලූ දම්පැහැ කටුසු බලකායයි. ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකු යැයි කතාවක් ඇත. දැන් ඒ කතාව යළි කරළියට එමින් තිබේ. දැන් එය ලැජ්ජා නැති කම හිටපු ජනාධිපතිකමටත් වඩා ලොකු යැයි වශයෙන් සංශෝධනය කරන්නට සිදුවී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේත්, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසගේත් ඉන්දියානු සංචාරය නිසාවෙනි.

මහින්දලාගේ මේ ඉන්දියානු සංචාරය ගැන දේශප්‍රේමී, ඉන්දියානු විරෝධී විමල් වීරවංශවත්, උදය ගම්මන්පිලවත් කටේ එක කෙළ බිඳක් සොළවන්නේ නැත. ඒ තමන්ගේ නායකයා වන මහින්ද රාජපක්ෂට ඇති බිය නිසාද වෙනත් කාරණයක් නිසාද කියා අප දන්නේ නැත. නමුත් මේ අය ඉන්දියාවේ සහයෝගයෙන් මෙරට දියත් කෙරන ව්‍යාපෘති පවා දුටුවේ ඉන්දියානු ව්‍යාප්තවාදයක් ලෙසිනි.

සුව සැරිය ගිලන් රථ සේවයට මෙරට ආරම්භ කරද් දී, එය ඉන්දියාවේ කුමන්ත්‍රණයක් බවත් මෙම ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට පාර කපන නිසා සුව සැරිය ගිලන් රථවලට ගල් ගැසිය යුතු බවත් කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හසුරුවන බළල් අත කවුරුන්දැයි අප අමුතුවෙන් කිව යුතු නැත.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සිද්ධියේ දී මෙන්ම මත්තල ගුවන් තොටුටුපළ සිද්දියේ දී ද රාජපක්ෂ කල්ලිය හැසිරුණේ, ලංකාවේ පරම හතුරා ඉන්දියාව බවට ඒත්තු ගන්වමින්ය. නමුත් මහින්ද රාජපක්ෂ කල්ලිය දැන් හැසිරෙන්නේ ඉන්දියාව තරම් තමන්ට වටිනා වෙනත් රටක් නොමැති අයුරින්ය. මින් පැහැදිළි වන්නේ මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහු වටේ සිටින ගෝල බාලයන්ද කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යායෙන් කටයුතු කරන බව පමණක්ය.

මහින්ද රාජපක්ෂලා එදා ඉන්දියාව ගැන කළ කී දෑ දැන් හැමෝටම අමතක වී ඇති ආකරයක් දැක ගත හැකිය. එබැවින් ඒවා යළි සිහිපත් කර දීම වඩා හොඳය.

"ඉන්දියානු සමාගමට ලබා දීලා තියෙන පැට්‍රෝල් ටිකේ ලාභය කොහාටද යන්නේ; ඉන්දියාවට. ඒ කියන්නේ අපේ පොකට් එකෙන් අරගෙන ඉන්දියාවට දෙනවා. ඉන්දියානු ඇම්බියුලන්ස් සර්විස් එක මහා භයානක එකක්. ඒකෙන් ඇතිවෙන ඊළඟ ඇග්‍රිමන්ට්ස්වලින් අපිට පැහැදිළි වෙනවා මේ කරන්න යන වැඩපිළිවෙල තුළ මහා විනාශයකට රට යොමු වෙමින් පවතින බව. අපි ප්‍රාන්තයක් වෙයිද දන්නෙත් නෑ"

(හිටපු ජනාධිපති මන්ත්‍රී මහින්ද රාජපක්ෂ)

"ඇමෙරිකානුවන්, නෝර්වේජියානු ජාතිකයන්, යුරෝපීයයන් සහ ඉන්දියානු රෝ ඔත්තු සේවය මට විවෘතවම විරුද්ධව කටයුතු කළා" යැයි මහින්ද රාජපක්ෂ මහතා, හොංකොං හි 'සවුත් චයිනා මෝනිං පෝස්ට්' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක දී පැවසූ බව 2015 මාර්තු 13 වැනිදා 'ඉන්දියා ටුඩේ' පුවත්පත වාර්තා කර තිබුණි.

"ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ ද ශ්‍රී ලංකාව කැබලි කොට දකුණ එට්කා ගිවිසුම හරහාත්, උතුරු නැ‍ඟෙනහිර 'හනුමාන් පාලම' ඉදිකිරීම හරහාත් තම ග්‍රහණයට ගැනීමයි. අද ඉන්දියානු උවමනාව වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනත් කටයුතු කරනවා. බටහිර අධිරාජ්‍යවාදය සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ආපසු හැරවීමට නොහැකි ලෙස ශ්‍රී ලංකාව තුළ දිගේලි වෙමින් තිබෙනවා"

(පා.ම. විමල් වීරවංශ - කළුතර නගර ශාලාවේ දී 2016 සැප්තැම්බර්)

"ඉන්දියාවේ හිටපු ආරක්‍ෂක උපදේශක සහ විදේශ ලේකම් ශිවශන්කර් මෙනන්ගේ 'ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ ඇතුළාන්තය' නමැති ග්‍රන්ථය අනුව ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට සැතපුම් 14ක් දුරින් නැංගුරම්ලා ඇති ගුවන් යානා රඳවන නෞකාවකි. ඒ අනුව දැන් ඉන්දියානු 'රෝ' ඔත්තු සේවාව සූදානම් වන්නේ වානිජ සමාගමක් හරහා එම නෞකාව මිල දී ගැනීමටය. මත්තල ඉන්දියාවට පවරා දීමේ ගිවිසුම බදු ගිවිසුමක් ලෙස හැඳින්වුව ද එය වසර 99 දක්වා දිගුවක් බැවින් නීතිමය සහ ප්‍රායෝගික තත්ත්වය විකුණා දැමීමකට සමාන වේ.

ඒ අකාරයට චීනයට බදු දී ඇති වරායට කිලෝ මීටර් දෙකහමාරක් දුරින් ඉන්දියානු ඔත්තුසේවා විසින් මෙහෙයවන ගුව න් තොටුපළක් තිබීම තුළින් රටට සිදුවන ආර්ථික පාඩුවට වඩා බරපතළ දේශපාලන සහ යුදමය ගැටලුකාරී තත්ත්වයක් පැනනගින බවට සැකයක් නැත. විශේෂයෙන්ම පසුගිය කාලයේ දී ඩොක්ලාම් දේශසීමාව ආශ්‍රීතව චීන සහ ඉන්දියානු හමුදා මුහුණට මුහුණ සිට ගැනීම මගින් ඇති වූ බියකරු තත්ත්වය අනාගතයේ දී ශ්‍රී ලංකා භූමියේ දී සාමාන්‍ය දෙයක් බවට පත්විය හැක. විශේෂයෙන්ම කොළඹ වරායේ නැ‍ඟෙනහිර ජැටිය, ත්‍රිකුණාමල වරාය, පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය ආශ්‍රිතව 'පය තබා ගැනීමට' ඉන්දියාව විසින් ගනු ලබන ප්‍රබල උත්සාහය හමුවේ තත්ත්වය වඩා බරපතළ වනු ඇත.

"රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් සහ රටේ ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වලට ගොදුරු කරමින් කරනු ලබන මෙම මහා පාවාදීම ඉන්දු - ලංකා ගිවිසුමට වඩා බරපතළ පාවාදීමක් බවට ඉතිහාසය විසින් සටහන් තබනු ඇත. එම දිනය පැමිණෙන තෙක් බලා නොසිට මේ පාවාදීම වැළැක්වීම සඳහා සමස්ත ජාතියම නැ‍ඟීසිටිය යුතු බව අවධාරණය කරමි."

(පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 2018-07-15)

"බංගලිදේශය සහ ඉන්දියාව අතර පැවැති නිදහස් කුසලාන අවසාන ක්‍රිකට් තරඟයේ දී ලංකාවේ ක්‍රීඩාලෝලීන් ඉන්දියාව වෙනුවෙන් ජයපැන් බීව්වා. බංගලිදේශය කිසිදාක ශ්‍රී ලංකාවට දේශපාලනිකව අත පොවන රටක් නොවෙයි. බංගලිදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ අශෝබන හැසිරීම් දෙස බලලා ඉන්දියාවට චියර් කළාට කමක් නැහැ. නමුත් අපේ රටට දේශපාලනිකව අත පොවන ඔත්තු සේවා සිටින ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම ගහන්න ඒ 'චියර් එක' යොදා ගන්න ඉඩ දෙන්න එපා. මේ අගමැතිතුමා, ඉන්දියාවට මේ රටේ සේවා ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කර දෙන එට්කා ගිවිසුම අතේ තියා ගෙන සිටින බව ද හොඳින් මතක තියා ගන්න."

(පා.ම. විමල් වීරවංශ 2018 මාර්තු 20)

"වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කිව්ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහෙට ආවට පස්සේ හැසිරුණේ සහ ජනතාව ඇමතුයේ ඉන්දියාවට එක්වූ 30 වන ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙනයි. බස්නාහිර හා දකුණේ පමණක් ක්‍රීයාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රීයාත්මක කරන බවටත් වතුකරයේ නව නිවාස 10, 000ක් තනන බවටත් ජනතාවට පොරොන්දු දෙන්නටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇති අයිතිය හා ලංකාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඔහුට ඇති බලය කුමක් කියලා අපි අහනවා. මෝඩි අගමැතිවරයවා දික්ඔය දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපසින් තබාගෙන ඉන්දීය අගමැතිවරයා ජනතාව ඇමතුයේ ඉන්දියාවේ 30වැනි ප්‍රාන්තයේ ජනතාව අමතන අකාරයෙන් බවත් දකුණු පසින් ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයාද වම්පසින් එහි මහ ඇමැතිවරයා ද සිටින බව සිතමින් තමයි ජනතාව ඇමතුවේ."

(පා. ම. උදය ගම්මන්පිල 2017 මැයි 15 දින)

මේ අද ඉන්දියාවට ගොස් විවිධ සෙල්ලම් දාන්නට උත්සාහ දරන මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේත් ඔහුගේ ප්‍රධාන ගෝල බාලයන්ගේත් ඉන්දියානු විරෝධයේ යථාර්ථයයි. අද ඔවුන් ඒ සියල්ල අමතක කර අමුතු ආවේශයකින් අලුත් අඩව්වක් අල්ලන්නට මාන බලන ආකාරය පෙනේ. නමුත් ඔවුන්ට කියන්නට තිබෙන්නේ ඔබලාගේ කටේ නරිවාදම් දැන් හොඳටම රෙද්ද පල්ලෙන් බේරෙන බව පමණි

[දිලංක ගුණතිලක]

මාතෘකා