හිරේට ගිය බුද්ධරක්ඛිතට වෙච්ච දේ : පනස් හයේ බුද්ධරක්ඛිත උන්නාන්සේ අගමැතිටත් ඉහළින් ගිය හැටි II

 ඡායාරූපය:

හිරේට ගිය බුද්ධරක්ඛිතට වෙච්ච දේ : පනස් හයේ බුද්ධරක්ඛිත උන්නාන්සේ අගමැතිටත් ඉහළින් ගිය හැටි II

පිලිප් ගුණවර්ධන ඇමතිතුමා ගොවිතැනින් රට ස්වයංපෝෂණය කරන්නට කටයුතු කරද්දී බුරුමයෙන් මිල්චාට් සහල් ටොන් පනස් දහසක් ගෙන්වා ගැනීමටත් 'ලංකා ෂිපින් ලිමිටඩ් ' නම් වූ සමාගමකට බලය ලබාදුන් බවට වූ ලියැවිල්ලකට බණ්ඩාරනායක අගමැතිතුමාගේ අත්සනද බුද්ධරක්ඛිත හාමුදුරුවන් ලබාගත්තේය යනුවෙන්ද කියැවිණ. රිවෝල්වරය මේසය මත තබා "මෙන්න මේ ලියවිල්ලට අත්සන් කරනවා"යි අගමැතිතුමාට අණකර එසේ කරගත් බව පසුව හෙළිවිය.

මෙවන් කරුණු සිදුකෙරී එකල වැඩි කතා නැතිව රටට වැඩ කරමින් සිටි පිලිප් ගුණවර්ධන හා පී. එච්. විලියම් ද සිල්වා ඇමතිවරු වහා අස්කර දමනු යැයි බණ්ඩාරනායක අගමැතිවරයාට විරුද්ධව කැබිනට්ටුව වර්ජනය කරන්නටද තරම් ඇමතිවරු සහාසික වූයේද විමලා විජයවර්ධන ඇමතිවරියගේ සහ බුද්ධරක්ඛිත හාමුදුරුවන්ගේ බලපෑම් පිට බව පසුකලෙකදී හෙළි විය.

එවැනි බලපෑම්වලට තැනදී - මුලින්ම තමන්ට වර්ෂ 1952දී විපක්ෂ නායක ධුරය පවා ලබාගන්නට උදව් කළ පිලිප් ගුණවර්ධන මහතාටත් විලියම් ද සිල්වා මහතාටත් පල නොකියා පළා බෙදන්නට බණ්ඩාරනායක අගමැතිවරයා කටයුතු කළේ මෙහිදීය.

බැරිම තැන අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වූ පිලිප් - විලියම් සිල්වා මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂයේ වාඩිවූහ. ඉන්පසු නැගිට අගමැතිවරයා ඇමතූ පිලිප් ගුණවර්ධන මන්ත්‍රීතුමා කීවේ,

"අගමැතිතුමනි, ඔබතුමා පරෙස්සම් වන්න. ඔබතුමා පරෙස්සම් විය යුත්තේ ඉදිරියෙන් එන හතුරන්ගෙන් නොවේ පිටුපසින් එන මිතුරන්ගෙන්" යනුවෙනි. මෙහිදී එතුමන්ගේ ප්‍රකාශය අවඥාවෙන් සලකා සිනාසුණු බණ්ඩාරනායක අගමැතිතුමා අසුනින් නැඟිට කියා සිටියේ "මට හතුරො නැහැ" කියාය. මේ කියමන කියැවුණේ 1959 මැයි 19 වැනිදාය. ගතවූයේ හත් මාසයක් පමණි. 1959 සැප්තැම්බර් 25 වැනිදා උදේ 1ට රොස්මීඩ් මැදුරේදී අගමැතිතුමාට වෙඩි තබනු ලැබීය. පසුවදා උදේ එතුමා අභාවප්‍රාප්ත විය. එවේලේ එම ඝාතනය පිළිබඳ බොහෝ දෙනාට චෝදනා එල්ල විය.

එම අභාවයට පසුදින උදේ එවකට පැවති එකම ගුවන් විදුලි සේවය වූ ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් කියැවුණේ "දැන් දිවංගත අග්‍රාමාත්‍යතුමා පිළිබඳව ගුණ කථනයක යෙදෙන්නේ කැලණි රජමහා විහාරාධිපති පූජ්‍ය මාපිටිගම බුද්ධරක්ඛිත නායක ස්වාමින්වහන්සේ" යනුවෙනි.

එකල වෙනත් ගුවන් විදුලි ප්‍රචාරයක් නොවූ හෙයින් එයට මනාව සවන් දුනිමි.

"මෙම සිද්ධිය අහස පොළොව නුහුලන අන්දමේ මහා අපරාධයක්. අපගේ ජනතාව වෙනුවෙන් මෙතරම් ඉහළ සේවයක් සැලසූ ජන නායකයෙක් මෑතකදී මේ රටේ පහළ වුණේ නැහැ. එතුමා කොයිතරම් මහජන යහපත උදෙසා වැඩ කළාද? තවත් ඉදිරියට කොතෙක් වැඩ කරන්නට බලාපොරොත්තු වුණාද? දැන් අපි සැවොම පියෙක්ගේ අකල් වියෝවෙන් අසරණ වූ දරුවන්ගේ තත්ත්වයට වැටිලා" ආදී වශයෙන් විනාඩි දහයක් පමණ කතාවක් කරගෙන ගියේ ඇතැම් විටෙක ඉකි ගසන්නාක් වැනි හඬක් පවා ඇසෙන තරම්ද සංවේදීවය.

ඉන් දින කිහිපයකට පසුව වෙඩිතැබූ තල්දූවේ සෝමාරාම සමග කුමන්ත්‍රණය කළායැයි සැක පිට බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේ, එච්. පී. ජයවර්ධන ආදීන් සමග විමලා විජයවර්ධන ඇමතිතුමියද සිරභාරයට ගනු ලැබීය. ඒ ගැන අසන්නට ලැබුණු විට අපට දවල් තරු පෙනුණේ එදා ගුවන් විදුලියේ ඉකි ගසමින් මේ අපරාධය ගැන කතාකළ බුද්ධරක්ඛිත උන්නාන්සේද ඒ අතර සිටිනු දැකීමෙනි.

පසුව කැඳවූ අධිකරණ නඩු විභාගයේදී හෙළිවූයේ එදා එසේ ගුවන් විදුලියේ බණ්ඩාරනායක අගමැතිතුමාගේ ගුණ කථනය කළ බුද්ධරක්ඛිත ආපසු කැලණි විහාරය බලා යන ගමන් ඔරුගොඩවත්තේදී කරෝලිස් අමරසිංහ වෙදා හමුවී, "බයවෙන්න එපා වෙද මහත්මයා, මම මේ බණ්ඩා ගැන රේඩියෝ සිලෝන් එකට ගිහිල්ලා ගුණ කථනයකුත් කරලා එන ගමන්"යනුවෙන් කියා ගිය බවය.

රූමත් සරාගී ගැහැනියක වූ විමලා විජයවර්ධන සමඟ සමීප ආශ්‍රයෙන් යුතුවූ මාපිටිගම බුද්ධරක්ඛිත අනඟ රැඟුම් නැටූ හැටිද පසුව බණ්ඩාරනායක නඩු විභාගයේදී හෙළිදරව් කෙරිණ.

විමලා - බුද්ධරක්ඛිත අනඟ රැඟුම් ගැන රටේ වැඩිදෙනා එකල දැන සිටි බවද පසුව ඔවුන් ගැන කැලෑ පත්තර පවා ප්‍රසිද්ධ කළ බවද හෙළිවිය. මෙකල එම කටයුතු සිදුකෙරුණේ බණ්ඩාරනායක අගමැතිතුමාගේ අනුදැනුම ඇතිව යැයි සැක කළ විමලා- බුද්ධරක්ඛිත යුවළ ප්‍රකට කිවියකුව සිටි පී. මලල්ගොඩ ලවා බණ්ඩාරනායක යුවළට විරුද්ධව කැලෑ පත්තර ලියූ බවද නඩුවේදී හෙළිවිය. විමලා විජයවර්ධනගේ අත් අකුරින් ලියා තිබුණු එක් කවියක මුල් පිටපතක්ද පසුව නඩුවේදී ඉදිරිපත් කෙරිණ.

තමන් ඇතුළු තමාගේ හිතවත් කල්ලියකට විශාල මුදලක් ගරාගැනීමේ අරමුණද ඇතිව ලංකා ෂිපින් ලයින්ස් ලිමිටඩ් සමාගම ඇතිකරන ලද නමුදු එයට විමලා විජයවර්ධනගේ සමාගමකින්ද කොටස් යෙදූ බව හෙළි වූ නමුදු එම නැව් සමාගමට නැවක් තබා ටැග් යාත්‍රාවක්වත් නොවූ බවද එය ලියවිල්ලකට පමණක් සීමා වූ එකක් බවද නඩු විභාගයේදී මනාව හෙළිදරව් කෙරුණේය.

මාස ගණනාවක් තිස්සේ විභාග වූ බණ්ඩාරනායක ඝාතන නඩු විභාගය මගින් හෙළිදරව් කෙරුණේ අහස පොළොව නුහුලන තරමේ කුමන්ත්‍රණ මඟින් බණ්ඩාරනායක ඝාතනය කෙරුණු බවය. නඩු විභාගය තරමක් දුර යනවිට විමලා විජයවර්ධන විත්තිකාරිය චෝදනාවලින් නිදහස් වූවාය. එහෙත් නඩුව කෙළවර වන තෙක් ඇයට උසාවි ඒමට අණ කෙරිණ. අන්තිමේ නඩුව අවසන් වන කාලයේ විමලා විජයවර්ධන නමින් දක්නට ලැබුණේ පෙර තිබූ රූපය වැහැරී ගොස් කෙස් සුදු වී ගිය පෙනුමින් යුතු ගැහැණියකි.

"දැන් ඉතින් බලා ඉන්න ඕනෙ නෑ. අද හෙටම බණ්ඩා මරලා දාන්න ඕන" යනුවෙන් බුද්ධරක්ඛිත කී බව එහි සිටි හිතවතුන් කිහිපදෙනෙකුගෙන්ම උසාවියේදී කියැවිණ.

කොළොන්නාවේ පළාත් ආණ්ඩු සභාවේ සභාපති කරෝලිස් අමරසිංහ (වෙදා) රජයේ සාක්ෂිකරුවකු කරගෙන පැවැත්වූ මෙම නඩුව කෙළවර වූයේ තල්දූවේ සෝමාරාමටත්, මාපිටිගම බුද්ධරක්ඛිතටත්, එච්. පී. ජයවර්ධනටත් අගමැති ඝාතනයට සක්‍රීයවම කුමන්ත්‍රණය කළා යැයි නඩු විභාගයේදී ඔප්පු වී තිබෙන හෙයින් ඔවුන් තිදෙනා එල්ලුම් ගහට නියම වීමෙන් අනතුරුවය. පසුව ඇපැල් ගැනිණ. ඇපෑලේදී තල්දූවේ සෝමාරාමත් එල්ලා දැමීම එසේම තිබියදී බුද්ධරක්ඛිත- ජයවර්ධන දෙදෙනාට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කෙරිණ.

මෙහිදී සෝමාරාම තමන් අන්තිම මොහොතේ හෝ බේරාගනීවිය යන බලාපොරොත්තුව පිට එකල අපරාධයක් කර සිර ගෙදර සිටි මැතිව් පීරිස් නම් දේවගැතිවරයාගේ බලපෑම මත සෝමාරාම ක්‍රිස්තියානි වී 'පීටර්' නමින් හැඳින්වී සිටියද ඔහුට බලාපොරොත්තු වූ ලෙස දේව සමාව නොලැබුණි. සෝමාරාම පීටර් වී එල්ලුම් ගසට ගියේ එසේය.

බණ්ඩාරනායක ඝාතනය පිළිබඳව හොඳ හොඳ ආරංචි ආවේ ඉන් පසුවය. බණ්ඩාරනායක අගමැතිතුමා එලෙස ඉතාමත් සහාසික ලෙස මරාදැමීම ගැන වැලිකඩ සිරගෙදර ආරක්ෂක නිලධාරින්ද සිටියේ බලවත් කෝපයෙනි. එසේ හෙයින් කූඩුවල සිටියදී ඔවුනට කළ හැකි යමක් නොවීය. සෝමාරාම - පීටර් වී එල්ලුම්ගහට ගියාට පසු බුද්ධරක්ඛිත හා ජයවර්ධන බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිරගෙයට ගිය පසුව සිරගෙදර ප්‍රධානීහු ඔවුනට "හොඳ වැඩක් දෙන්නට" තීරණය කරගත්හ.

ඒ කූඩුවෙන් එළියට ගත් මාපිටිගම බුද්ධරක්ඛිතට සහ ජයවර්ධනට බරපතළ වැඩක් ලෙස හිර ගෙදර නියම වී තිබුණේ කිලිටි ඇඳුම් අපුල්ලන්නටය. ඩෝබි වැඩේය. වැඩේ බොහොම අපූරුය. මෙයින් කලකට පෙර දහස් ගණන් අයගෙන් වැඳුම් පිදුම් ලැබූ බුද්ධරක්ඛිත ජම්පරය ඇඳගෙන කිලිටි රෙදි අපුල්ලන රදවකුගේ තත්ත්වයට වැටීම කොතරම්ම හාස්කමක්ද? රටේ ඉහළම ඇත්තන් සමඟ සමීප සම්බන්ධව කටයුතු කළ මුද්‍රණාලයක හිමිකරුවකු වූ ජයවර්ධනට අත්වූයේද එම සන්තෑසියමය.

බුදුන් වහන්සේ පවා වැඩම කළ කැලණි රජමහා විහාරයේ අධිපතිත්වය දැරූ පුද්ගලයා, මේ රටේ අගමැතිතුමා හමුවේද මහාජාතිය දමන්නට තරම් නිහීන වූ පුද්ගලයා අන්තිමේ මෙසේ වැලිකඩ හිරගෙදර ඩෝබි කෙනෙකුගේ තත්ත්වයට පත්වීම කෙතරම් ආශ්චර්යාත්මක සිද්ධියක්ද?

බුද්ධරක්ඛිත හාමුදුරුවෝ මෙසේ සිරගතව සිටියදී කැලණි රජමහා විහාරයේ භාරකාරයා වශයෙන් රජය නීතිඥ ඇස්. ඩී. ඇස් සෝමරත්න මහතා පත්කර තිබුණේය. මෙකල කැලණි වෙහෙරේ විහාරාධිකාරී වශයෙන් කටයුතු කළේ 'පිරිත් රජ්ජුරුවෝ' ලෙස පසුකළෙක ප්‍රකට වූ පූජ්‍ය වත්තල සීලරතන හිමියන්ය.

මෙහිදී කැලණි රජමහා විහාරස්ථානයේ අධිපතිත්වය පිළිබඳව බුද්ධරක්ඛිතගේ ප්‍රධාන ගෝල හිමි වශයෙන් පූජ්‍ය තලේවෙල විජිත ධම්මරක්ඛිත හිමියන්ට තම අයිතිවාසිකම් කීමේදී ප්‍රශ්නයක් වූයේ බුද්ධරක්ඛිත හිමි නාමිකව වුවද සිරගෙදර සිටින නිසා එයින් විසඳුමක් ලැබිය යුතුව තිබිණ. මේ ගැන නීතිඥ සෝමරත්න මහතා සමඟද සාකච්ඡා කළ සීලරතන හිමියෝ මේ වන විට සිරගෙදර ධර්ම දේශනා කරන මරදාන දෙමටගොඩ පාරේ සිටි ආනන්දාරාමාධිපති පූජ්‍ය ගොඩකන්දේ සරණසිරි හිමියන් හමුවී මේ ගැන විසඳුමක් ගැන සාකච්ඡා කළහ. කළ යුත්තේ බුද්ධරක්ඛිත හිමි ගිහියකු වීමය. එය උන්වහන්සේට කරදිය හැකිය.

පසුවදා වැලිකඩ සිරගෙදරදී බුද්ධරක්ඛිත හමුවූ නාහිමියෝ ඒ ගැන කතාකර ගිහි වන්නට කීහ. මෙතෙක් කල් කෝටියක් සංවර ශීලය ආරක්ෂා කළා වූ මාපිටිගම බුද්ධරක්ඛිත ගොඩකන්දේ හිමියන්ගෙන් පන්සිල් ගෙන ගිහියකු බවට පත්විය.

"දැන් ඉතින් ඔබතුමා වෙන නමක් ගන්නවාද?"නාහිමියෝ විමසූහ.

"නෑ! මේ නමින්ම ඉන්නවා" බුද්ධරක්ඛිත කීවේය.

"බුද්ධරක්ඛිත මහතා පන්සිල් ගනියි"යනුවෙන් එම පුවත පසුවදා දවස පත්‍රයේ මුල පිටුවේ පළවිය. ඉන්පසු ඔහු හැඳින්වූයේ බුද්ධරක්ඛිත මහතා යනුවෙනි. ඒ අනුව මෙසේ බුද්ධරක්ඛිත මහතා සහ ජයවර්ධන මහතා හිරේ සිටියදී නොයෙක් කතා ප්‍රචාරය කෙරිණ. මෙසේ කලක් ගතවිය.

"බුද්ධරක්ඛිත හිරේ ඉඳලා පොතක් ලියනවා" කියා ආරංචියක් රට පුරා පැතිර ගියේ මේ කාලයේදීය. එහෙත් එය බොරු කතාවක් බව පසුව හෙළි විය. බුද්ධරක්ඛිත ලියූ පොතක් නැත.

මෙසේ කටයුතු යෙදීමෙන් කලක් ගතවූ පසුව දිනෙක අසන්නට ලැබුණේ දුක්ඛදායක ආරංචියකි. එනම් හිර ගෙදරදී ඇතිවූ හෘදයාබාධයකින් බුද්ධරක්ඛිත මහතා මරණයට පත්වූ බවය. මෙයින් මහත් සේ කලබලයට පත්වූ දොස්තර පෙරේරා නම් වූ ඔහුගේ මළනුවන් ඇතුළු නෑදෑයන්ද හිතවතුන්ව සිටි නායක හාමුදුරුවරුන් කිහිපනමක්ද වැලිකඩ බන්ධනාගාරය වෙත ගියහ.

බුද්ධරක්ඛිත මහතා ජම්පරය පිටින්ම මැරිලාය!. අන්තිමේ වැලිකඩ හිරගෙදර ගතකරන අටියෙන් අවුරුදු ගණනාවකට පෙර සිරගෙට ගන්නා විට දොරටුවේදීම ගලවා දමන ලද චීවරය - සිවුර කවුරුන් හෝ උස්සලාය. සිවුරක් සොයාගන්නට නැත. මෙහිදී නායක හාමුදුරුවන් කළේ සිරුර තමන්ට බාරදිය හැකිදැයි විමසීමය. ඊට අනුමැතිය ලැබිණ. එහෙත් පැය ගණනකින්ම දේහය පිළිබඳ අවසාන කටයුතු සිදුකළ යුතු බව සිරගෙදර නියමයයි.

ඉන්පසුව නෑදෑයකු කළේ බොරැල්ලේ රේමන්ඩ් අවමංගල ශාලාවෙන් පෙට්ටියක් රැගෙන වැලිකඩ සිරගෙදරට යාමය. එහිදී ජම්පරය පිටින්ම බුද්ධරක්ඛිත මහතාගේ මළ සිරුර පෙට්ටියේ තැන්පත් කරනු ලැබිණ. එය රේමන්ඩ් ශාලාව වෙත ගෙනයන විටද මේ කණගාටුදායක මරණය ගැන අසන්නට ලැබී සෑහෙන පිරිසක් එතැනට රැස්ව සිටියාහ. මෙහිදී ජම්පරය රැඳි බුද්ධරක්ඛිත මහතාගේ සිරුරට චීවරය - සිවුර අන්දවනු ලැබුවේ එකල කොළොන්නාව පුරාණ රජ මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමියන් විසිනි. සිරගෙදරින් බුද්ධරක්ඛිත මහතා සමඟ එකට සිරබත් කමින් සිටි වැල්ලම්පිටියේ ජයවර්ධන සිරකරුවාද ආරක්ෂාව පිට එහි ගෙනැවිත් තිබිණ. අවසන් කටයුතු සිදුකරන්නට තිබුණේ පැය ගණනක් ඇතුළතය. සිරුර එම්බාම් කිරීමක්ද නැත. එහෙත් ආදාහනය කිරීමට නියමිත අවසරය ලැබී තිබිණ.

එම පැය ගණන ඇතුළත බුද්ධරක්ඛිත මහතාගේ දේහය ආදාහනය කරන්නට බොරැල්ලේ කනත්තේ ආදාහනාගාරයට ගෙනගිය අවස්ථාවේදී ඔහු සමඟ එකට එල්ලුම්ගහට නියම වූ පසුව ජීවිතාන්තය දක්වා හිරේට නියම වූ පසුව හිත හොඳ කල්කිරියාවෙන් සිටීමේ යහපත්කම නිසා විසි වසරක සිර දඬුවමට යටත් වූ වැල්ලම්පිටියේ එච්.පී. ජයවර්ධන කතාවක්ද කළේය.

"ඔබ වහන්සේ මට මේ ජීවිතයේදී මගේ ජීවිතයට හොඳ කල්‍යාණ මිතුරෙක් වුණා. මා බලාපොරොත්තු වෙනවා මතු සංසාරයේදිත් හැම ආත්මයකදීම එසේ කල්‍යාණ මිත්‍රයකු ලෙස හමුවේවා කියා"යනුවෙන් එදා එම කතාවෙදි සඳහන් කර තිබිණ. මෙම පුවත එකල පළවූ ඇත්ත පත්තරයේ මුල් පිටේ පහත කෙළවරේ බොක්ස් කර විශේෂයෙන් සඳහන් කර තිබුණා අපට මතකය. රටේ අගමැතිවරයෙකුගේ ජීවිතය විනාශ කළ ශ්‍රමණයෙකුගේ ජීවිතය කෙළවර වූයේ එසේය.

බුද්ධරක්ඛිත සමඟ එකට එල්ලුම් ගහට නියම වූ පසුව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වී, ඉන්පසු විසි අවුරුදු සිර දඬුවම් ලැබූ වැල්ලම්පිටියේ ජයවර්ධන නිදහස ලැබුවේ නියමිත දිනට මාස පහක්ද වැඩිපුර සිරබාරයේ තබාගැනීමෙන් පසුවය.

ඔහු වර්ෂ 1978දී එළියට පැමිණ තමන් මාස පහක් සිරබාරයේ තබාගැනීම ගැන 'මානුෂික අයිතිවාසිකම් කඩවුණා' යැයි කියා ආණ්ඩුවට විරුද්ධව නඩුවක් පැවරුවේ එයට ලක්ෂ පහක අලාභයක්ද ගෙවන ලෙස පැමිණිලි කරමිනි.

නීතිඥයන්ද යොදාගනිමින් ජයවර්ධන එම නඩුව පවරා තිබුණ නමුදු එය විසඳූ නඩුකාරතුමා මුලින්ම කියාසිටියේ, "ඔබට ලැජ්ජාවක් නැතිවද මෙහෙම නඩුවක් දැම්මේ? ඔබ එල්ලුම්ගහට නියම වුණේ ලංකාවේ රාජ්‍ය නායකයා මරන්නට කුමන්ත්‍රණය කෙරුවා යැයි කියා චෝදනාව ඔප්පු වීමෙන් පසුවයි" කියා නඩුව නිෂ්ප්‍රභා කර දමමිනි.

ජයවර්ධනයට යළිත් වැල්ලම්පිටිය බලා හිස් අතින් යන්නට සිදුවිය. ඔහු කලකට පසු අප්‍රකටව සිට මිය පරලොව ගියේය.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා