බැණුම් අසමිනුත් පිනට දුන්න කොතලාවල

 ඡායාරූපය:

බැණුම් අසමිනුත් පිනට දුන්න කොතලාවල

ජෝන් කොතලාවල යැයි කියූ විට කාගෙ කාගෙත් සිතට නැඟෙන්නේ ඉංග්‍රීසි ආණ්‌ඩුව කාලයේ ලංකා පොලිසියේ සාජන් මේජර් තනතුරක්‌ දරමින් දරුණු අපරාධ කළවුන් හා බරපතළ ජන ඝාතන සිදුවීම් රැසක්‌ තම නුවණ මෙහෙයවා අල්ලාගෙන නීතිය හමුවට පත්කළ මහ ජෝන් කොතලාවල වීර පුරුෂයා ගැනය. ඒ කොතලාවල පරපුරේ මෑත යුගයේ ඉතිහාසගත වූ පුරුෂයාය. එහෙත් මේ දැන් අප කතා කරන්නේ එතුමාණන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය ගැන වේ. පියාණන් මෙන්ම ප්‍රථමයෙන් යුද හමුදාවට බැඳී මේජර් පදවියක්‌ද දරා පසු කලෙක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු, වැඩබලන ඇමැතිවරයකු, ඇමැතිවරයකු හා පසුව ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍යවරයා වීමේ වරප්‍රසාදය ලැබූ, තම සේවයෙන් රටේ හා ජනතාව අතර යශෝ කීර්තියකට පත්වූ නමක්‌ ඉතිරිකර කීර්ති ශේෂවෝපගත වූ මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මැතිඳුන් ගැනය.

කුඩා කල සිටම ජනහිතකාමී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කර තම ඥාතිවර දේශබන්ධු ඇෆ්. ආර්. සේනානායක මැතිතුමාගේ මඟ පෑදීම අනුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස්‌ අධ්‍යාපනය ලබා දිවයිනට පැමිණි ජෝන් ලයනල් තරුණයාට ඉංග්‍රීසි රජය සමයේ යම් යම් කටයුතුවල අත දිගහැර කටයුතු කිරීමේ අවස්‌ථාව ලැබිණ. ඒ තම පාරම්පරික වතුපිටි දියුණු කර ගැනීමේ මඟට අවතීර්ණ වීමෙනි. එය ඔහු කළේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී තමන් ලද කෘෂිකර්ම අධ්‍යාපනයද මුල්කර ගනිමිනි.

මෙසමය වන විට ඉංග්‍රීසි පාලනයෙන් මෙරට නිදහස්‌ කර ගැනීමේ මහා ව්‍යායාමයක අපේ ස්‌වදේශික නායකයන් සමඟද ජෝන් ලයනල්ට එකතුව කටයුතු කිරීමේ අවස්‌ථාව ලැබී තිබිණ. විශේෂයෙන් 1915 වර්ෂයේ සිංහල මුස්‌ලිම් අරගලය අවස්‌ථාවේ සිරභාරයට ගන්නා ලද අපේ සිංහල බෞද්ධ ජන නායකයන් වෙත තම නිවෙස්‌වලින් ආහාරපාන ගෙන ඒමේ අවසරය ද ලැබුණු හෙයින් වැලිකඩ හිර ගෙදරට එම ආහාර ගෙන යෑමේ අවස්‌ථාව ලැබුණේ එකල වයස දහඅටේ තරුණයකුව සිටි ජෝන් ලයනල්ටය. එයද ඔහුගේ පසුකල ජීවිතයේ දේශපාලන පන්නරයට ද බලපෑ වග වාර්තා විය.

එයට පසු වසරේදී, එනම් 1916දී එංගලන්තයේ සිට ලංකාවට පැමිණි ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්තුමා කොළඹ ජැටියේ සිට එතුමාගේ අශ්ව රථයට නංවා සියලුම ජාතික නායකයන් අශ්ව රථයට කඹ දමා අල්ලාගෙන ඇදගෙන ඒමේ පෙරහැරක්‌ සංවිධානය කරන්නට ඒ. ඊ. ගුණසිංහ මහතාට සහාය දුන්නේද කොතලාවල තරුණයාය. සිංහල රාජ යුගයෙන් පසුව එවන් ගෞරවයක්‌ රටේ නායකයකු වෙත පුදකළ ප්‍රථම අවස්‌ථාවත්, අවසන් අවස්‌ථාවත් එය විය. එම සිද්ධියද ජෝන් ලයනල් කොතලාවල තරුණයාගේ ජීවිතයට මහඟු අත්වැලක්‌ විය. ඒ අනුව තමන්ට ප්‍රිය ජනහිතකාමී මෙහෙවරක්‌ සිදු කිරීම උදෙසා එතුමෝ වර්ෂ 1931දී පැවැති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයේදී කුරුණෑගල ආසනය සඳහා ඉදිරිපත් වූහ. එහිදී තම ප්‍රතිවාදී අපේක්‍ෂකයාට වඩා වැඩි ඡන්ද 8114 ක්‌ ලබා ගනිමින් මන්ත්‍රී පදවියට පත්වූහ. එවෙලේ කුරුණෑගල ඡන්දදායකයන් 17, 159 දෙනකුගේ ඡන්දය එතුමන් වෙත ලැබී තිබිණ.

එසේ 1931 මන්ත්‍රණ සභාව යටතේ තම ඥතිවර ඩී. ඇස්‌. සේනානායක මැතිඳුන් රටේ පළමු ගොවිකම් හා ඉඩම් අමාත්‍යවරයා ලෙස පත්වූවායින් පසු එතුමාගේ දකුණත මෙන් සිටිමින් එම වැඩ කටයුතු සාධනයෙහි යෙදී සහය දෙන්නටද කොතලාවල මන්ත්‍රීතුමා සමත් විය. සේනානායක ඇමැතිතුමා ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කළ විටද එතුමාට කොතලාවල සහාය නිබඳවම ලැබිණි. මින්නේරිය ව්‍යාපාරය ආරම්භ කෙරෙන විට හදිසියේම අසනීප වූ සේනානායක ඇමැතිතුමා ආරෝග්‍යශාලා ගතවූ විට එතුමා වෙනුවෙන් මින්නේරිය ව්‍යාපාරය ආරම්භ කරන්නට අවස්‌ථාව ලැබුණේ වැඩබලන ගොවිකම් ඇමැතිතුමා වශයෙන් ජෝන් ලයනල් කොතලාවල මැතිතුමාටය. එතුමානෝ එවක්‌ පටන් එතුමන් තමන්ට වෙනම අමාත්‍යාංශයක්‌ ලැබෙන තෙක්‌ ගොවිකම් හා ඉඩම් කාර්යාංශයේ වැඩ කටයුතු නිමා කරන්නට වෙහෙසුණහ.

කුරුණෑගල රාජ්‍ය මන්ත්‍රීතුමන් වශයෙන් පත් වූ අවස්‌ථාවේදී මැති සබයට යන විට ඡේ. ඇල්. කොතලාවල මන්ත්‍රීතුමන් එහි ගියේ උඩරට නියෝජනය කරන තොප්පොට්‌ටි ඇඳුම ඇඳගෙනය. එම අවස්‌ථාවේදී එහි මන්ත්‍රිධුර ලැබ සපැමිණි ද්‍රවිඩ, මුස්‌ලිම්, මන්ත්‍රීවරු තම තමන්ගේ ජාතික ඇඳුම් ඇඳගෙන එහි පැමිණෙද්දී සිංහල ආරිය ඇඳුමට අමතරව උඩරට ඇඳුම ඇඳගෙන එහි පැමිණි කොතලාවල මන්ත්‍රීතුමාගේ රුව ඔවුනතර අතිශයින්ම වෙනසක්‌ ඇති කිරීමටද සමත් විය.

"මේ ඇඳුම ඇඳගෙන ඉන්න එක මට හරි කරදරයක්‌ වුණා. ඒත් එක දවසකට හරි මේ ඇඳුම ඇඳලා මට උඩරට අපේ ජනතාව නියෝජනය කරන්නට ලැබීම සිතට බලවත් සතුටකට හේතුවක්‌ වුණා" යනුවෙන් එතුමෝ පසුව කියා තිබුණු බව වාර්තාගතය.

ඉන්පසුව වර්ෂ 1936දී පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී කුරුණෑගල ආසනය සඳහා එතුමාට විරුද්ධව කිසිවකු ඉදිරිපත් නොවූ හෙයින් ජයතිලක, සේනානායක, බණ්‌ඩාරනායක මැතිවරුන් මෙන්ම ජේ. ඇල්. කොතලාවල මැතිතුමා ද නිතරඟයෙන්ම රාජ්‍ය මන්ත්‍රීවරයකු වීමේ අවස්‌ථාව සැලසුණේය. එය එතුමාගේ දේශපාලන ජීවිතයේ වාර්තාගත අවස්‌ථාවක්‌ බවට පත් වුණේය.

කවදත් රටට, ජාතියට හිතැති ජාතික පුරුෂයකු ලෙස හැදී වැඩී ක්‍රියාදාමයෙහි යෙදෙන්නටවත් එතුමෝ තම අභීත පියාණන්ගේ නම ආරක්‌ෂා කරන අතිජාත පුත්‍රරත්නයක්‌ම වූ වග හැම විටම සිය පැවැත්මෙන්ම පළකර සිටියහ. "සිය රටමයි කවදත්" යනු එතුමාගේ ප්‍රකට උද්ධෘත පාඨය විය.

මෙසේ රටට, ජාතියට හිතැතිව කොතලාවල මැතිතුමන්ගේ ක්‍රියාදාමයන් බෙහෙවින්ම ප්‍රචලිත වූයේ වර්ෂ 1947 එක්‌සත් ජාතික පක්‌ෂයේ ආණ්‌ඩුවේ කර්මාන්ත හා මංමාවත් ඇමැතිතුමා වශයෙන් පත්ව කටයුතු කරන සමයේදීය.

රටේ හා කර්මාන්තවල දියුණුව පිණිස ජල විදුලිය උපයෝගී කරගත හැකිය යන මහා විද්‍යාඥ ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ සංකල්පය අනුව යමින් එයට ජීවය දීමේ යෙදුණු කොතලාවල ඇමැතිතුමෝ එතුමාගේ ලක්‍ෂපාන ව්‍යාපාරය ඉහළින්ම සාර්ථක වුවහොත් තමන් මස්‌කෙළියේ සිට ශ්‍රීපාදස්‌ථානය දක්‌වා විදුලි එළියෙන් බබළවන බවට සමන් දෙවියන් හමුවේ භාරයක්‌ වූහ.

කොතලාවල ඇමැතිතුමන් එකල හැඳින්වූයේ යක්‍ෂයන්ට ගෞරව දක්‌වන්නකු මිස දෙවියන්ට පුද පූජා දක්‌වන්නකු නොවන බවය. එහෙත් මෙම අවස්‌ථාවේදී එතුමෝ ද පළාතට පමණක්‌ නොව රටටම ඵලදායි කටයුත්තක්‌ වූ ජල විදුලියෙන් රටම ආලෝකවත් වීමට දෙවි පිහිට ලැබීම ද ඉහළින්ම අගය කරන බව කියා සිටීමය. ඒ අනුව එහි ප්‍රාදේශීය විහාරස්‌ථානයක කොතලාවල ඇමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහා දේව පූජාවක්‌ පැවැත්විණි. යකුන්ට ගරු කරන ගරු ඇමැතිවරයා එවේලේ බලවත් වූ දේව ශ්‍රද්ධාවෙන් යුතුවම හැසිරීම තමන්ට ද බලවත් සතුටකට හේතුවක්‌ විනැයි ද එහි විහාරාධිපති හිමිෙයා් පසුව පැවසූහ.

විමලසුරේන්ද්‍ර මහා ජල විදුලි විද්‍යාඥයාගේ අප්‍රතිහත ධෛර්යය හා නුවණ පෙරදැරි කරගෙන ලක්‍ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමය සිතුවාටත් වඩා ඉහළින් ම සාර්ථක විය. කොතලාවල ඇමැතිතුමෝ ද පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනා ගියහ. එතුමන් කළේ තම භාරය අනුව මස්‌කෙළියේ සිට ශ්‍රී පාදස්‌ථානය දක්‌වා විදුලි බුබුළුවලින් සරසා ආලෝකවත් කිරීමය. මෙහිදී කොතලාවල ඇමැතිතුමන් කළේ තමන්වූ භාරය මෙසේ ඔප්පු කිරීම ගැන සතුටට පත්ව, එය උදෙසා තවත් යමක්‌ සිදු කිරීමට සිතා ගැනීමය. එසේ සිතා "ලංකාදීපයේ" චිත්‍ර ශිල්පී ජී. ඇස්‌. ප්‍රනාන්දු මහතා කැඳවා ශ්‍රී පාද ස්‌ථානයට පිවිසෙන මස්‌කෙළියේ මකර තොරණක්‌ සෑදවීමට සිතුවමක්‌ නිර්මාණය කර ගැනීමය. එය නිම කරවීමට කටයුතු සැලසුම් කළ කොතලාවල ඇමැතිතුමාට තවත් යමක්‌ සිදු කළහොත් මැනවැයි සිතුණි. එය නම් එකල විසූ ටිබැට්‌ ජාතික ඇස්‌. මහින්ද හිමියන් ලවා ශ්‍රී පාදස්‌ථාන කාව්‍යයක්‌ ලියවා ගැනීමය. ඇමැතිතුමාගේ ඇනැවීම අනුව එතුමාගේ ලේකම්වරයා මහින්ද හිමියන් හමුවට ගොස්‌ කරන ලද ආරාධනය බාර ගැනිණ.

ටිබැට්‌ ජාතික මහින්ද හිමියන් තම කවි රචනාවලදී "කාමුක රදල හැත්ත" යනුවෙන් අධිපතියන් විවේචනය කරන ලද නමුදු එතුමන් එයින් තමන් ගැන කළකිරීමට පත් නොවී මෙසේ තමන්ට කියවා "ශ්‍රීපාද කාව්‍යයක්‌" නිර්මාණය කරවීමට ගත් තැත මහින්ද හිමියන්ගේ සිතේ ගෞරවයට ද ලක්‌ කෙරිණ. එහෙයින් උන්වහන්සේ ලියාදුන් "ශ්‍රීපාද කාව්‍යයේ" පිටපත් විසිපන්දහසක්‌ රජයේ මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවා උත්සවය වෙනුවෙන් බෙදාදුන්හ.

ශ්‍රී පාදස්‌ථානය දක්‌වා විදුලිය දීමේ කාර්යයට පමණක්‌ සීමා නොවී මෙසේ එතුමන් කළේ අද දක්‌වා පවතින තවත් ජාතික මෙහෙවරකි. එය එදා පක්‍ෂ විපක්‌ෂ කාගේත් ගෞරවයට ද ලක්‌වුණේය.

පසුව ලංකාවේ තුන්වැනි අගමැතිවරයා වූ අවස්‌ථාවේදී එතුමන් ලියූ "ඇමැතිවරයකුගේ ජීවිත කතාව" පොතේ මෙසේ කඳවල වලව්ව මතු දිනක අනාථ දරුවන්ගේ නිවාසයක්‌ බවට පත් කරන්නේ යෑයිද එතුමා දන්වා තිබුණි. එහෙත් පසු කලෙක එතුමෝ එයත් තව සුවිසල් ඉඩම් යායත් යුද හමුදා පුහුණු මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීම උදෙසා පරිත්‍යාග කරන්නට පෙළඹුණහ. එය එසේ වූ පුවත ද රසවත් එකකි.

එකල යුද හමුදාපතිව සිටි ඩෙනිස්‌ පෙරේරා මහතා වසරකට වරක්‌ සමරන යුද හමුදා දිනය වෙනුවෙන් දිනෙක කඳවල වලව්වට පැමිණ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් හමුවූහ.

සුගතදාස ක්‍රීඩාංගණයෙහි පැවැත්වෙන යුද හමුදා දිනය වෙනුවෙන් හතරවැනි අවසන් දිනයේ ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණිමට එතුමන්ට ගෞරවයෙන් ආරාධනය කෙරිණි.

පළමු දිනය ජනාධිපති ෙජ්. ආර්. ජයවර්ධන මැතිතුමා ද, දෙවැනි දිනය ආර්. ප්‍රේමදාස අගමැතිතුමා ද, තුන්වැනි දිනය අධිකරණ ඇමැතිතුමාටද වෙන්කර තිබිණ. එතුමාට සතරවැනි අවසාන දිනයේ ආරාධිත අමුත්තා වශයෙන් ආරාධනය විය.

"මම එන්නම්. හැබැයි ඩෙනිස්‌ මට ඉන්න පුළුවන් විනාඩි දහයක්‌ පමණයි" යනුවෙන් කොතලාවල ආරාධනය භාර ගනිමින් පැවසූහ.

"හොඳමයි සර්. ඒ විනාඩි දහය වුණත් අපට ලොකු දෙයක්‌" යි කී එතුමෝ පිටත්ව ගියහ.

නියමිත දින, නියමිත වේලාවට සපැමිණි හිටපු හමුදා උසස්‌ නිලධාරියකු වූ, හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මැතිතුමන් යුද හමුදාපති ඩෙනිස්‌ පෙරේරා මැතිතුමන් ඇතුළු උසස්‌ නිලධාරීන් විසින් ඉහළින්ම පිළිගන්නා ලද්දේය. යුද හමුදා සෙබළුන්ගේ දස්‌කම් විස්‌කම් දැක එතුමෝ අතිශයින්ම සතුටු වූහ. විනාඩි දහයක්‌ ගත විය.

"සර් දැන් විනාඩි දහයක්‌ ගතවුණා" යි මෙවිට හමුදාපති ඩෙනිස්‌ පෙරේරා මහතා එතුමන් හමුවට ගොස්‌ මතක්‌ කර සිටියහ.

"මොනවා ඩෙනිස්‌, විනාඩි දහයක්‌ ගතවුණා. මම ආපසු යන්නෙ මේකෙ පැය තුනම ඉවර වුණායින් පස්‌සෙයි" යනුවෙන් එතුමන් එවේලේ කියා සිටියේ හමුදාපතිතුමන් පමණක්‌ නොව එවේලේ එතැන එය අසා සිටි සියල්ලක්‌ම සතුටට පත් කරමිනි.

එය එතුමාගේ ජීවිතයේ සහභාගි වූ අවසන් යුද හමුදා උත්සවය විය. ඉන් එතුමන් අතිශයින්ම සතුටට පත්වූ වග කාටත් වැටහිණ. පසුවදාම හමුදාපති ඩෙනිස්‌ පෙරේරා මහතා කඳවල වලව්වට ගියේ එතුමාට සිය ස්‌තුතිය පළ කරන්නටය. කොතලාවල ශ්‍රීමතාණෝ එතුමා මහත් වූ සතුටින් පිළිගත්හ. සංග්‍රහයෙන් පසුව සුහද ලෙස කථෝපකථනයෙහි යෙදෙද්දී හමුදාපති ඩෙනිස්‌ පෙරේරා මහතා හමුදාවට පැවැති අවශ්‍යතාවක්‌ ගැන එතුමා දැනුවත් කළහ.

"අපට හමුදා භටයන් පුහුණු කරවීමට අගනුවරට ආසන්න තැනක්‌ අවශ්‍ය වෙලා ඒ ගැන සොයා බැලුවා. ඒත් තවම ගැළපෙන ඉඩමක්‌ ලැබුණෙ නෑ" යිද කියා සිටියේය.

"කොච්චර කල් වෙනවද හොයන්න අරගෙන?" යි ඉන්පසු ඒ ගැන ශ්‍රීමතාණෝ විමසූහ.

"සෑහෙන කාලයක්‌ වෙනවා. ඒත් සුදුසු ඉඩමක්‌ අපට ලැබුණේ නෑ" යි කී හමුදාපතිවරයා තරමක කුකුසකින් යුතුව "අපට මේ ඉඩම දෙන්න බැරිද සර්?" යැයිද විමසූහ.

"මේ ඉඩම? මම වෙන මොකවත් කියන්නෙ නෑ. මේ ඉඩම උඹලට දෙන්න" යයි තරමක තරහකින් මෙන් එවේලේ එතුමෝ හමුදාපතිගේ කතාවට කියා සිටියහ.

එහෙත් එය කීවේ එතරම් තරහෙන් නොවන බව හමුදාපතිට වැටහුණේ ඉන්පසුව කී සුහදවත් වදන් නිසාය. අන්තිමේ හමුදාපතිතුමෝ එතුමාගෙන් අවසර ගෙන යන්නට සැරසුණහ.

"ඩෙනිස්‌, අර කී කාරණය ගැන මට තව ටිකක්‌ හිතන්න ඕනෑ. මම පස්‌සේ කතා කරන්නම්" යයි ද එතුමන් එවේලේ කී විට හමුදාපතිතුමාට ඇතිවූයේ සතුටකි.

දින දෙකකට පසුව ලද දුරකථන ඇමතුමක්‌ අනුව ඩෙනිස්‌ පෙරේරා හමුදාපතිතුමෝ කඳවලට ගොස්‌ ශ්‍රීමතාණන් හමුවූහ.

"ඩෙනිස්‌ මම තීරණය කළා. මේ බංගලාවත්, ඉඩමත් ඔබේ ඉල්ලීමට අනුව හමුදාවට පරිත්‍යාග කරනවා. ගිහින් ජනාධිපතිතුමාට කියන්න ඒකට ගිවිසුමක්‌ අත්සන් කරන්න දිනයක්‌ වෙන්කරලා මට දන්වන්න කියලා" යි එතුමන් කියා සිටි විට හමුදාපතිතුමාට ඇතිවූ සතුට කියා නිමකළ නොහැකි තරම්ය.

එයින් සති දෙකකට පමණ පසු දිනක් ඉක්‌ම යද්දී හමුදා තුනේම නායකයන් පසුබිමේ සිටියදී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හා කොතලාවල ශ්‍රීමතාණෝ කඳවල වලව්ව ඇතුළු ඉඩම යුද හමුදා පුහුණු මධ්‍යස්‌ථානයක්‌ බවට පත්කරලීමට පරිත්‍යාග කෙරෙන ගිවිසුමට අත්සන් තැබූහ. කෝටි සංඛ්‍යාත අගයක්‌ ඇති, එයටත් වඩා කෞතුක අගයක්‌ ඇති මෙම ඉඩමේ පරිත්‍යාගය "සිය රටටමයි කවදත්" පාඨය පෙරදැරි කරගත් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මැතිතුමාගේ සිතට මහත් වූ සැනසිල්ලක්‌ ගෙනදුන් කාරණයක්‌ද විය.

ගතවූයේ සතියක්‌ පමණි. හමුදාපති ඩෙනිස්‌ පෙරේරා මහතා දුරකථන ඇමතුමක්‌ මගින් කඳවල වලව්වට කැඳවනු ලැබිණ.

"කෝ... දැන් මේ ගොල්ල ඇවිල්ලා මෙහෙ වැඩ පටන් ගන්නෙ නැද්ද? මම දැන් ඔක්‌කොම බාරදීලා ඉවරනෙ. මම මෙහෙ ඉන්න කාලෙම ඇවිත් වැඩ පටන් ගන්න කියන්න. මම බලන්න ආසයි." යනුවෙන් එතුමන් එදා හමුදාපතිතුමා අමතා කී වදනින් එය අසා ඩෙනිස්‌ පෙරේරා හමුදාපතිතුමා මහත් වූ විමතියටත් සතුටටත් පත්වූ වග පසු කලෙක විශ්‍රාම සුවයෙන් ගතකරන කාලයේ දිනෙක හමුදාපතිතුමන් මා අමතා කීවේ මහත් වූ ගෞරවයකින් යුතුවය.

තමන් විසින් ජීවිතාවසානයේදී සුරැකි ‘සබ්බ සකල මනාවම’ රටේ ජාතියේ ඉදිරි යුගයේ දියුණුව පිණිස සිතේ කිසිදු කහටක්‌ නැතිව පරිත්‍යාග කර සිටියේය යන සන්තුෂ්ටියෙන් යුතුව ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මැතිතුමාණෝ එයින් සති ගණනාවකට පසුව අභාවප්‍රාප්ත වූහ. එයට පෙරදින එතුමාගේ ලෙඩ ඇඳ ළඟට පැමිණි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමෝ "සේනාධිනායක" පදවියෙන් එතුමා ගෞරවයට ලක්‌ කළහ.

දැන් එතුමා මෙසේ ජාතියට පරිත්‍යාග කළ කඳවල වලව්ව හා සුවිසල් ඉඩම හැඳින්වෙන්නේ ‘ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්‌ෂක විශ්වවිද්‍යාලය’ නමිනි. රටට දැයට හිතැති මැතිවරයකුගේ එම උදාර පරිත්‍යාගය එසේ ශතවර්ෂ ගණනාවක්‌ යන තුරුද ඉහළින්ම කියැවෙනු ඇත. ‘සියරටමයි කවදත්’ යන පාඨය ද එතුමන්ගේ නාමය සමඟම ජන හදවත් තවත් ගිගුම් ගන්වමින් කියැවෙනු ඇත.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා