දෙබිඩ්ඩෝ

 ඡායාරූපය:

දෙබිඩ්ඩෝ

"මෝදි අග්‍රාමාත්‍යවරයා ලංකාවට ඇවිත් කියපු, කරපු දේවල්වලින් පැහැදිලි වුණේ ඔහු සිතා සිටින්නේ

ශ්‍රී ලංකාව තමන්ගේ කොලනියක් බවයි. වතුකරයට ගිහිල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ අතට ඉන්දීය කොඩිය දීලා, ඒ වගේම තමන් මැදින් ඉඳගෙන, ලංකාවේ ජනාධිපතිගේ සහ අගමැතිගේ අත් අල්ලන් ඒවා උස්සලා පෙන්වලා මෝදි අගමැතිවරයා නොකියා කීවේ ඒකයි. සාමාන්‍යයෙන් ඒ වගේ තැනක මැද ඉන්න ඕනෙ රටේ ජනාධිපති. ‘මේ රටේ අයිතිකාරයා මම. මේ තමයි මම දාපු ජොකියෝ දෙන්නා’ කියලයි එදා ඉන්දීය අගමැතිවරයා මුළු ලෝකයටම පෙන්වා දුන්නේ.

වෙන කිසිම රටක එහෙම වෙන්නේ නැහැ. ඒ තරම් පරාධීන තත්ත්වයකට අපේ රට අද ඇද දමලා තිබෙනවා."

මෙහෙම කීවේ විමල් වීරවංශය. ඒ ගිය අවුරුද්දේය. සංවර්ධන කටයුතු රැසක් උදෙසා අසල්වැසි ඉන්දියාවේ අගමැතිවරයා ලංකාවට පැමිණ මෙරට නායකයින් දෙදෙනා සමඟ සුහදව ඉන්න විට විමල්ගේ සිරුරේ භූමිතෙල් වැටුණේය. යක්ෂයෙක් මවාපාමින් ඔහු රට පුරාම කියාගෙන ගියේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වුණා කියලාය. මෝදිගේ ලංකාගමනය මහා කුමන්ත්‍රණයක් ලෙස සලකා ගරහාවටත් විවේචනයටත් ලක් කළ අනෙකා ගම්මන්පිලය.

මේ දෙදෙනාට අනුව ඉන්දියාව අබියස ලංකාව තිබෙන එකත් මේ ආණ්ඩුව කළ වරදක් ය.

හිටපු ජනපති මහින්දට ඉන්දියාවෙන් ආරාධනයක් ලැබුණේය. ඒ පිටුපස සුබ්‍රමනියම් ස්වාමි සිටි බව කියවේ. ඔවුන් කියන්නේ එහිදී මහින්දට සම්මානයකුත් ලැබෙනවා කියලා ය. සුබ්‍රමනියම් ස්වාමිගෙන් ලැබෙන ට්විටර් පණිවිඩයකින් විමල්ලා පිනා ගිහින්ය. එය පදනම් කරගෙන විමල්ලා කියන්නේ ආපහු මහින්ද ජනාධිපති වෙනවා කියලාය.

සුබ්‍රමනියම් ස්වාමි මෝදිගේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකි.

ඉන්දීය ආණ්ඩුවේ ප්‍රධානියා වන මෝදි මෙහි පැමිණ ජනපති අගමැති සමඟ නිල ලෙස සමීප වීම විමල්ලාට අනුව 'කුමන්ත්‍රණයකි.' එතකොට මෝදිගේ ආණ්ඩුව 'කැතය.... කුමන්ත්‍රණකාරීය.... ලංකාවට හතුරුය...!

ඒ ආණ්ඩුවේම සමීපතයකු වන සුබ්‍රමනියම් ස්වාමී මහින්දට සමීප වෙන එක දේශප්‍රේමීය... අපූරුය... මනරම්ය... ආශ්වාදජනකය..

විමල්ලාට, මහින්දලාට මෝදි නරක් වෙන්නත් ස්වාමි හොඳ වෙන්නත් එකම හේතුව 'තමන්ගේ වාසිය'ය. මෙහෙමත් දෙබිඩ්ඩෝ කියලා කියන්නේ ආණ්ඩුවාදීන්වත්, මහින්දවාදීන්වත් නොවේ, නිර්පාක්ෂික මිනිස්සුය.

මහින්ද ආණ්ඩුව හදන විට ඉන්දියාව ඔහුට සමීපය. ඒ හිතවත්කම හැදුවේ බැසිල්ය. යුද්දෙට කලින් හෝම්වර්ක් කළේ බැසිල් කියා සමහරු කීවේ ඒකය. 2005 දිනුවේ මහින්දය. ජවිපෙ හා හෙළ උරුමයේ සහායෙන් ඔහුට 50.29% කුත් රනිල් වික්‍රමසිංහට 48.43% කුත් ලැබුණි. එදා ප්‍රභාකරන් හිටියේද මහින්දගේ පැත්තේය. ඔහු දෙමළ ඡන්ද වර්ජනය කිරීමට නියෝග කර ඡන්දය දැමීමට ගිය දෙමළ ඡන්ද දායකයකුගේ අතක්ද කැපුවේය. දෙමළ ඡන්ද තිබුණා නම් මහින්ද 2005දී බලයට පත්වන්නේ නැත. කවුරුන් මොනවා කීවත් ඉන්දියාව එදා මහින්ද රජයට ආධාර කළේය. ඒ ආධාර ගෙන ඒමේ විශේෂ පුද්ගලයා බැසිල් ය. බැසිල් තමන්ට පැවරුණු කාර්යය මැනවින් ඉටු කළේය. කරුණා අම්මාන් සිටියේ ඉන්දියාව පැත්තේය. මහින්ද රජයට කඳුකරයේ තොන්ඩමන්ගේ (ඉන්දියාව) සහය ලැබුණි.

යුද්දේ වෙලාවේ ඉන්දියාවට බැසිල් ගියාම විමල්ලා සද්ද නැතිව සිටියහ. බැසිල් කීවේ ඉන්දියාවයි ලංකාවයි අඹුසැමියෝ වගේ කියලාය. 'පුණ්‍ය භූමියට' කිණ්ඩි කළා යැයි කියා එදා විමල්ලා බැසිල්ට එරෙහිව කට ඇරියේ නැත.

හැබැයි තමන්ම ගෙනා ජනාධිපතිවරණයකින් පරාජය වූවාට පසු මහින්ද ඉන්දියාවට හතර අතේ බැන්නේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව 2015 වසරේ මාර්තු මාසයේ සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පතට පවසා තිබුණේ, තම පරාජය පිටුපස ඉන්දියාවේ රෝ සංවිධානය සිටින බවය.

එම පුවත ඉන්දීය පුවත්පත්වල සිරස්තලයක් බවටද පත් විය.

විමල්ලා ඒ කතාව කරේ තියාගෙන දිවුවේය. වහින්නේත්, පායන්නේත්, ගඟ ගලන්නේත්, නොගලන්නේත්, හුස්ම ගන්නේත් නොගන්නේත්, කුරුල්ලන් පියාඹන්නේත්, මලපහ කරන්නේත් කුමන්ත්‍රණ මත පිහිටා බව තරයේ විශ්වාස කරන විමල්, ගම්මන්පිල ඇතුළු පිරිස මහින්දගේ 'රෝ' ඔත්තු සේවයේ කතාව අතුරුපසක් බවට පත්කර ගත්හ.

විමල්ලා කවදත් මිනිස්සු තුළ සැකය සහ භීතිය නිර්මාණය කොට ඒ භීතියෙන් ගලවා ගැනීමේ වීරයා සිටින්නේ තමන් අසල බව සමාජගත කරයි. එය ඔවුන්ගේ 'එදාවේල' වැඩපිළිවෙළය. එට්කා ගිවිසුම, සුව සැරිය, නිවාස ව්‍යාපෘති වැනි සියලු දේ විමල්ලා මවන භීතියේ කොටස්ය.

හැබැයි මහින්ද යුගයේ සියල්ල දායාදය.

'ඒ කාලේ මිහිඳු හාමුදුරුවෝ මේ ආණ්ඩුව කාලේ වැඩිය නම් විමල්ලා කියයි ඒකත් කුමන්ත්‍රණයක් කියලා. අටළොස් කුලය එහෙම මේ කාලේ ආව නම් කියයි අපේ මිනිස්සුන්ට ඉන්දියාවෙන් ශිල්පක්‍රම ගෙනත් කුමන්ත්‍රණයක් කරනවා කියලා' යැයි හිතවතෙක් කීවේය.

මෙරට තරුණ කැරලි දෙකකදී එහි නායකයෝ ව්‍යාප්තවාද දෙකක් ගැන 'බිල්ලෝ' මැවූහ. එකක් අමෙරිකානු ව්‍යාප්තවාදය ය. අනෙක ඉන්දියානු ව්‍යාප්තවාදය ය. දෙකම හොඳ සටන් පාඨය. මුල් කැරැල්ලේදී අමෙරිකාව රාක්ෂයෙක් විය. දෙවැන්නේදී ඉන්දියාව රාක්ෂයෙක් විය.

2016 පෙබරවාරි 28 අපූරු ලිපියක් රාවය කතෘ වික්ටර් අයිවන් විසින් 'ඉන්දියානු භීතිකාව' යනුවෙන් ලියා තිබිණ.

එහි මෙවැනි සටහනක් විය.

"පසුකලකදී යශෝධා ව්‍යාපාරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චිගෙන් ඒ කාලයේදී දේවල් සිදුවූ නියම ස්වරූපය පෙන්නුම් කරන අපූරු කතාවක් මට අසන්නට ලැබුණි. ඒ බිහිසුණු කාලයේදී ඔහුද ආරක්ෂාව සඳහා ජවිපෙ අනුගාමිකයකු බවට පත්ව සිටියේය. ඔහු ජවිපෙ නායකයන්ට වැදගත් වන්නට ඇත්තේ ඔහුට අගමැති ඩී.බී. විජේතුංගට තිබුණු සමීප සම්බන්ධය නිසා විය යුතුය. ඔහුගේ කොළඹ නිවස ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම් පවත්වන ස්ථානයක් බවට පත්ව තිබුණි. විජේවීර එහි පැමිණි කිසියම් දිනකදී යශෝධාට තිබෙන ප්‍රශ්න මොනවාදැයි ඔහුගෙන් අසන ලදුව ඔහු විජේවීරට කියා තිබෙන්නේ දේශීය ව්‍යාපාරිකයන්ගේ සීනි වෙළෙඳාමට ලංකාවේ ඉන්දියානු වෙළෙඳුන්ගෙන් ලොකු තර්ජනයක් තිබෙන බවය. ඉන් දින කිහිපයකට පසුව පිටකොටුවේදී ඉන්දියානු සීනි ආනයනය කරන ප්‍රධාන පෙළේ වෙළෙන්ඳෙකුට වෙඩි තබා මරා දමන ලද බවත් එතැන් සිට ලංකාවේ ලොකුම සීනි ආනයනකරු බවට පත්වීමේ හැකියාව තමන්ට ලැබුණු බවත් ඔහු මට කීවේය."

බිල්ලෝ මවන්නේත් ඒ බිල්ලන්ම තේරුම් ගන්නේත් එහෙමය.

කන්න ඕනෑ වනවිට ඕනෑම කබරයෙක් තලගොයෙක් කරන්නට විමල්ලා සමත්ය. මහින්ද ඊටත් වඩා සමත් ය. සපත්ත අස්සේ මානව වාර්තා සඟවාගෙන මානව හිමිකම් ගිය මහින්ද 'ශ්‍රී ලංකාව යනු මිනී කන්නන්ගේ දේශයක්' බවට නම්බු නාමයක් ලෝකයෙන් අරන් දුන්නේය. හැබැයි ඔහු ජනාධිපති වූදා සිටම මානව හිමිකම්වලට බැලැස්ටික් මිසයිල ගැසුවේය.

අද මේ ආණ්ඩුවේ නායකයෝ වෙනත් රටවල නායකයින් හමු වන විට මහින්දලා 'අවි' හදාගෙනම පහර දෙයි. හැබැයි එදා ස්වාසිලන්තයෙන් එන ගෝත්‍රික සල්ලාල රජවරු මේ අයට කීර්තිමත් ය. මෝදි එනකොට 'කුමන්ත්‍රණයකට' බව කී අය ගෙදර යන ගමන් අප්‍රිකාවේ ජනපති තෙල් ගහන්න ගුවන් යානය ගොඩ බැස්සාමත් ඒ කාලයේ මාර වැඩක්ය.

ඉන්දියාව තරහ කර ගත්තේ මහින්දමය. මුළු රටම චීනෙට දෙන ගානට ගිය මහින්දට ඉන්දියාව එරෙහි විය. යුද්දේ කරද්දීත් ඉන්දියාව සද්ද නැතිව සිටියේය.

'අරුන් අපේ උන් මරනවා' තමිල්නාඩුව එහෙම කියද්දිත් ඉන්දියාව බලපෑම් නොකළේය.

'ලංකාවේ අන්න උඹලගේ මිනිස්සු මරනවා'

බටහිරින් එහෙම කියද්දිත් ඉන්දියාව සද්ද නැතිව සිටියේය.

හැබැයි එහෙවු ඉන්දියාව කුණු ගොඩකට දමා මහින්ද චීනය අල්ලා ගත්තේය. මත්තල දුන්නේය. ගුවන්තොටුපළ දුන්නේය. පෝර්ට් සිටි දුන්නේය. ෂැන්ග්‍රිලා දුන්නේය. පාරවල් ටික දුන්නේය.

ඉන්දියාව බලාගෙන, ඉවසාගෙන සිටියේය. අන්තිමට මහින්දම ඇන ගත්තේය.

මහින්දවාදීන්ට අනුව රනිල්, මෛත්‍රී සම්බන්දන් හමු වුණත් වැරදිය. හිනා වුණත් වැරදිය. හකීම් එක්ක ආණ්ඩුව හදන එකත් වැරදිය. රිෂාඩ්ට ඇමැතිකම් දුන්නත් වැරදිය.

මේ ආණ්ඩුවේ කවුරුන් හෝ ගිහින් ලෝකයේ හොඳම කෙනෙක් හමුවුණත් මහින්දවාදීන්ට ඒක වරදක්ය. පේන්නේම පරහක්ය. හැබැයි මහින්දලා ගිහින් හමුවෙන හැමෝම හොඳය... අපූරුය...

ඒ දිනවල විපක්ෂනායක ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා සම්මන්ත්‍රණයකට රටකට ගියත් කීවේ කේලම් කියන්න යනවා කියලාය. එතකොට මේ දැන් මහින්දලා යන්නේ මොකටද කියන්න කවුරුවත් අහන්නේ නැත.

මාතෘකා